
උද්ගත වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ කුසගින්නෙන් පීඩා විඳින මෙරට පුරවැසියන්ට සහාය වනු පිණිස Singularity Sri Lanka සංවිධානය සහ සර්වෝදය එක්ව, Community Kitchen හෙවත් 'ප්‍රජා මුළුතැන්ගෙය' සංකල්පය හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවට නවමු සංකල්පයක් වන මෙහි නියමු ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය ජූනි 01 වැනිදා පංචිකාවත්ත අබේසිංහාරාමයේ දීත් දෙවැනි අදියර ජූනි දින 14 වැනිදා, ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථාන පරිශ්‍රයේදීත් පවත්වන ලදී. මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ප්‍රදේශවාසින් විසින්ම සිදුකළ අතර, ඊට අබේසිංහාරාමාධිපති හිමියන් ගේ පූර්ණ සහයෝගය ලැබිණි. ජූනි දින 14 වැනි අඟහරුවාදා, ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලද 'ප්‍රජා මුළුතැන්ගෙයි' ආහාර බෙදාදීමේ අවස්ථාව සඳහා මීසම් බාර, කලණ පීරිස් ගරු පියතුමා සහභාගී වූ අතර, ආහාර අවශ්‍යතාව ඇති සහ ආහාර ලැබිය යුතු ප්‍රදේශවාසින් හඳුනා ගෙන සම්බන්ධීකරණය කිරීම උන්වහන්සේ අතින් සිදු විය.
එසේම, Singularity Sri Lanka ආයතනයේ නිර්මාතෘ මංජු නිශ්ශංක සහ සර්වෝදය ආයතනයේ සභාපති, වෛද්‍ය වින්‍යා ආරියරත්න යන අය ද මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, මේ පිළිබඳ වූ මාධ්‍ය සාකච්ඡාවේ දී සර්වෝදය සභාපති, වෛද්‍ය වින්‍යා ආරියරත්න මෙසේ අදහස් දැක්වීය.
" ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව බොහෝ පහත් අඩියකට වැටී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, බරපතළ තත්ත්වයකට ඇද වැටී තිබෙනවා පසුගිය මාස කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන මගින් පෙන්වා දී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක ගේ ආදායම අඩු වී ඇති බවයි. ඒ නිසාම ගන්නා ආහාර වේල් ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එක වේලකට ගන්නා ආහාර ප්‍රමාණයත් ඒ හා සමානවම පහත වැටිලා. බොහෝ සාමාන්‍ය පවුල්වල දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයත් වැඩි වෙමින් පවතිනවා. රටක් හැටියට එය ඉතාම භයානක තත්ත්වයක්.
අවුරුදු පහෙන් පහළ දරුවන්ගේ මොළය වර්ධනය 99%ක්ම සිද්ධ වන්නේ මේ කාලය තුළ ලැබෙන පෝෂණයෙන්. ඒ වගේම පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ දිවා ආහාර වේලත් අද වන විට නතර වෙලා. ගර්භණි සහ කිරි දෙන මවුවරු සදහා ලබාදුන් ත්‍රීපෝෂත් නවතලා. ඒ කම්හලත් වහලා දැන් මාස ගණනක්. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවෙන් පහළට ලක්ෂ ගණනක් ජනතාව අලුතින් එකතු වෙලා. විශේෂයෙන් අඩු ආදායම් ඇති පවුල්වල අය තමයි, මේ තත්ත්වයට බරපතළ ලෙස ගොදුරු වී තිබෙන්නේ.
උද්ගතව තිබෙන මේ සමාජ අර්බුදය තව සති කිහිපයක් තුළ මානුෂීය අර්බුදයක් බවට පරිවර්තනය වීමට ඉඩ තිබෙනවා. මානුෂීය අර්බුදය කියන තත්ත්වයට වැටුණාට පසු මිනිස් චර්යාව පිළිබඳ විශ්වාස තබන්න හරි අමාරුයි. එවිට සමාජ හිංසනය සහ අපරාධ වැඩි වීමේ ප්‍රවණතාවකට පාර කැපෙනවා.
