
මකර රාජ්‍යයේ චුක්කා නම් ප්‍රදේශයට අයත් කඳුකර ගම්මානයකි. එහි හුදෙකලාවේ පවුල් සියයක් පමණ එකිනෙකට දුරින් පිහිටි නිවෙස්වල ජීවත් වෙති. ගොවිතැන හා සත්ත්ව පාලනය ඔවුන්ගේ ජීවනෝපාය වෙයි. ගම්මානයේ නායකයා ලෙස කටයුතු කළේ ජුග්ගා සිං නැමැත්තෙකි. ඔහුගේ පුත්‍රයා ජුන්ගා සිං ය. දෙදෙනා ම අන්තිම කපටියෝ ය. අස්වැන්නෙන් භාගයක්, සත්ව පාලන ආදායමෙන් භාගයක් යන ලෙසින් සෑම පවුලක් ම මාස්පතා ගම්පතියාට කප්පම් ගෙවිය යුතුය. ඒ වෙනුවට ආරවුල් විසැඳීම, චාරිත්‍ර ඉටුකිරීම හා උපදේශන සැපයීම ගම්පතියා විසින් ඉටුකරනු ලැබේ.
නූගතුන් ගහන ඒ ගමෙහි එක් චාරිත්‍රයක් වූයේ විවාහයට පෙර ඕනෑම තරුණියක් ගම්පතියා අතින් ඉඳුල් වීමය. මංගල උත්සවය දා මනමාලිය සිය සහකරු සමඟ අතිනත ගත යුත්තේ ගම්පතියාගේ නිවසේ සිටය. එදින ගම්පතියා විසින් මනමාලියට දෑවැදි දෙනු ලැබේ. තමන් හොඳින් සතුටු කළ තරුණියකට වැඩි දෑවැදි ප්‍රමාණයක් ද අඩුවෙන් සතුටු කළ තරුණියකට සුළු දෑවැද්දක් ද ලැබෙනු ඇත.
ගැමියන්ගේ තවත් නියමයක් වූයේ සතියකට වරක් තම නිෂ්පාදන රැගෙන චුක්කාහි වෙළෙඳපොළට යෑම ය. ගමට පාරක් නොතිබුණු අතර තවලම් පිට බඩු රැගෙන යනු ලැබේ. තවලම ආපසු එන වෙලාවට ගම්පතියා හා ඔහුගේ තරුණ පුත්‍රයා මඟ රැක සිටිති. පුත්‍රයා ළඟ දිග උල් පිහියක් හා කසයක් ද තිබේ. කප්පම් සඳහා බොරු කියන අයට කසපහර හෝ උල්පිහි පහර ලැබෙයි. ගම්මු සියල්ලෝම ගම්පතියා ඉදිරියේ අසරණ වෙති. ඔව්හු නොසඟවා තම ආදායමෙන් භාගයක් ගම්පතියාට හෝ ඔහුගේ පුත්‍රයාට හෝ දෙති.
චුක්කා වෙළෙඳ පොළෙහි තවත් වෙළෙඳ දිනයක් නිමාවට පත් විය. විවිධ පළාත්වලින් වෙළෙඳපොළට පැමිණ සිටි කණ්ඩායම් සිය බඩු පොදිය හා කාසි ද රැගෙන ආපසු ගමන් ඇරඹූහ. කරත්තවලින් පැමිණ සිටි උදවිය ගොනුන් කරත්තයට ගැට ගසමින් උන්හ. පයින් පැමිණ සිටි උදවිය තම හිස මත්තේ බඩු පොදි තබා ගෙන ගමන් කළහ. කඳුකර ගම්මානයේ අය පමණක් තවලම් ගොන්නු ළඟ ඇණබාගෙන ශෝකයෙන් ඈත බලාගෙන උන්හ.
එක්තරා තරුණ වෙළෙන්දෙක් කඳුකර ගම්මානයේ ගැමියන් ළඟට'විත් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.
"ඇයි නුඹලා දුකෙන්
වෙළෙඳාමෙදි ලාභ - පාඩු
දෙකම දරාගන්ඩ ඕනෑ!"
"ලාභ - පාඩු දරාගන්ඩ පුළුවන්
කප්පම තමයි ප්‍රශ්නෙ!?"
"කියාපල්ල කවුද කප්පම් ගන්නෙ?
මං ඌගේ බෙල්ලෙන් අල්ලන්නම්!"
"මෙහෙ කෙනෙක් නෙමෙයි!
අපේ මුලාදෑනියා උන්දැ තමා
කප්පම් ගන්නෙ!"
"කෝ ඌ මෙතන ඉන්නව ද?"
"උන්දැ ඉන්නෙ අපි යන පාරෙ
කන්ද උඩ කපොල්ල ළඟ!"
"හොඳයි යමල්ල මාත් එක්ක
මං දෙන්නම් උන්දැට හොඳ
කප්පමක්!"
නිර්භීත තරුණ වෙළෙන්දා ගම්මු කැටුව දුෂ්කර මාර්ග දිගේ ගමන් කරන්නට පටන් ගත්හ. දියඇලි, මඩවගුරු, දෙණි, මූකළාන් පසුකොට කඳුකර කපොල්ල කරා සේන්දු වීමට වරුවක් තරම් කාලයක් ගත වී තිබිණි. ගැමියන් මෙන් ම සතුන් ද තෙහෙට්ටු වී සිටිය ද තරුණ වෙළෙන්දා උද්යෝගයෙන් පසු විය. ඔහුට කප්පම්කාරයා දැකගැනීමේ නොතිත් ආශාවක් තිබිණි.
