පළමු වරට හින්දි නවකතාවකට බුකර් සම්මානය හිමි වූ ගීතාංජලී ශ්‍රී | සිළුමිණ

පළමු වරට හින්දි නවකතාවකට බුකර් සම්මානය හිමි වූ ගීතාංජලී ශ්‍රී

ධම්මික ජය­රං­ජන්

මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානය ප්‍රථම වතාවට ඉන්දියානු ස්වදේශීය භාෂාවක් වන හින්දි බසින් ලියවුණු නවකතාවකට හිමිවීම ගැන විශේෂ කතාබහක් ඇති වී තිබේ. මීට පෙර ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ඉංග්‍රීසි බසින් ලියන ලේඛකයින්ගේ නම් මේ සම්මානය සඳහා නිර්දේශ වී ඇති අතර ඇතැම්හු සම්මානලාභින් ද වී සිටිති. එහෙත් ස්වදේශීය භාෂාවකින් ලියවෙන සාහිත්‍ය කෘති මෙම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර නොවීම මෙතෙක් කාලයකටම සිදුවූ දෙයක් වේ. එවැනි පසුබිමක ගීතාංජලී ශ්‍රී විසින් ලියන ලද මෙම හින්දි නවකතාව ඩේසි රොක්වෙල් විසින් ඉංග්‍රීසි බසට Tomb of Sand යන නමින් පරිවර්තනය කිරීමෙන් පසුව මෙම අවස්ථාව නිර්මාණය වී තිබේ. එම ත්‍යාග මුදල ලේඛිකාව සහ පරිවර්තිකාව අතරේ සමසේ බෙදී යාමද සිදුවී ඇත. 

ප්‍රවෘත්තියක් වශයෙන් එය පසුගිය කාලයේ එසේ වාර්තා වූ නමුත් මෙහිදී අපට වැදගත් වන්නේ එම ප්‍රවෘත්තිය පසුබිමේ පවතින සාහිත්‍යයික සමාජීය මෙන්ම දේශපාලනික අනාවරණය යි. සම්මානලාභි ගීතාංජලී ශ්‍රී සම්මානය ලබාගත් අවස්ථාවේදී මතුකොට පෙන්වූ වැදගත් කාරණාවක් යට කියන ලද තත්වයට අදාලව මුලින්ම විමසා බැලීම සුදුසු යැයි සිතේ. ඒ අනුව ඇය පවසන්නේ මේ සම්මානය ලැබීම ගැන තමන් සතුටට පත්වන නමුත් මෙය ලබා ගැනීමට සුදුසු එකම හිමිකරුවා තමන් නොවන බවයි. තමන්ට පෙරද ස්වදේශීය භාෂා වලින් බොහෝ උසස් කෘති ලියැවී ඇතත් ඒවා කෙරෙහි අවධානයක් යොමු නොවීම ගැන තමන් කණගාටු වන බව ඇය පවසයි. ඊට හේතු වශයෙන් ඇය දක්වන්නේ පවතින භාෂා අවහිරතාවය යි. ඇය ඊට දරිද්‍රතාව යන නමද තබයි. මෙහිදී දරිද්‍රතාව වශයෙන් ඇය හඳුන්වන්නේ එක් අතකින් ඊට අදාල සම්පත් ඌනතාවත්, අනිත් අතින් පුහුණු කාර්යධරයන්ගේ හිඟකමත් ය. මෙම කරුණු සැලකිල්ලට ලක් කරද්දී අවසාන විග්‍රහය වශයෙන් ඉදිරිපත් වන්නේ කලාපයේ පවත්නා නිරවද්‍ය නොවන දේශපාලනය යි. ඒ අනුව යමින් ඇය අවධාරනය කරන්නේ මේ තත්ව නිවැරැදි විය යුතු ද බව යි. එවැනි පසුබිමක් තුළ තමන්ව සොයා ගැනීමට හැකි වන අන්දමේ ගොඩ බැසීමක් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් තමාට හිමිවීම ගැන සතුටු වන බවද ඇය පවසයි.

ශ්‍රී ගේ මෙම නවකතාවේ විෂය අන්තර්ගතය ද විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටී. විශේෂයෙන්ම ලංකාවටද සමානුපාතික වන එහි ප්‍රස්තුතය මෙරට පාඨකයින්ගේද අවධානයට ලක් විය යුතුය යන්න විශේෂ අවශ්‍යතාවයක් වේ. ඉන්දියාවේ සමාජ පැවැත්ම තුළ කාන්තාව බිරිඳක්, මවක්, ගෘහණියක් මෙන්ම අවසානයේදී සියලු යුතුකම් ඉටු කිරීමෙන් පසු ශේෂ වන ජීවිතයක් සමඟ මැහැල්ලක් වශයෙන් පත්වන ඒ තත්වය ගැන ලේඛිකාව සිදු කරන ප්‍රතිනිර්මාණය සමාජීය මෙන්ම සංස්කාතික අනාවරණයක් ද වේ.

ඒ අනුව ඇය විවාහයත් සමඟම බිරිඳක්, මවක් සහ ගෘහණියක් වශයෙන් ඉටු කරන්නා වූ වගකීම විශාල එකකි. එතනදී සිය ස්වාමිපුරුෂයා මිය ගියහොත් තත්වය වඩාත් දරුණු වේ. එමෙන්ම වේදනාකාරි ද වේ. ඇතැම් විට සිය පුද්ගලත්වයේ සීමාවන් ද ඉක්මවමින් ඇය ඉටු කරන ඒ කාර්යභාරය අවසන් වන්නේ දරුවන් වෙනම ජීවිත ගත කරන තැනකට ගොස් ඇය සිය ජීවිතයේ සැඳෑ කාලය තුළ හුදකලා වූ ජීවියකු බවට පත්වීමෙන් පසුව ය.

