පොඩිපුතා ගිහින්! | Page 3 | සිළුමිණ

පොඩිපුතා ගිහින්!

පැහැදිලි සුදු කඩදාසියක රවුම් අකුරෙන් ඉතා කෙටි වාක්‍ය දෙකක් ලියා තිබිණි. එනම්; "මම යනවා! හොයන්ඩ එපා!" යනුවෙන් ය. ලිපියක් ලෙස එහි කිසිදු ආමන්ත්‍රණයක් නැත. එක්කෝ ආදරණීය අම්මා හා තාත්තා වෙතටයි කියා ලියන්නට තිබිණි. නැතහොත් අක්කලා හා අයියා වෙතටයි කියා ලියන්නට තිබිණි. ලිපිය ලියන්නාගේ අස්සන ද එහි නැත. එක්කෝ මීට පොඩි පුතා කියා ලිපිය අවසන් කරන්නට තිබිණි. එසේ නැතහොත් මීට කමල් කියා අස්සනක් යොදන්නට තිබිණි. ඒ කිසිවක් කඩදාසියෙහි සටහන් වී නැත.

හැඟුම්බර කෙටි වාක්‍ය දෙකකින් සයිමන් මුදලාලිගේ නිවස ගිනි ගෙන තිබිණි. ගෙදර පස් දෙනා ම සියලු වැඩ නවතා කමල් සෙවීමේ මෙහෙයුමක නිරත වෙති. හාමිනේ හැඬූ කඳුළින් විවිධ අදහස් ඉදිරිපත් කළා ය. සයිමන් මුදලාලි එම අදහස්වලට අනුව ක්‍රියා කළේ ය. වරෙක හාමිනේගේ අදහස වූයේ යහළුවන්ගේ නිවෙස්වලට ගොස් සොයා බැලිය යුතු බව. එහෙත් ඔහුට එහෙමට යහළුවන් සිටියේ නැත. තව අදහසක් වූයේ කොටියා කුඹුරේ නැන්දලාගේ නිවසේ බැලිය යුතු බව ය. කමල් එහි ගොස් නො තිබිණි. ඊළඟ අදහස වූයේ පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමිය යුතු බව ය. පොලීසියේ ලොක්කා කියා සිටියේ හෝඩුවාවක් ඇතොත් දන්වන්න කියා ය.

අනේ අපොයි! ගෙදර හිටපු හොඳම දරුවා මුදලාලිට නැතිවුණා. සමහරු කියන්නට පටන් ගත්හ. දැන් ඉතින් මුදලාලිගෙ කඩ කෙරුවාව හමාරයි තව අය කියන්නට පටන් ගත්හ. ඔය ගෙදරට හරියන්ඩ පටන් ගත්තෙ ඒ කොල්ල නිසා තමයි. දැන් ඉතින් ඔක්කෝ ම ඉවරයි. තවත් අය කියන්නට පටන් ගත්හ. ඒ සියල්ල ඇත්තකි. ඔහු පාසල නිමවා නිවසට ගොඩවන්නේ හරකුන්ට තණකොළ කැපීමට බලාගෙන ය.

කමල් තණකොළ කැපීම සඳහා සැතැපුම් ගණන් පයින් ගියේ ය. කිසි දිනෙක හරකුන් කුසගින්නේ සිටියේ නැත. හිමිදිරියේ ම හන්දියේ කඩේ අරින්නේ කමල් ය. රාත්‍රියට කඩය අස්පස් කොට වසා දමන්නේ ද කමල් ය. ඔහුට ඉගෙනීමේ වැඩවලට වඩා ගෙදර වැඩ තිබිණි.

සයිමන් මුදලාලි කමල් ඇමතුවේ පොඩි පුතා නමින් ය. හැබෑවට ම ඔහු ගෙදර බාලයා විය. අක්කලා දෙදෙනෙක් හා අයියා කෙනෙක් ඔහුට සිටියහ. ලොකු අක්කා පාසල් ගමන නවතා ගෙදර සිටියා ය. අනෙක් දෙදෙනා උසස් පෙළ හදාරමින් උන්හ.

