
අපේ රටේ කාලයෙන් කාලයට මතුවන විවිධ මාෆියා තිබේ. විටෙක විදුලි බල මාෆියාවය. තවත් විටෙක ජල බෝතල් මාෆියාවය. සහල් මාෆියාව ඒ අතුරින් ජනතාව මුහුණ දෙන බරපතළම අර්බුද මතු කරන මාෆියාවය. බොහෝ විට මහා පරිමාණ වී මෝල් කරුවාගේ සිට අතරමැදියා හරහා තොග වෙළෙන්දා දක්වා මේ මාෆියාවේ කොටස්කරුවෝ වෙති.
එහි ප්‍රතිඵලය වන්නේ ගොවියාත් මහජනතාවත් අතරමං වීමය. රජය අපහසුතාවට පත්වීමය. වී මෝල්කරුවන්ගේ අතමිට සරුවීම නොව ඔවුන්ට ඇතෙක් බරට වස්තුව පහළ වීමය. එහෙත් ඒ අහිංසක ජනතාවගේ රීරිමාංශ හූරාකමින් බව ඔවුන් හොඳාකාරවම දනී.
මේ වන විට බොහෝ සහල් වර්ගවල මිල කිලෝව රුපියල් 300ට ආසන්න වී තිබේ. ගෑස් නොමැතිව, ඉන්ධන නොමැතිව සිටින ජනතාව මේ නිසා කබලෙන් ළිපට වැටී සිටිති. මෙසේ එක්වරම මිල ඉහළ යාමට හේතුව කුමක්ද? සිළුමිණ මේ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදිණි.
එහිදී මීට පෙර සිදු කරන ලද හාල් මාෆියා ගැනද විමර්ශනය කළ යුතුය.
වරින් වර වෙළෙන්දන් හා ආනයනකරුවන් විසින් හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හිතුමතේ ඉහළ දැමීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් විසින් මහජන ආරක්‍ෂණ පනත යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් 2021 වසරේ අගෝස්තු 30 නිකුත් කරන ලදී. ඊට සමගාමීව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් ද පත් කරන ලදී.
විශේෂයෙන්ම සහල් පිළිබඳ ගැටලුව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට විසඳීමට කටයුතු කළ යුතු බවට ජනාධිපති විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ගොවියා, ව්‍යාපාරිකයා මෙන්ම පාරිභෝගිකයාත් ආරක්‍ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් කෙරෙහි රජයේ අවධානය යොමු විය. ජනාධිපතිවරයා ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් සමඟද සාකච්ඡා කරන ලදී.
එහිදී වී ගොවියා ශක්තිමත් කිරීම සඳහා රුපියල් 32 ක් පමණ වූ වී කිලෝව වෙනුවෙන් සහතික මිලක් නියම කරන ලදී. ඒ අනුව නාඩු සහ කැකුළු වී කිලෝවක් සඳහා රුපියල් 50 ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52 ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55 ක් වශයෙන් මිල නියම කෙරුණි.
සාමාන්‍යයෙන් වී කිලෝ එකහමාරක් සහල් කිලෝවක් වෙනුවෙන් වැය කළ යුතු වූ අතර ඒ අනුව සම්මා සහල් කිලෝවක් වෙනුවෙන් වී අවශ්‍ය වන්නේ රුපියල් 78ක් පමණ වන නමුත් සහල් කිලෝවක් රුපියල් 150 ක් පමණ මිලකට නියම විය. එමෙන්ම කීරි සම්බා කිලෝවක් වෙනුවෙන් වී වැය වන්නේ රුපියල් 83කටත් වඩා අඩු මුදලක් වන නමුත් කීරි සම්බා කිලෝවක් රුපියල් 225ක් පමණ දක්වා එකල ඉහළ නංවා තිබුණි. එම දිනවල නාඩු කිලෝවක මිල රුපියල් 125ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එමඟින් ජනතාවෝ දැඩි අසරණභාවයටත් අසාධාරණයටත් ලක්වූහ.
ඒ අනුව යළිත් මහජන ආරක්‍ෂණ පනත යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ක්‍රියාත්මක විය. ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103 ක්ද නාඩු හාල් කිලෝවක් සඳහා රුපියල් 98 ක් ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 125 ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95 ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුණි. ක්ෂණයකින් වෙළෙඳ පොළේ සහල් හිඟ වන්නට විය.
මහා පරිමාණ වී මෝල් හිමියන් හා අනෙකුත් තොග වෙළෙඳුන් ඇතුළු ව්‍යාපාරිකයෝ පොරොන්දු වූයේ මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් නොකරන බවය. එහෙත් ඒ පොරොන්දුව හුදෙක් වචන මාලාවක් පමණක් විය.
අවසානයේ සිදු කරනු ලැබුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ඔවුන්ගේ දෛනික සහල් නිෂ්පාදන සහ බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රමාණයකින් පහත හෙළීමයි.
