ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න ප්‍රායෝගික විසඳුම් මෙන්න | සිළුමිණ

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න ප්‍රායෝගික විසඳුම් මෙන්න

 

ර්තමානය වන විට මෙරට ආර්ථික අර්බුදය ඔඩු දුවා ඇත. එයින් ගැලවීමද ලෙහෙසි පහසු නොවේ. එක් පැත්තකින් අප ලබාගත් ණය ගෙවීමට අපට හැකියාවක් නැත. අනෙක් පැත්තෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට අවශ්‍ය විදේශ විනිමයද අප සතුව නැත. මේ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගයක් පෙනෙන මානයකවත් නැත. ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? යන්න ගැන ආර්ථික විශේෂඥයන්ගේ අදහස් ඇසුරින් මේ ලිපිය සැකසේ.

 

ආර්ථික විශේෂඥයකු වන ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් පවසන්නේ වර්තමාන ආර්ථික අර්බුදය දීර්ඝකාලීන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඇති වූ වැරැදි හා අකාර්ෂයක්ෂමතා නිසා ඇති වූ අර්බුදයක් බවයි. මේ අවස්ථාවේදී මහජන මුදල් නිසි ලෙසින් කළමනාකරණය කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන් අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

‘‘ලංකාණ්ඩුවේ ආදායම වියදම, අය වැය හිඟය, ණය ලබා ගැනීම, ණය ආපසු ගෙවීම යනාදියෙන් සම්බන්ධ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ දිගුවක් තමයි ගෙවුම් ශේෂ අර්බුදය නැත්නම් රට සල්ලි පිළිබඳ අර්බුදයක් ලෙස ඇති වෙලා තියෙන්නෙ. මහජනයාගේ මුදල් කළමනාකරණය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට.

මම 1989 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළත් වාද විවාදවලට සහභාගි වුණත්, මේ පිළිබඳ පොත පත විශාල සංඛ්‍යාවක් ලිව්වත් ඇතැම් රාජ්‍ය මූල්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට අවාසනාවකට මේ අර්බුදයට රට පත්වීම වළක්වන්න බැරිවුණා. විදේශයන්ගෙන් ලබා ගත් ණය වාරික ගෙවිය නොහැකි බවට අපි නිල වශයෙන් ලෝකයට ප්‍රකාශ කරල තියෙනවා. ණය වෙලා කාල බීලා ඒ ණය ගෙවන්න බැරි රටක් හැටියට අපි පත් වෙලා. දැන් ණය හිමියො නඩු පවරල තියෙනවා. ඊට අපට ගණන්කාර කතා කියන්න බෑ. අපි නීතිය ඉස්සරහට යන්න ඕන ණය ආපසු නොගෙවීම සම්බන්ධව.

අපේ සමස්ත හිඟයක් පියවන්න විදේශ ණය ගත යුතු වෙනවා. ඒවා ප්‍රමාණවත් නැත්නම් සංචිත භාවිත කරනවා. ඒවා අපි අසීමිත ලෙස භාවිත කරපු නිසා අඩු වෙලා ගිහින් විදේශ ණය ගෙවා ගන්න බැරි වුණා.

මේ අර්බුදය ගැන ලංකාවේ දේශපාලන පක්ෂවල නායකයන්ට හෝ මහජන නියෝජිතයන්ට කිසිදු අවබෝධයක් නොමැති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් මොනවට පැහැදිලි වෙනවා.

මට වෛද්‍ය ශාස්ත්‍රය ගැන නැත්නම් ඉංජිනේරු ශාස්ත්‍රය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මම නොදන්න ශාස්ත්‍රයක් ගැන කිව්වොත් මම ජෝකර් කෙනෙක් වෙනවා.

දීර්ඝකාලීන අත්දැකීම් ඇති පර්යේෂණ කළ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වශයෙන් මට කියන්න තියෙන්නෙ මේ අර්බුදයෙන් ගොඩ ඒමට කවුරු ආණ්ඩු කළත් ඇත්තේ විසඳුම් 4ක් කරා යාම බවයි.

ඒ අනුව පළමුව රජයේ ආදායම ඉහළ නැංවීම කළ යුතු වෙනවා. ඒ වගේම දෙවැන්න ලෙස රාජ්‍ය වියදම් සීමා කිරීම කළ යුතුයි. එහිදී රාජ්‍ය වියදම දේශීය නිෂ්පාදනයෙන් 25%ත් 30%ත් අතර පවත්වාගෙන යා යුතුයි. විශේෂයෙන්ම අය වැය පරතරය 5%ක මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. ඒ තුළින් සමස්ත ණය බරතාවය සහන මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු වෙනවා.