ඒ නිසා කල් තියා මැදිහත්වීමක් අවශ්‍යයයි. මේ මොහොතේ පේන්න තිබෙනවාට වඩා ආහාර හිඟයක් රටේ තිබෙනවා. ආහාර ද්‍රව්‍ය තිබුණත් මිල අධිකයි. ජනතාවගෙන් 30% ක ගේ දැන්ම ම රැකියා අහිමි වෙලා. ඒ නිසයි, සර්වෝදය සහ Singularity Sri Lanka එක්ව මේ සමාජ අවශ්‍යතාව සඳහා මුල පිරුවේ. විශේෂයෙන් සර්වෝදය අපි පොදු මුළුතැන්ගෙය , Food Banks හෙවත් ආහාර සංචිත, ගෙවතු වගා සහ ප්‍රජා ගොවිපළ, කියන කාරණා තුන ඔස්සේ මේ කියන මැදිහත්වීම සිද්ධ කරනවා.
මෙම පොදු මුළුතැන්ගෙය, ප්‍රජා දායකත්වයෙන් පවත්වාගෙන යන්නක්. ඒ වගේම, ව්‍යාපාරිකයන්ට සහ පරිත්‍යාගශීලින්ට අපි ආරාධනා කරනවා, මේ සඳහා දායකත්වය ලබා දෙන ලෙස. ආහාර පිසීම, බෙදීම සහ එහි සංවිධාන කටයුතු ප්‍රදේශයේ ජනතාව විසින් ම සිදු කරගෙන යන ලෙසිනුයි, මෙම සංකල්පය ක්‍රියාත්මක වන්නේ.
ආහාර සංචිත කියන කාරණාවේ දී හැම ගමකම පන්සල, පල්ලිය වැනි පොදු ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ගමේ පරිභෝජනයට ආහාර යම් ප්‍රමාණයක් තැන්පත් කළ යුතුයි. කැමැති අයට ගෙනැවිත් තැන්පත් කරන්නත්, නැති බැරි අයට අරගෙන යන්නත් පුළුවන් ක්‍රමවේදයක්. පරිත්‍යාගශීලීන් ගේ ආධාරවලින් මෙය නාගරිකවත් ක්‍රියාත්මක කළ හැකි සංකල්පයක්.
මේ මොහොතේ රටේ ආහාර අනාරක්ෂිතතාව එක හා සමානව දිස්ත්‍රික්ක 25 ටම බලපා නැහැ. ඒ නිසා අපි, ආහාර අනාරක්ෂිතතාව 25% ට වඩා ඉහළ ගිහින් තිබෙන අවධානම් දිස්ත්‍රික්ක තෝරාගෙන තිබෙනවා. බදුල්ල, නුවරඑළිය, නුවර මාතලේ, මඩකලපුව, අම්පාර, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ගම්මාන 110ක, පෙර පාසල් බද්ධ කරගෙන පොදු මුළුතැන්ගෙවල් ආරම්භ කර තිබෙනවා.
එසේම ආහාර බැංකු සංකල්පයේ දී ඕනෑම ග්‍රාමීය සංවිධානයකටත් පුළුවන් ක්‍රියාත්මක වන්න. ආරම්භයක් ලෙස සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථාන 25 දීම පරිත්‍යාගශීලීන් ගේ ආධාරවලින් අපි අහාර බැංකු සංකල්පය ආරම්භ කර තිබෙනවා. එතැන වියළි ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් දැනටමත් තැන්පත් කර තිබෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනයේ දී ප්‍රවාහනයේ දී සහ ගබඩා කිරීමේ දී අපතේ යන ප්‍රමාණය තවමත් ඉහළයි. පුරවැසියන් විදියට මේ නාස්තිය අවම කරගන්නත් මේ මොහොතේ කටයුතු කළ යුතුයි. මේ වැඩසටහන් සඳහා තිරසාර බවක් තිබිය යුතුයි. අපිත් කැමති නැහැ, දිගින් දිගටම මේ විදියට පොදු මුළුතැන්ගෙවල් පවත්වාගෙන යන්න. මිනිස්සු බලාත්මක විය යුතුයි. මුලදී පරිත්‍යාගවලින් පවත්වාගෙන ගියත් මෙය අවශ්‍යතාවක් නැති තැනට රට පත් වෙන්නට ඕනෙ. එහෙම වෙන්න නම් රටේ සර්ව ආර්ථිකය ගොඩ නැඟෙන්නට ඕනේ. මේ තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් ඕනේ. පොදු මුළුතැන්ගේ සංකල්පය, මේ අර්බුදය හමුවේ ඉදිරිපත් වූ අතරමැදි වැඩසටහනක් විතරයි..."