ඒ වන විට කොවිඩ් 19 වසංගතයෙන්ද ජනතාව දැනට වඩා වැඩි පීඩාවකට පත්ව සිටි අතර ඒ අවස්ථාවේ පාරිභෝගිකයා රැක ගැන්මේ වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මහා පරිමාණ වී මෝල් වැටලීමට කටයුතු කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් 8 වැනිදා පමණක් ප්‍රධාන වී මෝල් හිමියන්ෙග් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ 807,375 ක් ලබාගන්නා ලදී.
අප මේ කතා කෙළේ පසුගිය වසරේ පමණක් සිදු වූ එක් සිදුවීම් මාලාවක් ගැන පමණි.
සාමාන්‍යයෙන් රටේ සහල් මිල ඉහළ පහළ යෑමත් වී මිල ඉහළ පහළ යෑමත් මේ මහා පරිමාණ මෝල් හිමියන් අත රඳා පවතින බව රටම දන්නා රහසකි. ඇත්ත කතාව නම් කිසිදු රජයකට මේ ඒකාධිකාරය සහල් මාෆියාව බිඳලන්නට හැකියාවක් නොමැති වීමය.
මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ මේ ඒකාධිකාරියට විසඳුමක් පෙනෙන්නටවත් නැත. ඇත්ත එයයි.
එහෙත් 1971 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුව දේශීය ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඊට රාජ්‍ය මැදිහත්වීම සිදු කරන්නටත් උත්සාහ ගන්නා ලදී. ඒ අනුව හිගුරක්ගොඩ, හසලක, තිස්සමහාරාමය, ගල්ගමුව, පොළොන්නරුව වැනි ප්‍රදේශවල මහා පරිමාණ වී තොග රැස් කිරීම සඳහා සහල් ගබඩා ඉදි කරන ලදී. ‘හාල් සයිලෝ‘ නමින් හැඳින්වූයේ එයයි.
පසුගිය වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අඩු මිලට සහල් දෙන්නට හැකි බව පැවසුවද පසුව ඔවුන්ගේ අදහස ද යට වී ගියේ ය. ආරම්භයේදී ඔවුන් පොළොන්නරුවේ සතොස හරහා බෙදා හැරීමට සහල් කිලෝ 25,000ක් ලබා දෙන ලදී. ඒ කාර්යය ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නැත.
එමෙන්ම පසුගිය වකවානුවේ සතොස හරහාද සහල් මාෆියාවක් සිදු විය. එහිදී මන්නාරම ඇතුළු පෙදෙස් රැසක කූට ව්‍යාපාරිකයන්ගේ මල්ල සරු විය.
ඉතිහාසයේ සිට මේ දක්වා සිදු වන්නේ රජය හාල් මිලට පාලන මිලක් යෙදූ විට සහල් තොග සැඟවීමයි. එවිට පාලන මිලට කිසිසේත්ම සහල් සොයා ගැන්නට නැත.
ක්‍රමයෙන් සහල් මිල වැඩි වේ. සහල් සොයා ගැන්මටත් නැති තැන කළුකඩ කල එළි බසී. එළියේ නැති හාල් පස්සා දොරින් වැඩි මිලට අලෙවි වේ. මේ දක්වා සිදු වූයේ මේ හෙයියම්මාරුවයි. අද වනවිට සිදුව ඇත්තේ මේ තත්ත්වයට විසඳුම් දෙන්නට කිසිදු මැති ඇමැතිවරයකුට නොහැකි වීමය. වරෙක යුද හමුදාව යොදා සහල් සංචිත ඇති කළද අවසානයේ හමුදාවද අබිබවා ගොස් එයද මැඬ පවත්වන්නට මේ මාෆියාවට හැකි විය. තත්ත්වය ඒ තරම්ම බරපතළය.
මහා පරාක්‍රමබාහු රජු සමයේ සහල් අපනයනය කළ අපට අද සිදුව ඇත්තේ සහල් ආනයනය කරන්නටය. පසුගිය ත්‍රස්තවාදී යුද සමයේදී අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානයන්හි කුඹුරු වගා කෙළේ නැත. අද ඒවාද විවෘතය. එහෙත් මාෆියාවට තිතක් නම් නැත.
අපි මේ සම්බන්ධයෙන් ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී හා වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශනගෙන් විමසුවෙමු.
