
පවතින දේහි වන විශේෂත්වයත්, සාමාන්‍ය පුද්ගලයා දකින දෙයින් ඔබ්බට දකින්නට හැක මනසකුත් නිර්මාණකරුවන්ට ඇත්තේ ය. සියුම් දෙයෙහි ඉසියුම් බවත්, සාමාන්‍ය දෙයෙහි අසාමාන්‍ය බවත්, විශිෂ්ටත්වයෙහි සුවිශිෂ්ට බවත් දකින්නට හැකි නම් ඒ නිර්මාණකරුවකුගේ සාර්ථකත්වයෙහි මුල් පියවර ය. ඉපදුණ දා සිට අප ඉගෙන ගන්නා පොතපත, කටපාඩම් කරන කරුණු නිර්මාණකරණයේ ලා කිසිදු විටෙක ප්‍රයෝජනවත් නොවන බැව් ඔබ දැනටමත් දනී.
ලේඛකයාගේ සිතේ යම් වස්තු බීජයක් පැළ වූ ඉනික්බිති එය කාලාන්තරයක් තිස්සේ ඔහුගේ සිතේ වැඩෙන්නට පටන් ගනී. ඔහු ගමන් කරන්නේ, නාන්නේ, කන්නේ, බොන්නේ ඒ සිතිවිල්ල විසින් ඇති කරන ලද බර දරා ගෙන ය. විටෙක ඔහු තනියම සිනාසෙයි; තවත් විටෙක ඔහු තනිය ම හඬයි; සුසුම්ලයි; නිනව්වක් නැතිව කල්පනා කරයි. ඒ සියල්ල කෙසේ කොහොම වුවත් කාලාන්තරයක් තිස්සේ ඔහුගේ සිතේ තම නිර්මාණයේ සැකිල්ල ගොඩනැඟෙයි.
ලේඛකයාට යම් වස්තු බීජයක් ඉපැදීමට හේතු කාරක වන්නේ සුළු ප්‍රබෝධයකි. මුලින් ම නොපැහැදිලි චිත්‍රයක් සේ මනසට නැඟෙන සිතිවිල්ල දලු, කොළ, මල් දමා ගොඩනැඟෙන්නේ ලේඛකයාගේ මනසේ ය. එය ලේඛනගත වන්නට පෙර කාලයක් තිස්සේ මනසේ වැඩෙයි. අප යම්කිසි බීජයක් සිටුවා එහි පළමු අංකුරය එනතෙක් බලා සිටින්නා සේ ලේඛකයා ද තම නිර්මාණය ලේඛනගත කරන්නට පෙර යම් කාලයක් තිස්සේ මනසේ එය වැඩෙන්නට හරියි. පළමු අංකුරය බිහි වූ පසු එය පියළි දෙකක් වී අනතුරුව වේගයෙන් වැඩෙන්නා සේ තම සිතේ රෝපණය වූ අදහස කෙමෙන් කෙමෙන් විස්තාරණය කරන්නට ඔහු පෙලඹෙයි. අනවශ්‍ය අතු ඉති කඩා දමා අප පැළය ආරක්ෂා කර ගන්නා සේ තම ලේඛනය කපා කොටා ඔපමට්ටම් කර ගන්නටත් ලේඛකයා උත්සුක වෙයි. ලේඛනය අරඹන්නේ එපරිදි ය. එහි මුදු සුමුදු බව තීරණය වන්නේ කෙතෙක් ඔපමට්ටම් කරන්නේ ද යන්න මත ය. සුරත් ද මැල් නවකතා ලෝකයට පියමැන වැඩි කලක් නැත. හේ ලියන පළමු නවකතාවෙන් ම පාඨක ලොවේ යම් නමක් තබයි. පාඨක මනසේ වෙනස් ම චිත්‍රයක් සුරත් ගොඩනඟන්නේ තී හා තා නවකතාව ඔස්සේ ය. එකට ම වැඩෙන, කාලයක් තිස්සේ එකට ම ජීවිතේ ගොඩනඟන ගීත් හා දිව්‍යා අපට හමු වෙන්නේ එහිදී ය. ඔවුන්ගේ කතාව අපේ කතාවක් බවට පත් කරන්නට සුරත් ලේඛකයා සමත් වෙන්නේ භාෂා ම ය ශූරත්වය ඔස්සේ ය. තී හා තා නවකතාව වෙනුවෙන් සුරත් ගොඩගේ සම්මාන උලෙළේදී සිය ප්‍රථම නවකතාවේදීම ප්‍රශස්ථ බවක් පෙන්නුම් කරන නවක නවකතාකරුවාට පිදෙන සම්මානය දිනා ගන්නේ මේ ශූර වියමන නිසා ය. තී හා තා ලියන්නට සුරත් ට බලපෑම් කළ හේතු සාධක හේ මෙසේ අප හා බෙදා ගත්තේ ය.
