
හැන්දෑවේ බැහැගෙන යන ඉර අහසේ හරි මැද්දටත් කෙළවරටත් නොවන තැනකට වී බලා සිටියේය. උපුල් දිග අඩි තියා යමින් සිටියේ හදිස්සි ගමනකි. ඔහුගේ දකුණු අත මුහුණේ දකුණු පැත්තෙන් ඇස් වලට ඉහළින් රැදුනේ ඉරව්ව මුවා කරන්නට මෙනි. ඒත් ඔහුගේ හැබෑ අරමුණ පාරේ අනෙක් පස ඇති කඩයේ සිට බලා ඉන්නා කඩේ අක්කාගේ ඇස් වලින් මුවා වීමය. පාරත් කඩයත් වෙන්ව ඇත්තේ පටු තීරුවකිනි. කවුන්ටරයට වී ඉදිරිපිට දැල් අතරින් කඩේ අක්කා දැනටමත් ඔහු දෙස බලා සිටින බව ඔහු අත්දැකීමෙන් දනියි. පාරේ යන කිසිවකුට ඇගේ ඇස් වලින් ගැලවීම පහසු නැත. ඔහු ඉරව්වට දෑස මුවා කරගනිමින් සැරසෙන්නේ ඇගේ ප්‍රශ්න කිරීමෙන් ගැලවී ඉක්මනින් ගෙදර යන්නටය.
උපුල්ගේ අනුමානය නිවැරදිය. කඩේ දොරෙන් මෑත් වී පාර
අද්දරට ඇදෙන සෙවණැල්ලක් ඔහුගේ ඇස් කොන් බැල්මට යාන්තමට හසු වුණේය.
“උපුල් මල්ලි අද කලින්ම ගෙදර යනවා වාගේ“
උපුල් ගමනේ වේගය මඳක් අඩු කොට හැරී බැලුවේය. ඇගේ ඉදිරිපස දත් දෙපළේ බොල්ලෑව ඔහුට පෙනුණේ වෙනදාටත් වඩා වැඩි දියුණු වෙමිනි. “හැටි විතරක් කෙහෙල් ඇවරිය වාගේ “හිතට නැගී ඒන නොරිස්සුම අතරින් උපුල් ඔහුටම මුමුණා ගත්තේය.
“ඔව් අක්කේ ෂෝට් ලිව් ඒකක් දැම්මා“
“මල්ලිට අසනීපයක්ද?. මුණත් ඒක්ක අමුතු වෙලා.“
“නෑ මේ ඉරව්ව.“
උපුල් කඩය පසු කරගෙන සෑහෙන දුරක් පැමිණියද කඩේ අක්කාද බොල්ලෑ දත් දෙපළේ හිනාව නොසඟවාම ඔහුට සමගාමීව ගමන් කරයි. උපුල් ඈ නොතකාම ගමන ඉක්මන් කළේය.
“දැනටමත් ගෙදරට පණිවිඩේ ගිහින් ඇති, දුව අතේවත්. මම කලින් ගෙදර එනවා කියලා.“
ඒ ඔහුගේ හිතට නැඟුණු තනි සිතිවිල්ලය. ගේට්ටුව “හායි ගා” ඇර දැමූ හැටියේමය. උපුල් ගේට්ටු පියන් වසා දැම්මේ තොල් මතුරමිනි. වියළි කොස් ගහේ කොළ මිදුල පුරා විසිරී තිබිණි. සුළඟින් ඇදී ආ කොස් කොළයක් ඔහුගේ සපත්තුව උඩ නතර විය.
මල් පැළ බිම බලාගෙන සිටින්නේ දවස් තුන හතරකින් දිය නොලද බවට උපුල්ට පැමිණිලි කරන්නට මෙනි. කොස් කොළ පොඩි කර දමමින් මිදුල පුරා ටයර් පාරවල් ගණනාවක් මිදුලේ ඇඳී ඇත. මිදුලේ ප්‍රාණවත් බවක් පෑවේ ටයර් පාර පමණි. වෙනදාටත් වැඩිය. එක් ටයර් පාරක් ගේට්ටුව තෙක්ම විහිද තිබුණේ මෝටර් සයිකලයේ අයිතිකරුවා මේ වනවිටත් නික්ම ගොස් ඇති බව ඔහුට ඒත්තු ගන්වමිනි.
