
තව දින කිහිපයක් යනතුරු තෙල් අර්බුදය පවතින නිසා රථවාහන පෝලිම් රට පුරා තවදුරටත් දක්නට ලැබේ. මෙම පෝලිම්වලට ටෝකන් ලබා දුන්නද ටෝකන් ලබාගත් රථවාහනත් තෙල් පෝලිම්වල දිගටම සිටින්නේ කොයි වෙලාවක හෝ තෙල් ලැබේවි යන අරමුණෙනි. සීමිත ප්‍රමාණයකට පමණක් තෙල් නිකුත් කිරීම තවමත් සිදුකෙරේ.
ජාත්‍යන්තර දූත පිරිස ජනපතිට කිව්වේ මොනවාද?
මොනතරම් අභියෝග තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුපුරුදු පරිදි ඔහුගේ වැඩ කටයුතුවල යෙදී සිටියේය. අරගලකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, හිරුණිකා වැනි කාන්තාවන් සහ විපක්ෂයේ විවිධ පක්ෂ මොනතරම් උද්ඝෝෂණ කළත් ජනාධිපතිවරයා තම නිල කාර්ය කටයුතු කිසිවක් අතපසු කළේ නැත.
පසුගිය සතියේ ලංකාවට පැමිණි ඇමෙරිකානු ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයන් පිරිස ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියේ 27 වැනි සඳුදාය. නියෝජිතයන් හය දෙනෙකුගෙන් යුත් දූත පිරිස එදින පෙරවරු 10:00 වන විට ජනාධිපති මන්දිරයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා එහිදී මුලින්ම අපේ රටේ ආර්ථික තත්ත්වය හා පසුගිය දිනවල රටක් ලෙස අප මුහුණ දුන් අභියෝග ගැන හොඳ පැහැදිලි කිරීමක් කළේය.
"මේ වගේ අවස්ථාවල රටවල්වලට උදව් කරන්න අපටත් ක්‍රමවේදයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා තමයි අපේ උදව් එන්නේ. ඒ හැරුණාම මානුෂීය ආධාර අවශ්‍යතා පරිදි ලබා දෙන්න අපිට හැකියාව තියනවා. දැනටමත් ඒවා ලබාදීම අපි ආරම්භ කරලා..." නියෝජිතයන් කීහ.
කෙසේ වෙතත් මේ සාකච්ඡාව ඉතා සාර්ථක එකක් විය. ලංකාවේ වර්තමාන තත්ත්වය හා අභියෝග පිළිබඳ ඔවුන් හොඳ අවබෝධයක සිටින බව පැහැදිලි විය.
ඇමරිකානු නියෝජිත හමුව අවසන් වූයේ 11.40ට පමණය. ඉන් අනතුරුව 11.45 ට තවත් ඉතා වැදගත් සාකච්ඡාවක් ආරම්භ විය. මේ සඳහා සහභාගි වී සිටියේ කාලාන්තරයක් තිස්සේ ලංකාවට දිගින් දිගටම ඉන්ධන හා ගෑස් ගෙන්වා ලබා දෙන සැපයුම්කාර සමාගම්වල දේශිය නියෝජිතයන් පිරිසකි. විටොල් ඒසියා, බී බී energy, ස්වීස් singapore, ලිටාස්කෝ, OQ trading, පෙට්රෝ asia, coral energy ඇතුළු සමාගම් ගණනාවක නියෝජිතයෝ මේ සඳහා පැමිණ සිටියහ. රජය මොවුන් සඳහා ගෙවීම් නතර කර තිබූ බැවින් මේ වන විට ඔවුන් තෙල් සැපයීමෙන් බැහැර වී සිටි.
මෙවර මෙම රැස්වීම කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබුණේ නැවත එම සමාගම මඟින් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව කෙසේද කියා විමසා බැලීමටය. මැදපෙරදිග, චීනය, රුසියාව සහ සිංගප්පූරුව යන රටවල් සමඟ කෙළින්ම ගනුදෙනු කරන සමාගම් රාශියක් මේ අතර වූහ. පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා ඩොලර් මිලියන 654කට වැඩි මුදලක් ඔවුන් වෙනුවෙන් ගෙවීම් නතර කර දමා ඇති බවත් සමහර සමාගම් ඒ වෙනුවෙන් නඩු මගට බැස ඇති බවත් කංචන පැහැදිලි කළේය.
