කන්ද­කා­ඩු­වෙන් පැන්න රැඳ­වි­යන් සොයා සෝමා­ව­තිය පීරූ මෙහෙ­යුම | Page 2 | සිළුමිණ

කන්ද­කා­ඩු­වෙන් පැන්න රැඳ­වි­යන් සොයා සෝමා­ව­තිය පීරූ මෙහෙ­යුම

 

පේ රටේ වැඩි වශයෙන් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නේ තරුණ කොටස්ය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තක්ෂේරුවට අනුව ලක්ෂයකට එහා ගිය මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෝ මෙරට සිටිති.

 

මතට ඇබ්බැහිවූවන් සැලකෙන්නේ රෝගීන් ලෙසිනි. මෑතක් වන තුරු අපේ රටේ ඔවුන්ට සලකණු ලැබුවේ අපරාධකරුවන් ලෙසිනි. මත්කුඩු පැකට්ටුවක් සමඟ අල්ලාගන්නා මත්කුඩු ලෝලීන් හිරේ විලංගුවේ දැමුවේ ඒ නිසාය. අවසානයේදී ඔවුන් හිරගෙදරින්

එළියට ආවේ වෘත්තිමය අපරාධකරුවන් ලෙස ශිල්ප සතර හදාරාය. කුඩු පාතාලය අද රජ වී ඇත්තේ ද එබැවිනි.

මේ තත්ත්වය හඳුනාගත් නිසාම මත්කුඩු ලෝලීන් පුනරුත්ථාපනය කිරීම අපේ රටේ අද නීතියක් බවට පත්ව හමාරය. කන්දකාඩු හි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය බිහිවන්නේ ඒ වෙනුවෙනි. දහසකට වැඩි පිරිසකට එවකර ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කිරීමට ඇවැසි පහසුකම් සහිත එම මධ්‍යස්ථානය පාලනය වන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේය. එහි ප්‍රධානියා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්ය. එම තනතුරට පත්වන්නේ හමුදා නිලධාරියෙකි. ඒ මෙම මධ්‍යස්ථානය පාලනය වන්නේ හමුදා අධික්ෂණයෙන් වන බැවිනි. දැඩි විනයක් සහ පාලනයක් ඇතිව පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයට මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් යොමු කෙරන්නේ අධිකරණ නියෝග මතය. එසේ නොමැතිව හිතුමතේට මෙහි පුනරුත්ථාපන ක්‍රියාවලියට සම්බන්ධ වීමට කිසිවකුටත් ඉඩක් ලැබෙන්නේ නැත. සියල්ල සිදුවන්නේ යම් නෛතික ක්‍රියාවලියක් ඔස්සේය. ඒ අනුව මෙහි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කෙරෙන කිසිවකුටත් අතර මගින් යන්නටත් බැරිය.

මෙහි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුවන්නේ පුහුණුව ලත් උපදේශකයන්ගේ අධීක්ෂණ ඇතිවය. ඒ අයගේ අධික්ෂණයෙන් මතින් නිදහස් වූවෝ සිය ගණනක් මේ වන විට සමාජගතව සිටිති. මෙහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කෙරන්නේද දීර්ඝ කාලයක් තිස්සේ මතට ඇබ්බැහි වූවෝය. එබැවින් ඔවුන්ට එකවරම මතින් නිදහස් වන්නට බැරිය. ඒ නිසාම මුල් දින කිහිපය ඔවුන් මෙහි ගතකරන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමිනි. ඒ අතර සිය දිවි හානිකර ගැනීම් සඳහා උත්සාහ දරන්නෝද නැත්තේම නැත. ගහමරා ගැනීම්ද අඩුවක් නැති තරම්ය. එහෙත් මාසයක් දෙකක් යන විට ඔවුන් තරම් හික්මීමක් ඇති අය සමාජයේ නැති තරම්ය. මෙම මධ්‍යස්ථානයෙන් ඔවුන් පිටව යන්නේද තමාව මතින් මුදා ගත්තාට හමුදා නිලධාරීන්ට පින්දෙමිනි.

