
ඔය ඈත ගම්වලට ඔය රුපියල් හතළිස් පනස් දාහක විතර මොනවා මොනවා හරි තෑගි බෝග ටිකක් ඔතාගෙන ගෙනිච්චාම අපට ඒ මිනිස්සු සලකන්නේ ආයෙ දෙවියන්ට බුදුන්ට වගේ.... ඒ විතරක් නෙමෙයි ගමක හරි ඇල්ලක හරි සීතල වතුර ටිකක් නාගෙන කියාගෙන...... දඩ මස්ද...? කිතුල් රා ද...? කන්න බොන්න.... ආයෙ වෙන මොන සැපද...? අපේ ජීවිත කාලෙටම හම්බ වෙන්නේ නැති ඔරිජිනල් බඩු....
කන්තෝරුවේ ලොකු මහත්තයාගේ කාමරයෙන් පියසේන එළියට ආවේ ඇතුළට ගියාට වඩා දෙතුන් ගුණයක තුන් ගුණයක පමණ වේගයෙනි.
“මොකද පියසේන අයියේ....? වැඩේට ලොක්ක ලෙඩේ ඇද්දද...?”
දොරටුව ආසන්නයේම සිටින ජයරත්න මහත්තයා කාමරයේ දොර ඇරෙනවාත් එක්කම වගේ ඔහුගෙන් ඇසුවේ පියසේන ඇතුළට යාමට දොර ළඟ තෙපර බාමින් සිටිද්දී ඔහුට කාරණාව කියා තිබුණ නිසාය.
“ඔව්... එපැයි කිව්වා... මොකද ඕක පුරුද්දකට ගියොත් මේකෙ ඉන්න හැම එකාම මෙතෙන්ට පින් පත්තර අරගෙන එයි කියලා...”
“පියසේන අයියා මං හිතුවෙ නෑ... ලොක්ක ඔය වාගේ උත්තරයක් දෙයි කියලා.... මොකද මෙයාත් හැම අවුරුද්දකම වාගේ ඔය ඈත පළාත්වල ළමයින්ටයි.... නැති බැරි අයටයි බොහෝම සත්කාර කරන කෙනෙක්නේ... පියසේන අයියා අකුරක් නෑර ලොක්කට කතන්දරේ කිව්ව නේද...?”
“ ඔව් මහත්තයෝ... මහත්තයා කිව්ව විදියටම කොනක ඉඳලම කතන්දරේ කිව්වා .... ඒක අහගෙන උන්නු විදියට මාත් උන්නේ මහත්තයෝ ලොකු සර් මොනවා හරි කරයි කියලා තමයි....”
“අනෙත් එක වෙන කාට නැතත් පියසේන අයියට ...? පියසේන අයියා කොච්චර ළෙන්ගතුවද ලොක්කත් එක්ක ඉන්නේ...? කොයික වුණත් පියසේන අයියා දැන් ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා... ලොක්ක තීන්දුව දීලා ඉවරයිනේ....”
“ඒකනම් එහෙම තමයි මහත්තයෝ.... ඒත් මම දැන් මොකද කරන්නේ කියලා හිතාගන්නවත් බෑ.... අක්කාගේ පුතාගේ ඔපරේෂන් එකට සල්ලි හොයා ගන්නේ කොහොමද හිතාගන්න බැරුවයි ඉන්නේ.... පවු අහිංසක කොල්ලා... අවුරුදු දාහතරයි.... ඉස්පිරිතාලේ දහ දුක් විදිනවා.... අක්කයි අයියයි දෙන්නත් අතේ කනේ කරේ තියන සබ්බ සකලමනාවම විකුණලා ... දැන් ඒ මදිවට දහ අතේ ණය වෙලත් ඉන්නේ.... අපි කියලත් කොහොමද කරන්නේ මහත්තයෝ.... මහත්තයලා දන්නවනේ අපේ අතට හම්බ වෙන ගාන....” පියසේන කියාගෙන ගියේ අඬන්නට ඔන්න මෙන්න කියනා අයුරෙනි.
“පියසේන අයියා... දැන් වෙන කරන්න දෙයක් නෑ.... පියසේන අයියට හිතවත් නෝන මහත්තයලාට කිට්ටු කරලා කාරණාව කියලා උදවුවක් පදවුවක් ගන්න බලන්න... හැබැයි ඕක ලොක්කට නම් දැන ගන්න ඉඩ තියන්න එපා...”