ජනාධිපතිවරයා විමසා සිටියේ නැවත එම තෙල් සැපයීම් සක්‍රීය කිරීම සඳහා ගත යුතු පියවර මොනවාද කියාය. විශ්වසනීය ලෙස ගිවිසුම්ගතව ගනුදෙනු ආරම්භ කරන්නේනම්, හිඟ මුදල් ගෙවීම් පිළිබඳ විශ්වාසයක් ඇති වන්නේනම් නැවත එම කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡා කළ හැකි බව නියෝජිතයින් වැඩි දෙනකුගේ අදහස විය. මෙම සාකච්ඡාවට තෙල් සංස්ථාවේ ඉහළ නියෝජිතයින්, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් මෙන්ම රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් ද පැමිණ සිටියහ.
"කිසිම හේතුවක් නැතුව අපිව අත්හැර දැමුවා. සම්බන්ධතා තියාගත්තෙ නෑ. ඒකයි මේ ගැටලුව මෙච්චර දුරදිග ගියේ,"නියෝජිත සමාගම් පෙන්වා දුන්හ. එක් සමාගමක් ඉන්ධන නැව් අටක් ගෙනෙන්නට ගිවිසුම් ගත වුවත් එම සමාගමෙන් ලබාගෙන ඇත්තේ එක නැවක් පමණි. ගිවිසුම් පැහැර හැරීම පිළිබඳවද නඩුවක් විය.
"මේ සමාගම්වලට අපි ගෙවන්න ඕන නම් ඒවා ඉවර කරන්න ඕනනේ. ඊළඟට මේ තියෙන ගිවිසුම් අලුත් කරගන්න. නැවත තෙල් ගෙන්වීම පෙර පරිදි පටන් ගන්න." ජනාධිපතිවරයා කීවේය.
රුසියාවෙන් තෙල් ලබාගන්න ජනපතිගෙන් උපදෙස්
රුසියාවෙන් තෙල් ගෙන්වා සපයන සමාගමක් අපට තෙල් ලබා දී තිබුණේ ඉතාමත්ම ලාබදායී මිලකටය. තෙල් නැව් අටකට ගිවිසුම්ගතව එක් නැවක් පමණක් ලබාගෙන තිබුණේ එම සමාගමෙන්ය. නැවත එම සමාගම හා ගිවිසුම්ගතව තෙල් ලබා ගැනීම ආරම්භ කරන මෙන් ජනාධිපතිවරයා තෙල් සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
මෙම සමාගම්වලට කළ යුතු ගෙවීම් කර නැවත ඔවුන් හා ගනුදෙනු ආරම්භ කරන්නැයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට හා මහ භාණ්ඩාගාරයට උපදෙස් දුන්නත් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණේ සතුටුදායක නොවූ උත්තරයකි.
"පොඩි පොඩි ගණන්වලට නම් ගෙවන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. ඒත් ලොකු ගණන් තියන එකයි ප්‍රශ්නේ"
ඉන්ධන සඳහා රනිල්ගේ මෙහෙයුම
“ඔබට එක ප්‍රශ්නයක් අවසන් වන විට තව ප්‍රශ්නයක්. අර්බුදයේ අගමැති ලෙස ඔබ ඔබවම හඳුන්වා ගැනීම නිවැරදියි. අර්බුදයෙන් ගොඩ එන්න අපි සහාය දෙනවා.“ මේ ඉකුත් සතියේ අගමැති කාර්යාලයේදි විදෙස් තානාපති නිලධාරියෙක් රනිල් වික්‍රමසිංහ හමුවේ දැක්වූ අදහසකි.