‘‘සාමාන්‍යයෙන් මේ කාලෙ අපේ රටේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් විතර ලැබෙනවා. ඒත් මෙවර අස්වැන්න 40%ක් විතර අපිට අඩු වන බවක් පේනවා. ඒ වුණත් මෙට්‍රික් ටොන් ලක්ෂ 23ක් විතර ලැබී තියෙන්න ඕන. එයින් 10%ක් විතර ඉදිරි වගා කටයුතු වෙනුවෙන් තබා ගැනීමත් අපතේ යාමත් වන්නට පුළුවන්. සහල් බවට පත් කිරීමේදී එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් පමණ අපට ඉතිරි වෙනවා. එය සාමාන්‍යයෙන් මාස 7ක පමණ අපගේ පරිභෝජනයට ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව මේ වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ (හාල් මෙට්‍රික් ටොන් 390,000ක්) මේ දක්වා ආනයනය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසය පමණ දක්වා සහල් තොග හොඳටම ප්‍රමාණවත් වෙනවා.
සාමාන්‍යයෙන් අපට මාසෙකට අවශ්‍ය වන්නේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ ප්‍රමාණයක්. ඒ අනුව වසරකට අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි.
ඒ අනුව අපට පේන්නෙ මේ සහල් හිඟ වීම කෘත්‍රීමව මවන ලද්දක් බව පැහැදිලියි.
ඒ වගේම පොහොර ප්‍රශ්නය නිසා මේ කන්නයේ ආරම්භයේදී හෙක්ටයාර් ලක්ෂයක්වත් වගා කර තිබුණේ නැහැ. ඒත් මේ වෙනකොට හෙක්ටයාර් ලක්ෂ 4 ½ක් වගා කර තියෙනවා. කිසිම පොහොරක් නොදැම්මත් ඒ අස්වැන්න අපට මාස 3කට ප්‍රමාණවත් වෙනවා. කොහොමත් ඉන්දියාවෙන් ඉදිරියේදී පොහොර එනවා.
බස්නාහිර පළාතේ ඇතැම් පිරිස් රජරට ඇතුළු වී වගා කරන ප්‍රදේශවලට ගොස් වී මිලට ගැනීම නිසා අධි ඉල්ලුමක් එක්වරම පැමිණීමත් මේ තත්ත්වයට හේතු වුණා වන්නට පුළුවන්. එහෙම වී ගෙනැත් ගොඩ ගහගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. දැන් තියෙන දෙමුහුන් හාල් ගොඩක් කල් තියාගන්න බැහැ.
පෙර භාවිත කළ බටපොළ, පච්ච පෙරුමාල්, සුවදැල් කළුහීනැටි වැනි හාල් කාලයක් තියා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවෙන් සමහර විට ඒ වී තොග විනාශ වෙලා යන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක මහා අපරාධයක් වෙනවා.
මම වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයෙක් හැටියටත් ඒ වගේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පර්යේෂකයෙකු ලෙසත් කියන්න තියෙන්නෙ මේ වෙලාවෙ අනවශ්‍ය ගොඩ ගසා ගැනීම් එහෙමත් නැත්නම් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. අවශ්‍ය තරම් සහල් රටේ තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට මඩකළපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල අස්වනු නෙළන්න පටන් අරගෙන තියෙන්නෙ.
අපේ රටේ බරපතළම ලෙසින් වී තොග අහිමි වුණේ 2016 හා 2017 අවුරුදු දෙකේදි. ඒ කාලෙවත් මේ වගේ ගැටලු මතුවුණේ නැහැ. ඒ තත්ත්වය අපි හොඳින් සිහිතබා ගත යුතු වෙනවා.‘‘
ජාතික ගොවිහඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු ටෙරන්ස් ගාමිණී පැවසුවේද හාල් අර්බුදයක් නොමැති බවත් මහා පරිමාණ හාල් මෝල් හිමියන් විසින් හාල් තොග ගබඩා කරගෙන සිටීම නිසා යම් ආකාරයක හිඟයක් මතුව ඇති බවත්ය. වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර අස්වැන්නේ 40%ක අඩුවීමක් තිබුණද ඉදිරියේදී මාස් කන්නයේ ගොයම් කැපීම සිදු වන හෙයින් හාල් හිඟයක් කිසිසේත්ම ඇති නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
කුඩා පරිමාණ මෝල්වල වී ගබඩා කර නොමැති බවත් සියල්ල පාලනය කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් බවත් ඒවා නිසි අධීක්ෂණයකට ලක් නොවන බවද ටෙරන්ස් මහතා පවසයි. එමෙන්ම මහා පරිමාණ වී මෝල්කරුවන් වෙනත් අයගේ ගබඩා ලබාගෙන ඒවායේද හාල් ගබඩා කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විට වී විකිණීමෙන් ගොවියන් වැළකී ඇති බවද පවසන ඔහු පෙන්වා දුන්නේ ඇතැම්විට සහල් ආනයනයට කටයුතු කිරීමට අදහස් කරනු ලබන අයගේ යම් ක්‍රියාවක් සහල් හිඟය පිටුපස තිබෙන්නට ඇති බවයි.
