
ඔබේ චරිතය හා සිතුම් පැතුම්, දුර්වලතා ආදිය පිළිබඳ මනා විග්‍රහයක්
ස්වභාව ධර්මය තුළින් මානව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් මතු කරගත් තවත් එක් මහඟු දාර්ශනික විද්‍යාවක් ලෙස අංක විද්‍යා ජ්‍යෙතිෂය හඳුන්වා දිය හැකිය. මෙහි ඉතිහාසය ඉතා ඈත අතීතයට දිවයන අතර බටහිර යුරෝපීය රටවල අද වෙන විට ඉතා ජනප්‍රිය විෂයයක් බවට පත්ව ඇත. එනිසාම ඉංග්‍රීසි භාෂාවෙන් මේ පිළිබඳව ලියැවුණු පොත්පත් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. නමුත් සිංහල භාෂාවෙන් මේ පිළිබඳ ලියැවුණු විස්තරාත්මක පොත්පත් ඉතා දුලබ වෙයි. වර්තමන් සමාජය තුළ මේ පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් සිටින අතර, ඒ සියලු දෙනාගේ ජීවිතවලට මෙමඟින් කිසියම් හෝ සහනයක්, ආලෝකයක් සැලැසේ නම් එය මෙම ශාස්ත්‍රයේම හාස්කමක් මිස වෙනත් දෙයක් නොවේ.
සම්පූර්ණයෙන් ගණිතමය සංකල්ප මත ගොඩනැඟී ඇති අංක විද්‍යාව තුළ වෙනත් ගුප්ත ශාස්ත්‍රවල මෙන් මිත්‍යා මත, සැඟවුණු රහස් හෝ ගුරුමුෂ්ටි ආදී කිසිවක් නැත. විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැඟී ඇති අංක විද්‍යාව මඟින් මිනිසා, සතුන්, ශාක ගැන පමණක් නොව මෙලොව පවතින ඕනෑම භෞතික දෙයක සැඟවුණු ගැඹුරු දාර්ශනික අර්ථය මතුකර ගත හැකිය.
ජ්‍යොතිෂය හා අංක විද්‍යාව අතර යම් සම්බන්ධතාවයක් ද පවතී. පුද්ගලයකු උපදින මොහොතේ ග්‍රහ තාරකාවන් පිහිටන ආකාරය යම් ශාස්ත්‍රීය නියමයකට අනුව අඳින අහස් සිතියම දෙස බලා (කේන්දරය) දෛවය පිළිබඳ ප්‍රකාශ කරනවා සේම කෙනකු උපදින අවුරුද්ද, මාසය, දිනය නමේ අකුරු ආදිය යම් ශාස්ත්‍රීය ක්‍රමයකට ගණනය කර අංක විද්‍යාව තුළින් ද පුද්ගලයකුගේ ජීවිතය සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත හැකිය.
අංක විද්‍යාව මඟින් ඔබට ගැළපෙන බලවත් වූ වර්ෂ, මාස, දින, ගැළපෙන විවාහ සහකරු සහකාරිය තෝරා ගන්නා ආකාරය, සුබපල දෙන වර්ණ, අසුබ වර්ණ, නමේ සුබාසුබ බලාගැනීම, ආයතනයකට හෝ ව්‍යාපාරයකට සුභ නමක් තෝරා ගැනීම, ඔබට ගැළපෙන කොටස්කරුවන්, මිතුරන් තෝරා ගැනීම, ගැළපෙන මැණික් වර්ගය තෝරා ගැනීම ආදී බොහෝ කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි අතර, ඒවා පිළිබඳ කල් ඇතිව දැන ගැනීම මඟින් අපල, කරදර බාධක මගහරවා ගෙන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙයි.
අංක විද්‍යාව විශාල පරාසයකට විහිදී යන සූක්ෂම විෂයකි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ අංක විද්‍යාව මඟින් ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව ලබාගත හැකි, ඔබට අත් දැක ගත හැකි, ඔබට වැදගත් වෙන ඔබේ චරිතය හා සිතුම් පැතුම්, දුර්වලතා ආදිය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමටයි.