‘මගේ ළමා කාලය සහ තරුණ වියේ වැඩිමනක් ගෙවෙන්නේ මොරටුවේ සොයිසාපුර තට්ටු නිවාස සංකීර්ණයේ. සොයිසාපුර කියන්නේ මහා සංස්කෘතියෙන් වෙනත් ආනතියක් ගත්ත උපසංස්කෘතියක් ඇති තැනක්. ගාලුපාරෙන් මඳක් ඇතුළේ තමයි වැඩිමනක් මහල් නිවාස තියෙන්නේ. රටේ ඇඳිරි නීතිය පැනවෙනකොට සොයිසාපුරේ මිනිස්සු ඔක්කොම එළියට බැහැලා සෙල්ලම් කරන්න ගන්නවා. එදාට සොයිසපුර සැණකෙළි සොබාවක් ගන්නවා. හැමෝම පිටගම්කාරයො හින්දා සිංහල අවුරුදු කාලෙට සොයිසාපුරේ මිනිස්සු හිඟ වෙලා අමු සොහොනක් වගේ පාළු වෙනවා.
අසූ තුනේදි දෙමළ ජාතිකයන්ගේ ගෙවල්වලට මැරයෝ පහර දෙනවා. අසූ නමයේ සොයිසාපුර මැද්දේ ටයර් සෑයවල් මත තරුණයෝ පිච්චෙනවා. මහ දවල් පාතාලේ මිනිමැරුම් සිද්ධ වුණා. ප්‍රසිද්ධ ලිංගික ශ්‍රමිකයෝ හිටියා, ප්‍රකට කලාකාරයෝ හිටියා, ගෙවල්වල කන්සා ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි වුණා, මේ වෙෙළඳ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ පිටතිනුත් ආවා.
විශාල ක්‍රීඩා පිටියක් එහි තියෙනවා. දවල්ට ළමයි ඒකේ සෙල්ලම් කරනවා. රෑට වැඩිහිටියෝ මත්පැන්, මත්ද්‍රව්‍ය ගන්නවා. ඉඳහිට සංගීත සංදර්ශන තියෙනවා. එදාට පිහි ඇනුමක් අනිවාර්යයි. නිවාස සිය ගණනක මිනිස්සු දහස් ගණනක් ජීවත් වෙන මේ අමුතු පරිසරයේ තරහමරහ හිතවත්කම් සියල්ල දෝරේ ගලනවා. ගෑනු ළමයි පාසල් නිමවී එන වෙලාවට ඔවුන් පිළි ගන්න කොල්ලො කුරුට්ටෝ හතරමං හන්දිගානේ ඉන්නවා. ඉතා සැලසුම් සහගත ලෙස, සමාන්තර ව හා සරල රේඛීය ව නිරිමාණය කළ නගරයක් නිසා හැම තැනම තියෙන්නේ හතරමං හන්දි. මේ හැම හතරමං හන්දියකටම පාහේ පුංචි රස්තියාදුකාර සෙට් එකක් ඉන්නවා. පොඩි චණ්ඩියෙකුත් ඉන්නවා. සොයිසාපුරේට තිබුණේ නැත්තේ පොලිසියකුයි, බාර් එකකුයි, සිනමා ශාලාවකුයි පමණයි. ඒ වුණාට එහේ බලන බලන අත බයිස්කෝප්, අවලකම්, ක්‍රිමිනල්කේස් සහ හිස්බෝතල්. මේ ඔක්කොම අස්සේ පුංචි ළමයි එළියට බැහැලා හරි හරියට සෙල්ලම් කරනවා.