රනිල් අගමැති ධූරය බාර ගෙන තවම මාස දෙකක්වත් ගතවී නැත. එහෙත් ඉන්ධන අර්බුදය හමුවේ විපක්ෂ කණ්ඩායම් ඔහුට ද චෝදනා එල්ල කරයි. නමුත් ඔහු දිගින් දිගටම උත්සාහ ගන්නේ පවතින අර්බුදයෙන් ජනතාව ගලවා ගැනීමටය. ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් මුදල් සොයා දීමෙන් පසුව එය නිසි ලෙස ඉටුවෙතැයි සිතුව ද එය ඉටු වූවේ නැත.
එම නිසා අගමැති රනිල් වහාම සාගල රත්නායක කැඳවා ප්‍රශ්නයට විසඳුම් සොයන්නට පටන් ගත්තේය. එහෙත් රටේ ආර්ථිකයේ පවතින ගැටලු සහගත තත්ත්වයත් සමඟ විසඳුම් සෙවීම ලෙහෙසි පහසු වූවේ නැත. බංකොලොත් රාජ්‍යයක් වීම තුළ තෙල් ආනයනය වෙනුවෙන් කිසිදු රටක් හෝ බැංකුවක් ලංකාව වෙනුවෙන් ඇප වන්නේ නැත.
අර්බුදය හමුවේ අගමැතිවරයා වහාම ඉන්දීය රජයේ ප්‍රධානීන් හා සාකච්ඡා ගණනාවක් පැවැත්වූවේ කඩිනමින් ඉන්ධන ලබාගත හැකි ස්ථානය ඉන්දියාව වූ බැවිනි. එරටින් ධනාත්මක ප්‍රතිචාරයක් ඒ වෙනුවෙන් ලැබිණි. එහෙත් ඛනිජ තෙල් සම්බන්ධයෙන් ලෝකයේම බරපතළ අර්බුදයක් පවතින බැවින් නෞකාවක් සොයා ගැනීමේ අර්බුදයක්ද මේ වන විට පැන නැඟී තිබේ.
සජබ විරෝධය ගැන රනිල්ගේ මතය
ඉන්ධන ගැටලුව වෙනුවෙන් රැයක් දවාලක් නැතුව වෙහෙසෙන අගමැති රනිල් ඉකුත් සඳුදා සිය කාර්යාලය වෙත පැමිණියේ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකුට දුන් හමුවීම්වලට සහභාගීවීමටය. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගමැති රනිල් හමුවී රටේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවන බව දැනුම් දුන්නේය.
එළැඹෙන 2 වැනිදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උදේ 10ට “රනිල් ගෝඨා ආණ්ඩුව පන්නමු” යනුවෙන් දියත් කිරීමට සූදානම් වන උද්ඝෝෂණ ව්‍යාපාරය ගැනද මෙහිදී සාකච්ඡා වී ඇත. මෙහිදී රනිල් පවසා ඇත්තේ සජබෙන් කරන කිසිදු උද්ඝෝෂණයක් ගණන් නොගෙන සිටින ලෙසයි. සජබේ උද්ඝෝෂණ නිකම්ම දියාරුවී යන බවත් ඒ නිසා ඒවාට ප්‍රතිචාර දක්වා වටිනාකමක් ලබා නොදෙන ලෙසත් රනිල් මෙහිදී උපදෙස් දී තිබේ. මේ අතර සජබේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සජබේ හිටපු ප්‍රබලයෙක් පවසා ඇත්තේ සජබේ මේ කරන්න යන වැඩේ විහිළුවක් බවයි.
“මේ හාදයන්ට තේරෙන්නේ නෑනේ මේ ලංකාවේ මිනිස්සුන්ට දැන් තියෙන මානසිකත්වය මොකක්ද කියලා. මිනිස්සු මේ වෙලාවේ සර්වයිවල් එකට ෆයිට් කරන වෙලාවේ විරෝධාකල්ප ගොඩනඟන්න වෙලාවක් නෑ. විරෝධයක් පාන්න ඕන නම් වෙන විදිහකට නිර්මාණාත්මක විදිහට කරනවා මිසක් මේ පරණ විදිහට මිනිස්සුන්ව පාරට ගේන්න බැහැ. මිනිස්සු එන්නේ නෑ. එයි කීප දෙනෙක්.
