දෑස් නොපෙනෙද්දී පවා ජීවිතය ම ලේඛනයට කැප කළ ජී. බී. සේනානායක | සිළුමිණ

දෑස් නොපෙනෙද්දී පවා ජීවිතය ම ලේඛනයට කැප කළ ජී. බී. සේනානායක

න්ධ බව දෙආකාර ය. සමහරු අන්ධ වෙන්නේ ඇස් නොපෙනීමෙනි. සමහරු මෝහාන්ධාකාරයෙනි. මෝහාන්ධකාරයෙන් නොපිරී ඇස් අන්ධ වූ ලේඛකයකු සිංහල සාහිත්‍යයේ කළ පෙරළිය ගැන ඔබ දැනටමත් දනී. සිය භෞතික ඇස් අන්ධබවෙන් වූ පීඩාව මඟ හැර ජිවිතයේ ලද අත්දැකීම් පාඨක ඥාණනය පිණිස ලියා තැබූ ජී. බී. සේනානායක ලේඛකයාගේ කෘතියක් මා අත වෙයි. කෘතිය විනිවිඳිමි අඳුර යි. අඳුර විනිවිඳ තව බොහෝ ලේඛකයන්ට අඳුර ට පහනක් දැල් වූ ලේඛකයාගේ ජිවිතය මේ කෘතියේ වියමන් වෙයි. 

අපදාන දෙවර්ගයකි. තමන් විසින් ම තම කතාව ලිවීමත්, වෙනකකු විසින් කුරුලු ඇසින් බලා තවකකුගේ කතාව ලිවීමත් ලෙසිනි. මේ අපූරු ලේඛකයා මෙයින් තෝරා ගන්නේ පළමු වැන්න ය. ඔහුට සිය ජිවිතයේ සඟවන්නට යමක් නැත. ඒ ජිවිතය පෙරළා තවකකුගේ ජීවිතය ආනන්දීය කරන්නට බලපෑම් කරන්නේ නම් එය සමාජ මෙහෙවරකි. සිය භෞතික කායේ වූ අත්‍යවශ්‍යම අංගයක් වන ඇසේ නොපෙනීම ලද්දකු විසින් කරන ලදැයි නොසිතිය හැකි තරමේ වැඩ කන්දරාවක් මේ ලේඛකයා විසින් එකල්හි පවා කර තිබේ. එසේ කළ අයුරු පිළිබඳ මේ සටහන මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ බොහෝ නොහැකියාවන් පිළිබඳ කතා කරන බොහොමයක දැන ගැන්ම පිණිස ය. විනිවිඳිමි අඳුර කෘතියේ ආරම්භයේ සඳහන් වෙන්නේ මෙලෙසිනි.

‘වක්වෙමින් ශාන්ත ලෙස මෙතෙක් කල් ගලාබට මගේ ලේඛක ජීවිතය මහ හඬ නඟා ශීඝ්‍ර ලෙස ඇද හැලෙන මහත් දිය ඇල්ලෙන් යුත් ගඟක් බවට පෙරළිණ. පෙර අවුරුද්දකට එක් පොතක් පමණ ලියූ මම එක අවුරුද්දකට පොත් දහයක් පමණ ලියන්නකු බවට පත්වීමි. මෙය මගේ ද විස්මයට හේතු විය. මේ විපර්යාසය ඇති වූයේ කෙසේ ද යන්න මට නිසැක ලෙස කිව නොහැකි ය. කී සැටියෙන් ම අනිකකු ලවා ලියවා ගැනීම නිසා මේ වෙනස ඇති වූයේ ය‘

මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවෙයි. මිනිසකු විනාශ කරනන්ට පුළුවනි. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය කියා කිව්වේ ලෝක පූජිත නවකතාවක් ලියා සම්භාවනාවට පාත්‍ර වූ අර්නස්ට් හෙමින්ග්වේ ය. අර්නස්ට් මිලර් හෙමිංවේ ඒ අමරණීය වචන දුප්පත් ධීවරයකුගේ මුවට නංවන්නේ මහල්ලා සහ මුහුද කෘතිය ලියමිනි. ජී. බී. සේනානායක ලේඛකයාට මේ වචන සාකල්‍යයෙන් ම ගැළපෙයි. ඇස් නොපෙනී ම ලිවීමට වන අවැසි ප්‍රධාන ම සාධකය වුව ද හේ එයින් පරාජය වෙන්නේ නොවේ. වෙනදාටත් වැඩියෙන් ලියන්නේ ය.

තව කරුණක් කිව යුතුව තිබේ. මානව වර්ගයාගේ භාව ගැන කතා කළ අපූරු පොතක් ලතින් බසින් ඊනිඩ් නමින් ලිව්වේ වර්ජිල් නම් මහා කවියා ය. මේ ඊනිඩ් කාව්‍ය පිළිබඳ බොහෝ රසවත් හා අපූර්ව කතා තිබේ. සිය කාව්‍ය කෘතිය පරිසමාප්ත අර්ථයට ළඟා නොවූයේ යැයි සිතා සිය මරණයෙන් පසු මේ කාව්‍යය විනාශ කළ යුතු යැයි කීවේ එහි ලේඛකයා වූ වර්ජිල් ය. එහෙත් වර්ජිල්ගේ කාව්‍ය ආරක්ෂා කළ යුතු යැයි ද එය පොදු රසකාමී ජනයා වෙනුවෙන් පළ කළ යුතු යැයි ද නියෝග කළේ ලෙබනනයේ ඔගස්ටස් අධිරාජ්‍යයා ය. මරණින් මතු වර්ජිල් කවියා අමරණීය වෙන්නේ එපරිද්දෙනි. මේ කාව්‍යයේ කාව්‍ය සැකිල්ල ගැන ස්වකීය ‘සාහිත සේසත්‘ නම් කෘතියේ ජී. බී. සේනානායක ලේඛකයා ඉදිරිපත් කරන සටහනේ අවසාන වැකි දෙක මට ඔබට කියන්නට අවැසි ය. ඒ ජීවිත විවරණත්, නිර්මාණ ජීවිත ජීවත් කරවන සැටිත් ඔබට කියන්නට ය.

ඊඩ්න් හි රසභාව පිළිබඳ අපමණ විවරණ පාඨකයාට ඉදිරිපත් කරන ජී. බී. ලේඛකයා ඔහුගේ ව්‍යායාමයේ සුපසන් බව මෙසේ වැකි කිහිපයකට ගොනු කරයි.

‘නැතැයි කිවයුතු තරමට පණ ඇති පුද්ගලයන් හිඟ කාව්‍යයක්, ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ඔහු තැත් කළේ ය. ඔහුගේ තැත සාර්ථක වූයේ ය‘

කවියා මරන්නට හැකි වුවත් කවිය මරන්නට බැරි වෙයි. එය සාහිත්‍යයේ සාකල්‍ය නියමයයි. හොඳ සාහිත්‍යයක් අමරණීය ය. එනයින් ඒ සාහිත්‍ය කළ සාහිත්‍යකරුවා ද අමරණීය ය. අමරණීය පුද්ගලයන් මෙන්ම එකී සාහිත්‍ය ගුණ සුවඳ පතුරන්නට ස්වකීය සාහිත්‍ය ගමන් මඟ සාධනය කරන්නා ද අමරණීය ය. නිදහස් කාව්‍ය සම්ප්‍රදාය හඳුන්වා දීමේ ලා පූර්ව සුයාමය කරන ජී. බී වැන්නන් වටින්නේ ඒ නිසා ය.