“මෙයාට පණිවිඩේ නෑවිත් ගෙදරට එන්න නං ඉතිං...“
ඉදිරිපස දොර ද හැර දැමූ හැටියේමය. හොර හතුරෙක් පැමිණිය ද මීට වඩා වෙනසක් නොවන බව උපුල් සිතුවේය. ඔහු “බර බරාස්“. හඬින් පාපිස්සේ සපත්තු අතුල්ලාගෙන ගෙට ඇතුළු වූවේය. එය ඇසෙන්නට කමනි ගෙයි පෙනෙන්නට නැත. ඈ වෙරළු ගහ යට කවුරුන් සමඟ හෝ දුරකතන සංවාදයක බව උපුල් දුටුවේ කෑම කාමරයේ ජනේලයෙනි. කාර්යාල බෑගය කෑම මේසයට වැටුණේ. “දඩිස්” ගාගෙන වැටුණේ ඒත් සමඟමය. කමනිගේ සතුටේ රඟ මූණ මත දඟකරනු පෙනෙයි. වචනයක් වචනයක් ගානේ හිනාව දියුණු වෙනු ඇගේ මුහුණ පරීක්ෂා කරන උපුල්ට පෙනෙයි.
ඔහු මුහුණ පුළුටු කරගෙන ගොස් ඉදිරිපස හාන්සි පුටුවට බර දුන්නේය. ඔහුට පෙනෙන්නේ මිදුලේ ටයර් පාරමය. තව ටික වේලාවකින් කමනි හැන්දෑවේ මිදුල අතුගාන විට ටයර් පාර මැකී යනු ඇත. පසුදා ඔහු කාර්යාලය නිම වී ගෙට ඒන විට නැවත අලුත් සලකුණකි. සතියක දෙකක සිට කාර්යාලයේ සිට නිවසට එන උපුල්ගේ ඇහැ ගැටෙන පළමු දසුන ටයර් පාරයි. උපුල් ඒ ගැන කමනිගෙන් ඇසුවේවත් කමනි ඒ ගැන යමක් ඔහු හා කිව්වේ වත් නැත. ඉදල් පහරින් මිදුලෙන් මැකී යන ටයර් පාර උපුල්ගේ මනසේ නොමැකෙන සලකුණු ඉතිරි කර තිබෙයි.
උපුල් හා කමනි විවාහ වී වසර හතරකට ආසන්නය. මුලදී ජීවිතය සුමටව ගලා ගියේය. හිමිදිරි පාන්දර අවදි වී නිවසේ සෑම කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කරන කමනි එළවළු දෙක තුනක්, මස් හෝ මාළු සමඟ රසවත් බත් මුලක් ඔහු අත තැබීමට කිසිදා අමතක නොකලාය. හවස ඔහු එන තෙක් ඈ බලා සිටියේ මේ හාන්සි පුටුවවේ ඉඳගෙනය. බොහෝ හවසක තේ බොන්නට යමක් ඈ අතින් පිළියෙල වෙයි. දෙදෙනාගේම පවුල් වල ඥාතීන්ගෙන් දරුවකු ගැන ප්‍රශ්න මතු වන්නට පටන් ගත්තේ විවාහයෙන් මාස හය හතක් ඉක්ම යද්දීය. වසරක් පමණ ළත වන තෙක් දෙදෙනාටම ඥාතීන්ගේ ප්‍රශ්න වල ලොකු බරක් පතළක් දැනුණේ නැත. පෑල දොරින් රිංගා ගත් ප්‍රශ්න වැල මැද සාලය පසු කරගෙන නිදන කාමරයට ගොඩ වැදුණේ උපුල්ගේ කාර්යාල සඟයින් මෙන්ම අසල් වැසියන් වෙතින්ද
“තාම නැද්ද ? මුකුත් වෙනසක්“ යනුවෙන් නිතර නිතර ඇහෙන්නට පටන් ගත් පසුවය. එතෙක් පැවති සාමකාමී වට පිටාවට හිත් බිඳෙන රිදෙන වචන එක දෙක එකතු වන්නට පටන් ගත්තේය. දෙදෙනා අතර කතා බහ වන වචන ගණන සීමා වන්නටත් කමනි නිතර කඳුළු පිරි මුහුණින් පසු වන්නටත් පටන් ගත් පසු උපුල් ගෙදර එන වෙලාව ඔරලෝසු කටුවල පසු පසට ගමන් කළේය.
