
අපායට යන්ට ඕනෑ නම් නුඹ ට
කරපන් මහ ඇමැතිකම එක දවසක ට
නැත්නම් පන්සලක දේවාලයක සි ට
අධිපතිකම කරපන් තුන් දවසක ට
එවකට ජ්‍යෙෂ්ඨ විභාගයට පොත් නියම කළ කොමිසමෙන් වන කතා නම් කෘතියෙහි එන මේ කවිය නිසා එකල අධ්‍යාපන ඇමති ඊ. ඒ. නුගවෙල නිදහසට කරුණු විමසා තිබිණි. කෘතිය ලියූ සුප්‍රසිද්ධ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ එදා සිටි දේශපාලඥයන්ගේ කපටිකම්, ද්‍රෝහිකම් හා ජනතා මුළාකිරීම් ගැන ඇඟට පතට නොදැනී ටොකු අනින අන්දමේ කතා මේ කෘතිය ඔස්සේ ගෙන හැර පෑහ. එනිසා ම මීට වසර 71 කට පෙර එනම් 1950 දී එවකට රජය මගින් සිංහල පොත් තුනක් තහනමට ලක් කළේ ය. මේ තහනමට ලක් වූ පොත් 3න් එකක් වූයේ යක්කඩුවේ ප්‍රඥාරාම හිමි විසින් සම්පාදිත වන කතා කෘතියයි.
ලේඛකයන්ට මෙවැනි තහනම් කිරීම් උත්තේජන ය. තව තවත් ලියන්නට කරන නොනිල දිරි ගැන්වීම් ය. යක්කඩුවේ හිමි අන් කෙනකුටත් වඩා දිරියකි. ඒ තහනමෙන් ලද උත්තේජනයෙන් උන්වහන්සේ වන කතා 1 - මිතුරන් කෙටවීම නවතම මුද්‍රණයත්, එහි දෙවැනි කොටස වන කතා 2 - මිතුරන්ගේ අගේ ද, වන කතා 3 - ජම්මවයිර විත්ති කෘති ද භක්ති ගීත, සඟි බණ - 1, ගුත්තිල විචාරය 1, 2, 3 ආදී කෘති ලියූහ.
20 දශකයේ සිට 60 දශකය දක්වා පැවතුණු බුද්ධි සම්ප්‍රදාය මූලික වශයෙන් භික්ෂූන් වහන්සේලා පදනම් ව ගොඩනැඟුණකි. ඒ බුද්ධිමය සම්ප්‍රදානය විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් ආශ්‍රිතව ගොඩනැඟුණකි. මේ පිරිස සංඛ්‍යාවෙන් මහා පිරිසක් නොවූව ද එය බලපෑමක් ඇති කළ හැකි මට්ටමේ මැදිහත් වීමක් කළ පිරිසකගෙන් සමන්විත විය. ඒ භික්ෂූන් වහන්සේලා නම් ලුණුපොකුණේ ධම්මානන්ද, හැඩිපන්නල පඤ්ඤාලෝක, නාරාවිල ධම්මරතන, කොටහේනේ පඤ්ඤාකිත්ති, යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොළ රාහුල සහ බඹරැන්දේ සිරි සීවලී යන හිමිවරු වෙති. වල්පොල රාහුල හිමි හැර මේ අතර සිටින අන් සියලු භික්ෂූන් වහන්සේලා විද්‍යාලංකාර පිරිවෙනේ පැවිදි වී, අධ්‍යාපනය ලබා, ආචාර්ය මණ්ඩලයේ ද සේවය කළ භික්ෂූන් වහන්සේලා වූහ. රාහුල හිමියන්ට විද්‍යාලංකාර අනන්‍යතාව ලැබෙන්නේ 30 දශකයේදී උන් වහන්සේ එහි ආචාර්යවරයකු වූ ඉනික්බිති ව ය. අනෙක් හිමිවරු විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙනීම ලැබ එහි ආචාර්ය ධුර ද දරා සිටියහ. යක්කඩුවේ ප්‍රඥාරාම සහ කොටහේනේ පඤ්ඤාකිත්ති යන හිමිවරු විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලය බවට පත්කළ පසු එහි මහාචාර්ය හා පීඨාධිපතිවරු ද වූහ.