මීට අමතරව රට තුළට එන විදේශ විනිමය ඉපැයුම් වර්ධනය කර ගැනීම කඩිනමින් ඉහළ නැංවිය යුතු වෙනවා. අඩුම තරමින් කෙටි කලකින් භාණ්ඩ හා සේවා අපනයනය ඇමරිකන් ඩොලර් 20 ඉක්මවා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. රටින් පිටට ගලා යන විදේශ විනිමය හැකිතාක් අඩු කර ගැනීම කළ යුතුයි.

මේ තුළින් අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නෙ රාජ්‍ය අයවැයේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කර ගැනීමයි. කෙටිකාලීනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගන්නා ගැලපුම් සමඟ 2029 දක්වා මේ ඉලක්ක කරා ගියොත් අපේ රටේ වේගවත් ආර්ථික සමෘද්ධියක් ඇති කර ගන්න පුළුවන්.‘‘

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ රටේ සමස්ත ආර්ථිකයම බිඳ වැටී ඇති බවකි. එයින් මිදීම සඳහා කළ යුත්තේ අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ලබා ගැනීම බව ඔහුගේ අදහසයි.

‘‘ රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝකාලීන වශයෙන් අප විසඳුම් සෙවිය යුතු වෙනවා. කොහොමත් මම දකින්නේ දැන් අප ඉදිරියේ ඇත්තේ ආර්ථික ගැටලුවකටත් වඩා රාජ්‍ය තාන්ත්‍රිකව විසඳාගත යුතු ගැටලුවක් බවයි.

අපට දැන් තියෙන්නෙ ඩොලර් අර්බුදයක්. එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුත්තක්. ඒ සඳහා අපේ මිතුරු රටවලින් සහාය ලබාගත යුතුයි. ඉන්දියාව, චීනය මැද පෙරදිග රටවල් මෙන්ම යුරෝපීය බටහිර රටවල් හා රුසියාව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබා ගත යුතුයි. අපි බලාපොරොත්තු වුණු චීන ආධාර ඩොලර් මිලියන 1.5 ලැබුණේ නැහැ. එමනිසා අලුතින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද හරහා විසඳුම් සෙවිය යුතු වනවා.

විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් සමඟ සාකච්ඡා කර අපට මේ අවස්ථාවේ විශාල ගැටලුවක්ව ඇති එල්.පී. ගෑස් හා ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා.

ඒ වගේම විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. සංචාරක ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම අනවශ්‍ය වියදම් සීමා කර ගත යුතු වීම ඉතා වැදගත්. ඒ වුණත් මේ ආණ්ඩුවට ඒ වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් නැහැ‘‘

කොළඹ විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න පැවසුවේ මේ අවස්ථාවේ අපේ කාර්යය විය යුත්තේ වගා කිරීම ගොවියාට ලබා දී වගාව බෙදා හැරීමට ක්‍රමවේද සකස් කිරීමෙන් දේශීය ආර්ථිකය පණ ගැන්විය හැකි බවයි.

‘‘ අද අපේ රටේ බහුතර ස්ථානවලින් පෙනී යන්නේ ‘අපි වවමු‘ යන්නයි. ඇත්තෙන්ම අපේ රටේ වගා කිරීම පිළිබඳ ගැටලුවක් අර්බුදයක් නැහැ. අපේ රටේ තියෙන්නේ ඵලදාව නැත්නම් අස්වැන්න පාරිභෝගිකයාට යාමේ නිසි වැඩ පිළිවෙළක් නැති කමයි. ඒක ගෙනියන්න ව්‍යවසායකත්වයක්, තාක්ෂණයක් නැහැ. ආහාර වගා කිරීම හොඳයි. නමුත් අධික ලෙසින් වගාවටම මුල් තැන දුන්නොත් වෙන්නේ ගොවියා තවත් අසරණ වීමයි.