අයියා වූ නිමල් තරමක් අලස ළමයෙකි. ඔහුට වැඩක් පැවරුවහොත් මල්ලීට කියන්න යැයි පවසමින් එය මග හරී. පොඩි අක්කාගේ කුදු - මහත් ඕනෑ - එපාකම් සපුරන්නට සිදුවූයේ ද කමල්ට ය. මල්ලී මගෙ සෙරෙප්පු දෙක කැඩිල හදල දෙනවකො වරෙක ඇය කියයි. මල්ලී මට මල් ටිකක් කඩල දෙනවකො තව වරෙක ඇය කියයි. මල්ලී ඔයා කඩේට යන කොට මට රටකජු එකක් ගෙනත් දෙනවකො තවත් වරෙක ඇය කියයි. කමල් සියලු වැඩ නවතා ඒවා ඉටු කර දෙයි.

අම්මා ලොකු පුතාට වැඩ කියන්නේ නැත. පොඩි පුතේ මට දර ටිකක් පළල දෙන්ඩකො! අයියට කිව්වොත් ඕකට මුළු දවස ම ගනී. පොඩි පුතේ මට අර කෙහෙල්මුහේ කඩල දෙන්ඩකො! පොඩි පුතේ හොඳ ළමය වාගේ මට දෙල් ගෙඩි දෙකක් කඩල දෙන්ඩකො! හාමිනෝ නිට්ටාවට ම වැඩක් කර ගැනීමට වුවමනා වූ විට කතා කරන්නේ කමල්ට ය. කමල් කඩිසර ය. වැඩ හැමවිට ම පිළිවෙළ ය. අනේ මගෙ අත කැඩුණ වගේ ඒ ළමය කොච්චර නම් සුමයක් කෙරුවද මේ ගෙදර හාමිනේ ඈත බලාගෙන හූල්ලන්නට වූවා ය.

සයිමන් මුදලාලි දින දෙකකින් කඩය විවෘත කළේ නැත. ගෙදර හරක්ට හරි හමන් කෑමක් නැත. ලොකු පුතා තණ කොළ කපන්නට ගිය ද ඔහු කූඩය පිරෙන්නට තණකොළ ගේන්නේ නැත. ගෙදර ඉවුම් - පිහුම් ලොකු දුව භාරගෙන තිබුණ ද කෑම පිරියාවක් කාටවත් නැත. එක්කෝ ලුණු මදි ය. එක්කෝ මිරිස් නැත. මුළු ගෙදර ම අවුල් ජාලයකි.

කමල් හෙවත් පොඩි පුතා අතුරුදන් වී තුන් වන දවසේ සයිමන් මුදලාලි රාත්‍රිය පුරා කල්පනා කරන්නට විය. ඒ වන විට ඔහු සොයා බැලිය යුතු සෑම තැනකට ම ගොස් තිබිණි. ළමයා නැවත ගෙදර නොඑන බව ඔහුට විශ්වාස ය.

"ලොකු දුව උඹ මොනව හරි

හිත රිදෙන දෙයක් මල්ලිට කිව්ව ද?"

"පිස්සු ද තාත්තෙ මම මල්ලිට

කවදාවත් බණින්නෙ නෑ!"

"පොඩි දුව මොනව හරි

කිව්ව ද?"

"මම තමයි මල්ලිට

වැඩියෙන් ම ආදරේ!"

"එහෙනම් ලොකු පුතා

මොනව හරි කිව්ව ද?"

"මම මොනව කියන්න ද?

මං ඉන්නෙ මගෙ පාඩුවෙ!"

"කිසි කෙනෙක් කිසි දෙයක්

කියල නෑ! ඒ වුණාට

ළමය අතුරුදහන්!"

