දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ආදරේ කරනවා කියලා කවුරුත් තවම මට දොස් කියලා නැහැ | සිළුමිණ

දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ආදරේ කරනවා කියලා කවුරුත් තවම මට දොස් කියලා නැහැ

මේ ප්‍රශ්න නිසා ෂූටිං පවා කැන්සල් වුණා..

අයුතු යෝජනා එන්න අපි හැසිරෙන විදිහ තමයි බලපාන්නේ..

පුංචි තිරයේ නැට්ටුක්කාර චරිත එක්ක ජනතාව අතරට එන ඔනාලි සංජානා ගමආරච්චී මේ දිනවල වියපත් බඹරකුට

පෙම් බඳිනවා. ඒ දිවිතුරා නාට්‍යයේ තේමියට. ටීනාගේ චරිතය නිසා බොහෝ දෙනෙක් ආදරය කරන ඇයත් මේ වෙද්දී පෙම්වතියක් කියලයි කියන්නේ. ආදරෙන් පැරදිලා ආයෙමත් ආදරේ කරන සංජානා ආදරේ ගැන වගේ ඇයගේ අලුත් තොරතුරු ගැන රසඳුනට කිව්වේ මෙහෙමයි.

කොහොමද සංජානා අලුත් තොරතුරු, පසුගියදා විදෙස් සංචාරයකට සම්බන්ධ වෙලා නේද ආවේ?

හොඳින් සතුටින් ඉන්නවා. රටේ තියෙන ප්‍රශ්න එක්ක සාමාන්‍ය විදිහට ජිවත් වෙනවා. මම දවස් හතක් සිංගප්පුරු සංචාරයකට සම්බන්ධ වෙලා ඉඳලා පසුගිය සිකුරාදා තමයි ලංකාවට ආවේ. ඒක පුද්ගලික සංචාරයක්.

ඔබ මේ දිනවල වියපත් පෙම්වතෙක් පස්සේ යනවා නේද..?

දිවිතුරා නාට්‍යයේ තමයි ටිකක් වයසක කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්නේ. ඒ තේමියට. තේමිය කියන්නේ ඔෆිස් එකේ බොස්. ඒක ආදරයක්ද; නැද්ද; ආදරයක් වගේ පෙන්වන්නේ මුදල් හෝ වාසි ලබා ගන්නද කියලා කියන්න අමාරුයි. සමහර විට ඒක ටීනාගේ උප්පරවැට්ටියක් හෝ ඒ ආදරය පිටුපස රහසක් තියෙන්නත් පුළුවන්. කතාවේ ටීනාට මොකද වෙන්නේ කියලා මමත් තවම හරියට දන්නේ නැහැ. ඉදිරියට කතාව ලස්සනට ගලාගෙන යයි.

දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්ට ආදරේ කරන එකට තවම සමාජයෙන් ඍණාත්මක ප්‍රතිචාර ලැබුණේ නැද්ද?

මේක කතාවක් නිසා මම හිතන්නෙ තවම නම් එහෙම නරක විදිහට කවුරුත් ප්‍රතිචාර දක්වලා නැහැ. නමුත් ඉදිරියට කොහොම ප්‍රතිචාර හිමි වෙයිද කියන්න නම් දන්නෙ නැහැ. දැනට කවුරුත් කැත විදිහට මට කමෙන්ට් එහෙම කරලා තිබ්බේ නැහැ.

ටීනා බොස්ව රවට්ටගෙන වාසි ගන්නවා වගේ ඇත්ත ජීවිතෙදී සංජානාත් කොල්ලෝ රවට්ටල ඇති..?

කොහෙත්ම නැහැ. ටීනාට වඩා සංජානා හාත්පසින්ම වෙනස් චරිතයක්. මම එහෙම කෙනෙක් නෙමෙයි. මගේ ගතිගුණ ටීනාට වඩා වෙනස්. ඒක මාව අශ්‍රය කරන අය හොඳට දන්නවා.

ඔබ නාට්‍ය සඳහා භාවිත කරන විලාසිතා ගැන බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කරනවා?

නාට්‍යයේ චරිතයට අවශ්‍ය විලාසිතා භාවිත කරන්න අපිට සිදු වෙනවා. ඒ චරිතය ගොඩ නැඟෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ජිවිතයේත් මට ගැළපෙන විලාසිතා මම කරනවා. ඒ ඒ ස්ථාන අනුව මම භාවිත කරන විලාසිතා වෙනස් වෙන්න පුළුවන්. තවම නම් මට කෙළින් ඒ වගේ චෝදනා හෝ අසංවර කතා කියලා නැහැ . මම හරි විදිහට ජිවත් වෙනවා නම් මට එහෙම චෝදනා ආවත් මම පසු තැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ .

