සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - යහපත් වූ සතියකි

ග්‍රහ ලොව මවු රැජන වූ සඳු ඔබගේ කේන්ද්‍රයේ 2, 3, 4 සහ 5 වැන්න මත ගෝචර වෙයි. අතමිට මිල මුදල් ගැවසේ. ඔබගේ කථාවෙහි ප්‍රියමනාප බවක් ඇතිවේ. සහෝදරාදීන්ගෙන් උපකාර ලැබේ. නිවැසියන්ගේ ආදරය කරුණාව හිමිවේ. සතියේ අපල අවම කර ගැනීමට මුල් දිනයේ සුදු සහ රතු මල් බුදුන්ට පුදා දෙවියන්ට පිං දෙන්න. පුණ්‍ය කටයුතුවලට නැඹුරුවන්න.

•අය 8, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

වෘෂභ - දුරදිග සිතා කටයුතු කරයි

ඔබගේ කේන්ද්‍රයේ ලග්නය දෙවැන්න තුන්වැන්න සහ සිවුවැන්න මත සඳු ගෝචර වන සතිය සුබදායකය. අනාගතය පිළිබඳ සිතා යම් ඉතිරියක් කරන්නට වෙහෙසෙයි. අරපරෙස්සම අන් අයට ද කියාදෙයි. පදිංචි ස්ථානය පිළිබඳ වෙහෙසී කටයුතු කරයි. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. මවු පාර්ශ්වයේ ඥාතීන් පැමිණීමට ඉඩ ඇත.

•අය 14, වැය 9, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මිථුන - සතුටුදායක ලෙසින් ගෙවී යයි

ග්‍රහ ලොව මවු රැජන සඳු ඔබගේ කේන්ද්‍රයේ 12, 1, 2 සහ තෙවැන්න මත ගමන් කරයි. ආරම්භය තරමක් දුරට සිත තුළ කලකිරීමක් ඇති කළත් මැද සිට අවසානය දක්වා සතුටින් ගෙවයි. ආශ්‍රයට යහපත් අය මුණ ගැසේ. නොසිතූ ලෙස මුදල් ලාභයක් ලැබීමට පුළුවන. ඉගෙන ගන්නා වයසේ දරුවනට ජයග්‍රහණ අත්වේ. උරහිසේ වේදනා සහ සෙම් රෝගවලට ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

•අය 11, වැය 6, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

කටක - ලැබීම් සහිතයි

ග්‍රහලොව මවු රැජන වන සඳු ගමන් කරනුයේ ඔබගේ කේන්ද්‍රයේ 11, 12, 1, 2 යන ස්ථානවලය. ඥාති හිතවත් අයගේ උදවු උපකාර ලැබෙන සතියකි. රසවත් ආහාරපාන වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිමිකම් ඇත. රැකියාවේ වෙනස්කම් සිදුවේ. ඇවිදිලි වැඩ වැඩිවේ. සෙම් රෝග හටගනී. සතියේ අපල දුරලීම සඳහා කපුටන්ට ආහාර (කිරිබත් ගුලි 9ක්) තබන්න.

•අය 5, වැය 3, සුබ අංකය 2, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා

සිංහ - පිනට යොමුවේ

ගසඳු ගමන් ගන්නේ ඔබගේ කේන්ද්‍රයේ 10, 11, 12 සහ ලග්නය මතින්ය. චිත්ත ඒකාග්‍රතාවයෙන් කටයුතු කරයි. අදහස් වෙනස් නොකරන අතර මානුෂීය ගුණධර්ම ප්‍රගුණ කරයි. සතිය ආරම්භය සුබය. ව්‍යාපාරවලින් ලාභ උපදී. එහෙත් වැය පක්ෂය ඉහළ යයි. පාදවල අසනීප වේදනා මතුවේ. පවුලට අලුත් සාමාජිකයන් එකතුවේ. සතියේ අපල අවම කර ගැනීමට චෛත්‍යයක් අභියස මල් පුදා කරණීය මෙත්ත සූත්‍රය කියන්න.

•අය 11, වැය 10, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

කන්‍යා - පරාර්ථකාමී වේ

ග්‍රහ ලොව මවුතුමිය සඳු ගමන් කරනුයේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. ආත්මාර්ථයට වඩා පරාර්ථකාමිත්වයෙන් කටයුතු කරනු ලබන සතියකි. සමහරවිට දුක් සහිත වැඩවල නියැළෙන්නට සිදුවේ. හිතවතුන් අමනාපවීමට ද හැකි බැවින් වචනයෙන් පරෙස්සම් වන්න. රැකියා ස්ථානවලදී අමතර වැඩ කොටස් පැවරේ.