ගීතාංජලී ශ්‍රී වීඩියෝ සාකච්ඡාවකදී මේ තත්වය මනා ලෙස පැහැදිලි කර දුන්නා ය. ඊට අනුව ඉන්දියානු වනිතාව විශේෂයෙන්ම අසූවිය වයස් සීමාවට පැමිණෙන විට බොහෝ දුරටම සිය ජීවිතය අත්හරින තත්වයකට පත්වෙයි. ඒත් සමඟම ඇය තමන්ගේ ඊළඟ ආත්මය ගැන බලාපොරොත්තු ඇති කර ගන්නා තත්වයක් ද දැකිය හැක. ඒ වන විට ඇය ගත කරමින් සිටින්නේ මෙම ආත්මයේ සිය අවසාන ජීවිත සීිමාවත්, ඊළඟ ආත්මයේ ජීවිතයේ ආරම්භක අවස්ථාවත් පෙනෙන දුරකය.

මෙම තත්ව දෙක යාකරන පාලම වන්නේ තවත් ආත්මයක් ගැන ඇය තුළ පවත්නා විශ්වාසයයි. මේ තත්වය ලංකාවටද බොහෝ සෙයින් පොදු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම වයස් සීමාවට පැමිණි පසු එවැනි කාන්තාවක් ගත කරන්නේ සිය දරු පවුලෙන් වෙන්ව පොදු සමාජයෙන්ද බැහැර වූ මානසික හුදෙකලාවක ය. ඇයට ආමන්ත්‍රණය කරන්නකු හෝ පිලිගැනීමක් දක්වන්නකු හෝ හමුවෙතොත් ඒ ඉතාමත්ම විරල අවස්ථාවකදී ය. මේ නිසා සෑම දවසක්ම උදාවන්නේත්, අවසන් වන්නේත් ඒ හුදෙකලාව තුළ ය. එවැනි මානසිකත්වයක් තුළ කාන්තාවක වේවා පිරිමියකු වේවා මරණය නම් සංවේදීතාව අත් විඳින්නේ නිරායාසයෙන්ම ය. පොදුවේ ආසියානු සමාජය තුළ දැකිය හැකි මෙම මානසිකත්වය තුළ ඔවුන් බොහෝ විට සිය පැවැත්ම රඳවා ගන්නේ ඊළඟ ආත්මයක් සම්බන්ධයෙන් ආගමික සහ පොදුවේ සංස්කෘතික වශයෙන් ඔවුන් තුළ තහවුරු වී ඇති ඒ විශ්වාසය මත ය.

ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් මෙම නවකතාව මේ කියන කරුණ ගැන අධ්‍යයනය මුල්කොට ගත් විනිශ්චයකට ගොස් ඇතැයි සිතිය හැක. බටහිර සමාජය විශේෂයෙන්ම අමෙරිකානු සමාජ පැවැත්ම තුළ ඔවුන් අත් විඳින්නේ ඊට හාත්පසින්ම වෙනස් සමාජ මානසිකත්වයකි. ඔවුන්ට අනුව තවත් ආත්මයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. හොඳට හෝ නරකට තමන්ට ඇත්තේ මේ ජීවිතය පමණි. එසේ හෙයින් අවසානය දක්වාම සතුට වගා කර ගනිමින් ජීවිතයට මුහුණ දීමේ අභිලාෂයක් මෙන්ම අධිෂ්ඨානයක් ඔවුන් තුළ වැඩෙන්නේ කුඩා වියේ පටන්ම ය. කියවීම් සහ තොරතුරු ඇසුරෙන් තවත් ආත්මයක් හා සම්බන්ධ පැවැත්මක් ගැන අසා දැන ගෙන සිටියත් ඔවුන් එයට කැමැති වුණත් අවසානයේදී පවතින්නේ සිය මානසිකත්වය තුළ තහවුරු වී ඇති, ජීවිතය නම් මෙපමණය.... එනිසා එය හොඳින්ම බුක්ති විඳිය යුතුය යන ආකල්පයයි. එසේ ගත් කළ ඉන්දියානු සමාජයේ අර සමාජ මානසිකත්වය තුළ පුද්ගලයකු සිය ජීවිතය හැඩගස්වා ගන්නා ආකාරය මෙම විනිශ්චයේදී අපූරු අත්දැකීමක් වන්නට ඇතැයි සිතිය හැක. කොහොමටත් ආසියානු සමාජය පිළිබඳව බටහිර ජාතීන් තුළ කුතුහලයක් පැවතුණේය යන්න අමුතු කරුණක් නොවේ. එය අපූරු තමන් නොදත් අභිරහස්මය පැවැත්මක්ය යන්න ඔවුන්ගේ කුතුහලය අවදි කළ කාරණය විය.

ගීතාංජලී ශ්‍රී මෙම ජාත්‍යන්තර සම්මානය හිමිවීම ගැන අදහස් දක්වමින් එය තමන් සිහිනෙන්වත් නොපැතූ දෙයක් යැයි පවසයි. අනිත් අතට එවැන්නක් බලාපොරොත්තුවෙන් තමන් මේ කෘතිය නොලියුවේ යැයි පවසන්නටද අමතක නොකරයි. තමන් විසින් කරන ලද නිරීක්ෂන එමෙන්ම අත්දැකීම් කාලයක් තුළ වැඩෙමින් පැවැති බවත්, මේ කෘතිය ලියන්නට වසර අටක් තරම් කාලයක් තමන්ට ගත වූ බවත් පවසන ඇය ඒ උත්සාහය වෙනුවෙන් මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් හිමිවීම ගැන මහත් සේ සතුටට පත්වන බවත් පවසයි.

Comments