දැන් අනුරට මාස 06ක් දීලා කරන්න පුළුවන්ද? සජිත්ට අවුරුදු 5කට දීලා කරන්න පුළුවන්ද? මේ සංතෑසියම නේ තියෙන්නේ. ”
අගමැතිතුමාගේ වාහනත් තෙල් පෝලිමේ
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහනද තෙල් පෝලිමේ සිටීමේ පුවතක් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 4ක් පසුගියදා ඉන්ධන ලබාගෙන ඇත්තේ තෙල් පෝලිමේ සිටයි.
මෙම වාහනවලට ටෝකන් පත්‍ර තිබියදීත් පෝලිමේ සිටීමට සිදුව තිබුණේ ඒ වනතුරු එම ඉන්ධන පිරවුම්හලට තෙල් නොලැබී තිබූ නිසාය. උදෑසන 8.00 ට පමණ ටෝකන් සහිතව එම වාහන තෙල් පෝලිමට එක්වී තිබූ අතර අග්‍රාමාත්‍යවරයාගේ වාහනවලට තෙල් ලබා ගන්නා විට රාත්‍රී 10.00ත් පසුවී තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් සමුගත්තද හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පෙරටත් වඩා කාර්ය බහුල වී සිටී. මේ දිනවල බත්තමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයේ සාකච්ජා වාර රැසක් සිදුවෙමින් පවතී.
මීට අමතරව පොහොට්ටුවට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ද කැඳවා බැසිල් රාජපක්ෂ දිගින් දිගටම කතාබහ කළේ රටේ පවතින බලශක්ති අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු පවතින විවිධ ගැටලුවලට කඩිනමින් කෙටි කාලීන හා දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සම්බන්ධයෙනි.
“ඕනෑම මැතිවරණයකට අපි සූදානමින් සිටිය යුතුයි. රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය පොහොට්ටුවයි. ඕනෑම අවස්ථාවක දුෂ්කර කාල පරිච්ජේද එන්න පුළුවන්. ඒ හැම එකකටම ශක්තිමත්ව මුහුණදීමට අපි අදිටන් කර ගත යුතුයි” යනුවෙන් බැසිල් රාජපක්ෂ මෙම රැස්වීම්වලදී ප්‍රකාශ කර තිබේ.
මහින්ද සුපුරුදු සුවෙන්
මේ අතර පස්වැනි විධායක ජනාධිපති, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හදිසියේ අසනීප වූ බවට ප්‍රචාර පසුගිය 30 වැනිදා උදෑසන 9.30 සිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් තිබිණි.
උදෑසන 10.00 සිට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජංගම දුරකථනයටත්, ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහගේ ජංගම දුරකථනයට ඉස්පාසුවක් නොවුයේ දිගින් දිගටම ලැබුණු දුරකථන ඇමතුම් හේතුවෙනි. 30 වැනිදා රාත්‍රී 9.30 පමණ වනතුරු දිගින් දිගටම ලැබුණු දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සැපදුක පිළිබඳවයි.
මේ අතර මෙරට ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක්ද දුරකථන ඇමතුමක් ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සැපදුක් විමසා තිබුණි.
“අවසර හාමුදුරුවනේ, මේ දවස්වල හමුවීම් කිහිපයකට සහභාගී වුණා. රුසියාව ඇතුළු රටවල් කිහිපයකම තානාපතිවරුන් මං හම්බවෙන්න ආවා. මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය සහාය ලබාදෙන්න කියලා මං ඉල්ලා සිටියා. ඔවුන‍්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් මා හමුවෙන්න ඇවිල්ලා සාකච්ජා කරනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර විශේෂ හමුවක් පසුගියදා ඇමරිකාවේ ධවල මන්දිරයේදී පැවැත්විණි. මෙම හමුව සිදුවූයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදීය.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී මහින්ද සමරසිංහ විසින් ඇමරිකානු ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත. මහින්ද සමරසිංහ ඇමරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිධුරයට අමතරව මෙක්සිකෝවේ සහ ට්‍රිනිඩෑඩ් ටුබෑගෝ රටවලද ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි.