මේ පරිසරයේ තමයි දිව්‍යා සහ ගීත් මුණ ගැහෙන්නේ. මේ දෙන්නම මුලින් යන්නේ සොයිසාපුරේම ඉස්කෝලෙට. පස්සේ කොළඹ ජනප්‍රිය පාසල්වලට.
සොයිසාපුරේ හැමෝටම එක හීනයක් තියෙනවා. ඒ තමයි සොයිසාපුර මහල් නිවාසයෙන් එළියේ තනි වැදගත් ගෙයක පදිංචියට යෑමේ සිහිනය. මිනිස්සු ආර්ථිකව ශක්තිමත් වුණු ගමන් එළියට පනිනවා. එළියට ගිය අය ගැන ඇතුළේ හිටි අය කතා කළේ ආඩම්බරයෙන්. ඒ හැකියාව නැති අය ළමයින්ට උගන්වලා උන් එතනින් එළියට යවන්න උත්සාහ කළා. දිව්‍යා සහ ගීත් එවැනි දෙන්නෙක්. මේ දෙන්නගේ පෙම ලියලන්නේ සොයිසාපුර දහම් පාසලේ ඉරිදට.
ඊළඟට දෙන්නම පාසල් යන්නේ එකම බසයේ බොරැල්ලට; ඊළඟට විශ්වවිද්‍යාලෙට, රැකියාවට. නූතන නාගරික ලෝකේ සියලු හැලහැප්පීම් බාධා ජයග්‍රහණ හරහා මේ දෙන්නා ළමා කාලයේ සිටම එකට ඉන්නවා. දහසක් මිනිස්සු ජීවත්වුණු සොයිසාපුරයේ ඔවුන් පෙම් පුරාවෘතයක් බවට පත් වෙනවා. ඔවුන් විසින්ම කරන තෝරා ගැනීම්වල ගොදුරු බවට පත් වී අවසානයේ පණ බේරාගන්නත්, පෙම් කරන්නත් සටන් වදිනවා. ආදරය වෙනුවෙන් කරන්න සටනක් නැත්තම් ඒක කොයි වගේ ආදරයක් දැයි ඔවුන් ඔබෙන් ප්‍රශ්න කරනවා‘
සමහර ආදර කතා අයිති කරගැනීමට ය. සමහර ආදර කතා විනෝදයට ය. ඒ අතරිනුත් සමහර ආදර කතා ඇත්තේ ජීවිතයට ජීවය දෙන්නට ය. නැත්නම් ජීවත් වන බව දැනෙන්නට ආදරය කරන්නට ය. සුරත් ද විවිධ කෝණ ඔස්සේ සොයන්නේ ආදරයේ විවිධ ස්වරූප ය. මානව චර්යා අතර ආදරයේ විවිධ මනෝභාව ගැන ය. ලේඛකයන් මේ සියල්ලෙන් ම අනුප්‍රාණය ලබන්නේ ය. ඒවා එක්කර පාඨක ඥාණනය වෙනුවෙන් ලියා තබන්නේ ය. සිය පළමු නවකතාවෙන් පාඨක හදවත සොරා ගන්නට සෑම ලේඛකයකුට ම නොහැකි ය. සුරත් කරන්නේ ඒ අසීරු ඉලක්කය ජය ගැනීමයි.