විවිධ අපහසුතා, ප්‍රශ්න ගැටලු හමුවේ හෙම්බත්ව සිටින මිනිසුන්ගේ ජීවිත දිනෙන් දින අවුලෙන් අවුලට පත්ව අවුල් ජාලයක් බවට සමාජයම පත්වෙමින් ඇති කාලයක එකිනෙකාගේ සිතුම් පැතුම් චරිත ස්වභාවයන් පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන ආවේගශීලී භාවයෙන් තොරව ඉවසීමෙන් කටයුතු කිරීමට මෙමඟින් යම් හෝ පිටුවහලක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
මුලින්ම අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ඔබගේ ජන්ම අංකය සොයා ගන්නා ආකාරයත් එමඟින් හෙළිවෙන ඔබේ ජීවන තොරතුරුත් විමසා බලමු. මෙය උපන්දින අංකය (birth number) කියා ද හඳුන්වනු ලබයි ඕනෑම කෙනෙකුට තමන්ගේ ජන්ම අංකය සොයා ගැනීම ඉතාම පහසුය. එනම්, ඕනෑම මාසයක ඔබ ඉපදුන දිනයට හිමි තනි අංකය ජන්ම අංකය වෙයි. උදාහරණ ලෙස ඕනෑම මාසයක ඔබ ඉපදුනේ පස්වැනි දා නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක පහයි. දහවෙනිදා ඉපදුනා නම් එය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු අංක 1 ජන්ම අංකය ලෙස එයි. 31 වෙනිදා නම් 3 + 1 = 4 ලෙස ජන්ම අංකය ලැබෙයි. මේ ආකාරයට මාසය කුමක් වුණත් ඕනෑම මාසයක කුමන දිනයක උපන් කෙනෙකුගේ වුවත් ජන්ම අංකය සොයා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත. මෙතැන් සිට ජන්ම අංක එකෙන් උපන් අයගේ චරිත ස්වභාවය, ආවේණික ගති ලක්ෂණ හා දුර්වලතා විමසා බලමු.
කොහේ ගියත් මුල්තැන ලැබෙන ජන්ම අංක එකෙන් උපන් ඔබ ගැනයි මේ
මාසය කුමක් වුණත් ඔබ ඉපදුනේ ඕනෑම මාසයක 1, 10, 19, 28 කියන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 01 යි. ජන්ම අංක එකෙන් උපත ලබන අය රවි ග්‍රහයා ගේ ශක්ති බලයට යටත්ව ක්‍රියාත්මක වෙයි. එමගින් ඔවුන් තුළින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණ ගණනාවක් හඳුනා ගැනීමට පුළුවන්. ඒවා නම් ස්වාධීන බව, ඕනෑම තැනක ප්‍රකට ලෙස කැපී පෙනෙන ගතිය, ස්වාධීන නිදහස්කාමී සිතිවිලි තිබීම, ඕනෑම දෙයක් ඉතා හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාව, කොතැන කොයි කටයුත්තේදීත් මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම, හොඳ පාලන හැකියාවක් වගේම නායකත්ව ගති ලක්ෂණ පිහිටා තිබීම, තමන්ගෙ දියුණුව වෙනුවෙන් කැපවීම, නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් වැඩ කිරීම ආදිය මූලික වශයෙන් පෙන්වා දිය හැකිය.
ජන්ම අංක එකෙන් උපන් අය තරමක් ආඩම්බර ගති පෙන්වන අතර, තමාගේ ආත්ම ගරුත්වය පිළිබඳව ද තදින් හිතයි. ජීවිතයේ සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතන ඔවුන් ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරයි. එමෙන්ම ඕනෑම අභියෝගයකට බය නැතිව මුහුණ දෙන අතර තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ද කටයුතු කරයි. ජන්ම අංක එකෙන් උපන් අය සමාජයේ දී මෙන්ම යහළුවන් අතර ද මූලිකත්වය ගෙන කටයුතු කරන අතර කොතනකට ගියත් විශේෂ පුද්ගලයෙක් ලෙස කැපී පෙනෙයි.