විශේෂඥ වෛදවරුන්ගෙන් ප්‍රතිකාර ලබන්නට පටන් අරගෙන ද අවුරුදු දෙකකට වැඩිය. කඩේ අක්කා හා කමනි අතර මිතුරු දම දලුලන්නට පටන් ගත්තේ ඈ කමනි කැටුව දේවාල ගානේ, පන්සල් ගානේ යන්නට පටන් ගත් පසුවය. කමනි උපුල් හැන්දෑවේ නිවසට පැමිණි පසු කතා කරන බොහෝ කතා වල කඩේ අක්කා සම්බන්ධය. මිදුලේ ඇඳෙන ටයර් පාරට ද ඇගේ සම්බන්ධයක් ඇතැයි උපුල්ගේ හිත මුරගායි. කඩේ අක්කා ගැන උපුල්ගේ හිතේ කහටක් මතු වූයේ දවස් දෙක තුනක්ම ඔහු එන විට කඩේ අක්කා මිදුල අතුගාමින් සිටි නිසාය. ඒ ඔහු එන්නට පෙර ටයර් පාර මකා දමා ඔහුගේ ඇසෙන් වසන් කරන්නට වුවමනා හෙයින් විය යුතුමය. කමනිගේ අලුත්ම වෙනසක් උපුල්ට පෙනෙන්නට පටන්ගෙන සතියක් දෙකක් වන්නට ඇත. මිදුලේ ටයර් පාර ඇඳෙන්නට පටන්ගත්තේ ද ඒ කාලයේමය. කමනිගේ මුහුණේ වෙනදා නැති සතුටකි. එහෙත් උපුල්ට හැගෙන්නේ ඈ ඔහු නොතකන බවය. රාත්‍රියේ මොන ආරවුල් ඇති වුවත් උදේ කෑමට ඔහු කැමති යමක් පිළියෙල කර බත් මුලක් බැඳ දෙන කමනි දැන් දැන් පාන්දර අවදි වන්නට ද කම්මැළි කරන්නීය. උපුල් නැගිට තේ කෝප්පයක් පිළියෙල කරගත් පසු ඈ කුස්සියට ඒන්නේ ද වුවමනාවට එපාවට මෙනි.
ටීපෝව මත බ්‍රවුන් පේපර් කවරයකි. උපුල් බාගෙට කට ඇරුණු කවරයට එබී බැලුවේය. ඒහි අමු අඹ ගෙඩි කීපයකි. බිස්කට්
පැකට්ටුවක් ද ඒ අසලම විය. කමනි ආවේ සෑහෙන වේලාවක් ගත වූ පසුවය.
“ආ...ඔයා අද කලින්ම ආවද?“
කමනිගේ පිරුණු මුහුණේ පියකරු හිනාවකි. උදේ තිබුණු ඈලි මෑලී ගතිය පලා ගොස්ය. ඈ ටීපෝව මත තිබූ බ්‍රවුන් පේපර් කවරය හා බිස්කට් පැකට්ටුව අතට ගත්තාය. ඉන් අඹ ගෙඩියක් ඈ නහයට ළං කර සුවඳ බැලුවේ උපුල්ට සරදම් කරන්නට මෙන්ය.
“අද කවුරු හරි ආවාද?“ උපුල් මිදුලේ ඇඳුණු ටයර් පාරවල් දෙස වුවමනාවෙන් බැලුවේය.
