කොටස් වෙළෙ­ඳ­පොළ කඩා වැටීම හා සේවක අර්ථ­සා­ධක අර­මු­දල | සිළුමිණ

කොටස් වෙළෙ­ඳ­පොළ කඩා වැටීම හා සේවක අර්ථ­සා­ධක අර­මු­දල

 

හ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වේ. අරමුදලේ වටිනාකම ආරක්ෂා කරගනිමින් සාමාජිකයන් ට උපරිම ප්‍රතිලාභ ලබා දීමේ දිගුකාලීන අරමුණු ඇතිව, එහි ආයෝජන කලඹ පවත්වාගෙන යනු ලබයි. නිශ්චිත අවදානම් ප්‍රමිතීන් යටතේ පාලනය වන මෙම අරමුදලින් 94%ක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර, ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස්, සාංගමික ණයකර, භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳපොළ උපකරණවල ආයෝජනය කරනු ලබයි.

 

මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද උපායමාර්ගික වත්කම් වෙන් කිරීමේ නියමිත සීමාවන්ට යටත්ව, අනුමත කරන ලද වත්කම් පන්තිවල ආයෝජන කිරීම මඟින් විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් සේවක අර්ථසාධක අරමුදල විසින් පවත්වාගෙන යනු ලබයි. 2000 දෙසැම්බර් 31 වැනි දිනට සේවක අර්ථසාධක අරමුදල ආයෝජන කලඹෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,243ක් විය.

මෙවැනි පසුබිමක් තුළ, සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF හිමිකරුවන් තරමක් කලබලයට පත් කළ ප්‍රවෘත්තියක් පසුගිය දා සමාජ මාධ්‍යවල පළ වී තිබිණි.

' කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3,548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා...' යනුවෙන් පළ වූ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප සොයා බැලූයේ ඒ අනුව ය.

එයට අනුව, ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි ‍වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් තිබේ.

එමෙන්ම, 2021දෙසැම්බර් 31 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 66 ක කර තිබූ ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 111.96කි. මෙම අගය 2022 මාර්තු 31 දින වන විට රුපියල් බිලියන 76.48 ක් දක්වා රුපියල් බිලියන 35.48 කින් පහළ ගොස් තිබේ.

එනම්, ජනවාරි සිට මේ දක්වා රුපියල් කෝටි 3,548 කින් වටිනාකම පහළ යාමකි. 31.68% ක අගය අඩු වීමකි.

මේ පිළිබඳ ශ්‍රී මහ බැංකුව විසින් නිකුත් කරන ලද මූල්‍ය තොරතුරු ඔස්සේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී, ඒ. පී.යූ. තිලකරත්නගෙන් තව දුරටත් පැහැදිලි කර ගතිමු. ඒ අනුව, වර්තමානයේ EPF සතු සමස්ත වටිනාකම රුපියල් ට්‍රිලියන 3.2 ක් පමණක් වේ. කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කර ඇත්තේ, එයින් රුපියල් මිලියන 85කි. එනම්, 2.8% ක ප්‍රතිශතයකි.

2020 වසරේ මූල්‍ය වාර්තාවන්ට අනුව රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් සඳහා 93.4%ක්, ව්‍යාපාර කොටස් සඳහා 2.8 %ක්, සාංගමික ණය උපකරණ 1.2% ක්, ප්‍රති විකුණුම් ගිවිසුම් 0.6% ක් සහ ස්ථාවර තැන්පතු 2.0%ක් ලෙස රුපියල් බිලියන 2,829.5ක් වූ EPF අරමුදල් විවිධ අංශ යටතේ ආයෝජනය කර තිබේ.

මෙවැනි අරමුදල් විවිධාංගීකරණය වූ ව්‍යාපාරවල ආයෝජනය කිරීම ලෝකයේ පිළිගත් සහ සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වන අතර, EPF අරමුදල ද මෙම ආයෝජනයන් සිදුකර ඇත්තේ එම පදනමේ පිහිටා ය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති ලේඛන අනුව, EPF අරමුදලේ 2020 වසරේ මුළු ආදායම රුපියල් මිලියන 285,631ක් වූ අතර, එම වසරේ රුපියල් මිලියන 39,063ක් ආදායම් බදු ලෙස රජයට ගෙවා තිබේ. එසේම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ බැංකු පොලී අනුපාත පහළ අගයක පැවති අවස්ථාවක දී වුවද, 9%ක පොලී අනුපාතයක් සිය සාමජිකයන් වෙත ලබා දීමට කටයුතු කළ බවත්, මේ සා විශාල ආදායම් බදු ගෙවන වෙනත් රාජ්‍ය ආයතනයක් නොමැති බවත් EPF අරමුදලේ අධිකාරීවරයා තව දුරටත් පෙන්වා දෙයි.

එසේම 2021 වසර අවසානය වන විට, EPF අරමුදල රුපියල් බිලියන 297 ක ලාභයක් ලබා ඇති අතර, 2021 වසරට අදාළ ආදායම් වියදම් සහ මූල්‍ය තොරතුරු නිල ප්‍රකාශයන් මඟින් නුදුරේදී ම පුවත්පත් හරහා දැනුම් දීමට නියමිත බව ද දැනගන්නට තිබේ. 2020 සමස්ත ආදායමට සාපේක්ෂව එය 15% ක පමණ ආදායම ඉහළ යෑමක් බව ද ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, රටේ ආර්ථිකය මෙතරම් අපහසු අඩියක පැවතුණ ද 2021 වසර, EPF අරමුදලට ඉතා හොඳ අවුරුද්දක් වී ඇති බව පෙනේ.

කෙසේ වෙතත්, මෙම කොටස්වලින් බහුතරය 2008- 2012 අතර කාලය තුළදී මිලදී ගත් ඒවා වන අතර, සමස්ත කොටස් වෙළෙඳපොළ පහළ යද්දී වටිනාකම අඩු වන අතර, කොටස් වෙළෙඳපොළ ඉහළ යද්දී මෙම වටිනාකම් ද ඉහළ යනු ලබයි.

මේ දිනවල කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 700- 800ත් වන අතර, මාස දෙකකට කලින් එම පිරිවැටුම මිලියන 100 ක් ව පැවති බවත්, මාස පහකට කලින් එය රුපියල් බිලියන 20ක් වූ අවස්ථාවන් ද වාර්තා වූ බවත්, ඒ අනුව කොටස් වෙළෙඳපොළේ උච්ඡාවචනයන් සිදු වීම සාමාන්‍ය බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

EPF අරමුදලේ උපරිම විනිවිදභාවය සඳහා සියලු තොරතුරු, සේවක අර්ථසාධක නිල වෙබ් අඩවියේ සඳහන් කරන අතර, අදාළ ප්‍රවෘත්තිය සකසා ඇත්තේ ද එම තොරතුරු අනුව බවත්, එය වැරැදි අදහසක් සමාජගත වන ආකාරයේ ප්‍රවෘත්තියක් බවත් පැහැදිලි කෙරිණි.

අනික, මේ පෙන්වා ඇත්තේ උපලබ්දි නොවූ වටිනාකමක්. පාඩුවට විකිණුවොත් තමයි පාඩු සිද්ධ වෙන්නේ. මේ වගේ කොටස් වෙළෙඳපොළ පහත වැටුණු අවස්ථාවක මේවා විකුණලා දාන්න තරම් හදිසි මූල්‍ය අවශ්‍යතාවක් EPF එකට නැහැ..."

 

Comments