අපේ අස්වැන්නෙන් 25%කටත් වැඩිය නාස්ති වෙනවා. ලොරිවල පටවල ඒක උඩ නැගල එන එකනෙ තාම කරන්නෙ. සේරම අස්වැන්න දඹුල්ලට ගෙනැල්ල එතනින් බෙදන එකයි අපේ රටේ තාම වෙන්නෙ. තව දෙතුන් පොළකට යනව. නමුත් ඒ අස්වැන්න දුම්රියෙන් රට වටා කඩිනමින් යවන්න පුළුවන් නම් එයින් විශාල ඉතිරියක් වනවා.

ඒ වගේම මේ වන විට අපට මතුව ඇති අනෙක් බරපතළම ප්‍රශ්නය තමයි ඩොලර් අර්බුදය. අපේ රටින් විදෙස් ගත වන භාණ්ඩවලින් අපි කොයිතරම් ඩොලර් ලංකාවට එනවද කවදද කියන එක ගැන නිසි කළමනාකරණයක් විපරමක් නැහැ. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු පසුගිය මැයි මාසෙ ඩොලර් බිලියනයක භාණ්ඩ අපනයනය කරනවා කියල. ඒත් ඒ වෙනුවෙන් අපට ඩොලර් ලැබෙන්නේ කවදාද? යන්න ගැන පැහැදිලි සඳහනක් නැහැ. ඒ වගේම ඇතැම් විට අමුද්‍රව්‍ය වෙනුවෙන් ඒ ඩොලර් කොටසක් හෝ වැඩි ප්‍රමාණයක් විදෙස් රටවල් තබා ගන්නවා වන්නට පුළුවන්. ඒ සම්බන්ධ කථිකාවක් තිබිය යුතුයි.

ව්‍යාපාර ආර්ථික විද්‍යා මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ වර්තමානයේ පවතින අර්බුදයට විසඳුම දේශපාලන විසඳුමක් නොවන බවත් නිසි අවබෝධයකින් යුක්තව විදේශ විනිමය මෙරටට ගෙන ආ හැකි ක්‍රමවේද සොයා ගැනීම බවයි.

‘‘එය අප සැමගේම වගකීමක් බව සිහි තබා ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මහබැංකුවේ නිලධාරීන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ සියලු නිලධාරීන් සැබෑ දත්ත පෙන්වා දිය යුතුයි. එහෙම නැතුව එදා වේල හම්බ කරගෙන කනවා වගේ සල්ලි අච්චු ගහන එක නෙමේ කළ යුත්තේ.

මීට කලින් නිසි ලෙසින් කටයුතු කළානම් අපේ සියලු ඩොලර් සංචිත එළියට දාන්න වෙන්නෙ නැහැ. ට්‍රිලියන 1.5කට ව්‍යාපාර බදු ඉවත් කරන්න වෙන්නෙ නැහැ. අසීමිතව සල්ලි අච්චු ගහන්න වෙන්නෙත් නැහැ.

තේ රබර් පොල් අපනයනය වගේ නෙමෙයි. නිමි අපනයනවලින් අපිට ඩොලර් 100ක් ලැබෙනකොට අපෙන් ඩොලර් 80ක් විතර එළියට යනවා. ඒ විදිහට බලපුවහම අපිට ලැබෙන්නෙ ඩොලර් 20ක් වගේ ප්‍රමාණයක්. ඒකත් නිසි ලෙසින් ලැබෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය බහුතරයක් ගේන්නෙ විදේශ රටවලින්. උදාහරණයක් ලෙස ඇඟලුම් අපනයනයෙන් ඩොලර් 100ක් ලැබෙනකොට ඒකට අවශ්‍ය බොත්තම ඉදිකටුව විතරක් නෙමෙයි සමහර විට දැනුම පවා අපට විදේශයෙන් ලබාගන්න වෙලා තියෙන්නෙ. දේශීය නිෂ්පාදන ආර්ථිකයත් කඩිනමින් නැංවිය යුතු වන්නේ ඒ නිසයි.

ඒ වගේම විගමණික ප්‍රජාව අපට මුදල් එවන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ එවන මුදල් අපේ අත්‍යවශ්‍ය සේවාවන්ට, උදාහරණයන් ලෙස ඖෂධ ඉන්ධන ආදියට පමණක් වැය කරන බවට අපෙන් සහතිකයක් තියෙන්න ඕන.‘‘

ඔවුන් මාස 3ක්යනකොට සංචාරකයන් දසදහස් ගණන් එවන සූදානමකින් හිටියෙ. අපි කොහේවත් ආයතනයක කීමට රුසියන් යානාව මෙහේ හිරකරලා ආර්ථිකයට බලපෑමක් ඇති කරා.‘‘

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්නයන් පවසන්නේ මෙරට ආර්ථික අර්බුදය අංශ දෙකකින් පැන නැඟී ඇති බවයි. ඒ අර්බුද දෙක වෙන් වශයෙන් හඳුනාගෙන අවශ්‍ය පරිදි විසඳුම් ලබා දීම කළ යුත බවද ඔහු පෙන්වා දෙයි.