“කවුරු එන්නද අනේ. මං දැණුත් කතා කළේ අම්මට. අම්මා එනවා කිව්වා ලබන සතියෙ“
කෑම මේසය මත ඈ අතට ගත් බිස්කට් පැකට්ටුව කඩා තබා තිබිණි. හොඳින් ඉදුණු කෝලිකුට්ටු ඇවරියක් ද විය. කෙසේ ඇවරියේ ගෙඩි දෙකක් අඩුය.
“කඩේ අක්කා දුන්නෙ” උපුල් මේසය දෙස වුවමනාවෙන් බලා සිටිනු දුටු කමනි තේ කෝප්පය මේසය මත තබන ගමන් කීවාය. උපුල් නොරිස්සුම් මුහුණට උපහාස හිනාවක් තවරා ගත්තේය. පිනට ලැබෙන දෙයක් හෝ කඩේ තබා විකුණන කඩේ අක්කාට, කමනිට කෝලිකුට්ටු ඇවරියක් නිකං දෙන්නට තරමේ පින් සිතක් පහළ වී ඇත.
“ඔයාට මොකක් හරි ඔෆිස් ඒකේ ප්‍රශ්නයක්ද? ටික දවසක ඉදන් ගෙදර ඒන්නෙම තරහෙන්.”
කමනි හිස් තේ කෝප්පයත් ගෙන නැගී සිටියේ උපුල්ගෙන් පිළිතුරක් නොලද තැනය.
“රෑට කන්නෙ මොනවද ? බත්නං කන්නත් බෑ වගේ”
“ඇයි කඩේ අක්කා ගෙනත් දෙනවා කිව්වෙ නැද්ද?”
“කඩේ ඇති ඉඳිආප්ප එහෙම.”
“උදේ ඉඳන් කැන්ටිමෙන් කාලා, රෑටත් කඩෙන් කන්නද කියන්නෙ?”
උපුල්ගේ කටහඬේ මඳ තෙතමනයක් හෝ නැත. කමනි ඔහු වෙත අසරණ බැල්මක් හෙළුවාය.
උපුල් තේ කෝප්පය බී කතා නැතිවම කාමරයට ගොස් තුවාය අතට ගත්තේ නාන කාමරයට යන්නටය. කමනී බිම බලාගෙන හාල් ගරනු ඔහු නාන කාමරයට යන අතරතුර දුටුවේය. ඈ විටින් විට ඇහැ මුල පිස දමයි.
පසුදා උදයේ උපුල් ඇස් ඇර බලන විට කමනි ඇඳේ නොසිටියාය. ඔහු යන්තං දෙපා පොළවේ තබා කුස්සියට ඇවිද ගියේ සොරෙකු මෙනි. කේතලය ගෑස් ලිප උඩ ඉගිළෙන්නට සූදානමෙනි. අනෙක් ළිප උඩ ඇති වෑංජනයෙන් රොස් සුවඳක් නාස් පුඩු විනිවිද ගියේය. උපුල් ගෑස් ලිප නිවා දමා වට පිට බැලුවේය. කමනි ඒළියේ සිට කුස්සියට ආවේ ඒ වෙලාවේය. උපුල්ගේ ඇස් දිව ගියේ ඇගේ අතටය. ඇගේ අතේ ජංගම දුරකතනය පෙනෙන්නට නොවීය.
“කොහෙද යන්නෙ.... ? . මේවා ළිප උඩ කර වෙනවා. එක්කො ළිප නිවලා යන තැනක යන්න ඕන.”
උපුල්ගේ හඬ කමනිට චෝදනා කරන්නට තරම් උස්ය. කමනි යන්තං හිස ඔසවා බලා කරබා ගත්තාය. කමනිගේ නිහඬතාවය ඔහුට බරකි. ඈ ඉවසා දරා සිටින්නේ ඇගේ අත වරදක් ඇති හෙයින් බව ඔහුගේ හැඟීම විය.