•අය 14, වැය 11, සුබ අංකය 7, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

තුලා - වාසනාවන්ත සතියකි

ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් කරනුයේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. ආරම්භය යහපත් නොවේ. අසනීප ගති පෙන්වයි. එහෙත් දෙවැනි තෙවැනි දිනවලදී තත්ත්වය සුබ අතට හැරේ. පුණ්‍ය කටයුතුවලට සහභාගී වෙමින් ධාර්මික කටයුතුවල නියැළෙයි. රැකියාවල වෙනසක් දක්නට ලැබෙයි. හිතවතකුගේ පැමිණීම සතුට ගෙනදෙයි. සාමකාමී වාතාවරණයක් ඇතිවේ.

•අය 8, වැය 6, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

වෘශ්චික - එඩිතර බවක් ඇතිවේ

තමාට එරෙහි වූ අය යළි සමගිවේ. අතපසු වූ වැඩ යළි ආරම්භ කරයි. ඇවිදීමෙන් වෙහෙසට පත්වේ. හවුල් ව්‍යාපාර වලදී පරෙස්සම් වන්න. තමාගේ වචනයට අන්‍යයන් ගරු කරයි. එහෙත් ඇතමකු ඔබේ වචනයට අකමැති බැවින් කල්පනාකාරී වන්න. සෙම් රෝග බලපවත්වයි. සතියේ අපල අවම කර අභියෝග ජය ගැනීමට ස්වාමීන් වහන්සේ නමකට කහපාටට හුරු ගිලන්පස පූජා කරන්න.

•අය 11, වැය 9, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු - පවුලට අලුත් සාමාජිකයන්

දරු ලාභ හෝ නව සාමාජිකයන් පවුලට එක්වන ලකුණු පෙන්වයි. ව්‍යාපාර කටයුතු සුබ අතට හැරෙයි. විවේකය අඩුවන අතර සෙම් රෝග මතු කරයි. අමතකවීම්, අතපසුවීම් දක්නට ඇත. පුණ්‍ය කටයුත්තකට සහභාගි වේ. සතියේ අපල මග හරවා ගැනීමට ආරම්භයේදීම දවසක් හෝ දෙකක් නිර්මාංශ වන්න. බලාපොරොත්තු ඉටුවේ.

• අය 14, වැය 10, සුබ අංකය 5, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා

මකර - උත්සාහය අත් නොහරී

ග්‍රහ ලොව මවු රැජන සඳු ඔබගේ කේන්ද්‍රයේ 5, 6, 7 සහ 8 වැන්න මත ගෝචර වෙයි. මුල් දින දෙක තුන අලස ගති සහ අසනීප මතු වුණත් සතිය අවසාන වන්නට පෙර යළි ධෛර්යමත්ව නැඟී සිටියි. ජලයෙන් පීඩා ඇතිවේ. බලාපොරොත්තු අපේක්ෂා මුඳුන් පමුණුවා ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවෙයි. සතියේ මැද හිතවත් අයකුගේ පැමිණීම සැනසීමකට හේතුවේ. අපල අවම කර ගැනීමට උදේ හෝ සවස මෛත්‍රී භාවනාව කරන්න.

•අය 5, වැය 8, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - බදාදා

කුම්භ - පවුලේ සමගිය වර්ධනය වේ

ගඔබගේ කේන්ද්‍රයේ සඳු රාජිනිය ගමන් කරනුයේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. පදිංචි ස්ථානයේ කලඑළි වීමක් දක්නට ලැබෙයි. පැතුම් ඉටුවන වාසනාවන්ත සතියකි. කා සමඟත් සහයෝගයෙන් කටයුතු කරන අතර උසස් නිලධාරීන්ගේ උදවු උපකාර ලැබෙයි. ගෞරවනීය බවක් සහ කාගෙත් අවධානය ඔබ වෙත නිරායාසයෙන් හිමිවේ. සතියේ අපල අවම කර ගැනීමට නැති බැරි අසරණ අයකුට පිහිටක් වන්න.

•අය 14, වැය 11, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

මීන - සහජ දක්ෂතා ඔප් නැංවෙයි

සෙම් රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇත. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කෙරේ. ප්‍රධානියකු ලෙස කටයුතු කරයි. මවගේ හෝ මවු පාර්ශ්වයේ කෙනෙක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අන්‍යයන්ට ඇප උපස්ථාන කිරීමෙන් සතියේ අපල අඩුවේ. දුර ගමන් බිමන් යෙදේ. නිෂ්ඵල වියදම් සහ කාලය ද අපතේ යයි්.

•අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

Comments