බුද්ධි මණ්ඩලයකින් හෙබි Singularity Sri Lanka ආයතනය නියෝජනය කරමින් එහි නිර්මාතෘ මංජු නිශ්ශංක පොදු මුළුතැන්ගේ සංකල්පය පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි. " අපි, ආර්ථික හා සමාජයීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහිලා අවශ්‍ය පසුබිම සහ තොරතුරු සම්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක වන සංවිධානයක්. රටේ උද්ගතව තිබෙන ආහාර හිඟය, මතුපිටින් පෙනෙනවාට වඩා බරපතළ වී ගෙන එනවා. ප්‍රශ්නය ගැන කතා කරන්නට බොහෝ අය සිටියත් විසඳුමක් නැහැ. මේ තත්ත්වය දරුණුවටම බලපා තිබෙන්නේ කොළඹ සහ තදාසන්න නාගරික ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට. ඔවුන්ට වගා කරන්න ඉඩ කඩක් නැහැ. ආදායම් ඇනහිටලා. උයා ගන්න විදියක් නැහැ. ගෑස් නැහැ. භූමිතෙල් නැහැ. මේ වන විටත් මේ පවුල් අතරින් බොහෝ දෙනෙක් වේල් තුනෙන් දෙවේලක් ම බඩගින්නේ ඉන්නවා. කොළඹ 8,9,10,11,12,13 සහ 14 යන ප්‍රදේශවල මේ තත්ත්වය වඩාත් බරපතළයි.
සර්වෝදය එක්ක එකතු වෙලා, ප්‍රජා මුළුතැන්ගේ සංකල්පයෙන් අප බලාපොරොත්තු වන්නේ සතියට දින තුනක්, තෝරාගත් ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට උණුසුම් සහ පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න. මෙය සංකේතාත්මක ව කොළඹ ස්ථාන තුනකදී අප ආරම්භ කළා. පසුගිය බදාදා එහි පළමු පියවර පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ දී පැවැත්වූ අතර, දෙවැනි පියවර ජූනි 14 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දෙව්මැදුරු භූමියේ දී පැවැත්වුණා. ඒ වගේම තුන්වැනි පියවර, වැල්ලම්පිටිය මුස්ලිම් දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
මින් ඉදිරියට, ප්‍රජා පොදු මුළුතැන්ගේ හරහා සෑම බදාදාවක ම 1,500ට ආසන්න ප්‍රමාණයකට රාත්‍රී ආහාර වේල අබේසිංහරාමයේදීත්, සෑම සෙනසුරාදාවක ම ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථානයේදීත්, සෑම සඳුදාවක ම වැල්ලම්පිටිය මුස්ලිම් දේවස්ථානයේදී ත් අඛණ්ඩව පැවැත්වෙනවා. මේ දිනයන්හි යම් වෙනසක් සිදු වුවහොත්, අපි ඒ පිළිබඳ ජනතාවට දැනුම් දෙනවා.
විශේෂයෙන් අඩු ආදායම්ලාභී ගර්භණී මාතාවන්ට, අවුරුදු 55ට වැඩි වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට මේ ආහාර වේල ලබා දීමේදී ප්‍රමුඛතාව හිමිවනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ තවත් දන්සලක් නෙවෙයි. මේ කෑම වේල පිරිනැමෙන්නේ, ආහාර වේලක් සපයාගත නොහැකි අසරණ පවුල් වෙනුවෙන්. ඒ නිසා පවුල් පිටින් ඇවිත් විනෝදෙට කාලා යන තැනක් බවට පත් කර නොගන්නා ලෙස, අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ වෙලාවේ නැති බැරි අයට ප්‍රමුඛතාව දෙන්න. මොකද ජනතාවගේ මේ බඩගින්න දැන් ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි. බඩගින්න කියන්නේ සමාජ අපරාධ රැසකට මුල පිරීමක්. දේශපාලකයන් තවමත් ඔවුන්ගේ පුද්ගලික වස්තුව දේපළ රැස්කර ගැනීමේ අරගලයක සිටිනවා මිස, ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න දෙස බලන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ තිබෙන මානසික පීඩනයෙන් තරමක් හෝ මිදෙන්න මේ අසරණ ජනතාවට අවස්ථාවක් තිබිය යුතුයි. පොදු මුළුතැන්ගේ හෙවත් Community Kitchen ඒ සඳහා උදාකර දෙන පුංචි අවස්ථාවක් විතරයි..."