සුමනදාස වෙනුවෙන් සාදයක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැත්තෑවෙනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදාටය. හැත්තෑවැනි උපන්දිනය පමණක් නොව හතළිස් වැනි විවාහ සංවත්සරයද එදිනට යෙදී තිබීම විශේෂත්වයක් විය.
සුමනදාස අබේගුණවර්ධනගේ උපන්දිනය වෙනුවෙන් චාම් උපන්දින සාදයක් සංවිධානය කළ යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ ව්‍යාපාරික හිතවතුන්ය. ග්‍රෑන්ඩ් මොනෑච් හෝටලයේදී උපන්දින උත්සවය සංවිධානය කෙරිණි. ඔහුගේ සමීපතම හිතවතුන්ට උත්සවයට ආරාධනා කර තිබුණි.
සුමනදාස අබේගුණවර්ධන සමඟ සමීපව සිටින, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලඥයින් කිහිපදෙනෙක්ම එහි පැමිණ සිටියහ. ඇමැති මනුෂ නානායක්කාර, හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, හිටපු මහ ඇමැති ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු ඇමැති පියසේන ගමගේ ඒ අතර වූහ.
“සුමනදාස මහත්තයා සත පහක්වත් හොරකම් කරපු කෙනෙක් නෙමෙයිනේ. එහෙම හොරකම් කළානම් අද මෙහෙම ඉන්න හම්බවෙන්නේ නැනේ”මනුෂ නානායක්කාර ඇමැතිවරයා කීවේය.
“ඒකනම් ඇත්ත. අපි විපක්ෂයේ හිටියත් සුමනදාස මහත්තයට එක චෝදනාවක්වත් කරන්න බැරිවුණේ ඒ නිසා තමයි” තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මනුෂගේ කතාව තහවුරු කළේය.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැමිණියේ සිය බිරිය සුජාතා සේනාරත්න සමඟය. රාජිත එනතුරු උපන්දින කේක් ගෙඩිය කැපීමද සුමනදාස මහතා ප්‍රමාද කර තිබුණේය.
“අපි ඉතිං අද ඊයේ දන්න මිනිස්සු නෙමෙයිනේ”රාජිත සුමනදාසට සුබපතමින් කීවේය.
මනුෂගේ දඩබ්බර තීන්දුව
මේ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයාගේ දේශපාලන තීන්දු ගැනද කතාබහට ලක්විය.
“සාමාන්‍යයෙන් මම දේශපාලන තීන්දු ගන්නකොට සුමනදාස මහත්තයා එක්ක කතා කරනවා. ඒත් මේපාර තීන්දුව ගන්නකොට මම සුමනදාස මහත්තයා එක්ක කතා කළේ නෑ. මේක මගේ තනි, හිතුවක්කාර දඩබ්බර තීරණයක්. මම සුමනදාස මහත්තයාගෙන් එකම එක දෙයයි ඉල්ල ගත්තේ. ඒ දිවුරුම් දෙන්න නැකැතක් විතරයි”මනුෂ කීවේය.
ඒ අතර එතැනට පැමිණියේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාය.
“මෙතුමා ඉතින් අපේ ගම් පළාතේ මගේ ඥාතියානේ”සුමනදාස කීවේය.
“මෙතුමාගේ තාත්තා නොකඩවා අවුරුදු තිස් හයක් මොරවක්කෝරලයේ ගම් සභාපති. ඊට පස්සේ අපේ තාත්තා තමයි ගම් සභාපති වුණේ. සුමනදාස මහත්තයා නෑකමට මගේ බාප්පා. ඉතින් අවුරුදු හතළිහක් අපේ බාප්පත් එක්ක පුංචිඅම්මා පවුල් කෑවා කියන එකත් ඉතින් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි”වීරසුමන වීරසිංහ කීවේ කවුරුත් සිනා ගන්වමිනි.