නිරෝගීමත් ශක්තිමත් තරමක් උස ශරීරයකට උරුමකම් කියන ඔවුන් කාගේත් සිත් දිනා ගැනීමට සමත් ප්‍රියමනාප පුද්ගලයෝ වෙති. පිරිස් පාලන හැකියාව හා නායකත්වය දැරීමේ හැකියාව උපතින්ම ලැබී තිබෙයි. මොවුන් නිතරම සාධාරණත්වය අගය කරන අතර අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ඒ වගේම සමහර අවස්ථාවලදී කේන්ති ගැනීම නිසා කටයුතු අවුල් කරගනී. බොහෝවිට පවුලේ කැපී පෙනෙන පුද්ගලයකු ලෙස වගකීම් දැරීමටද සිදු වෙයි. ඕනෑම ගැටලුකාරී අවස්ථාවක දී කෙසේ හෝ එය සමථයකට පත් කර ගැනීමට ද හැකියාව පවතියි.
මොවුන් බොහෝවිට බුද්ධිමත් පුද්ගලයන් වන අතර, උසස් සිතුවිලිවලින්ද යුක්ත අය වෙයි. තම කටයුතු ඉතාමත් වුවමනාවෙන් සහ කැපවීමෙන් ඉටුකරන ඔවුන් තුළින් අවංකකම ප්‍රකටව පෙනෙන නිසා අන් අයගේ අවධානයට නිතර යොමු වෙයි. හැමවිටම තමන් කරන දේ නිවැරැදි වත් අවංකවත් ඉටු කිරීමට උත්සාහ ගනී. මේ නිසාම ජීවිතයේ බොහෝ ජයග්‍රහණයන් අත් විඳීමටත් අන් අයගේ ඇගයීමට ලක්වීමටත් අවස්ථාව ලැබෙයි.
අන් අය මෙහෙයවීමේ හා පාලනය කිරීමේ සහජ හැකියාවක් පවතින අතර, අන් අය තුළ මොවුන්ට සවන්දීම හා අවනත ගතියක් නිරායාසයෙන් ඇති කරයි. ඉතාමත් දක්ෂ ලෙස උපක්‍රමශීලීව සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් කටයුතු කරන මොවුන් තැනට සුදුසු ලෙස තීරණ ගැනීමට දක්ෂයෝ වෙති. තමන්ගේ තනි මතයට අනුව වැඩිදුර නොසිතා ඉක්මන් තීරණ ගැනීම මේ අයගේ ප්‍රධාන දුර්වලතාවක් වන අතර ආවේගශීලීව ක්‍රියා කරන ගතිය ද අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. දුරදිග නොබලා ගනු ලබන ක්ෂණික තීරණ නිසා සමහර විට ගැටලු ද ඇති කර ගනියි. සමහර වෙලාවට තමා ගත් මතය වෙනස් නොකිරීම ද දුර්වලතාවයක් වෙයි. ඔබ අවශ්‍ය අවස්ථාවලදී නම්‍යශීලී වීමට මතක තබා ගැනීම සුදුසුය.
රැකියාවේ හෝ ව්‍යාපාරික කටයුතුවලදී මහන්සිවී කැපවීමෙන් ක්‍රියා කරන මොවුන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට වාසනාව තිබුණද උපයන මුදල් පරෙස්සම් කර ගැනීමට සමත් නොවීම දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකි අතර අනවශ්‍ය වියදම් පාලනය හා ආයෝජෙවලට මුදල් යෙදවීමේදී කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. එහෙත් වියදම් කිරීමට ගිය කළ අත දිග හැර වියදම් කිරීම මොවුන්ගේ සිරිතයි. ආර්ථික වශයෙන් ජීවිතය පුරාම විවිධ උස්පහත්වීම්වලට ලක්වන ඔබ මුදල් අතින් ස්ථාවර වීමට පටන් ගන්නේ මැදි වයසට ආසන්න වන විටය. බොහෝ විට වයස අවුරුදු 35 න් පමණ පසුව දියුණුව සහ ස්ථාවරත්වයක් ඇති කරයි.