“ඔව් ජයරත්ත මහත්තයෝ... ඒක නම් එහෙම කරන්න පුළුවන් තමයි... ඒත් මම මේක ලොකු මහත්තයාට කිව්වේ ලොකු මහත්තයා පර්මිෂන් දුන්නා නම් සෑහෙන ගානක් එකතු කර ගන්න පුළුවන් වෙන හින්දයි.... අනික කන්තෝරුවේ අනික් තැන්වල නෝනා මහත්තුරුන්ගෙනුත් උදවු පදවු ගන්න පුළුවන් වෙන හින්දා... තව ලක්‍ෂ එකහමාරක් කොහෙන් හොයන්නද මන්දා...?” පියසේන උන්නැහේ වටේටම තිබුණු සියලුම වායු ධාරා එක්වරම පපුව පිරෙන්නටම ගෙන හොස් ගා ආපසු හෙළුවේ සියලු බලාපොරොත්තු සුන්ව ගොස් ඇති විලාසයෙනි.
“හරි... හරි.... පියසේන අයියේ දැන් ඉතින් මොනවා කරන්නද...? මේ මෙන්න මෙතැන රුපියල් පන්සීයක් තියෙනවා... කවුරු වුණත් පොඩි ළමයෙක්නේ...” ජයරත්ත වාඩිවී සිටිනා ගමන්ම කලිසම් සාක්කුවේ තිබුණු මුදල් පසුම්බිය එළියට අදිමින් කීවේය. ඉක්බිති හේ එහි කොනක ගුලිවී තිබුණු පන්සියයේ නෝට්ටුව දිග හරිමින් පියසේන අයියා අත තැබීය.
“පින් සිද්ධ වෙයි මහත්තයා.... මේ වෙලාවේ රුපියල් පහ වුණත් මට කෝටියකටත් වඩා වටිනවා... අර ළමයා දුක් විඳින හැටි දැක්කාම.... මේ ඔපරේෂන් එක කර ගන්න බැරි වුණොත් ජීවිතෙත් අනතුරේ කියලයි දොස්තර මහත්තුරු කියලා තියෙන්නේ.... ” පියසේන අයියාගේ දෑස කඳුළෙන් පෙඟී තිබෙනු ජයරත්න මහතාට හොඳින්ම දැක ගත හැකි විය.
“පියසේන අයියා... මම තව ටිකක් උදවු කරන්න පුළුවන් වුණොත් උදවු කරන්නම්... මම නෝනටත් කියලා ඒගොල්ලන්ගේ ෆේස්බුක් ගෲප් එකෙනුත් උදවුවක් ගන්න පුළුවන්ද කියලා අහලා බලන්නම්.... එහෙම වුණොත් මට ඔය දරුවගේ පින්තූර කෑල්ලකුත් එක්ක විස්තර ටික දෙන්නකෝ එතකොට පෝස්ට් එකක් හදලා ෂෙයාර් කරන්න පුළුවන්නේ....”
“හොඳමයි මහත්තයෝ..... අපේ අල්ලපු ගෙදර පියවතීගේ ලොකු කෙලී වැඩ කරන ගාමන්ට් එකේ කොල්ලො කෙල්ලො ටිකත් එකතු වෙලා තිස් දාහක් විතර හොයලා දුන්නා... ”
දවසේ ඉතිරි කාලයෙන් වැඩි හරියක්ම පියසේන අයියා කාලය ගත කළේ බල්ලා මියගිය කිනිතුල්ලකුගේ විලාසයෙනි. තරමක් කොට තරමක් මහත පියසේන අයියා ලියුම් කන්දරාවකුත් උස්සාගෙන එහාටත් මෙහාටත් ගියේ කිසිම පිරියකින් නැතිවය. වෙනදා ලියුම් ගොඩ අවුල් කරගෙන හෝ නැත්නම් කාට හෝ ඇඟිල්ලෙන් ඇන බැණුම් අසන ඔහු අද දවසේ ඉඳහිට මහත්මයකු ළඟ නැවතී කුටු කුටු ගාමින් සිට යළි තමන්ගේ කාර්යාල කාර්ය සහායක අසුනට ආවේ බොහෝ කලකිරුණු අයුරෙනි. මේ අතර සැන්දෑ කාලයේ පියසේන හැදූ තේවල ගුණ දොස් ද ඔහුට එහෙන් මෙහෙන් ඇහෙන්නට විය.
“මොකද පියසේන අයියා අද අප්සෙට් ගහලා වගේ......? අද තේ එක නම් අන්තිමයි... පල්ම පල් රහයි... සීනිත් නෑ... පිටිත් නෑ.....” අබේවික්‍රම උන්නැහේ උපැස් යුගල යටින් බලමින් කීවේ අඩක් හිස් කළ තේ කෝප්පය මේසය කොනේ තබමිනි.