මේ භික්ෂූන් වහන්සේලා ක්‍රියාකාරී දේශපාලනයට ද අවස්ථානුකූල ව මැදිහත් වූහ. ප්‍රබල දේශපාලන නායකයන්ගේ මතය වූයේ භික්ෂූන් වහන්සේලා දේශපාලනය වැනි කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ය. මේ පිළිබඳ මතවාද සමාජයේ විවිධ අංශවලින් ඇසෙන්නට විණි. මෙහිදී මේ පිළිබඳ විද්‍යාලංකාර මතය ප්‍රකාශයට පත් කළ යුතුව තිබිණි. විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ නායක හිමි වෙනුවෙන් විද්‍යාංලකාර මතය ප්‍රකාශ කරන ලද්දේ යක්කඩුවේ නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. “භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම්, එහි නම දේශපාලනය හෝ වේවා කුමක් වේවා එහි යෙදීම භික්ෂුවට සුදුසු ම ය.” යන්න විද්‍යාලංකාරයේ තීරණය විය. මේ තීරණය 1946 පෙබරවාරි 13 ආචාර්ය මණ්ඩල රැස්වීමේදී ඒකච්ඡන්දයෙන් සම්මත වුණු අතර එකී තීරණය දෙබරයකට ගල් ගැසූවාක් මෙන් සමාජය ම ඇවිස්සුවේ ය. මැති ඇමැතිවරුන් ද මැදිහත් වූ මේ ගැටලුවට නොබිය ව මුහුණ දුන්නේ යක්කඩුවේ මහ නාහිමි ය. උන්වහන්සේ ඒ තීරණයට කෙළින් ම හා අවංක ව මුහුණ දුන්නේ ය. ධනවත්හු හා බලවත්හු විද්‍යාලංකාරය කෙරෙහි උරණ වූහ. දානය සම්පාදනයෙන් වැළකුණහ. එහෙත් කලබලවීමට හෝ තම තීරණය හෝ වෙනස් කිරීමට යක්කඩුවේ හිමියෝ සිතුවේ නැත. පළමු දිනයේ තොරණ හන්දියේ හා පට්ටිය හන්දියේ කඩවලින් ගත් කෙටි කෑමවලින් උන්වහන්සේලා රැකුණහ.
වඩාත් හොඳ දේ වෙන්නට නම් යමක් වැරදීම හෝ අත්හැරීම සිදුවිය යුතු ම ය. බලවතුන්ගෙන් ඈත්වුණු විද්‍යාංලකාර සඟරුවනගේ දානය බාර ගත්තේ අවට සද්ගුණවත් ජනයා ය. පිරිවෙනේ නඩත්තුවට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා උන්වහන්සේ වනකතා කෘතිය ලියා මුද්‍රණය කර එහි ආදායම ඊට යෙදවූයේ ය. ඒ කෘතිය තහනම් කළත් උන්වහන්සේ කලබල වූයේ නැත. තවතවත් දිරිමත් වූහ. කපන්නට කපන්නට ලියලන ගසක් සේ උන්වහන්සේ වඩාත් ශාස්ත්‍රයට ව්‍යාවෘත වූයේ ය. සියල්ල පිටුපස සිටිමින් අන් අයට පෙරහැරේ යන්නට ඉඩ සලසමින් උන් වහන්සේ සියලු ක්‍රියා පිටුපස සිටි යෝධ සෙවණැල්ල වූයේ ය.