කිසිදු ලේඛකයකු තමන් ට ලියන්නට දෙයක් මෙන්න මෙතනදී හමු වෙතැයි කියා දන්නේ නැති බැව් සත්‍යයකි. ඔහු හෝ ඇය අනෙක් අය මෙන්ම මේ සමාජයේ ජීවත් වෙයි; අප මෙන්ම කුටුම්භ ප්‍රශ්න, සාමාජයීය, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට මුහුණ දෙති. ඒවායෙන් හෙම්බත් වෙති. ඔබට සුරංගනා ලෝක මවන ලේඛකයන් සමහර විට ජීවත්වන්නේ නිරයේ පතුළේ ය. එහෙත් ඔබේ ප්‍රමෝදය වෙනුවෙන් සියල්ල දරා ගැනීමට ලේඛකයාට හැකිය. සුරත් ද සිය අත්දැකීම් අප හා පවසන්නේ මෙකී බර දරා ගැනීමේ සීමාවේ සිට එය ලේඛනගත කර ඒ ලැබුණු සැහැල්ලුවේ ප්‍රතිඵලය විඳිමිනි.
සිය පළමු නවකතාවෙන් ලද ආදරයේ හා සැහැල්ලුවේ ප්‍රතිඵලයක් ලෙස සුරත් සිය දෙවැනි නවකතාව ද පාඨකයනට තිළිණ කරයි. එය ද නාමකරණයේ සිට ම වෙනස් මඟක් ගන්නකි. වෙනස් කියැවීමක් ද තිළිණ කරන්නකි.
සිය දෙවැනි නවකතාව විශ්වවිද්‍යාල පරිශ්‍රයක වෙනස් ම විදියකට ගොඩනඟන හේ එයට සී + කියා නම තබයි. විශ්වවිද්‍යාලයත්, රියැලිටි වේදිකාවත් එකට එකතු කරන ඔහු මේ අන්ත දෙකේ ලස්සනට සිය කතාව නැමැති ක්‍රීඩාවේ සෙල්ලම් කරයි. සමාජයේ විවිධ නම්වලින් ඇසෙන පුද්ගල ලිංගිකත්ව කාරණා හේ කතා කරන්නේ අතිශය සරල ලෙස හා සැහැල්ලු ලෙසිනි. සුරත් මිත්‍රත්වය ට විවිධ අර්ථ සම්පාදනය කරයි. කිසිවකුටත් කිසිවකු ඉදිරියේ මුළුමනින් ම නිරාවරණය විය හැකි ද යන කුකුස පාඨක අපට බරක් ව ඉතිරි කරයි.
‘ආදරය හැරුණු විට තුරුණු වියේදි මාව කුල්මත් කළ අනෙක් කාරණය තමයි මිත්‍රත්වය. පෙම්වතුන් සමඟ එකට ඉන්නවට වඩා මිතුරන් සමඟ ගෙවෙන කාලය බොහොම වැඩියි. ඔවුන් සමඟ කරන ක්‍රියාවල විවිධත්වයනුත් බොහොමයි. පාසල් යෑම ක්‍රීඩා කිරීමේ සිට කෙල්ලන් පසුපස යෑම, රස්තියාදු ගැසීම, හොර පොල් කැඩීමේ සිට සංවිධානාත්මකව ගහමරා ගැනීමට යෑම සහ මත්සාද පැවැත්වීම දක්වා ඒවා ව්‍යාප්ත වෙනවා. එතකොට මිත්‍රත්වයත් එක්තරා දැඩි ප්‍රේමයක්. බෝතල් කර නොවික්කාට මත් විශේෂයක්. ඇබ්බැහියක් මිදන්න අමාරු; විරහවක් දරාගන්න අමාරු. මේ අත්දැකීම් තමා මෙහෙය වුණේ සී+ ලියන්න‘