“පියසේන අයියා මේ දවස්වල කොහොමත් අප්සට් ගහලා තමයි ඉන්නේ... සම්තින් එකක් හොයා ගන්න ගේමක් ගහනවා...” කිසිම දෙයක හොඳක් නොදකින සාගර කීවේ උපහාසාත්මක අයුරිනි.
“ආ ඒක තමයි.... මං දැක්කා එක එක්කෙනාගේ මේස ළඟට ගිහින් පින් පත්තරයක් පුරෝ ගන්න කුටු කුටු ගානවා....” අනුන් වෙනුවෙන් සත පහක් වියදම් කරන්නට අදිමදි කරන සුරවීර මහත්තයා කීවේ නෝක්කාඩු විලාසයෙනි.
වැඩි කතාබහක් නැති සිරිසේන මහත්තයා ද මොකක්දෝ කීවත් එය පියසේන අයියාටවත් නොඇසුණේ ඔහු කතා කරන්නේ බොහෝ හෙමින් බැවිනි.
“ඒයි... පියසේන අයියා... අන්න බොස් කතා කරනවා....” මෙතුවක් වේලේ ලොකු මහත්තයාගේ කාමරයේ තිබුණ සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටි උස මහත හැඩ පෙනුමක් ඇති රාජගුරු තමන්ගේ අසුන කරා යමින් ගමන්ම කියාගෙන ගියේය.
පියසේන කාමරය ඇතුළට ඇදුණේ ආවාට ගියාට මෙනි. “පියසේන තව ටිකකින් මම දන්න කියන මහත්තයෙක් එනවා... ඇස් කණ්ණාඩි වගයකුත් අරගෙන.... එක ගෙනාවාම පිළිවෙළකට අහුරලා පැත්තකින් තියන්න... මේ මාසේ අන්තේ තියන අපේ සමාජ සත්කාර වැඩ සටහනට ගෙනියන්න....”
පියසේන කිසිත් නොකියා හිස සැලුවේය.
“ඔය සත්කාරෙ වැඩේට ගෙනියන බඩු භාණ්ඩ මතක ඇතුව වෙනම පැත්තකින් තියන්න.... නැත්නම් ගිය පාර වගේ මේ පාරත් සමහර බඩු ඔහොමම තියේවි... ගිය පාර ගෙනියන්න අමතක වෙලා ගිය අර පොත් පාර්සල් ටිකත් මේ පාර ගොඩෙන්ම තියන්න.. වෙලාවට ගිය සැරේ අමතක වෙලා ගියේ පොත් පාර්සල් හින්දා හොඳා... වෙන දෙයක් එහෙම වුණානම් අපරාදෙනේ... අනෙක පියසේන ඔය කෑම බීම වගේ එව්වා තියෙනවනම් මගේ කාර් එකට දැම්මට කමක් නෑ... මොකද ඒවා ගෙදර ප්‍රිජ් එකට දාලා පරිස්සම් කරන්න පුළුවන්නේ....ආ... ඔන්න අර මම කිව්ව යාළුවා... ඔය කියන කොටම එන්නේ .... එන්න..... එන්න මිස්ටර් ගුණසීල.....”
ලොකු මහත්තයා ළෙන්ගතු අයුරින් කීවේ බොහෝ කලකින් දුටු මිතුරකු පරිද්දෙන්ය.
“ඔන්න මම කිව්ව විදියටම ඒ වගේම පොරොන්දු වුණු විදියටම ඔයාගේ අර සමාජ සත්කාර වැඩේට මට අර කිව්ව එංගලන්තේ ඉන්න මිත්‍රයා එව්ව ඇස් කණ්ණාඩි ටික පරිත්‍යාග කරනවා.... මෙන්න එහෙනම් බාර ගන්න...” ලොකු මහත්තයා හමුවට ආ අමුත්තා ඔහු අතේ තිබුණ කුඩා පෙට්ටියක් බාර දෙමින් කීවේය.
“එව්වා බොහොම යහපත් වැඩ.... කවද හරි දවසක ඉතුරු වෙන්නේ මේ වගේ දේවල්වල මතකය විතරයි...”
“ඒක ඇත්ත... ඒක ඇත්ත... ඔන්න මම මේ සත්කාර වැඩේට මම දන්නා කියන කොම්පැනියකින් නිකම් හම්බ වුණු කිරි පිටි මලු කීපයකුත් ගෙනත් තියෙනවා.... හැබැයි මේක බෙදා හදා දෙද්දි පොඩ්ඩක් ෆොටෝ හත අටක් ගහලා... වීඩියෝ පාරක් එහෙම ගහලා.... ෆේස්බුක් එකේ එහෙම දාලා ෆුල් පබ්ලිසිටියක් දෙන්න වෙනවා... නැත්නම් අපට එන වතාවේ මේ යක්කුන්ගෙන් කිසිම උදවුවක් පදවුවක් ගන්න බැරුව යනවා...”
