තම පුතු ගඟ පතුලට යැවූ අරුම පුදුම මවක් | සිළුමිණ

තම පුතු ගඟ පතුලට යැවූ අරුම පුදුම මවක්

දරුවා ගඟට විසි කළ කදිරාන පාලම

- වත්තල කාන්තාවක්; මියගිය දරුවාට වයස අවුරුදු පහයි 
- හදාවඩා ගැනීමට අපහසු නිසා දරුවා සමඟ මවත් සියදිවි නසා ගැනීමට තැත් කරලා

ත්තල පොලිස් වසම ජනාකීර්ණ ප්‍රදේශයකි. ඉකුත් අඟහරුවාදා පොසොන් පොහෝ දින වත්තල ඇළකන්ද මංසන්ධියේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි පත්තු කළේ 23 හැවිරිදි තරුණයකු ඉලක්ක කරගෙනයි. 

මත්කුඩු ජාවාරම්කරුවන් අතර පවත්නා ගැටුම් නිසාවෙන් එම ඝාතනය වත්තල ප්‍රදේශයේදී සිදුවෙද්දී නැවතත් වත්තල පොලිස් වසමෙන් හද කම්පා කරවන පුවතක් සැල වූයේ එම ඝාතනයෙන් දින දෙකක් ගෙවුණු දිනයි. ඒ, ඉකුත් බ්‍රහස්පතින්දා දින රාත්‍රියේයි.

සමාජය මොනතරම් කුරිරු වී ඇද්ද යන්න එම ඛේදනීය පුවතෙන් පිළිබිඹු වන සත්‍යයයි. ඒ, 42 හැවිරිදි කාන්තාවක විසින් සිය කුසෙන් වැදූ පස් හැවිරිදි කුඩා දරුවකු කැලණි ගං පතුලට විසි කිරීමේ ශෝකාන්තයයි. අදාළ කත 15 වැනිදා රාත්‍රියේ කැලණි ගඟ දෙපස වත්තල හැඳල ප්‍රදේශයත් කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයත් යා කරන කදිරාන පාලම අසලට පැමිණ තිබුණේ කුඩා පිරිමි දරුවකු ද සමඟිනි. ඒ වන විට වේලාව රාත්‍රී 7.20ට පමණය. දරුවා පස් හැවිරිදිය. අත් වාරුවකින් පැමිණි එම කත වටපිට බලමින් හිඳ එක්වරම දරුවා කැලණි ගඟට විසිකර තිබුණේ තම මවුවත් බව ද ගං දියට විසිකරමිනි.

එසැණින් එම කත ද කැලණි ගඟට පැනීමට තැත් කළත් එය ව්‍යර්ථ වී ගියේ ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක් රැස්ව කාන්තාව අල්ලා ගැනීමත් සමඟිනි. අනතුරුව ප්‍රදේශවාසීන් ඇයව හැඳල පිහිටි නාවික හමුදා සහ පොලිසිය එක්ව පවත්වාගෙන යන ආරක්ෂක මුර පොළ වෙත බාර දුන්නේ සිදුකළ අපරාධය පිළිබඳ පොලිසිය දැනුම්වත් කරමිනි. ආරක්ෂක මුරපොළට බාර දුන් කාන්තාව තමා විසින් සිදු කළ එකී අහස පොළොව නුහුලන අපරාධය පිළිගැනීමට තරම් කුරිරු වී තිබුණාය. ඒ අතරේ තම කුසෙන් උපන් දරුවා ගං පතුලට විසි කිරීම ගැන කෝප වූ මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් පැමිණ එකී කාන්තාවට පහර දීමට ද තැත්කර තිබුණේ පොලිස් මුරපොළ තුළදීමයි.

