
- කඳවුරු 74ක ආහාර බෝග වගා කෙරේ
- වැටි ක්‍රමයට පොල් හිටවන අතරේ මිරිදිය මත්ස්‍ය වගාවත්
ජාතික ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය දක්වන දායකත්වය අතිමහත්ය. රටේ ආරක්ෂාව මෙන්ම ජාතික ව්‍යසනයකදී ද මහජනතාවගේ ආරක්ෂාව උන්නතිය වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරට එන්නේ පැකිළීමකින් තොරවය.
මෙරට ආහාර අර්බුදයක් ඇතිවන බවට පුරෝකතනය කර ඇත්තේ ඉන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා දැන් සිටම සූදානම් වීම සඳහාය. යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද වගා සංග්‍රාමයකට දැන් සිටම සම්බන්ධව ඇත්තේ ආහාර අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහාය.
රට පුරා පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු 74ක නිලධාරින් අටදහසක් පමණ දැනටමත් මේ වගා සංග්‍රාමයට එකතුවී සිටිති. විශේෂ කාර්ය බළකායේ සෑම කඳවුරකම ආහාර බෝග වගා වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ වී ඇත.
කොස්, මුරුංගා ඇතුළු භව භෝග කඳවුරු භූමිවල වගා කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට රෝපණය කර ඇති කොස් පැළ සංඛ්‍යාව තුන්දහස් පන්සියයකි. එක් කඳවුරක පැළ දහය බැගින් කඳවුරු 74ක ආවරණය වන පරිදි මුරුංගා සහ දෙල් පැළ සිටුවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සඳහන් කරන්නේ මේ ආහාර බෝග වගා කිරීමේ වැඩපිළිවෙළ කොරෝනා වසංගත අවදියේදී මූලික වශයෙන් සැලැසුම් කර ආරම්භ කළ බවයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වගා සංග්‍රාමයේදී විශාල ජයග්‍රහණයන් ලබන්නේ මඩකලපුවේදීය. මඩකලපුවේ රාජ්‍ය ආයතන අතර පැවැති ආදර්ශ ගෙවතු වගා තරගයේදී පොලිස් විශේෂ කාර්ය බළකා කලවංචිකුඩි කඳවුරය මුල් තැන දිනා ගැනීමට හැකිවිය.
වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය, කාබනික පොහොර භාවිතය ඒ අයුරින් සිදුකරන ලද කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන බෝග වගා වැඩපිළිවෙළ අගැයීමට ලක්විය.
2022.06.15 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යක්ෂ පුහුණු විශේෂ කාර්ය බළකායේ කළුතර කලාප අණදෙන නිලධාරී සහ අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් ජීවිත ගළවා ගැනීම් මෙහෙයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායකගේ අධීක්ෂණයෙන් යුතුව කළුතර බේරුවල මහවෙල්යාය ප්‍රදේශයේ අක්කර 7ක පමණ පුරන්ව ගිය වගුරු බිමක් මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් අනුගමනය කරන සෝජාන් ක්‍රමය මෙරටට හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතියක් සහ ආදර්ශ වගා බිමක් ලෙස ආරම්භ කරන ලදි.
සෝජාන් ක්‍රමය යටතේ පොල් පැළ සිටුවීම ආරම්භ කරන ලද්දේ ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතනවල එකමුතුවෙන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ශ්‍රම දායකත්වයෙනි. කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජානකගේ අධීක්ෂණය සහ උපදේශකත්වය මේ සඳහා ලැබුණු අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජන් පී. පෙරේරාගේ ද දායකත්වය මේ සඳහා ලැබුණි.
මෙම සෝජාන් වගා ක්‍රමය යටතේ පොල්වලට අමතරව මිරිදිය මත්ස්‍ය වගාව ද එළවළු සහ වෙනත් බෝග වගාව ද සිදුකරනු ලබයි. අවශ්‍ය බීජ සහ වගා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.ඒ. තුසිත නන්දනය.