ආදරෙන් පරාජය වෙලා දැඩි ලෙස කම්පාවට පත් වුණු සංජානා ආයෙමත් ආදරෙන් පැටලිලා කියලා ආරංචියි?

ආදරෙන් පැරදිලා හිටපු කෙනෙක් මම. බොහෝ දෙනෙක් ආදරෙන් පරාජය වෙනවා වගේ මමත් ආදරේ නිසා දුක් වෙලා දැඩි ලෙස කම්පාවටත් කාලයක් පත් වෙලා හිටියා. නමුත් ඒ හැමදේම අමතක කරලා මම ආයෙමත් ආදරෙ විඳිනවා. ආදරේ සුන්දරව විඳිනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්ද, එහෙම නැත්නම් නිළියෝ වැඩි හරියක් විවාහයට ව්‍යාපාරිකයන් තෝරා ගන්නවා වගේ ඔබත් ව්‍යාපාරිකයෙක් විවාහ ජිවිතයට තෝරා ගත්තාද..?

එයා කලාවට සම්බන්ධ ද; මොනාද කරන්නෙ කවදද විවාහ කරගන්නෙ කියන එක තවම මම කැමතියි රහසක් විදිහට තියා ගන්න. විවාහයට දින දා ගන්නවා නම් ඒවා සිදුවෙන්නේ පිළිවෙළක් ඇතිව. ඒ නිසා මගේ ආදරේ වගේම විවාහය මම දැනට රහසක් විදිහට තියා ගන්න කැමතියි. හරි කාලය ආවම මම හැමදේම මට ආදරේ කරන රසිකයන්ට කියන්නම්.

ටීනා කරන විලාසිතා එක්ක වැරදි අවබෝධයක් ඇති කරගත් පිරිමි පාර්ශ්වයගෙන් ඔබට අයුතු යෝජනා ඇවිත් නැද්ද, ඇතැම් නිළියන් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා චරිත දෙන්න නම් අධ්‍යක්ෂවරුන් ලිංගික අල්ලස් ඉල්ලලා තියෙනවා කියලා?

අපි කතාබහ කරන විදිහට හැසිරෙන විදිහට තමයි ඔය කියන විදිහට අයුතු යෝජනා කරන්න පිරිමි කෙනකුට හිත දෙන්නෙ. ඇඳුම් පැලඳුම් විවිධ විදිහට භාවිත කරන පළියට කවුරුත් තව කෙනෙක්ව මනිනවා කියන්න බැහැ. මම දන්නවා මිනිස්සු කොහොමද ආශ්‍රය කරන්න ඕන කියලා. ඇත්ත ජිවිතයේදි චරිත වලින් දකින්න ඉන්න මම නෙමෙයි ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති මට ඒ විදිහට කවුරුත් අනිසි බලපෑමක් හෝ අනිසි යෝජනා ගෙන එන්නේ නැත්තේ.

රටේ තියෙන ප්‍රශ්න එක්ක ඉදිරියේදි නිළිකම කරගන්න පුළුවන් කියලා හිතනවද සංජානා..?

මේ වෙනකොට මම සම්බන්ධ වෙලා ඉන්නේ නාට්‍ය දෙකකට. ඒ හිරු ටීවී එකේ විකාශය වෙන දිවිතුරා හා ළං වී කියන නාට්‍ය දෙකට. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වගෙම ඉන්ධන ප්‍රශ්න අපිටත් දැඩි විදිහට බලපාලා තියෙනවා. සමහර නාට්‍යවල ෂූටිං පවා මේ වෙද්දී ඉන්ධන ප්‍රශ්න නිසා අවලංගු කරන්න සිදු වෙලා. මෙහෙම ගියොත් කොහොමත් අපිටත් දැඩි ලෙස ඒක දැනෙයි. වැඩත් අඩු වෙයි.

ගෙදර අම්මා නැති ජිවිතේ එළියක් නැති ගෙයක් වගේ කියනවා. ඔබේ මවත් ඔබ ළඟ නැහැ , හැමදෙයකටම ශක්තියක් වූ අම්මා නැතුව ගෙවන ජිවිතේ කොයි වගේද?

අම්මා නැතුව ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා කාලයක් මම හිතුවා. මොකද මගේ හැම වැඩක් පස්සෙන්ම හිටියේ අම්මා නිසා. නමුත් අම්මා නැතුව මමත් නංගීත් තාත්තාත් දැන් ජිවත් වෙනවා. අම්මගේ අඩුව නොදැනෙනවා නෙමෙයි. මම කලාවට සම්බන්ධ වෙද්දී අම්මා හිටියා. මම ගැන අම්මා සතුටු වෙන්න ඇති. මොනා කරන්නද දැන් මෙහෙම ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා.

 

Comments