සිංහලයට නව කවිය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවර කරන්නේ ජී. බී. සේනානායක විසිනි. ජී. බී.ට මේ ගෞරවය දෙන්නට බොහෝ අය මැළි විය. ඒ අතර සිරි ගුණසිංහ ද විය. ඒ පිළිබඳ අබිනික්මන පෙරවදනේ ද හේ නොපැකිළ ව දක්වා තිබේ. එහෙත් ජී. බී කවි මඟ විමසන්නකුට මේ වැනි මතවාද එකහෙළා පිළිගන්නට නොහැකිය. ඔහු සිය නිර්මාණ කාර්යය කරන්නේ සිය ජීවිතය සදිසි ව කැපවීමෙනි. එකී ධාරණාවට මුළුමනින් ම සමවැදීය. ජීවිතයත් නොතකා එසේ සමවැදුණු නිර්මාණකරුවන් අල්ප ය. වින්සන්ට් වැන්ගෝ ගැන කතා කරන බොහෝ ප්‍රබුද්ධයන් අපේ ජී. බී ද එවැන්නකු බව අමතක කිරීම කනගාටුවට කරුණකි.

ජී. බී. හොඳ කියවන්නෙකි. හේ ජීවිත කාලය පුරා ම කළේ කියැවීම ය. අවසන ඔහු සිය ඇස් අන්ධ වෙනතෙක් ම කියැවූයේ ය. ඒ පරිශීලනය කළ කෘති අතර පෙරපර දෙදිගම කාව්‍ය හා ගද්‍ය කෘති වෙයි. එකී සිය පුරුද්ද ගැන හේ සිය ‘මම එදා සහ අද‘ කෘතියෙහි 159 පිටුවේ සඳහන් කරන්නේ මෙවැන්නකි.

‘මා බාල කල සිට අන්ධ වෙන තෙක් ම පොතපතෙහි ඇලී ගැලී ජීවත් වූවෙක් මි. මම සාහිත්‍ය පොත් සේම, සාහිත්‍ය ඉතිහාස පොත් ද වෙනත් විද්‍යා පොත් ද කියවීමි‘

ඔහු කවියේ තාලය ගැන සිතුවේ නැත. ඔහු පවසන පරිද්දෙන් කවියක තාලය හෝ ශබ්ද මාධූර්යය කැපී පෙනෙන්ට වුවහොත් එය කාව්‍යයට හානියකි. එමෙන් ම ඔහු නිරන්තර කීවේ අර්ථය බොහෝ සේ පැහැදිලි වන අයුරෙන් ද කවි නොලිය යුතු බවෙකි. ජී. බී. චිත්ත රූප භාවිතයේ ලා බෙහෙවින් සැලකිලිමත් වූයෙකි. 

ජී. බී. විචාර චින්තා දවටා ලියන්නෙක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ හා ඩබ්ලියු. ඒ. අබේසිංහ වැනි ලේඛකයන් විග්‍රහ කරන්නේ ඒ නිසා ය. කවියා හුදෙකලාවට පත් වීමේ ඉම විසින් ඔහුගේ කාව්‍ය විචාරය හා වන සැබැඳියාව මැනවින් විග්‍රහ වෙයි.

කවියා අරුත් සම්පාදනය කරන්නේ හැම කලට ම උචිත වන අයුරෙනි. සැබෑ කවිය අකාලික වන්නේ ඒ නිසා ය. ජී. බී.ගේ කවි සැම කාලයට ම මෙන්ම සැම ප්‍රභේධවලට ම ද උචිත ය. එනිසා ඒවා මොන දේශයේ පැළ කළත් සරුවට පැළ වෙන්නේ ය; බීජ උත්පාදනය කරන්නේ ය. කවිය කිසිවිටෙකත් ප්‍රහේලිකාවක් නොවේ. එය පදානුඅර්ථය පමණක් සම්පාදනය කරන්නක් ද නොවේ. චිත්ත රූප සංජානනය කරන්නේ යම් සේ ද එය හදවතේ තැන්පත් වෙයි. ජී. බී. ගේ කවි අපට දැනෙන්නේ ඒ හදවත් බස නිසා ය.