මෙම මධ්‍යස්ථානය ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන්නේ කොවිඩ් ව්‍යාප්තිය දරුණුවටම පැවති සමයේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස එය භාවිත කිරීම හේතුවෙනි. නැවතත් කන්දකාඩු සමාජයේ වඩාත් අවධානයට යොමුවන්නේ ඉකුත් 29 වෙනිදා එහි ප්‍රතිකර සහ පුනරුත්ථාපනය වෙමින් සිටි සිය ගණනක් රැඳවූවන් ප්‍රචණ්ඩ වෙමින් ගේට්ටු බිඳගෙන පලායන්නට වූ බැවිනි. ඊට මුල පිරෙන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවූවෙකුගේ අභිරහස් මරණයකි. කලහකාරී වූ පිරිස් චෝදනා කරන්නට වූයේ එම මරණය පහරදීමකින් සිදුවූ ඝාතනයක් බවටය.

කන්දකාඩු ගිනි ඇවිළු එම මරණය ඝාතනයක්ද ස්වභාවික මරණයක්ද එසේත් නැතිනම් සියදිවි හානිකර ගැනීමක්ද යන්න ඉකුත් සිකුරාදා සවස්වන තුරුත් තහවුරුවී තිබුණේ නැත. ඒ මියගොස් සිටින්නේ කවුරුන්දැයි පැහැදිලිවම තහවුරුවී නොමැති පසුබිමක මරණයට හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ වෛද්‍යවරයාට ඉඩක් නොලැබී ඇති බැවිනි.

එහෙත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පොලීසියට ලබාදී ඇති ලියැකියවිලිවලට අනුව මියගොස් සිටින්නේ දෙමෝදර 07 කණුවේ පදිංචිකරුවෙක් වන 36 හැවිරදි බුද්ධික රාජපක්ෂය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසන්නේ මැයි 22 වෙනිදා අධිකරණය මඟින් ඔහු ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු වෙත යොමුකළ අයෙක් බවකි. එහෙත් එම රැඳවියාගේ මව කියන්නේ මිය ගොස් සිටින්නේ තම පුතා නොවන බවය. එය තවදුරටත් තහවුරු කරන්නේ ඒ කියන රැඳවියාගේ සහෝදරයාය. මේ ගැටලුව ලිහා ගන්නට පොලීසියත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයත් සිටින්නේ ලොකු සටනක නිරත වෙමිනි. බැරිම උනොත් අවසාන උත්තරය වන්නේ ඩී. එන්. ඒ පරීක්ෂාවක් පමණි.

ප්‍රචණ්ඩවූ රැඳවියෝ කියන ආකාරයට අනුව මේ රැඳවියා මිය යන්නේ පහරදීමකි. එම පහරදීම සිදුව ඇත්තේ 28 වෙනිදාය. ඒ දුම්කොළ කැබැල්ලක් ඔහු සන්තකයේ තිබී හසුවී ඇති බැවිනි.

මෙහි රඳවා සිටින රැඳවූවන්ට දුම්පානය සපුරා තහනම්ය. මතට ඇබ්බැහි වූවන්ට එකවරම දුම අතහැර දමන්නට බැරිය. ඒ නිසා ඔවුන් පත්තර පිටු තීරු ඔතාගෙනද දුම් උරන්නට පුරුදුවී සිටිති. ඒ පුරුද්ද අතහැර දැමීමට නොහැකි බැවිනි. එසේ පත්තර කොළ ඔතා දුම් ඉරීමද සිදුවන්නේ උපදේශකයන්ට හොරාය. ඒ ඔවුන්ට හසුවුවහොත් දඬුවම් ලැබෙන බැවිනි. පත්තර කොළයේ ඔතා පානය කිරීමට සඟවාගෙන සිටි දුම්කොළයක් මෙම රැඳවියා සතුව තිබී උපදේශකයකුගේ අතටම හසුවන්නේ එවන් පසුබිමක් තුළදීය. එම උපදේශකයා රැඳවියාගෙන් ඒ ගැන දැඩිව ප්‍රශ්න කරනුයේ දුම්කොළය ඇතුළට ආ හැටි සොයාගන්නටය. එම ප්‍රශ්න කිරීම සිදුවූයේ කෙසේදැයි පැහැදිලි නැතත් සෙසු රැඳවියෝ චෝදනා කරන්නේ අමානුෂික ලෙස පහරදීමක් එහිදී සිදුවූ බවකි. කෙළින් කටින් හිටගන්නට බැරි තරමට ඔහුට වධ දුන් බවට චෝදනාද නැගෙන්නේය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හේට්ටිආරච්චි පවසන්නේ මේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවය. ඒ සඳහා අවශ්‍ය මූලික පියවරද මේ වන විටත් ගෙන හමාරය. සිවිල් නීතිය වගේම යම් වරදක් කර ඇත්නම් එකී නිලධාරියාට හමුදා නීතියෙනුත් දඬුවම් එහිදී ලැබෙනු ඇත.

