අහස උසට ඉහළ නඟින දුප්ප­තාගේ හිත­වතා | සිළුමිණ

අහස උසට ඉහළ නඟින දුප්ප­තාගේ හිත­වතා

ත්මන් ඉන්ධන අර්බුධය හමුවේ පාපැදිය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති මෙවන් යුගයක බයිසිකල් පදින අයට 'පැද යන්න ඉඩ' දෙන්න යන පණිවුඩය ජනගත කිරීමෙන් මහජනතාව පාපැදි භාවිතයට දිරිගැන්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ජනමාධ්‍යවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා පැවසීය.

 

පාපැදි භාවිතයේදී රාත්‍රී කාලයේ ප්‍රධාන පහන් දල්වා ගෙන යාම, පිටුපස ප්‍රතිපරාවර්තන පහනක් සවිකර තිබීම, හදිසි අවස්ථාවකදී නවතා තැබීමට, තිරිංගයකින් සමන්විත වීම, මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතු වීම. රාත්‍රී කාලයේ පහසුවෙන් අන් අයට හඳුනාගැනීමට පහසුවන සේ ලා පැහැති වර්ණ ඇඳුමක් හැඳ ගමන් කිරීම, මාර්ග සංඥා පිළිපදිමින් ගමන් කරන්නේ නම් කිසිඳු අනතුරකින් තොරව පාපැදියෙන් ගමන් කළ හැකි බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කීය. විවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් නව වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත පැවසුවේය.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුධය හා ඉන්ධන ගැටලුවට විසඳුමක් වශයෙන් Ride for life සංවිධානය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ජනමාධ්‍ය, ශ්‍රී ලංකා පොලිසිය සහ පාපැදි සම්බන්ධව තිබෙන විවිධ ආයතනවල සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කරන බව කීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තිස්ස ලියනගේ පැවසුවේ ශ්‍රී ලංකාව තුළද පාපැදිය සම්බන්ධයෙන් සුබවාදී ආකල්පමය වෙනසක් ඇවැසි බවකි. පාපැදි අළෙවි කරන ආයතන පිටකොටුව වේල්ල වීදිය, මරදාන, බොරැල්ල, බම්බලපිටිය, වැල්ලවත්ත, පානදුර සිසාරා පැතිර පවතින අතර තොග හා සිල්ලර වෙළඳාම සිදු වේ.

සයිකල් බසාර් හිමිකරු පමුණුගම ජී. වික්ටර් පෙරේරා පවසන්නේ ‘ඉස්සර රුපියල් 20000 විකුණු බයිසිකලයක් දැන් රුපියල් 30000 යි. කොරෝනාවට රට වැහුවට පස්සේ අලෙවිය අඩුවුණා. ඉන්පසු මිල ඉහළ ගියා. දැන් තෙල් ප්‍රශ්න නිසා බොහෝ දෙනෙක් යතුරුපැදි භාවිතයට විරාමයක් තියන්න පාපැදි ගන්න එනවා. ඒත් ඉල්ලුමට සරිලන සැපයීමක් කරන්න අපහසුයි. සමහරු ගණන් අහලා යනවා. ඇතැම් පාපැදි වර්ග අඩුයි. ඩොලර් අර්බුදය නිසා දැන් ගෙන්වන්නේ නැහැ.

රුපියල් 26000 තිබු ස්ටෑන්ඩඩ් බයිසිකල් දැන් රුපියල් 50,000යි. රු. 12000 තිබූ මවුන්ටන් බයිසිකල් දැන් රුපියල් 19000 දැනට මාසෙකට තියන ස්ටොක් එක ඉවර වුණාම නැවත ගෙන්වන්නේ නැහැ. ට්‍රයිසිකල් ලේඩිස් බයිසිකල්වලටත් ඉල්ලුම තියෙනවා. ලොකු බයිසිකල් හුඟක් අය ගන්නවා. බයිසිකල් අමතර කොටසුත් තියෙනවා. ඒත් ලොකු බයිසිකල් හුඟාක් ඉවරවෙලා තියෙන්නේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, කාර්යාලවල වැඩි බිම්වල රාජකාරි කරන අයත් බයිසිකල් ගන්න දැන් ලොකු උනන්දුවක් තියනවා.

බොරැල්ල සයිකල් බසාර්හි නිර්මාතෘ වන්නේ දොන් මාෂල් හෙට්ටිආරච්චිය. කාන්තා පිරිමි හා ළමා බයිසිකල් වර්ග 50 පමණ සංඛ්‍යාවක් එහි තිබූ අතර ඒ අවස්ථාවේදීත් සමාජයේ විවිධ තලවල විවිධ පිරිස් පාපැදි තෝරා බලනු දක්නට ලැබුණි.

ලොරියකින් අලුත්ම පාපැදි බිමට ගන්නා අයුරු දුටු අතර, රීකන්ඩිෂන් පාපැදි ද (භාවිත කරන ලද) එහි ඒ වනවිටත් අළෙවියට තබා තිබුණි. විවිධ මාදිලියේ කාන්තා පිරිමි නව පාපැදි රැසක් රුපියල් 25,000 සිට ලක්ෂ එකහමාර වැනි මුදල්වලටද අළෙවියට තබා තිබුණි. භාවිතයට ගන්නා ලද බයිසිකල් අලුත්වැඩියා කර අළෙවි කිරීමට තිබු අතර, එවැනි සයිකලයක් නම් රුපියල් දහ පහළොස් දාහකට ගත හැකි විය.