ඊළඟ දවසේ හාමිනේගේ යෝජනාවක් මත ගෙදර සියල්ලෝ ම ශාස්ත්‍රකාරයකු හමුවීමට ගිය හ. ශාස්ත්‍රකාරයා සිය ආවතේව ඉටුකොට අඳුනක් බලන්නට පටන් ගත්තේ ය. ඔහු අඳුන දෙස බලාගෙන කියන්නට වූයේ දරුවා හිතේ අමාරුවක් නිසා ගෙදරින් පිට වී ගොස් ඇති බව හා ඔහු ඈත පළාතක ගොඩනැඟිලි ඉදිකරන ස්ථානයක හොඳින් සිටින බව ය. හත් දවසක් බෝධි පූජා පැවැත්වීමෙන් පසු දරුවා නැවත ගෙදරට ගෙන්වා ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ගෙදර සියල්ලෝ ම හත් දවසක් පුරාවට බෝධි පූජා පැවැත්වූහ. හත්වන දවසේ රාත්‍රියෙහි ඔව්හු ඉස්තෝප්පුවට පැමිණ පොඩි පුතා එන තෙක් බලා උන්හ. තත්පර, විනාඩි පැය ගත වෙමින් මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටිය ද පොඩි පුතා ආවේ නැත.

සයිමන් මුදලාලි එළිවනතුරුම ඇහැ පියා ගත්තේ නැත. ඔහු දැන් එතැ'යි, දැන් එතැ'යි මුදලාලිගේ හිත කිය යි. එහෙත් කමල් පැමිණියේ නැත. පාන්දර ජාමයේ මුදලාලිට නින්ද ගියේ ය. ඔහු සිහිනෙන් දුටුවේ පොඩි පුතා විශාල මෝටර් රථයකින් පැමිණ ගෙදර සියල්ලන්ට ම බැණ වදින බව ය. උඹලා මට සැලකුවේ නෑ! මගෙන් වැඩ ගත්තා විතරයි! උඹලා ගුණමකුවෝ! පොඩි පුතා කෑගැසුවේ ය.

මුදලිලා ගැස්සී ඇහැරුණු අතර තමා දුටු සිහිනය ගැන නැවත - නැවත මෙනෙහි කළේ ය. ඔහු පොඩි පුතාගේ කාමරයට ගොස් පළමුවරට ඔහුගේ පොත්පත් අවුස්සන්නට විය. කාමරය ඉතා පිළිවෙළ ය. ඇඳුම් පිළිවෙළකට නමා රාක්කයට දමා ඇත. මේසය මත අර ලියුම හා පෑනක් පමණක් ඉතිරි ව තිබේ. ඇඳ එහෙමම ය. ඇතිරිල්ලේ එක රැල්ලක්වත් නැත. මුදලාලිට පොත් රාක්කයේ තිබී ෆයිල් කවරයක් හමු විය. ඔහු එය පෙරළා බැලුවේ ය.

එම ලිපි ගොනුව තුළ පුවත්පත් ලිපි ගණනාවක් තිබිණි. ඇතැම් ලිපියක අන්තර්ගතය වූයේ මාපියන්ගේ ගුණ කීම ය. තව ලිපි කිහිපයක සඳහන් වූයේ පිටරට සිට සියමාපියන් සොයා නැවත ලංකාවට පැමිණි අයගේ විස්තර ය. සයිමන් මුදලාලි ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේ ය. අවසන් ලෙස ඔහුට එක් දෙයක් සිහිපත් විය. එනම්; පොඩිපුතා සාමාන්‍ය පෙළ සමත් වී පැමිණ තමන්ට දණ ගසා වඳින විට තමන් අතින් කියැවුණු වැරැදි වචනයකි.

"පොඩි පුතේ උඹත්

මගේ ම දරුවෙක් තමා!"

සයිමන් මුදලාලි බොහෝ කාලයක් බලා සිටියේ ය. මියෙන තෙක් බලා සිටියේ ය. එහෙත් ඔහුගේ පොඩි පුතා කිසි දිනෙක නැවත ගෙදර පැමිණියේ නැත.

Comments