මෙම පහරදීම මුල්කරගෙන එදා සවස් කාලයේ සිටම රැඳවූවන් සිටින්නේ නොසන්සුන්වය. එය පුපුරා යන්නේ පසුදින අලුයම ඔහු මියගොස් ඇතැයි හෙළිවීමත් සමඟිනි. කලහකාරී වූ රැඳවූවක් මිය ගිය රැඳවියාගේ මළ සිරුර ළඟටවත් උපදේශකයන්ට එන්නට ඉඩ දුන්නේ නැත. ඒනිසාම මධ්‍යස්ථානයේ බලධාරීන්ට සිදුවන්නේ පොලීසිය කැඳවන්නටය.

වැලිකන්ද පොලිස් ස්ථාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි එන්නේ ඒ අනුවය. ඒ විමර්ශන කටයුතු සඳහාය. එම නිලධාරීන්ටවත් කුපිතවී සිටි රැඳවූවන් ඇතුළට එන්නට ඉඩ දුන්නේ නැත. ඒ අයගේ ඉල්ලීම වූයේ ජනමාධ්‍ය කණ්ඩායමක් එහි රැගෙන එන ලෙසය. ඒ ඔවුන්ට කියන්නට බොහෝ දේ ඇති බව පවසමිනි. එතෙක් මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන යන්නට ඉඩ නොදෙන බවට ඔවුන් කෑමොර දෙන්නට ගත්තේය.

පවතින තත්ත්වය එතරම් යහපත් නොවන බව වටහාගත් වැලිකන්දෙන් පැමිණි පොලිස් නිලධාරීන් ඒබව මධ්‍යස්ථානයේ බලධාරීන්ව දැනුම්වත් කළේය. කැමරා කණ්ඩායමක් ඇතුළට යවා තත්ත්වය පාලනය කිරීම සුදුසු බව පෙන්වා දුන්නේය. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොවීය. සිදුවන්නේ කාලය මිඩංගු වීමක් පමණි. තත්පරයෙන් තත්පරය සිදුවන ප්‍රමාදය රැඳුවූවන් යොමුකරනු ලැබුවේ ප්‍රචණ්ඩත්වයටය. මධ්‍යස්ථානයේ දේපොලවලට පහර දෙමින් ගේට්ටු බිඳ දමා ඔවුන් එළියට පනින්නේ එම ප්‍රමාදයත් සමඟිනි. ඒ යකඩ ඉනි සහ පොලු මුගුරු ඇතැතිවය. ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන්ටද ඔවුන් පහරදෙන්නට ගත්තේය. ඊට ප්‍රතිචාර දැක්වීමට කිසිදු හමුදා නිලධාරියෙක් සිය අවි ඔසවන්නට ගියේ නැත. එසේ වී නම් කන්දකාඩු අද පත්වන්නේ තවත් බිඳුණු වැවක් බවටය.

