හම්බු කර­න­වට වැඩිය විය­දම් කරන මධුවිතේ කතාව | සිළුමිණ

හම්බු කර­න­වට වැඩිය විය­දම් කරන මධුවිතේ කතාව

 

ජය පසුගිය 31 වැනිදා නිවේදනය කළ බදු සංශෝධනයන්ට අදාළව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. මෙම බදු සංශෝධන මඟින් පමණක් මේ වසර තුළ උපයා ගැනීමට අපේක්ෂිත අමතර ආදායම රුපියල් බිලියන 94 කි. වැට් බද්ද වැඩිවීම සහ අමුද්‍රව්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මත්පැන් බෝතලයක් රුපියල් 520 කින්ද 1/4 බෝතලයක් රුපියල් 130කින්ද මේවනවිට වැඩිවී තිබේ. ඒ අනුව ගල් අරක්කු බෝතලයක් රුපියල් 2600 වන අතර 1/4 රුපියල් 680 වේ. බියර් ලොකු බෝතල් සහ කෑන් රුපියල් 30 කින්ද, පොඩි කෑන් රුපියල් 20 කින්ද වැඩිවී ඇති බව නිෂ්පාදකයෝ පවසයි. මෙම සංශෝධන සමඟ බලපෑ හැකි වෙනස්කම් හා ප්‍රතිවිපාක පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයින්ගෙන් සිළුමිණ විමසීමක් කළෙමු.

වමේ සිට -  සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ සහ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මූල්‍ය හා පරිපාලන සම්පත් ද සේරම්

 

උක්ත කරුණ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමේදී නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය අධ්‍යක්ෂ කපිල කුමාරසිංහ ප්‍රකාශ කර සිටියේ “මේ අවස්ථාවේ සිදුව තිබෙන්නේ සුරාබදු පැනවීමක් නොව වෙළෙඳ බද්දක් ලෙස වැට්බදු සංශෝධනය කිරීමක් බවයි. පෙර සියයට අටේ පැවති බද්ද සියය දක්වා වැඩි කර ඇති බවත්; ඒ අනුව මත්පැන් හා සිගරට් නිෂ්පාදන පිරිවැයට එකතුවන වැඩි වැය තමන් කැමති ප්‍රමාණයකින් පාරිභෝගිකයා මත පටවන්නට නිෂ්පාදකයින්ට හැකියාව ලැබී ඇති බවයි. මත්පැන් හෝ දුම්වැටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවන නිසා එසේ මිල වැඩි කිරීම සඳහා ඔවුන්ට පූර්ව අවසරයක් ලබා ගැනීමට ද අවශ්‍ය නොවන බවයි. රටේ සියලු භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවක මේ මිල සංශෝධනය සමඟ මද්‍යසාර භාවිතය කවරාකාරයේ වෙනසකට ලක්වේද යන්න නිශ්චිත ලෙස පුරෝකථනය කළ නොහැකි වුවත් යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදු විය හැකි බව” හෙතෙම පෙන්වාදෙයි.

සුරාබදු දෙපාර්තමේන්තු දත්ත අනුව පසුගිය වසරේ පමණක් මද්‍යසාර අඩංගු මත්පැන් ගණයට වැටෙන බියර් ලීටර් මිලියන 134ක්ද, වයින් ලීටර් මිලියන 182ක්ද, විස්කි, බ්‍රැන්ඩි, ජින්, රම්, වොඩ්කා ආදි විදේශ මත්පැන් ලීටර් මිලියන 7.2ක්ද අරක්කු ලීටර් මිලියන 71.4ක් සහ රා ලීටර් මිලියන 18ක්ද නිෂ්පාදනය කර ඇත. රටේ දෙකෝටි විසිපන් ලක්ෂයක් පමණ වන ජනගහනයෙන් තිස්ලක්ෂයකට අධික පිරිසක් පානය කර ඇති මත්පැන් ප්‍රමාණය ලීටර මිලියන 482.6 කි. මත්පැන් නිෂ්පාදනයෙන් පසුගිය වසරේ ලැබී ඇති සුරාබදු ආදායම පමණක් රුපියල් බිලියන 120ක් හෙවත් රුපියල් කෝටි දොළොස් දහසකට ආසන්න බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පෙන්වාදෙයි.

සාමාන්‍ය සියයට තිස්තුන(33%)ක මධ්‍යසාර අඩංගු බෝතලයක ඇල්කොහොල්වලට පමණක් ලීටරයකට බද්ද රුපියල් 3800කි. ඒ විශේෂ මත්පැන් හෙවත් එදිනෙදා මිනිසුන් බහුලව පානය කරන මත්පැන් සඳහාය. ඊට අමතරව පොල්, තල් සහ පදම් කළ මත්පැන් සඳහා අය කරන බද්ද ලීටරයකට රුපියල් 4050කි. විදේශ මත්පැන්වල ඊට ඉහළය. මිලිලීටර් 750ක මත්පැන් බෝතලයක සියයට තිස්තුනක (33%) ප්‍රතිශතයක් මද්‍යසාර තිබෙන බව සඳහන් වීමෙන් සැලැකෙන්නෙ එම බෝතලයේ මිලිලීටර් 247ක පමණ ප්‍රමාණයක් ඇල්කොහොල් ඇති බවයි. ඒ අනුව ලීටරයකට රුපියල් 3800ක් නම් මිලිලීටර් දෙසිය හතළිස් හතකට රුපියල් 950.00 ක පමණ බද්දක් ඇල්කොහොල්වලට පමණක් අය කෙරේ. ඊට අමතරව වෙළෙඳ බදු, වැට් ඇතුළු සෙසු බදු ද එක් වූ විට මිලිලීටර් 750ක සාමාන්‍ය මත්පැන් බෝතලයකින් අය කරන බද්ද රුපියල් 1000ට වැඩි වේ.