ඔහු ඇඳ පැලඳගෙන කාමරයෙන් එළියට ආවේ ඔරලෝසුවේ ඇස් අලවාගෙනය. ඔහු වෙනදා රැකියාවට යන බසයට තව ඇත්තේ මිනිත්තු පහළවක කාලයකි. කඩේ අක්කාගෙන් ගැලවී ගියද බස් පාරට යන්නට අඩුම තරමේ මිනිත්තු පහක් වත් ගත වෙයි. කෑම මේසය උඩ එක් එළවළුවක් බෙදූ බත් පිඟානකි. කමනි බත් මුල ද අතට ගෙන සාලයට ආවේ අවුල් වී ගිය කෙස් වැටිය පිරිමදිමිනි. ඇගේ මුහුණේ සුදුමැලි මලානික පෙනුම කෑම කාමරයේ තවමත් දැල්වෙන විදුලි පහන එළියෙන් තිව්‍ර වෙයි. හැන්දෑවේ ගෙට ගොඩ වන විට ඈ වෙතින් දිස් වෙන ප්‍රමෝදය සිහි කළ උපුල්ගේ හිතේ ඇඳුණේ ටයර් පාරය.
“අනේ උපුල්, අදනම් එක එළවළුවයි. මං මේ බිත්තරේකුත් තැම්බුවා”
කමනිගේ හඬ අසරණ වුව ද උපුලගේ හිසට නැඟුණේ තදබල කෝපයකි.
“අර මම නැගිටිනකොට ළිපේ කරවුණේ. ඔෆීස් එකකට ගිහින් කන්න පුළුවන්ද? ඕවා. මම අදත් කැන්ටින් එකෙන්ම කන්නං. ඔයාම තියාගන්න ඕක”
උපුල් අතට ගත් බත් මුල කෑම මේසයට අතහැරියේය. කෑම මේසයට නොවැටුණු බත් මුල පෙරළී ඇවිත් උපුල්ගේ දෙපා මුලය. කමනි ඇස් කඳුළින් පෙඟී ගියේ බලා සිටියදීමය. ඈ බෑගයත් ගෙන යන්නට හැරුණු උපුල්ගේ අතේ එල්ලුනාය.“ අනේ උපුල්.” උපුල් දෙවරක් නොසිතාම ඈ තල්ලු කර දැමුවේය. එය කමනි බලාපොරොත්තු නොවූවකි. ඈ වේගයෙන් විසි වී ගොස් කෑම කාමරයත් කුස්සියත් වෙන් කරන පඩි පෙළ අතර ඇද වැටුණාය.
හිතට නැඟුණු කෝපයත් නොරිස්සුමත් හේතුවෙන් ඈ තල්ලු කර දැමුව ද ඈ එලෙස ඇද වැටෙනු ඇතැයි උපුල් හිතුවේ නැත. කොන්දත් යටි බඩත් අල්ලාගෙන නැගී සිටින්නට උත්සාහ කරන කමනිගේ මුහුණ වේදනාවෙන් විරූපි වනු හැරී බැලූ උපුල්ට පෙනුණේය.
“අනේ උපුල් මට ටිකක් අමාරුයි” ඈ අත දිගු කරමින් යන්තමින් කියා ගත්තාය. ඇගේ ඇස් අඩවන්ය.
කමනි රෝහලට ගෙන ගියේ කඩයේ ත්‍රීවිලරයකිනි. කඩේ අක්කා දුවගෙන අවුත් බෑගයකට ඇඳුම් කෑලි කීපයක් අසුරා දුන් බව උපුල්ට මතකය. වේදනාවෙන් තැවෙන කමනිගේ මුහුණ දකින විට උපුල් තුළ උපදින පසුතැවිල්ල මැඬලන්නේ ටයර් පාරයි.
කමනි රෝහල් දොරටුව අසලින් බස්සවා ගත් ගමන්ම එතැන කඩි ගුලක් මෙන් ඇවිස්සී ගියේය. සාත්තු සේවකයින් දෙදෙනෙක් කමනි ඔසවා ට්‍රොලියක් මත තබද්දී තවත් සාත්තු සේවිකාවක් උපුල්ගේ අතින් බෑගය උදුරාගත් බව ඔහුට සිහි වූයේ ඈ රෝහලට ඇතුළු කරන්නට ටිකට් එක ලියන විටය. මඳක් සිහි එළවා ගත් ඔහු කමනි පඩි දෙක අතර ලිස්සා වැටුණු බව කියා ගන්නට සමත් වූවේය.