එසේ එළියට පැනගත් කිසිවකුටත් පොලොන්නරුවේ පාරවල් තොටවල් ගැන කිසිදු අවබෝධයක් නොවීය. ඔවුන් හතර වටේ කැරකැවෙමින් පාරවල් දිගේ යන්නට වූයේ වල්මත්වය. කොටසක් සෝමාවතිය රක්ෂිතයට රිංගන්නේ යන්න එන්න තැනක් නොවූ තැනය. මේ පිරිස් කොටුකර ගැනීමට පොලිස් හා හමුදා මෙහෙයුමක් දියත්වන්නේ පොලොන්නරුවේ හැම පාරක්ම වසා මාර්ග බාධකද යොදවමිනි. ඒ අතර සෝමාවතියට රිංගූ පිරිස් සොයා විශේෂ මෙහෙයුමක්ද දියත් කෙරෙන්නේ ඒ සඳහා පුහුණුව ලැබූ හමුදා භට කණ්ඩායමක් වනෝද්‍යානයට ඇතුළු කරමිනි. ඒ වන විටත් රක්ෂිතයට ඇතුළුවී සිටි රැඳවීයෝ පිරිසක් වනෝද්‍යානයේ පිහිටි බීට්ටු කාර්යාලයට කඩා වැදී තිබුණේය. හමුදා මෙහෙයුම් හේතුවෙන් ඒ වන විටත් වනජීවී නිලධාරීන් සිටියේ රක්ෂිතයෙන් පිටතට කැඳවාය. උදේ උයාගත් බත්පත පවා ඒ නිසා එම නිලධාරීන්ට කටට දාගන්නට ඉඩක් නොවීය. එම කෑම ටිකට වගකියන්නේද එහි කඩා වැදුණු රැඳවියෝය. සෝමාවතියේ යකා නැටූ මේ රැඳවියෝ කොටුකර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූවත් ඒ අයගෙන් 47 දෙනෙක් කොටුකර ගන්නේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවය. තවදුරටත් සෝමාවතිය රක්ෂිතයේ කෙරෙන මෙහෙයුම්වල නිමාවක් නැත. ඒ තවත් පිරිසක් ඇතුළේ සිටින බවට වූ විශ්වාසය මතය.

මේ අතර මළ සිරුර රකිමින් ඇතුළේ සිටි පිරිසද මධ්‍යස්ථානයෙන් එළියට එන්නේ එම සිරුර සිදුරෙදිවලින් ඔතාගෙන කරමත තබාගෙනය. යන එන පාරක් තොටක් ගැන අවබෝධයක් ඔවුන්ටද නොවීය. ඔවුන් ගමන්කරන්නට ගත්තේ සෝමාවතිය රක්ෂිතය දෙසටය. කිලෝමීටර් 10ක් 15ක් ඔවුහු එසේ ඇවිද යන්නට වූහ. මහා වනාන්තරයට මැදිවූ මාර්ගයක අතරමංවූ ඔවුන් නැවත හැරී ආවේ පොලීසියට මළ සිරුර බාරදෙමිනි. ඒ තවදුරටත් මළ සිරුර කරමත තබාගෙන යාමෙන් පලක් නොවන බව වටහාගෙනය.

ඒ අතර තවත් පිරිසක් පොලු මුගුරු රැගෙන ආරක්ෂක අංශ සමඟ ගැටුමකට මුල පුරන්නට ගත්තේය. ඒ අයව පාලනය කරන්නට පොලීසියට සිදුවන්නේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන්ය. ඒ අයද පසුව පොලීසියට බාරවෙන්නේ පොලු මුගුරු අතහැර දමාය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසන්නේ මෙම සිදුවීම වන විට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් 997 දෙනෙක් සිටි බවය. ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් පලාගියත් පලා නොගිය පිරිසක්ද ඇතුළේ සිටියේය. එසේම පලාගොස් නැවතත් මධ්‍යස්ථානයේ රැකවරණය ඉල්ලා පැමිණි අයද සිටියේය. දර්ශන හෙට්ටිආරච්චි කියන්නේ ඒ ඔක්කොම එකතුව ගත්කළ අවසානයේ 272 දෙනෙක් මධ්‍යස්ථානය තුළ ඉතිරිවූ බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ පලාගිය රැඳවූවන් 678 දෙනෙක් සිකුරාදා සවස්වන විට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවය. ඒ අනුව දැන් අල්ලන්නට ඉතිරිව ඇත්තේ 27 දෙනෙක් පමණි. ඒ අය අල්ලන තුරු සෝමාවතිය රක්ෂිතය ඇතුළු පොලොන්නරුව පීරා කෙරෙන මෙහෙයුම්වල නිමා නොවනු ඇත.

 

Comments