සනත්ගේ යෝජනාව
ඒ අතර එතැනට පැමිණි ප්‍රවීණ නළු සනත් ගුණතිලක රටේ තත්ත්වය ගැනත් කතා කරන්න වූයේ මනුෂ ඇමැතිවරයාට යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කරමිනි.
“දැන් ලංකාවේ ලස්සන තැන් ලෝකයට අරගෙන යන්න පුළුවන් වැඩසටහනක් තියෙනවා. ජාත්‍යන්තර චිත්‍රපටිවලට ලංකාවේ පසුබිම් අරගන්න පුළුවන්. මමත් මැදිහත්වෙලා ආරුගම්බේ පසුබිම් කරගෙන චිත්‍රපටයක් මෙහේ රූගත කළා. ඒ වගේ චිත්‍රපටිවලට පිරිස ලංකාවට ගේන්න පුළුවන් නම් රටට ඩොලර් එනවා. ඒ වගේම ඔය දර්ශන දකින සංචාරකයින් ලංකාවට එනවා. එයිනුත් රටට අවශ්‍ය ඩොලර් උපයාගන්න පුළුවන්”සනත් ගුණතිලක කීවේය.
“අයියාට ජාත්‍යන්තරවත් චිත්‍රපටි ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවානේ. සම්බන්ධතා තියෙනවානේ. අයියා මැදිහත්වෙලා ඒ අය ලංකාවට ගෙන්වීමට කටයුතු කරන්න. අපි ලබාදිය යුතු උපරිම සහාය ලබා දෙන්නම්” මනුෂ සහතිකයක් දුන්නේය.
උපන්දින සාදයට අතරවාරයේදී සංගීත සාදයක්ද සංවිධානය කර තිබුණි. ලතා වල්පොල සහ සුමිත් වල්පොල ගී ගයමින් සාදය රසවත් කළේය. ඒ අතර කාගේත් අවධානය ලබාගත්තේ කුඩා දරුවෙකි. ඒ සුමනදාසගේ මුනුපුරු ලක්දිනු දන්නන්ගොඩ පුතුන්ය. ඔහු තමන්ගේ සීයා සහ ආච්චි වෙනුවෙන් වයලින් වාදනයක් ඉදිරිපත් කරන විට තබ්ලාව වාදනය කළේ සුනෙත් වල්පොලය.
අරගලකරුවන් සමඟ හෝටලයකට ගියේ කවුද?
පසුගිය 29 වැනිදා පස්වරු 4.00ට කොල්ලුපිටියේ ජානකී හෝටලයේදී පළමු වතාවට අරගලකරුවන් හා පාර්ලිමේන්තු නියෝජිතයින් අතර සාකච්ජාවක් පැවැත්විණි. මෙම සාකච්ජාව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න විසින් සංවිධානය කර තිබූ අතර මීට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වී සිටියේය. රවුෆ් හකීම් විදේශගත වී ඇති බැවින් ඔහු මීට සහභාගී නොවූ අතර, කුමාර වෙල්ගමද සහභාගී වූයේ නැත. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂවලින්ද නියෝජනයක් නොතිබුණු අතර පක්ෂ 11 සන්ධානයට අරගලකරුවන්ගේ ඉල්ලීම මත ආරාධනා කර නොතිබීමද විශේෂත්වයක් විය.
සමස්ත අගලකරුවන් නියෝජනය කරමින් 25 දෙනෙකු පමණ මෙම සාකච්ජාවට සහභාගී වී සිටි අතර, ඊයේ පස්වරුවේ පිටකොටුවේ රැස්වීමක් පැවැත්වූ කණ්ඩායමට මීට එක්වීමට නොහැකි විය.