විද්‍යාලංකාර පිරිවෙනේ උපාධි ප්‍රදානෝත්සවයකට පැමිණි හිටපු ඉන්දීය ජනපති ආචාර්ය සර්වේපල්ලි රාධා කෘෂ්ණන් යක්කඩුවේ හිමියන් හමු වූ අවස්ථාවේ පවසා තිබුණේ “අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැඟිල්ලයි” කියා ය. ඒ උන්වහන්සේ ගැන පැවසිය හා හැඳින්විය හැකි හොඳ ම විදියයි. වල්පොළ රාහුල හාමුදුරුවෝ “ලක්දිව බුදු සසුනේ ඉතිහාසය” කෘතිය ලියන කාලයේ උන්වහන්සේට අටුවා ග්‍රන්ථවල සඳහන් වන ලංකාවේ බුද්ධාගම, සිරිත් විරිත්, උත්සව හා සමාජයේ විවිධ තොරතුරු අවශ්‍ය වී තිබුණි. දිනක් රාහුල හිමියෝ එය යක්කඩුවේ හාමුදුරුවන්ට පැවසූහ. ගතවූයේ සති එකහමාරකි. මෙතරම් කාර්යය බහුල යක්කඩුවේ නාහිමි අටුවා පොත් කන්දක් රැගෙන රාහුල හිමියන්ගේ කාමරයට වැඩියි. ඒ සියලු අටුවා ග්‍රන්ථවල රාහුල හිමියන්ට අවශ්‍ය කරුණු සඳහන් ව ඇති තැන් පැන්සලෙන් සලකුණු කර සොයා ගැනීමට පහසු ලෙස කඩදාසි කැබලි දමා තිබුණි. මේ වැනි තිරය පිටුපස කාරණා බොහොමයකි. ඒවා සියල්ල ලියන්නට නම් උන් වහන්සේ ගැන කෘතියක් ලිවිය යුතු වෙයි. මේ වැනි බොහෝ කාරණා අඩංගු කෘතියක් පසුගියදා වාපා ප්‍රකාශනයක් ලෙස පළ විණි. ඒ යක්කඩුවේ යති ලකුණ නමින් මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් ලියූ කෘතියයි.
විද්‍යාලංකාරය විශ්වවිද්‍යාලයක් කිරීමේ යෝග්‍යතාව ගැන සර් ඩී. බී. ජයතිලක හා කතා කරන්නේ යක්කඩුවේ නාහිමියෝ ය. එකල අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක 1956 අගෝස්තු මස 31 වැනිදා ඒ පිළිබඳ කෙටුම්පත් පනත බාර ගනිමින් ප්‍රකාශ කළේ විද්‍යාලංකාරය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපනික වශයෙන් අමුතු ව්‍යවස්ථා රෙගුලාසි අවශ්‍ය නොවන බවත්; විද්‍යාලංකාර පිරිවෙනේ පවත්වා ගෙන යන ත්‍රිපිටක උපාධි පරීක්ෂා ව්‍යවස්ථා රෙගුලාසිම ප්‍රමාණවත් බවයි.
පනත සම්මත වී 1959 ජනවාරි 01දා විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙයි. එහි ප්‍රථම උපකුලපතිවරයා වන්නේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේගෙන් අනතුරුව එහි උපකුලපති තනතුරට පත්වෙන්නේ ද යක්කඩුවේ හිමියන් ය. 1970 වර්ෂයේ දී කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන්ගේ අපවත්වීමෙන් පසු කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය බාරගැනීමට යක්කඩුවේ හාමුදුරුවෝ තීරණය කළේ විද්‍යාලංකාර පරිවේණාධිපති තනතුර නිසා ය. යක්කඩුවේ හිමියන්ගේ පරිශ්‍රමයෙන් 1975 වර්ෂයේ විද්‍යාලංකාර පිරිවෙනට වසර 100 සම්පූර්ණ වන අවස්ථාවේදී, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට අයත් වූ විද්‍යාලංකාර මුද්‍රණාලයත් විශ්වවිද්‍යාලයේ පැවැති විද්‍යාලංකාර පිරිවෙන සතු පොත්පත් ඒ විශ්වවිද්‍යාලයෙන් නැවත පිරිවෙනට ලබාගැනීමටත් යක්කඩුවේ හාමුදුරුවෝ ගත් උත්සාහය සාර්ථක විය.
වල්පොළ රාහුල හිමි පවසන ලෙසට විද්‍යාලංකාරයේ දියුණුවට බෙහෙවින් බලපෑවේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියෝ ය. තම ජීවිතයත් විද්‍යාලංකාර පිරුවනත් දෙකක් නොව එකක් ලෙස සැලකූ උන්වහන්සේගේ ජීවන චර්යාව උන්වහන්සේට ම ආවේණික වූ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. ඒ පිළිබඳ රස කතා බොහෝ වෙති. උන්වහන්සේගේ දැනුම විභාග ආදියට කොටු වෙන්නක් නොවේ. ලක්දිව බිහි වූ සංස්කෘත මහා පඬිවරයා ලෙස යක්කඩුවේ ප්‍රඥාරාම හිමි බුහුමන් ලබන්නේ ඒ නිසා ය. උන්වහන්සේ පඬිවරයකු වෙන්නේ ද ස්වඅධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙසට ය.