කෙසේ නමුත් සඳැසකින් තොර කවි ලිවීමේ ආරම්භකයා ජී.බී. ය. ඒ අනුව නිසඳැස් කාව්‍යකරණය සාහිත්‍ය රසිකයාට හඳුන්වා දුන්නේ ජී.බී. ය. රොහාන් පියදාස විසින් ජී. බී. සමඟ “කල්පනා” සඟරාවට කළ සංවාදයක කියා ඇත්තේ තමා ලියූ මුල් ම නිසදැස් පද්‍ය පළ වූයේ 1946 ලියූ ‘පලිගැනීම” පොතේ නොව, කේ. එම්. සිරිසේන විසින් සංස්කරණය කළ “වෙළඳාම” සඟරාවට 1940 දශකයේ ලියූ ‘දාසයා’ නිදහස් පද්‍යයෙන් කියා ය.

ජී. බී. සේනානායක නාමය පොදු ජනයා අතරට යන්නේ කෙටිකතා ඔස්සේ ය. 1945 දී දුප්පතුන් නැති ලෝකය කෙටිකතා සංග්‍රහයෙන් ග්‍රන්ථකරණයට පිවිසෙන හේ එයින් අනතුරුව නවකතා, ශාස්ත්‍රීය සාහිත්‍ය විග්‍රහ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුරු ව යෙදෙයි. ඔහු විධිමත් අධ්‍යාපනයක නිරත වූවෙක් නොවේ. ඔහු ම පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වෙන්නේ හත්වැනි ශ්‍රේණියෙනි. හේ ස්ව අධ්‍යයනයෙන් හා ප්‍රතිභාවෙන් ද ව්‍යුත්පන්නයෙන් ද ආභාසය ලැබූවෙකි. කියැවීමෙන් ම ආභාසය ලැබූවෙකි. කියැවීමේ පුරුද්ද ඔහුට හුරු කරන ලද්දේ ආනන්දයේ ඉගෙනුම ලබද්දී පස්වන පන්තියේ ඉගැන්වූ ගුප්ත නම් ඉන්දියානු ජාතික චිත්‍රකර්ම ගුරුතුමා ය. ජී. බී. ගේ සිත බටහිර සාහිත්‍යයට යොමු කළේ ඔහුයි. අතට අසුවන ඕනෑම පොතක් හෙටට කල් නොයවා අදම කියවා හමාර කරන පුරුද්දක් ඔහු සතු විය. හේ දීර්ඝ කාලයක් තිස්සේ ස්වයං හුදෙකලාවක නිමග්න වූවෙකි.

ලේඛකයකුට මෙවැනි හුදෙකලා වීම් විටෙක සරසවියකි. තමා සමඟ හුදෙකලා වීම සහ එය ආශ්වාද කිරීම පහසු කරුණක් නොවේ. ඒ සඳහා වන ආත්ම ශික්ෂණයක් ඊට අවැසි ය. ඔහුගේ විශ්වවිද්‍යාලය වූයේ මහජන පුස්තකාලයයි. කාලයක් තිස්සේ ජී. බී. පුරුදු ව සිටියේ උදේ පාන්දර වෙද්දී මහජන පුස්තකාලයට විත් මහ රෑ පුස්තකාලය වසන විට නික්ම යන්නට ය. 