නමුත් ඔවුන්ගෙන් පිරිසක් ද එම රැස්වීම අවසානයේ දී මෙම හමුවට පැමිණ ඇත. සාකච්ජාව බොහොම තීව්‍ර මුහුණුවරකින් පැවැත්වී ඇති අතර මෙහිදී අරගලකරුවන් ගැන පාර්ලිමේන්තු නියෝජිතයන් සිතන හැටිත් පාර්ලිමේන්තු නියෝජිතයන් ගැන අරගලකරුවන් සිටින ආකාරයත් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ජා වී ඇත. සාකච්ජාව අවසානයේ දී අරගලකරුවන් මේ අරගලය ගැන අවසාන වාර්තාවක් ඉදිරි දින දෙක තුන පිළියෙල කිරීමට කටයුතු කරන බව පවසා ඇත.
මෙම සාකච්ජාවට පැමිණි රතන හිමි විනාඩි 10ක්වත් එහි රැඳී නොසිට පිටව ගොස් ඇත. හමුව සංවිධානය කළ රාජිත සේනාරත්නගෙන් අරගලකරුවන් මුලදීම කර තිබුණු ඉල්ලීමක් වන්නේ මීට පක්ෂ 11 නියෝජිතයන් කිසිසේත්ම සම්බන්ධ කර නොගන්නා ලෙසයි.
නමුත් හිටි හැටියේ රතන හිමි එම ස්ථානයට වැඩම කිරීමත් සමඟම අරගලකරුවන් අතර නොසන්සුන්තාවක් ඇති වී තිබේ. අවසානයේදී රතන හිමිටම මේ බව වැටහී උන්වහන්සේ රාජිත හමුවී පවසා ඇත්තේ උන්වහන්සේට ගාලු අරගලකරුවන් යැයි කියන පිරිසක් මීට සහභාගී වන ලෙස ආරාධනා කළ බවයි. එවිට රාජිත රතන හිමිට පවසා ඇත්තේ “මම නම් දන්නේ නෑ හාමුදුරුවනේ එහෙම එකක්. මේ අය මට කිව්වා ඔබ වහන්සේලාගේ සන්ධානෙට ආරාධනා කරන්න එපා කියලා. ඉතින් ඒ අය එක්ක කතා කරලා තමයි මේක කරලා තියෙන්නේ.” යනුවෙන් එවිට රතන හිමියන් "ඔව්... මට තේරෙනවා, මට තේරෙනවා මෙතන ඉන්න එක හරි නෑ” යනුවෙන් රාජිතට පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බුදය සමඟ ආණ්ඩු බලය කඩිනමින් ලබා ගැනීමේ මෙහෙයුම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරම්භ කර ඇත. සජිත්ගේ උපදෙස් පරිදි සමඟි ජන බලවේගය කොටුව ජනාධිපති මන්දිරය වැටලීමට සහ විරෝධතා පැවැත්වීමට සැලසුම් කරයි. මේ අතර අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනතා විමුක්ති පෙරමුණ එකම දිනයක එකම වේලාවක මුළු රටේම වැඩ නවත්වා ජනතාව පාරට බැස්සවීමට සැලසුම් කරයි. එසේ කරන දිනය ගැන තවම අනුර කුමාර දිසානායක විසින් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.
රනිල්ගේ දැඩි වෙහෙස ගැන වජිර කතා කරයි
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා ගාල්ලේ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු මෙන්ම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී අදහස් හුවමාරු වූ අතර දිස්ත්‍රික්කයේ සියලු ක්‍රියාකාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් පැවත්වීමට තමා සැලසුම්කර තිබෙන බව එහිදී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
වර්තමානයේ රට මුහුණෙපා ඇති ගැටලුවලින් මුදා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ ක්‍රියාවට නංවා තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධව තම දැනගැනීම පිණිස කෙටි පැහැදිලි කිරීමක් කරන ලෙස එහිදී ක්‍රියාකාරීහූ කිහිපදෙනෙක් වජිරගෙන් ඉල්ලා සිටියහ.
රටත් ජනතාවත් පත්ව තිබෙන විපතින් ගොඩගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරය බාර ගැනීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල වැඩ කොටසක් ආරම්භ කර තිබෙන බව ක්‍රියාකාරීන්ගේ පැනයට කෙටි පිළිතුරක් ලබාදෙමින් වජිර ඒ පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකට යොමු විය.