සමහර ප්‍රේම කතාවලට වඩා මිත්‍ර කතා ඝනකම් බව සැබෑවකි. පෙම්වතුන්, පෙම්වතියන් ඉදිරියේ කතා කළ නොහැකි බොහෝ දෑ මිතුරන් සමඟ බෙදා ගැනීම සාමාන්‍ය කරුණකි. එහෙත් ඒ මිත්‍රකම් ද ප්‍රේම කතා සේම අයිතිවාසිකම් කියන කතා වීම ඇතුළේ ඊට හිමි නිදහස අහිමි වී යයි. සී+ අයිතිය සොයන මිත්‍ර සමාගමක් වීම නිසා ම එයට වෙනම හැඩයක් නිර්මාණය වෙයි. ‘තී හා තා මෙන්ම සී+ නවකතාවත් ලියවෙන්නේ සැබෑ ම ජීවිතය සහ චරිතත් සමඟ. විශ්වවිද්‍යාලයේ මගේ වසරේ සිටියා ශිෂ්‍යාවක් බී එම් ඩබ්ලිව් එකක් පැදගෙන එන. ඒකෙන් ඇවිත් එයා මහපොළ ශිෂ්‍යාධාරයත් ගන්නවා. මම මේ කියන කාලයේ සුඛෝපභෝගී කාර් මේ තරම් සුලබ නෑ. මේ චරිතය මගේ හිතේ කුකුසක් ඇති කළා. කවදා හෝ නවකතාවක ලියන අදහසින් නොවෙතත් මට ඒ චරිතය ගැන සොයන්න තිබුණේ නොමඳ ආශාවක්. දිල් සහ මානසී කියන චරිත වසර ගණනාවක් මුළුල්ලේ මම ළඟින්ම ඇසුරු කර තියෙනවා.
අපි අපේ යාළුවො අතරත් පුදුම ප්‍රේමයක් වගේම තරඟයකුත් තිබුණා. ඇඟෑලිකම් අතරේ කැපිලි කෙටිලිත් තිබුණා. අපි කවුරුද කියලා ප්‍රශ්නයක් හැමෝටම තිබුණා. තමන්ට තමන්වත් අනෙකාට තමන්වත් විශද කර පෙන්වීමේ අවශ්‍යතාවක්, බල අරගලයක් තිබුණා. අඩසියවසකට ළඟ අපේ පරම්පරාවේ සමහරු තවමත් තමන්ව හොයනවා. සමහරු තමන් කියා වෙන කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා. සමහරු නොදැනම මැරිලා යනවා.
අපි කාගෙත් ජීවිතවල තියෙනවා හිස්කමක්. මේ හිස්බව පුරවන්න අපි විවිධ ක්‍රමෝපායයන් සොයා ගන්නවා. ආදරය මිත්‍රත්වය ආදියත් ඊට පිළියම්. බාහිරාවර්තී ලෙස මේ හිස්කම් පුරවා ගන්නා අතරේ අපගේ ආත්මරාගී බව නැති වෙන්නේ නෑ. විශේෂයෙන්ම අපේ මේ අඩුව පුරවන සමීපතමයන්ගෙන් තමයි අපි අපේ අනන්‍යතාව හොයා ගන්න උත්සාහ කරන්නේ. කොටින්ම ජීවිතය කියන්නේ කෙනෙක්ට අනන්‍යතා අරගලයක්. කෙනකු සුපිරි තරුවක් වීමෙන් ද කෙනකු කවියකු වීමෙන්ද තවත් කෙනකු යහපත් බිරියක් වීමෙන් ද මේ අනන්‍යතාව සොයනවා වෙන්න පුළුවන්. සමහරු අනන්‍යතා තරගයේ මැදින් බැහැලා තමන්ගේ අවසානයට ළඟා නොවී අතරමැදි තැනක නවතින්න හිත හදා ගන්නවා. හිස්ටොරික බවින් යුතු අය එය හඹා යනවා. ඒ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් යැයි සමහරු පවසන්නේ ඒ නිසායි.
මේ සොයන අනන්‍යතාව අපි ළඟම ඉන්න මිතුරාගෙන් පටන් මැතිවරණයකට ඉදිරිපත් වීමෙනුත් සොයන්න පුළුවන්. රියැලිටි ෂෝ නමින් හඳුන්වන කිසිම රියැලිටියක් නැති රූපවාහිනී වැඩසටහන් මේ අනන්‍යතා දේශපාලනයේ සරු බිමකට නොවරදින සංකේතයක්.