මේ සියල්ලෙන් ජීවිතාවබෝධය පුළුල් කරගත් ජී. බී. ලේඛනයට පිවිසෙන්නේ හේමපාල මුනිදාස සංස්කරණය කළ බෞද්ධයා පුවත්පත ඔස්සේ ය. අනතුරුව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කතු පදවියෙන් ඔපවත් වූ දිනමිණ කර්තෘ මණ්ඩලයට ඔහු එක් වෙයි. එහෙත් සිය හැකියාව හා දැනුම කුණු කොල්ලයට විකුණනන්ට ජී. බී. සිතුවේ නැත. ඒ හෙයින් ම සිය වැටුප රුපියල් හැත්තෑපහකින් වැඩි නොකිරීම නිසා හේ වරක් ලේක්හවුසියෙන් එළියට බැස්සේ ය. යළිත් ඔහු පත්තර මහගෙදරට එන්නේ රුපියල් පන්සියයක වැටුපකට හිමිකම් කියමිනි. එකල පන්සියයක් යනු ලොකු මුදලකි. අමාරුවෙන් ගොඩනඟා වර්ධනය කරගත් ස්වකීය ලේඛනය කුණු කොල්ලයට විකුණන්නට ඔහු සිතුවේ නැත. ඒ ගැන ඔහු පවසා ඇත්තේ මෙසේ ය. 

“මැක්සිම් ගෝර්කි නැමැති සාමාන්‍ය උගත්කමක් නොලැබූ රුසියන් ලේඛකයා මෙන් මම ද අධ්‍යයන පිපාසයෙන් පෙළුණෙමි. මම කිසිවකුට උගත්කමෙන් දෙවැනි වන්නේ නැහැ යන අධිෂ්ඨානය මා තුළ විය. මේ අධිෂ්ඨානයෙන් මම දිවා රෑ පොත් කියැවීමි. පොත් කියැවීම හා ලිවීම පිළිබඳ වැඩ දවසින් දවස කල් නොදමන ලෙස මම බාල පරම්පරාවෙන් ඉල්ලා සිටිමි”

ජී. බී ට හොඳ ම සහතිකය ලැබෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙනි. ජී. බී. ගැන මාර්ටින් වික්‍රමසිංහයන් ස්වකීය ස්වයං ලිඛිත අපදානය වන උපන්දා සිට කෘතියේ සඳහන් කරන්නේ මෙපරිද්දෙනි.

“හොඳ කෙටි කතා ඇත්දැයි සොයනු පිණිස මම දිනමිණ ලියුම්කාරයාගේ පරණ ලිපි මිටි නිතර අවුස්සන්නට වීමි. අවුරුදු දෙක තුනකට පෙර එවන ලද විශේෂ ලිපි, කවි හා කතා ද ඒ අතර විය. මා කතුකම කරන්නට පෙර දිනමිණ කතුකම කළේ මගේ මිතුරෙකි. ඔහු විසින් පිළිකෙව් කරන ලද ලිපි ගොඩකින් කෙටි කතා කිහිපයක් තෝරා ගත්තෙමි. එකක් මුල සිට කියවා බලන්නට වටින්නක් යැයි මට හැඟිණි. එහි කුරුමිණි කකුල් වැනි ඉරි සහිත අකුරු ඇස නොපිනවයි”.

මේ කුරුමිනි කකුල් වැනි අකුරු ජී. බී. ගේ ය. මේවා කුමක් හෝ නිසා පළ වූයේ නැත. එහෙත් මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ඒවා මග හැරෙන්නේ නැත. හොඳ ලේඛකයන්ට තවත් එවැනි ලේඛකයන් හඳුනා ගැනීමට අපහසු නැත. ඉතා හොඳ තත්ත්වයේ තිබුණු සේනානායකගේ කෙටිකතා දෙකක් මාර්ටින් වික්‍රමසිංහ 'දිනමිණේ' පළ කළේ ය. පසුව ඩී. ආර්. විජේවර්ධන 'දිනමිණ' පුවත්පතේ සේවයට සුදුස්සකු දන්නේදැයි වික්‍රමසිංහගෙන් විමසන විට වික්‍රමසිංහ සඳහන් කළේ සේනානායකගේ නම ය. ජී. බී. සේනානායක දිනමිණේ සේවයට ආවේ ඒ ආකාරයෙනි.