‘‘අපේ රටේ බාහිර ආර්ථික අර්බුදයක් වගේම දේශීය ආර්ථික අර්බුදයක් තියෙනවා. සාමාන්‍යයෙන් රටක ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙ එක අංශයකින්. නමුත් අපේ රටේ අංශ දෙකින්ම අර්බුද පැන නැඟීම නිසා ඇත්තේ ලොකු ගැටලුවක්.

විදේශීය ගනුදෙනු හා සම්බන්ධව කටයුතු කරන ඩොලර් මත යැපෙන බාහිර ආර්ථිකය අපේ ආනයන අපනයන නිසි සීමාවකින් තොරව සිදු කළ නිසා ඇති වූවක්. තේරෙන භාෂාවෙන්ම කියනවානම් අපි එකක් අපනයනය කරනකොට දෙකක් ආනයනය කරනවා. ඒ කියන්නෙ ඩොලර් එකක් රට ඇතුළට එනකොට රටෙන් ඩොලර් දෙකක් අහිමි වනවා වගේ. ඒ වගේම රට ණය ගැනීම් නිසා අවසානයේ ඩොලර් බිලියන 51ක ණය බරක හිරවෙලා.

මේ නිසා අපි ආනයන අපනයන මල්ල යළිත් ලිහා බලන්න ඕන. අත්‍යවශ්‍ය ආනයන පමණක් සිදු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම විගමණික ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 600ක් විතර මාසෙකට ආවා. ඒ ඩොලර් සංඛ්‍යාව ඩොලර් 250ට බැස්සා. ඒක රටකට වෙච්ච ලොකුම හානියක්.

මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ විගමණික ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද ලබා දී ඔවුන් දිරි ගැන්වීමයි. උදාහරණ ලෙසින් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ප්‍රමුඛතාවය, නිවාස ණයක් අඩු පොළියට හෝ පොලී රහිතව ලබා දීම, ඉඩම් ලබා දිමේදී ඒ අයට ප්‍රමුඛතාව ලබා දීම වගේ දේවල් කරන්න අමාරු නැහැ.

මේ කඩිනම් ක්‍රමවේදයෙන් පස්සෙ පුළුවන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන කටයුතු ආරම්භ කරන්න.

ඒ වගේම අපේ රටේ අනෙක් ප්‍රශ්නය තමයි දේශීය ආර්ථික ප්‍රශ්නය. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකයට බරක්. අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වාවත් අඩු කළ යුතුයි. විශ්‍රාම යන අය වෙනුවට පුරප්පාඩු ලෙසින් නැවත බදවා ගැනීම් නැවැත්විය යුතුයි. බහුතර තනතුරු අවශ්‍යම ඒවා නෙමෙයි. හොදම උදාහරණය ලෙස සිපෙට්කො ආයතනය ගන්න. බිලියන ගාණක් පාඩුයි. ඒත් අයි.ඕ.සී. ලාභයි. වෙනස තේරුම් ගන්න අමාරු නැහැනෙ. රාජ්‍ය සේවයේ ඇත්තේ පුරප්පාඩු නෙමෙයි අකාර්යක්ෂමතාවයයි. අකාර්යක්ෂමතාවයටත් විසදුමක් දිය යුතුයි. ඒත් ඒක කඩිනමින් දෙන්න පුළුවන් විසදුමක් නෙමෙයි.‘‘

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්නයන් පැවසුවේද වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට දැන් කළ යුත්තේ රටට ඩොලර් උපයාගත හැකි මාර්ග කඩිනමින් විවෘත කර ගත යුතු බවයි.