එසේ වුවත් රජයට සුරාබදුවලින් විශාල ආදායමක් ලැබෙනවා යන්න මිථ්‍යාවකි. මද්‍යසාර භාවිතය පමණක් සලකා බැලීමේදී සාමාන්‍යයෙන් දිනකට ලැබෙන සුරාබදු ආදායම රුපියල් මිලියන 288ක් පමණ වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව 2015දී කළ සමීක්ෂණය අනුව දිනකට මද්‍යසාර සඳහා වියදම් කරන මුදල රුපියල් මිලියන 366කි. ඒ අනුව පෙනී යන්නේ ආදායම මිලියන 288ක් ලැබෙන විට මිලියන 366ක් වියදම් වන බවකි. මින් පෙනී යන්නේ ඇස් බැන්දුමක් ලෙස විශාල බදු මුදලක් ලැබෙන බව පෙනී ගියද යථාර්ථය ගත් කළ මෙය ඉතා අලාබදායි වෙළඳාමකි. රටක් ලෙස ගත් කල එය රටේ ආර්ථිකයට විශාල බරකි. මෙයින් එක්අතකින් රටේ දුප්පත්කම ඉහළ යන අතර, ඊට අමතරව මද්‍යසාර භාවිතය නිසා රෝගීවන ජනතාවට බෙහෙත් හේත් කිරීම සඳහා ද රජයට විශාල වියදමක් දැරීමට සිදු වන බව සිළුමිණ කළ විමසීමේදී මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මූල්‍ය හා පරිපාලන සම්පත් ද සේරම් පෙන්වා දෙයි.

එසේම එකතු කළ අගය මත බදු අනුපාතය හෙවත් වැට් බද්ද වැඩි කළවිට එය පැටවෙන්නේ පාරිභෝගිකයා මත බව මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී බදු විශේෂඥයන් පෙන්වා දුන්නේය. මින් ජීවන වියදම තවත් ඉහළ යන බව ඔවුන්ගේ මතයයි.

භාණ්ඩ කාණ්ඩ ගත කර වැට් බද්ද පැනවූ විට ඒ මත අදාළ භාණ්ඩ මිල පමණක් ඉහළ යයි. එවිට එම භාණ්ඩ පරිභෝජනය කරන පිරිසට පමණක් එම මිල දැරීමට සිදුවේ. එසේ වුවත් සමහර අවස්ථාවල වැට් නොපැන වූ භාණ්ඩ මතද වැට් බදු පැනවා ඇති බව පවසා මිල ඉහළ දැමීම සිදු කරයි. මින් පෙනී යන්නේ අප රටේ පාරිභෝගිකයන්ට කුමන භාණ්ඩ මත බදු පනවා ඇතිද? කුමන භාණ්ඩ මත බදු පනවා නොමැතිද? යන අවබෝධයක් නොමැති බවයි. ඒ සඳහා අවශ්‍ය පාරිභෝගික සාක්ෂරතාවයක් ඔවුන්ට නැත. එවැනි අවස්ථාවල ඊට එරෙහිව කටයුතු කිරීමට සංවිධානාත්මක ව්‍යූහයක්ද නොපවතී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහා පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධාන තිබුණද ඒවායේ ක්‍රියාකාරිත්වය පහළට ගමන් කර නැත. අනෙක් අතට පසුගිය කාලය මුළුල්ලේ මෙරට පාලනය කළ ආණ්ඩු වැට් බද්ද අඩු කළ අවස්ථාවලදී ඒ බදු සහනය පාරිභෝගික ජනතාවට නොලැබුණි.

ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන මත වැට් බද්ද පැනවූ විට එම නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින් විසින් ඒ මිලට ගෙවීම් කරයි. එම බද්ද එකතු වන්නේ ව්‍යාපාරිකයින්ගේ සේප්පුවටය. ඔහු එය එකතු කර දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට භාරදිය යුතුය. ආදයම් බදු දෙපාර්තමේන්තුව විසින් වැට් වාර්තා ඔවුන්ට ලබාදී අය කර ගත යුතු වැට් බද්ද ඔවුන්ගෙන් ලබාගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරයි. නමුත් එලෙස එකතු කරගන්නා බදු මුදලෙන් සුළු මුදලක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවා ලිස්සා යෑමේ හැකියාවක් පවතී. එය සිදුවන්නේ නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙනි. එනිසා මෙම බදු වැඩි කිරීම මඟින් රජය බලාපොරොත්තුවන ආදායම නොලැබීයයි.

මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් බදු අය කරන යාන්ත්‍රණය වඩාත් සක්‍රීය සහ විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා මේ සියලු ලේඛන ඩිජිටල් කරණය කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුය. මේ සඳහා පිළියමක් ලෙස පසුගිය කාලයේ ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධති ව්‍යාපෘතිය (Revenue Administration and Management Information System Project - RAMIS) නමින් වැඩ සටහනක් හඳුන්වාදීමට ක්‍රියා කළේය. නමුත් තවම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි කාර්යක්ෂමව මෙම ක්‍රියාවලිය ඉදිරියට ගමන් කර නැත. එනිසා මෙම කාර්ය සඵල කර ගැනීමට නම් ආණ්ඩුව වහා කළ යුත්තේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන මෙම කාර්ය වඩා කාර්යක්ෂම කිරීම බව සිළුමිණ කළ විමසීමේදී නම සඳහන් කිරීමට අකමැති ආදයම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පෙන්වා දුන්නේය.

 

Comments