“අයියෝ ....ඒ ගැන කිසි දේකට බය වෙන්න එපා.... අපි කොහොමටත් මෙව්වට ඉන්ටර්නැෂනල් මට්ටමට යනකම් පබ්ලිසිටි දෙනවා...”
“ඒ කියන්නේ මේ වැඩේට මීඩියා ගෲප් එකකුත් එක්ක යනවද..? ”
“අපොයි නෑ... ඔය හාදයන් එක්ක ගෙන ගිහින් නිකම් කන්න බොන්න දෙන්නේ පිස්සුවටයැ.... අනෙක මේක ඉතින් ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි.... මේක ඉතින් මේ අපි අපිම කරන දෙයක්නේ.... අපේම කවුරු හරි මේක වීඩියෝ කරලා පොටෝ ගහලා.... ඒ වැඩෙත් කරනවා....”
“ෂහ්.... නියමයිනේ....”
“මම මේ මිස්ටර් ගුණසීලට කියන්නමයි හිටියේ....... ඔයා කැමැති නම් ඔයාටත් පුළුවන් මේ වැඩේට සෙට් වෙන්න.... අපි කොහොමත් ලබන මාසෙ අගිස්සේ විතර මේ බඩු ටික බෙදලා දානවා... අනෙක ඔයාටත් ඔය ජාත්‍යන්තර සම්බන්ධකම් එහෙමත් තියෙන හින්දා අපේ මේ වැඩේට එකතු වෙන්නත් හරිම ලේසියි... අපට මේ වැඩේට ඒ අයගෙනුත් උදවු පදවු ගන්න පුළුවන්නේ.... අපට මේ වැඩේට හැමදාම සම්බන්ධ වෙලා ඉන්න තව කට්ටි හත අටක් ඉන්නවා... අපි ඒ කට්ටි හත අටම මේ සමාජ සත්කාරෙ බඩු බෙදන දාට වැඩේ තියෙන්නේ මොන දීපංකරේකට වුණත් අනිවාර්යයෙන්ම එක්කර ගෙනත් යනවා... ”
“අදහස නම් පංකාදුයි.... වෙනසකටත් එක්ක.... ඒත් ඉතින් ඔච්චර දුරක් ....ඔච්චර කට්ටියක් එක්ක යන එන එකත් ටිකක් කරදරයිනේ....”
“අපොයි මිස්ටර් ගුණසීල ඕක මොන කරදරයක්ද...? අපි කවදත් හොඳට ඉඩකඩ සුපිරි වාහනයක් හයර් එකට අරගෙනයි යන්නේ.... කොහොමත් ඒසීවලට හුරුවෙලා ඉන්න අපට ඔය ඔහොම ගමන් කසි කබල් තුට්ටු දෙකේ වාහනවල ගිහින් හරි යන්නේ නෑ.... ඕකට ඕනෑනම් තව පොඩි ගානක් යයි.... ඒකත් ඉතින් අපට අතින් දාන්න වෙන්නේ නෑ... දන්නේ නැද්ද ඉතින් එව්ව මෙව්ව ටිකක් එහෙ මෙහෙ කරගෙන අවුලක් නැතිව යන්න එන්න පුළුවන්... අනෙක ඉතින් අපට ඉන්ටර්නැෂනල් මට්ටමෙනුත් ආධාර හම්බ වෙනවනේ..... කොයික වුණත් මිස්ටර් ගුණසීල... හෙට අනිද්දා දවසක ආයෙ සැරයක් මම කතා කරන්නම්කෝ.... මෙච්චර මේ උදවුවක් කරපු ඔයාව අමතක කරන්න පුළුවන්යෑ... යනදාට මම වාහනේ අරගෙන ගේ ළඟටම එන්නම්... අනෙක ඔයා විතරක් නෙමෙයි කැමැති නම් ගෙදර කට්ටියත් එක්ක ලෑස්ති වෙලා ඉන්න.... හැබැයි ඉතින් ගෙදර කට්ටිය එක්ක මේ වගේ ගමනක් යන එක නම් ටිකක් ඇණයක් තමයි... අපි මේකෙන් පුල් ෆන් එකක් ගම්මු.....”
“ පුල් ෆන් එකක්... ඒ කොහොමද....?”