කපොල්ල ළඟ සිට ඈත බලා සිටි ගම්පතියා පළමුව දුටුවේ අමුත්තාය. ඔහු උසට - උසේ වේගවත් අඩි තබමින් ගමන් කළේය. අමුත්තාගේ ශක්තිමත් ශරීරය දුටු ගම්පතියාගේ හිතේ ගැස්මක් ඇති වූ අතර, ඔහු තම පුත්‍රයාගේ බඩට ඇඟිල්ලෙන් ඇන අමුත්තා පෙන්වූයේය. පුත්‍රයා තම තීක්ෂණ දෑස් පුංචි කොට තරුණ වෙළෙන්දා දෙසඅම බලා සිටියේය. තවලම කපොල්ල අසලට එත්ම ගම්පතියා සුපුරුදු ලෙස ඉදිරියට පැන හෝව්! හෝව්! කියා එය නැවැත්වූහ. සත්තු පවා එම අනඥාවට එකවර ගල්ගැසී නැවතුණ හ.
"පළමුව කියාපල්ලා!
මේ අමුතු එකා කවුද කියල!
පිට උන්ට මෙහෙ එන්ඩ තහංචි!"
සියල්ලෝම ගල් ගිල්ලා සේ නිහඬව සිටිත්දී
නිර්භීත තරුණ වෙළෙන්දා ඉදිරියට පැමිණියේය.
ඔහුගේ ගමන් විලාසයට හා ශරීරයේ උසට ගම්පතියා මෙන් ම ඔහුගේ පුත්‍රයා ද තිගැස්සී සිටියහ.
"මං සාධාරණ වෙළෙන්දෙක්!
කල්කටාව, දිල්ලිය, කත්මණ්ඩුවටත්
මං වෙළෙඳාමේ යනවා!"
"හොඳයි එහෙනං
උඹ වැඩියෙන් ගෙවාපං!"
"කිසි කෙනෙක්
කප්පම් ගෙවන්නෙ නෑ!"
තරුණ වෙළෙන්දා මහ හඬින් කියා සිටියේය. ඒ සමඟම ගම්පතියාගේ පුත්‍රයා උල්පිහිය හා කසය අමෝරාගෙන අමුත්තා ඉදිරියට පැන්නේය. හොඳ සූදානමකින් සිටි තරුණ වෙළෙන්දා ජුන්ගාසිංට පා-පහරක් දුන්නේ ඈතට විසි වී යන අන්දමටය.
ගම්පතියා සැණෙන් ක්‍රියාත්මක වී තරුණ වෙළෙන්දා බදාගන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුට එය කළ නොහැකි විය. අත් ගුටි කිහිපයකින් ගම්පතියා අඩපණව බිම වැටුණේය.
ගම්මු හූ කියන්නටත් ගම්පතියාට හා ඔහුගේ පුත්‍රයාට පහර දෙන්නටත් පටන් ගත්හ. ප්රචණ්ඩත්වය කෙතරම් වේගයෙන් පැතිර ගියේ ද යත්; ගම්පතියා හා පුත්‍රයා කපොල්ල ළඟ මැරී වැටුණහ. පිරිස හූ කියමින් ගම්පතියාගේ නිවෙස වට කළ අතර කිසිවකු ඊට ගිනි තැබුවේය. ගම්පතියාගේ හා පුත්‍රයාගේ බිරින්දෑවරු සී - සී කඩ දුවන්නට පටන් ගත්හ.
සමහරු ගැහැනුන් අල්ලා දූෂ්‍ය කළහ. තම සමහරු උන්ගේ කර බැඳි මාල පැහැර ගත්හ. තවත් සමහරු ගම්පති නිවෙසේ වටපිටාව විනාශ කළහ.
නිර්භීත තරුණ වෙළෙන්දා මේ කිසිවක් නැවැත්වීමට සමත් වූයේ නැත. අවසන් ලෙස මරණ දෙකක් හා මහා විනාශයක් සිදු වී තිබිණි. එහෙත් ඒ ගමට පොලීසිය පැමිණියේ නැත. නඩු විභාග පැවැත්වූයේ නැත. ගම්මු යළිත් සුපුරුදු ලෙස සිය කාර්යයන්හි යෙදෙන්නට පටන් ගත්හ.
ඊළඟ පොළ දිනය අවසන් වෙත්ම කඳුකර ගම්මානයේ මිනිස්සු එක පෙළට තරුණ වෙළෙන්දා ඉදිරියේ පෙනී සිටියෝය. වෙළෙන්දා පුදුම විය. එක ගැමියෙක් කට ඇරියේය.
"අපි ඔබතුමාට අස්වැන්නෙන්
හතරෙන් තුනක් දෙනවා!
වෙළෙඳාමේ ලාභයෙන්
භාගයක් දෙනවා!"
තරුණ නිර්භීත වෙළෙන්දා මහා හයියෙන් සිනාසුණේය. ඊළඟට ශෝකයෙන් කතා කරන්නට පටන් ගත්තේය.
"උඹලා තවම වහල්ලු!
වහල්කමෙන් මිදෙන්ඩ
ගමට පාරක් කපා ගනිල්ලා!
පුංචි උන්ට උගන්නපල්ලා!"
ගැමියන්ගෙන් කිසිවකුට ඒ වචන වැටහුණේ නැත. ඔවුහු තම කප්පම තවදුරටත් වැඩි කරන්නට කතිකා කළහ.