ඔබ ආදරය කිරීමට මෙන්ම ආදරේ ලැබීමට ද වාසනාවන්තය. ඔබට ප්‍රේම සබඳතා කිහිපයකම විවිධ අත්දැකීම් ලැබීමට සිදුවනු නොඅනුමානය. ආදරයේ සුන්දරත්වය මෙන්ම වේදනාව ද ඔබ හොඳට දන්නවා ඇත. ඔබ වඩාත් කැමති වන්නේ ඔබගේ අදහස්වලට එකඟව කටයුතු කරන ඔබට ගෞරවයක් දක්වන පෙම්වතකුට හෝ පෙම්වතියකටයි. ඇය හෝ ඔහු ඔබ ළඟම රැඳෙමින් ඔබට අවනතව සිටිනවා නම් ඊට වඩා දෙයක් ඔබ බලාපොරොත්තු නොවෙයි. එහෙත් ඔබගේ හදවතේ තිබෙන තරමට ආදරය ප්‍රදර්ශනය කිරීමට ඔබ අපොහොසත් වෙයි.
විවාහ ජීවිතයේ දී සංවේදීව කටයුතු කරන ඔබ තම බිරිය සහ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටුකරන අතර, තම පවුල සහ පවුලේ ගෞරවය රැක ගැනීමට ද කටයුතු කරයි. ඔබ ඔබේ පවුලට ආදරණීය කෙනෙකු වනු ඇත.
සමාජශීලී පුද්ගලයකු වන ඔබ මිතුරු ඇසුර ද බොහෝ සේ ප්‍රිය කරයි. ඔවුන් වෙනුවෙන් ද අවශ්‍ය කටයුතු කර දීම ඔබේ සිරිතයි. නමුත් ඔබ වඩාත් ඇසුරු කිරීමට ප්‍රිය කරන්නේ උගත් බුද්ධිමත් හෝ තරමක් උසස් මට්ටමේ මිනිසුන්ය.
අනුන් යටතේ කරන රැකියා ව්‍යාපාරවලට ඔබ එතරම් කැමති නොවන අතර, එකම රැකියා ස්ථානයේ දීර්ඝ කාලයක් එසේ රැඳී සිටීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඔබට වඩාත් සුදුසු වන්නේ ඔබට ප්‍රධානත්වය හෝ පාලනය කළ හැකි රැකියා ව්‍යාපාර හෝ ආයතනයි. එවැනි තැන්වල ඔබ බොහෝ කල් රැඳී සිටියි. තමන්ගේම ස්වයං රැකියා ව්‍යාපාර ද සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් ජන්ම අංක එකෙන් උපන් බොහෝ දෙනකුට රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ වාසනාව පවතී. බොහෝවිට පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ හැකියාව ද පවතී. සෞන්දර්ය අංශයට සම්බන්ධ හෝ ඉංජිනේරු, අධ්‍යාපන ආදී ක්ෂේත්‍රවල ඔවුන් බොහෝ විට දැකිය හැකි වෙයි. මීට අමතරව විදුලි කාර්මික අංශය, නීතිඥ වෘත්තිය හා ජනමාධ්‍ය අංශය ඔවුන්ට වඩාත් ඵලදෙන රැකියාවන් වෙයි.
සෞඛ්‍යය සම්බන්ධයෙන් කතා කරන විට රුධිරය හා සම්බන්ධ රෝග, අධි රුධිර පීඩනය, ඌෂ්ණ රෝග, ස්නායු පද්ධතියේ ආබාධ, බඩවැල් ආශ්‍රිත රෝග, පාදවල ආබාධ, ඇස්වල පෙනීමේ දුර්වලතා, හෘදයාබාධ, වැනි රෝග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර වෛද්‍ය පරීක්ෂණවලට වරින් වර පෙනී සිටිමින් එවැනි රෝග තත්ත්වයන් පිළිබඳ පරික්ෂා කර ගැනීම වඩා සුදුසු වේ. ඔබගේ නිරෝගි භාවය සඳහා ඌෂ්ණ ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර ජලය වැඩිපුර පානය කිරීම පුරුද්දක් කර ගන්න. හැකි සෑම විටම සීතල ආහාර හා පලා වර්ග හැකි තරම් එකතු කරගැනීම සුදුසු අතර, මස් මාළු ආහාරයට ගැනීම සීමා කිරීම ඉතා යහපත් වෙයි.