ජී. බී. ගේ පෙනීම අහිමි වෙන්නට පටන් ගන්නේ බැඳුම නම් කෘතිය ලියා අවසාන වන විට ය. සම්පූර්ණ අන්ධ භාවයට පත් වන විට ඔහු නවකතා නවයක් ලියා තිබිණි. අන්ධ භාවයට පත් වීමෙන් පසුව හේ නවකතා දහයක් ලිව්වේ ය. එකල ඔහුට ලියන්නට සහය වූයේ අයියාගේ බිරියත් දරුවනුත් ය. මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර, රළ බිඳුම, කැකෑරිල්ල, මලපුඩුව, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, එකට එක, මදුපාණි වැනි නවකතා ත්, දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම, ඈත බැලුම, ගමන, නැටුම, මිතුරිය වැනි කෙටිකතා සංග්‍රහත්, සාහිත්‍ය දර්ශන සිතුවිලි, මම එදා සහ අද වැනි ස්මරණ හා සාහිත්‍යමය ප්‍රවේශත් ඔහුගේ සාහිත්‍ය ගමනේ මිණි මුතු ය. බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව ආදී ශාස්ත්‍රීය කෘති මේ ගමනේ අනාගත පරම්පරාව වෙනුවෙන් කළ දායාද ය. ජී. බී. ගේ නිධානය ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් කළ නිධානය චිත්‍රපටය ද ඔහුගේ ජීවිතයේ කඩඉමකි. තුන්වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලද ඔහුට, 1985 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරී ආචාර්ය උපාධිය පිරිනැමුවේ ය. එයට ඔහු සාකල්‍යයෙන් ම සුදුසු වූ අතර, එය එකී විශ්වවිද්‍යාලයට ආභරණයකි.

සාහිත්‍යමය හා දාර්ශනික ප්‍රවේශයකින් නිර්මාණකරණයේ යෙදුණු ජී. බී. අසීමිත කියැවීමත් හැදෑරීමත් ආභාසය කරගත්තෙකි. ඔහුගේ දිවිසැරියත් ලිවිසැරියත් ගැන වන කතාබහේදී ජී. බී. ලංකාවේ දොස්තයෙව්ස්කි යැයි සමහරුන් පවසන්නේ සහෙතුකව ය. මහණ වී සිට සිවුරු හළ පියාගේ පාලි සංස්කෘත ආභාසය ද ශ්ලෝක හා ගාථා ද ඔහුට බලපාන්නට ඇත. ඒ අතරට ඔහු විදෙස් ලේඛකයන්ගේ නිර්මාණ හැදෑරීම් ද අන්තර්ගත වෙන්නට ඇත. තම ජීවිතයට ඩයොජිනීස් නැමැති ග්‍රීක දාර්ශනිකයාගේ චරිතය බලපෑ බව ඔහු ම වරක් කියා තිබේ. ජීවිතයෙන් සමුගන්නට පෙර දිනය තෙක් ම ඔහු ලියූ නිදහස් පද්‍ය රචනාව රාජාලියා ය. කුටුම්භ බැඳීම්වලින් පවා වියුක්ත ව හේ සාහිත්‍යයට ම පෙම් බැන්දේ ය. එහි ප්‍රතිඵල ලැබුණේ සාහිත්‍ය රසකාමීන් ට ය; හදාරන්නන්ට ය. උසස් පාඨශාලීය හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් නොලද ඔහු සාහිත්‍යකාමීන්ට ජීවිතය කියා දුන්නේ ජීවත් වීමෙන් හා හැදෑරීමෙන් ලද පන්නරයෙනි. එනිසා ම ඒවා අපේ ම ජීවන විවරණ විය.

සිංහල මධ්‍යම පාන්තික ජීවිතය අකුරු ඔස්සේ වියමන් කළ මේ ලේඛකයාට ජීවිතය සුවපහසු නොවන්නට ඇත. එහෙත් හේ සහෘදය පාඨක සිත් සුවපහසු කරන්නට කළ වියමන් අකාලික ය.

Comments