“මිස්ටර් ගුණසීල... මේකනේ කතන්දරේ.... අපි ඔය ඈත ගම්වලට ඔය රුපියල් හතළිස් පනස් දාහක විතර මොනවා මොනවා හරි තෑගි බෝග ටිකක් ඔතාගෙන ගෙනිච්චාම අපට ඒ මිනිස්සු සලකන්නේ ආයෙ දෙවියන්ට බුදුන්ට වගේ.... ඒ විතරක් නෙමෙයි ගමක හරි ඇල්ලක හරි සීතල වතුර ටිකක් නාගෙන කියාගෙන...... දඩ මස්ද...? කිතුල් රා ද...? කන්න බොන්න.... ආයෙ වෙන මොන සැපද...? අපේ ජීවිත කාලෙටම හම්බ වෙන්නේ නැති ඔරිජිනල් බඩු.... ඒ විතරක් නෙමෙයි අපි ආපහු එද්දී ඒ මිනිස්සුන්ට විකුණ ගන්න බැරි හොඳ එළවළු පලතුරු ගෝනි පිටින් හම්බ වෙන්නේ.... කොහොමටත් අපි ආපහු එන ගමනේදී සමහර වෙලාවට රෑට නවතින්නේත් ඒ පළාත්වල තියෙන සුපිරිම හෝටලයක් අල්ලල තමයි ....දන්නේ නැද්ද ඒවායෙත් ඉතින් තව තව දේවල් තියෙනවනේ...”
“ආ... එහෙනම් ඒක තමයි.... මේ හුඟක් සද් ගුණවත්තු මේ ළඟ පාත අනන්තවත් අමාරු තැන්.... මිනිස්සු ඉදිද්දී හද්ද පිටිසරට තෑගි දෙන්න උදවුපදවු කරන්න යන්නේ....”
“අනෙක මිස්ටර් ගුණසීල.... අපි මොනවා කළත් ඒ ගම්වල මිනිස්සුන්ටත් සෙතක් වෙනවනේ.... ඒකනේ ඒ මිනිස්සුත් අපට එහෙම සලකන්නේ.... අපි මෙහෙමවත් නොගියොත් කවුද ඒ මිනිස්සුන්ව බලා කියා ගන්නේ....? උදාහරණයක් හැටියට අපි මෙහෙම බලමු.... බලන්න දැන් ඔය ඈත දුෂ්කර ගම් පළාත්වල ඉන්න ළමයකුට ඉගෙන ගන්න පොතක්පතක්වත් ගන්න වත්කමක් තියෙනවද කියලා...? ළමයින්ගේ අම්මලා තාත්තලත් ගහකොළයි කැලෑ සත්තුයි එක්ක ඔට්ටු වෙනවා මිසක් ළමයින්ගේ අඩුපාඩු හොයන්නවත් වෙලාවක් තියෙනවද...?”
“හ්ම්... ඒක නම් ඇත්ත තමයි.... එතකොට ඩොනේෂන් එක පනස් දාහයි.... ගමනට නවාතැන්වලට ලක්‍ෂ දෙක හමාරයි.... තුනයි... ඒ වගේම තව තව වියදම් වගේම ප්‍රතිලාබත් තියෙනවා...” කන්තෝරුවේ ලොකු මහත්තයාත් ගුණසීල මහත්තයාත් මහ හයියෙන් සිනාසුණේ තමන් උන් හිටි තැන ද අමතක කර දමමිනි. එහෙත් ඒ එක්කම ලොකු මහත්තයාට කාමරයේ කොනක සිටින පියසේන දැක ගත හැකි විය.
“පියසේන .... කෝ තවම ඔතැන අත ගගා ඉන්නවද....? කෝ තවම වැඩේ ඉවර නැද්ද....? ඕක ටක් ගාලා ඉවරයක් කරලා දාලා අර පාක් එකේ තියෙන මේ මහත්තයගේ කාර් එකේ තියෙන කිරි පිටි පාර්සල් ටික මගේ කාර් එකට දාන්න.... මේ පාර අපේ සමාජ සත්කාර වැඩ සටහනට ගෙනියන්න....”
ලොකු මහත්තයාගේ කාමරයේ දොර ඇරගෙන පියසේන එළියට ආවේ සහෝදරියගේ එකම දරුවාගේ සැත්කම වෙනුවෙන් ලක්‍ෂ එක හමාරක මුදලක් සොයා ගන්නේ කෙසේදැයි කියා තවමත් සිත තුළ නළියමින් තිබෙන ප්‍රශ්නයට උත්තරයක් සොයා ගැනීමට නොහැකිව දිගු සුසුමක් ද පිට කරමිනි.
• උපුල් වික්‍රමනායක