ඩී. බී. ධනපාලයන්ගේ “A mong those present” නම් කෘතියේ යක්කඩුවේ හාමුදුරුවන්ගේ ගුණ සමුදාය සම්පිණ්ඩනය කරන්නේ මෙසේය.
“උන්වහන්සේගේ මනෝදර්ශනයේ නිර්භයතාව, අධිෂ්ඨානයේ ස්ථිරත්වය, පාණ්ඩිත්‍යයේ අමිතත්වය, හිතේ විස්තාරය, හෘදයේ තාරුණ්‍යය යන මේ ගුණයන්ගේ උදාර මහිමය සාමාන්‍යය නරයන් මවිත කරවයි.”
යක්කඩුවේ නාහිමි චරිතය අධ්‍යයනයේදී ඒ බව වඩාත් හොඳින් සපථ වෙයි.
ශාස්ත්‍රීය සේවයේදී ද උන්වහන්සේ සිය දිවිසැරිය සේම විප්ලවකාරී ය. මජ්ජිම නිකාය ශුද්ධිය හා එහි ඇතුළත් සමන්නේසනා වැනි විශේෂඥයන් ට ගෝචර වූ ගැඹුරු පර්යේෂණාත්මක කෘතීන් පසෙක තබා, එක්තරා ප්‍රමාණයක ඉගෙනීමක් ඇති අයට තේරුම් ගත හැකි අනෙක් කෘති; ගුත්තිල විචාරය I,II, වන කතා I,II,II, බවතරණ මග හා බුද්ධ චරිතය, භක්ති ගීත වැනි කෘති සම්පාදනයේ උන්වහන්සේ ව්‍යාවෘත වූහ.
ආගමික ක්ෂේත්‍රයට මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ද උන්වහන්සේගෙන් ඉටු වූ සේවය අනල්ප ය. විද්‍යාලංකාර සම්ප්‍රදායේදී ආචාර්ය හා ශිෂ්‍ය භූමිකාද්වය ම උන්වහන්සේගේ අවධානයට ලක් විණි. ඊට අමතර ව දේශපාලන, සාහිත්‍යය, පර්යේෂණ හා විචාර ක්‍රමවේද හා විෂය පථ ගැන ද උන් වහන්සේ සවිඥානික වූහ.
තමන්ගෙන් රටට, අනාගත පරපුරට විය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කළ යතිවරයාණ කෙනකු වශයෙන් උන් වහන්සේ ගේ නම සුපතළ වන්නේ මේ කරුණු නිසා ය. මෙතරම් රටට, දැයට, සමයට හා භාෂා සාහිත්‍යයට වැඩ කළ යතිවරයකු තවත් නැති තරම් ය. උන්වහන්සේ පොත්පත් ලියූහ; පිරිවෙන් ඇති කළහ: ඒවා විශ්වවිද්‍යාල බවට පත් කළහ; පර්යේෂකයන් හා ගවේශකයන්ට මඟ පෙන්වූහ; වියතුන්ට පවා ගුරු වූහ; නව පරම්පරාවක් තැනූහ. තමන් ලද ජීවිතයෙන් උපරිම ඵල ලැබූ හා පෙරළා සමාජයට ඒ ඥාණය තිළිණ කළ යක්කඩුවේ ප්‍රඥාරාම ස්වාමීන් වහන්සේ වෙනස් මඟක් ගත් වෙනසක් කරන්නට නිරන්තර කැපවූ උපාධ්‍යාන වහන්සේ නමක සේ දෙස්විදෙස් පතළ වෙන්නේ මේ නිසා ය.
අද කැලණිය විශ්වවිද්‍යාලය යම් බුහුමනක් ලබන්නේ ද ඒ පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ල යක්කඩුවේ නාහිමියන් ය. අප පූර්වගාමිකයන් ස්මරණය කළ යුත්තේ ඔවුන්ට වන්දනා කිරීමට පමණක් නොවේ; ඔවුන්ගේ බුද්ධිමය උරුමවලින් ආලෝකය ලබාගැනීමට ද වෙයි. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ ගුණානුස්මරණය වටින්නේ එකී ආලෝකයේ ප්‍රභාව වෙනුවෙනි.