ඔහුට පෙනුණේ හතර වටින්ම කඩේ අක්කාගේ වැනි බොල්ලෑ දත් ඇති මුහුණු ඔහු දෙස රවා ඔරවාගෙන සිටින බවකි. ඈ ඇඳෙන් නැවත ට්‍රොලියක නංවාගෙන ශල්‍යාගාරයට ගෙන යන විට “අනේ උපුල් අපේ දරුවා” යනුවෙන් මිමිණුවේ අසරණ ලෙස ඔහුගේ මුහුණ බලාගෙනය. උපුල් රෝහලේ වහලයට ඇස් හෙළුවේය.
“දරුවෙක්??? ” ප්‍රශ්න ගණනාවකින් ඔහුගේ හිස වැසෙද්දී ටයර් පාර ඒ මැද්දට පැන්නේය.
“දැන් ලෙඩාව තියටර් එකට අරගෙන තියෙන්නෙ. මහත්තයා ගෙදර යන්න. දවල්ට ලෙඩ්ඩු බලන වෙලාවට ඇවිත් බලන්න පුළුවන්. හිටියත් වැඩක් නෑනේ” කරුණාවන්ත හෙදියක් එසේ කීවෙන් උපුල් රෝහලෙන් එළියට බැස්සේ දෙගිඩියාවෙනි.
කඩේ අක්කා ඉස්තෝප්පුවේ පඩිය උඩ ඉඳගෙන උපුල් එන මඟ බලා සිටියේය. ත්‍රිවිලරය ගේට්ටුවෙන් ඇතුළුවත්ම ඈ නැගිට පෙර මඟට ආවාය. උපුල්ගේ හිතේ කඩේ අක්කා ගැන කවරදාවත් නොවූ තරමේ අනුකම්පාවක් මෝදු විය. ඔහු ත්‍රීවිලරයෙන් බහින විට පෙරදා හැන්දෑවේ දුටු ටයර් පාරවල් මිදුලේ නොවුණේ කඩේ අක්කා ඒ වන විටත් මිදුල අතුගා තිබූ නිසාය.
“අනේ මල්ලියෙ කොහොමද නංගිට?” උපුල්ට පිළිතුරු තිබුණේ නැත. ඔහු මිදුල වටා ඇස් කැරකෙව්වේ කඩේ අක්කාගේ දෑසින් මුවා වන්නටය.
“දරුවට කරදරයක් නෑනේ මල්ලියෙ?”උපුල්ගේ කකුල් දෙකෙන් පටන්ගත් රස්නයක් සිරුර හරහා ගමන් කරමින් හිස් මුඳුන දවන්නට විය. ඔහුගේ හිතේ මැවුණේ උදෑසන අමාරුවෙන් නැගිටගෙන කුස්සියට යන කමනිය. ඒ හාම ගේට්ටුවෙන් ඇතුළු වූ කුඩා මෝටර් බයිසිකලයක් මිදුලේ රවුම් දෙක තුනක් කැරකැවී ඉස්තෝප්පු පඩියට ඔන්න මෙන්න කියා නැවතිනි. ඒ මත උන්නේ කඩේ අක්කාගේ දියණියයි.
“මේ තියන කරදර මදිවට උඹ ඕක කරකවන්න ආවද මෙතන.”
කඩේ අක්කා පාරක් ගහන්නට මෙන් අත උලුක්කර දියණියට කීවාය.
“ නෑ මල්ලියෙ, මේ කෙල්ලගෙන් බේරෙන්න බැරිම තැන බයික් එකක් ගෙනත් දුන්නා. පහුගිය ටිකේම ඔය බයික් එක පැද්දෙ මේ මිදුලෙ. කඩේටයි, ගෙටයි ගියාම අපට කියලා ඉඩක් තියන එකක්යැ”
උපුල් බිම බලාගෙනම ඉස්තෝප්පුවට අඩිය තැබුවේය.
“දරුවට කරදරයක් නෑනෙ මල්ලියෙ”ගෙට යන උපුල් වෙතින් කඩේ අක්කා නැවත ඇසුවාය.
නිරංජලා සරෝජනී