තමන් කවුදැයි කියා සොයන මේ අර්බුදයේ දී තමන්ටවත් තමන්ව සොයා ගන්න බැරිව යන අවස්ථා තියෙනවා. එවිට අපි අනෙකා දිහා බලා තමන් කවුදැයි තේරුම් ගන්න උත්සාහ කරනවා. මේක නිවෙස, පවුල ඇතුළේ පටන් මිතුරු සමූහ ඇතුළෙත්, ජනමාධ්‍යයෙත් හැම තැනම පවතිනවා.
තමන් තමන්ව සොයන අතරේ අනෙකා සමඟ කරන ගනුදෙනුව හරිම උත්ප්‍රාසවත්. ඒක උඩින් පෙනෙන දෙයම නොවෙයි; නොවන්නේත් නොවෙයි. අනන්‍යතාව, තරගය, ඊර්ෂ්‍යාව මෙන්ම ආදරයත් ජීවිතයේ හිස්තැන් මකනවා අපි දැකලා තියෙනවා‘
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයකු වන ක්‍රිෂ්ණමූර්තිතුමන් පවසන්නේ ජීවත්වීමේ අරමුණ මරණින් මතු ද ජීවත්වීම කියා ය. භෞතික කාය මිය ගිය ද නාමය මිය නොයන දාර්ශනිකයෝ, චින්තකයෝ, ලේඛකයෝ, කවියෝ අපට සිටිති. සමහරුන් ජීවත් ව සිටිය ද ජීවත් නොවන්නන් සේ ය. තවත් සමහරු ජීවත් ව සිටියදී විවිධ ක්‍රියාකාරකම් නිසා ප්‍රසිද්ධ ව සිටින්නේ දූෂිත දෑ සම්බන්ධ ව ය. එබැවින් මරණින් මතු ඔවුන්ගේ නම් ඒ ප්‍රචලිත වූ වේගයටත් වඩා වේගයෙන් අප්‍රකට වෙයි. මරණින් මතු ද නාමය දිනෙන් දින ම බැබළෙන්නේ සර්වකාලීන හා සර්ව භෞමික දෑ සමාජයට තිළිණ කළ අය ය; එය ලේසි පහසු නැත.
ලේඛකයන් කරන්නේ එය ය. ඔවුහු සමාජයට තිළිණ කරන්නේ කාලයක් තිස්සේ පවතින දෑ ය. නැත්නම් අපේ ම හදවත් ය. ලේඛකයාගේ ප්‍රතිභාව, වාසනාව ගොඩනැඟෙන්නේ හෙමිහිට ය. ඒත් එය සර්වකාලීන ය; සර්වභෞමික ය. ඒ ප්‍රතිභාව මුළු මහත් මිනිස් වර්ගයාම ආදරයෙන්, ගෞරවයෙන් රැක ගන්නා ධනයක් වන්නේ ඒ ප්‍රතිභාව විසින් අත්පත් කරදෙන දේ නිසා ය.
ලේඛකයන් වැටෙන්නේ ද මේ ගනයට ය. සුරත් ද මැල් සිය ලේඛනය ඔස්සේ තමා දුටු විඳි දෑ අප වෙත කියන්නේ පරිකල්පනයේ දවටා ය. ඕනෑ ම නිර්මාණයක් සත්‍යයේ හා පරිකල්පනයේ එකතුවක් බැව් ඔබ දැනටමත් දනී. සුරත් කලක් තිස්සේ දුටු දෑ පරිකල්පනයේ දවටා ආකෘතික අත්හදාබැලීම් ද කරමින් පාඨක අපට තිළිණ කරන්නේ වින්දනීය ඉසව්වකට අප රැගෙන යෑමට පමණක් ම නොවේ. හේ ඒ අතරෙන් සමාජ කියැවීමකට, ප්‍රශ්න කිරීමකට පාඨකයා රැගෙන යයි. නිර්මාණකරණයේ ප්‍රභාව ද එයයි.