
ගස් ගොල්ලෙ සිහිලැල්ලෙ
වැතිරුනෙමි නෙතු වසා
සප්ත ස්වර සංකලන
පිරුණි දෙසවන් වසා
සතුටු දිය උතුරලා
හද වාන් දොර වැසී
සබඳ, ශෝකී හැඟුම්
අරක් ගති පොදි ගැසී...
සොබාදම තිළිණ කළ
නේක විශ්මයන් මැද
ඒකාත්මික වන්න
හදවතේ රිද්මයට
හැකි වුවද මිනිස් වග
දුවන අනවරත මඟ
පළක් වී ඇත්ද
මිනිසාට හෝ කිසිවෙකුට...
වසන්තේ පළමු මල්
පතුරද්දි එහි සුවඳ
මිනී මල් සරසද්දි
ඔටුණු පලඳා සිරස
හැම මලම විකසිතව
වැලඳ ගනිමින් සුළඟ
සැනසුණා
ඒ තමයි
මෙලොව මා දුටු සත්‍යය...
සියොත් කැල ගී ගයන
නටන දඟකාරකම
උන්ගෙ හිත් වල හැඟුම්
හඟින්නට හැකිද මට?
පැහැදිලි ව පවසන්න
හැකි එකම දෙයක් ඇත
කියන්නට බැරි තරම්
සොම්නසක් උන් සතුය...
මෝදු වන සිනිඳු අංකුර
නගා සිය සිරස
විඳින යුරු පුදුමයක් නොව
සිහිල් නල පහස
එක දෙයක් සහතිකය
විඳගන්න ඒ සුවය
සතුට ලබනා රිසින්
මා යමක් කළයුතුය...
දියදමක සැලසුමක්
දිග හැරෙන ලොවක් තුළ
දෙව්ලොවින් පැමිණි
පණිවිඩයන් ද මේ නියම?
මිනිසාට මිනිසාම
කර ඇති යමක් වේද
පිළිතුරක් නොමැත.
ශෝකයට හේතුවක් මිස!...
විලියම් වර්ඩස්වර්ත්
මෙම කවිය ඉංග්‍රීසි ජාතික කවියෙකු වූ විලියම් වර්ඩ්ස්වර්ත් ලියූ Lines written in early spring කවියේ අනුවාදයකි.
1770 අප්‍රේල් මාසයේ එක්සත් රාජධානියේ උපත ලැබූ ඔහු ඉහත කවිය ලීවේ 1798 දී ය. ඉංග්‍රීසි මෙන්ම විශ්ව කලා කෙත අස්වැද්දූ අග්‍රගන්‍ය කවියෙක් වූ ඔහුගේ කවියට බොහෝ විට ප්‍රස්තුත වූයේ ආලය, ශෘංගාරය, මිනිස් සබඳතා හා සොබා දහමයි. ඔහුගේ Daffodils කාව්‍ය එතෙක් මෙතෙක් ඔහු අතින් ලියවුණු ජනප්‍රිය ම කවියයි.
රේණුකා ඉලංගකෝන්