මේ වසරේ වී අස්වැන්න අඩුවීමට හේතුව ගොවීන් ඇතැම් දේශපාලකයන්ගේ බසට රැවටී වගා නොකිරීම බවත් රාජාංගණයේ ගොවියන් නියමිත කාල වකවානුවේ වගා ආරම්භ කළ බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ පොහොර අවශ්‍ය නොවූ බවයි.
ඔහු පෙන්වා දුන්නේ ‘සිස්ටම් චේන්ජ්‘ එකක් ගැන කතා කරන අප රසායනික පොහොර නැතිව ගොයම් සකසා ගන්නට ‘චේන්ජ්‘ නොවන බවයි. රාජාංගණයේ ගොවියන් එයට නිසි පිළිතුරක් ලබා දී ඇති බවත් රාජාංගණයට පැමිණ ඒ බව සියැසින් බලා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
හෙල්දිෆ්ලා කර්මාන්තශාලා කළමනාකාර අරුණ කාන්ත බණ්ඩාර පැවසුවේද හාල් ප්‍රශ්නය කෘත්‍රීමව ඇති කන ලද්දක් බවයි. මහා පරිමාණ වී ගබඩා වල වගේම ඔවුන් වෙනත් අයගේ ගබඩාවලද වී ගබඩා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙරට වගාවන්ට කාබනික පොහොර හා රසායනික පොහොර මිශ්‍රණයක් අවශ්‍ය බව පෙන්වා දුන් අරුණ කාන්ත මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් රසායනික පොහොර පමණක් ගෙන්වීම ප්‍රවර්ධනය කිරීම කාලයක් තිස්සේ කටයුතු කළ බවත් පැහැදිලි විකල්පයකින් තොරව සිදු කළ ක්‍රියාව නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ඔහු පැවසුවේය. කාබනික පොහොර ඉහළ ප්‍රතිශතයක් යොදා වගාව කළ හැකියි. උදාහරණයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාව (ප්‍රධාන වශයෙන් එළවළු ) සිදුකරන්නේ 83% ක් කාබනික යෙදවුම් වලින් බව ඔහු පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් මඩකළපුව වැනි ප්‍රදේශවල ගොම පොහොර සියල්ල නුවරඑළියට ලෙන එන බවත් ඔහු පවසයි.
‘‘ඇත්තෙන්ම රජය කළ යුතුව තිබුණේ පළමුව ඩොලර් මිලියන 1900 ක ආහාර ආනයනය සීමා කිරීමයි. ක්ෂණිකව පොහොර නැවැත්වීමෙන් සිදුවුණේ ආහාර නිෂ්පාදන අඩාළ වීමයි.
රජය දියර පොහොර ලීටර් මිලියන 90ක් වත් නිපදවීමට කටයුතු කළා නම් මේ තත්ත්වය ඇති වන්නේ නැහැ. දැනට හැකියාව ඇත්තේ දියර පොහොර ලීටර් මිලියන 10ක් පමණයි. ඒ තත්ත්වය වෙනස් කර අදාළ ආයතනවලට ස්ථාවරත්වයක් ලබා දීමට හැකි නම් වහාම මේ තත්ත්වය වෙනස් වේවි.
මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වන සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සුදුසු නොවන බවයි. එමෙන්ම අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය සාර්ථක නොවූ අතර කාර්යාල දෙකකදී කළ විමසීමකදී ඔවුන් පැවසුවේ සම්බන්ධ කර දීමට උත්සාහ කරන බවයි.
සහල් මාෆියාව එක් පසෙකින් ක්‍රියාත්මක වෙද්දී පොහොර ගැටලුවෙන්ද යම් බලපෑමක් සහල් හිඟයට එල්ල වී තිබේ. කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා රජය තීරණය කරනු ලැබුවේ ඉන්දියානු ණය සහනාධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් මෙරටට ආනයනය කිරීමටයි.
එය ඉදිරි සතියක පමණ කාලය තුළ දී මෙරටට ලැබෙනු ඇත. ඒ අතර රජය සතු ආරක්ෂිත සහල් තොග පෞද්ගලික අංශයට ලබා දී ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කර සිටී.
කෙසේ හෝ රජයේ පාලනයෙන් ගිලිහී ඇති සහල් ගනුදෙනු කෙරුවාව වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීම නම් පැසසුම් කටයුතුය. පසුගිය බ්‍රහස්පතින්දා දින පමණක් පස්සරදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසල් 10ක් හා මඩකළපුවේ වෙළෙඳසල් 8කට විරුද්ධව නඩු පැවරීමට ඔවුන් කටයුතු කර තිබුණි. එමෙන්ම සිකුරාදා වන විට පොළොන්නරුවේද වැටලීම් සිදු කර තිබුණි. ඒ වැටලීම් දිගින් දිගටම සිදු කළ යුත්තේ ජනතාව රැකගත යුතු නිසාය.