පිට කෝට්ටේ පදිංචි නීතිඥ සංජය ගමගේ (60) මෙසේ කීය. ඩීසල්, පෙට්‍රල් මිල අධික වෙනවා මදිවට හිඟයි. ඉන්ධන භාවිතයෙන් දිගටම සිදුවන්නේ පරිසර හානියක්. ඒ නිසා ආර්ථිකයට යහපත් වන බයිසිකලයක් මිලට ගන්න බලන්න ආවේ".

අවුරුදු 17න් පහළ කණිෂ්ඨ ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු මහේෂ් ඒකනායකද පාපැදියක් මිලදී ගැනීම සඳහා පැමිණ සිටි අතර ඔහු සිළුමිණට පැවසුවේ මෙවැන්නක්.

මේ ඉන්ධන ගැටලුව ඔඩුදුවද්දි ප්‍රවාහන ක්ෂේත්‍රයේ බිහිවන නවතම සංස්කෘතිය මෙයයි. රටට සුබාරංචියක් තමයි පාපැදි ගමන් වැඩිවෙනවා කියන්නේ. නමුත් මිල නම් හුඟාක් වැඩියි. කළින් ගෙනාපු බයිසිකල් වැඩි ගානට විකුණනවා. හැම දේම වැඩිවෙන නිසා ඒ රැල්ලට බයිසිකලුත් ගණන් ගිහින්.

අපට එහිදි හමුවූ කෝට්ටේ පදිංචි කමල් කරුණාරත්න, තුෂාරි මායාදුන්නේ පැවසුවේ මෙවැන්නකි. "ඉන්ධන වැඩිවීමක් එක්ක මෝටර් සයිකලයක යන්න බැහැ. ඒ මදිවට බස් ගාස්තුත් වැඩියි. බයිසිකලයක් ගන්න ආවෙ ඒකයි. බයිසිකල්වල ගාණත් එකට එකක් ගණන් ගිහින්".

දරුවකුත් සමඟ පාපැදි තේරීමට පැමිණි ගම්පහ ඉඹුල්ගොඩ මහේෂ ඒකනායක (45) ද අදහස් දැක්වුයේ මෙහෙමයි.

පෙට්‍රල් ප්‍රශ්නය දැන් ලොකුවටම බලපාලා ගමන් වියදම් හරි ඉහළයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ළඟ ළඟ වැඩ ටිකවත් කරගන්න යන්න එන්න බයිසිකලයක් ගන්න ආවේ. ඒත් පුදුම විදිහට ගණන්, ඉස්සර 20000 විතර තිබුණු සයිකලයක් දැන් තිස් හතළිස් දාහක් වෙනවා. රීකන්ඩිෂන් බයිසිකලුත් පහළොස්දාහක් විතර වෙලා. ඔවුන්ද සයිකල් මිලට ගන්නේ පිටකොටුවේ තොග කඩවලිනි. එහෙත් දැන් නම් සිතැඟි පරිදි සයිකල් තෝරා ගැනීමට විවිධ මෝස්තර නොමැති තරම්ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැඩි ඉල්ලුමක් ඇත්තේ ස්ටෑන්ඩර්ඩ් සයිකල්වලට බවත් පාපැදිවලට අගනුවර කාන්තාවන්ගේ ඉල්ලුම අඩු වුණත් අගනුවර, වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල වැඩිපුර සයිකල් පදින්නේ ගැහැනු බවත් එක් කඩ හිමියකු කීය.

සමහර මහා පරිමාණ බයිසිකල් කඩවල පාපැදි ඉල්ලුමට සරිලන සේ සැපයුමක් කළ නොහැකිවී ඇති නිසා වසා දමන්නට සූදානම් වන බව දැනගන්නට ලැබුණි.

පිටකොටුව ඩෑම් ස්ට්‍රීට් හි ජෙනරල් සයිකල් ස්ටෝර්ස්හි අළෙවිකරු මොහොමඩ් අස්වාර් (55) සිළුමිණට මෙසේ කීය.

"මෙහෙ තොග හා සිල්ලර කඩ 15 -20 පමණ තියනවා ලොකු මවුන්ටන් සයිකලයක් රුපියල් 29,000 සිට 35,000 දක්වා මිලක් වෙනවා. රුපියල් 6000 න් මිල ඉහළ ගිහින් දවසකට සයිකල් 5 ක් විතර විකිණෙනවා. ඩොලර් නැති නිසා ගෙන්වීම නවත්වලා පිටපළාත්වල අය ජපානයෙනුත් පාවිච්චි කළ පාපැදි ගෙන්වනවා. කොළඹ වැඩිපුර තියෙන්නේ චීන හා ඉන්දියාවෙන් ගෙන්නපුවා." සෙන්ට්‍රල් සයිකල්හි මොහොමඩ් ඉයාල් (47) කීවේද මිල වැඩිවු නිසා අළෙවිය අඩු බවයි. ඉල්ලුමක් තිබෙන මුත් මිල වැඩිවීම නිසා සමහරුන්ට මිලට ගැනීමට නොහැකි බවයි. එසේම දුප්පතාගේ හිතවතා වූ බයිසිකලයේත් මිල වැඩිවීම නිසා ජනතාව කබලෙන් ලිපට වැටෙන බවකි.


 

 

Comments