එම පහර දීම් ව්‍යාර්ථ කළ පොලිස් නිලධාරිහු ඇයව වත්තල පොලිසියට රැගෙන යාමට කටයුතු කළහ. ඒ අතරේ කුඩා ධීවර බෝට්ටු යොදා ගනිමින් කැලණි ගං පතුලේ සැඟවුණු දරු පැටියා සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා කිමිදුම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් සිදු කළත් ඉකුත් සිකුරාදා වන විටත් දරුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබිණ. කැලණි ගඟ දෙපස ආශ්‍රිතව පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කරමින් දරුවා සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

එම අපරාධය සිදු කළ කාන්තාව වත්තල පදිංචිව සිටි 42 හැවිරිදි ප්‍රවීනාදන් ඥානකලා නමැත්තියකි. කැලණි ගං පතුලේ සැඟව ගිය පුතු පස් හැවිරිදි තස්මික ප්‍රභාෂ්වරයි. ඥානකලා ට විවාහ දෙකකි. ඇගේ පළමු සැමියා ඇය හැර ගොසිනි. අනතුරුව ඇය විවාහ වූ සැමියා ද ඉකුත් වසරේදී රිය අනතුරකින් මිය ගොසිනි. ඇයගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා පළමු විවාහයේයි.

පොලිස් අත්අඩංගුවට පත් ඥානකලා වත්තල පොලිසියට රැගෙනවිත් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සිලෝගමගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසන්නට වූයේ,

“සර්... මගේ මනුස්සයා මීට කාලෙකට පෙර මියගියා... මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා... ඉතින් මට මේ දරුවෝ දෙන්නා හදාගන්න විදිහක් නැහැ... ලොකු දරුවා ඥාති ගෙදරක ඉන්නේ... පොඩි දරුවට පහුගිය ටිකේම හරිහැටි කන්න-බොන්න දෙන්න විදිහකුත් තිබුණේ නෑ... ඒක නිසයි මම දරුවව ගඟට දාලා මමත් ගඟට පැනලා දිවි හානිකරගන්න තැත් කළේ... ඒත් මට අර මිනිස්සු ටික ගඟට පනින්න ඉඩ දුන්නේ නෑ.. මටත් අවශ්‍ය මගේ දරුවා ගිය තැනටම යන්නයි...”

ඇය පවසන දෑ ඛේදනීය වුවත් ඇයට නිරපරාදේ මල් කැකුළක් වන් ජීවිතයක් මිලින කිරීමට අයිතියක් නැත. මොනතරම් බාධක - කම්කටොලු පැවැතියද ජීවිතය ජය ගැනීමට වෙරවීර්යයෙන් මුහුණදීම සෑම මනුෂ්‍යයකුගේම වගකීමයි. එසේ නොමැතිව හිත්පිත් නැතිවුන් විලසින් ජීවිතයෙන් පලා යෑම අමනෝඥ ක්‍රියාවකි. අහිංසක කොලු පැටියාට එලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් ඔහු කළ වරද කුමක්ද?

එකී අපරාධය සැලවීමෙන් අනතුරුව වත්තල පොලීසියට පැමිණි එකී කතගේ වැඩිමහල් පුතු සහ සොහොයුරියක මාධ්‍ය හමුවේ පැවැසූවේ, එකී එම අපරාධය සිදු කළ කත මීමැස්මොර රෝගයෙන් පීඩා විඳින බවත් නිතරම පාහේ දැඩි කෝපයෙන් පසුවන බවත්ය. බොහෝ අවස්ථාවන්හිදී ඇය වැඩිමහල් දරුවාට වඩා බාල පුතණුවන්ට දැඩි සෙනෙහසක් දක්වා ඇත. පසුගිය දිනෙක ඇය සුළු හිත් අමනාපයකින් ද පසු වූ බවත් එදින සිට නිවෙසේ කිසිවකු සමඟ කතාබස් නොකර සිට ඇත. එසේම සැමියාගේ අභාවයෙන් පසු එම කාන්තාව දැඩි හිත් වේදනාවකින් පීඩා විඳිමින් සිටි බවත් ඇයගේ සොහොයුරිය පැවසුවාය. ප්‍රවීනාදන් ගේ වැඩිමහල් පුතු වැඩිදුරටත් පැවසූවේ, තමා කුඩා වයසේදී මව තමාට පැරසිටමෝල් වර්ගයක් පානය කිරීමට දී මුහුදට විසි කිරීමට ගිය බවත් ඉන්පසුව තමා නැන්දණියගේ නිවෙසේ වාසයට ගිය බවත්ය. වත්තල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීනාදන් ඥානකලා ජූනි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

ඡායාරූප - රාගම සමූහ කේ. එස්. හැන්නදි

Comments