ඕනෑම වර්ෂයක ජූලි 15 සිට අගෝස්තු 20 දක්වා කාලය බොහෝ යහපත් කටයුතු සිදු කළ හැකි සාර්ථකත්වය ඇති කරන කාලයක් වෙයි. එමෙන්ම ඔබට වයස අවුරුදු 19, 28, 37, 46, 55, 64, සහ 73 ජයග්‍රාහී දියුණුව ඇති කරන වර්ෂ වෙන අතර, ඕනෑම මාසයක 1, 4, 10, 13, 19, 22, 28, 31 යන දිනයන් සුබ කටයුතුවලට යොදා ගැනීමෙන් සාර්ථක ඵල ලැබිය හැකිය. ඔබට වඩාත් සුබදායක සතියේ දවස් වන්නේ ඉරිදා සහ සඳුදා දිනයන්ය. ඉහත සුභ දිනයකට සුභ දවසකුත් යෙදේ නම් වඩාත් සාර්ථකත්වය හා සුබපල ලබාගත හැකිය. ඕනෑම මාසයක 4, 16, 25 දින අයහපත් දින වන අතර 7, 16, 25, 34, 43, 52, 61, 70 යන වර්ෂ අයහපත් ඵල දෙන වර්ෂ වෙයි. එවැනි දින කාල වකවානු සුබ කටයුතු සඳහා යොදාගැනීම හැකිතරම් මගහැරීම වඩාත් සුදුසු වෙයි.
ජන්ම අංක එකෙන් උපන් ඔබට රන්වන් පාට හා එම පාටට හුරු ඕනෑම වර්ණයක් යහපත් ඵල දෙයි. කහ සහ තඹ වර්ණය ද ඉතා සුබ පල දෙයි. මේ අනුව ලේන්සුව, දොර ජනෙල් තිර, බෙඩ්සීට්, කොට්ට උර, කාර්යාල හෝ ව්‍යාපාර මේස රෙදි ආදී හැකි සෑම අවස්ථාවකදීම ගැළපෙන ලෙස එම වර්ණ යොදා ගැනීමෙන් සුබ ඵල ලබා ගත හැකි අතර නිල් සහ කළු වර්ණය අයහපත් ඵල ඇති කරන හෙයින් හැකි තරම් භාවිතය අවම කරන්න. සුභ කටයුතු සඳහා සුභ දවස් දින වර්ණ හැකි සෑම විටම යොදා ගැනීමෙන් එහි සාර්ථකත්වය ඔබට ම අත් විඳ ගත හැකිය.
වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ අංකවල එකතුව තනි අංකයක් ලෙස ගත් විට 1, 4, වේ නම් එම වහනය ඔබට වඩාත් සුබ පල දෙන අතර ගමන් බිමන්වලදී පාඩු අලාභ හානි සහ අනතුරු ආදියෙන් ආරක්ෂාව ද සැලසෙයි. එමෙන්ම හැකි නම් රත්තරන් මාලයක් හෝ වළල්ලක් නිතර පැලඳීම ද සුබපල ඇති කරන අතර තඹ වළල්ලක් වුවද යහපත් වෙයි. ඔබ ව්‍යාපාරයක් කරන කෙනකු නම් ඔබගේ ව්‍යාපාරයට ජන්ම අංක හෝ දෛව අංක 2 3 5 6 8 යන අංක හිමි අයගෙන් වඩාත් හොඳ සහයෝගයක් ලබාගත හැකි අතර ජන්ම අංක 1, 4, අය ද යහපත් වෙයි. ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනවල උපන් අයගේ පලාපල ඊළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී / පාඨශාලාචාර්ය