‘‘ මේ ආර්ථික අර්බුදයේ විවිධ මූලාශ්‍ර තිබෙන්නට පුළුවන්. ඒ අතර වංචාව, දූෂණය, සොරකම, බදු අඩුකිරීම වැනි විවිධ කරුණු බලපැවත්වූවා වන්නට පුළුවන්. නමුත් දැන් අප ඉදිරියේ ඇත්තේ විදේශ විනිමය අර්බුදයක්. ඒ වෙනුවෙන් අපට ඩොලර් අවශ්‍ය කරනවා. නමුත් අපිට ඩොලර් එන්නෙ නැහැ. 2020 වසරෙන් පසුව අපට ඩොලර් ලබා ගැනීමේ නිසි මාර්ගයක් සකස් වී නැහැ.

ඒ සඳහා විදේශ විනිමය වැඩි කරගත හැකි ආනයන අපනයන වැඩි කරන ආයෝජන අවශ්‍ය වෙනවා. ඒක එක රැයින් කරන්න බැහැ. එම නිසා පළමුව කළ යුත්තේ රටට ඩොලර් ලබා ගැනීමේ කඩිනමින් පණ ගැන්වීමයි. ඒ සඳහා සැවොම පෙළ ගැසිය යුතු වෙනවා

ඉදිරි අවුරුදු 2ක් වන විටවත් රට ආර්ථික තත්ත්වයෙන් ගොඩ යාමට අපි දැන් සිටම කටයුතු කළ යුතුයි. ඒත් අපි තවමත් ප්‍රමාද නැහැ. අපනයන ප්‍රවර්ධනය හා සම්බන්ධ ආයෝජකයන් ගෙන්වා ගත යුතු වෙනවා. සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඒ සඳහා අවශ්‍ය වනවා.

වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සල පෙරේරා පවසන්නේද අප රටේ රුපියල් සම්බන්ධ ප්‍රශ්නයක් සහ ඩොලර් ප්‍රශ්නයක් යනුවෙන් දෙඅංශයකින් ගැටලු මතුව ඇති බවයි.

‘‘දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට අය වැයෙන් බදු ප්‍රතිව්‍යුහගතකරණය හරහා ක්‍රියාදාමයකට පැමිණීමට හැකියාව තියෙනවා. ඒත් ඩොලර් ප්‍රශ්නය වෙනුවෙන් අපිට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම වැනි විදේශ විනිමය මෙරටට ගෙන ආ හැකි කඩිනම් ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. මේ අර්බුදය අපට තවමත් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක තියෙන්නෙ. ඒත් අපි කල් දාන හැම දිනයකින්ම අපිට ආ පස්සට යන්න සිදු වෙනවා. මේ නිසා කිසිදු ලෙසකින් මේ අර්බුදයට විසඳුම් සෙවීම පමා කළ යුතු නැහැ.

මේ වෙලාවෙ පක්ෂ විපක්ෂ කියලා භේදයක් තියෙන්න විදිහක් නැහැ. සියලු දෙනාම එකතු වෙලා කඩිනම් විසඳුමක් සොයා ගත යුතු වෙනවා. නැත්නම් ආපසු අපට අවුරුදු 70ක් ආපස්සට යන්නයි සිද්ධ වෙන්නෙ.

ඒ වගේම මේ වෙලාවෙ ඉන්දියානු රුපියල් ඒකකය අපට භාවිතා කිරීම ගැනත් යෝජනාවක් තියෙනවා. ඒකත් හොඳ ක්‍රමවේදයක්. මොකද ඉන්දියානු ශක්තිමත් මුදල් ඒකකයක් ඉන්දියානු රුපියල මේ වන විට අපේ රුපියල් 4.50ක් පමණ ඉහළට ගිහින්.

මීට පෙර සාක් කලාපයේ පොදු මුදල් ඒකකයක් භාවිතා කරන යෝජනාවක් ආවා. යුරෝපයේ වගේ. ඒත් අපේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ ඒකට විරුද්ධ වුණා. මේ වගේ වෙලාවට තීරණ ගත යුත්තේ මොළයෙන් මිසක් වෙන පටු අදහසින් නෙමෙයි. අද හෝ අපි ඉක්මන් වෙලා ප්‍රායෝගික තලයට ආවෙ නැත්නම් ඉදිරියේදී මීට වඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

වත්මන් අර්බුදය විසඳීමට නම් ආර්ථික විශේෂඥයන්ගේ අදහස් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුය. ඒ වෙනුවෙන් පටු දේශපාලනය හෝ තම මතය ඉස්සර කර ගැනීම නොකළ යුතුය. පළමුව රටේ ආර්ථිකය ගොඩ නංවා ගත යුතුමය.

 

Comments