කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

අපෙ අම්මා

ගලා හැළුණු මහ කන්දක දිය පාරකි
හමා ඇදුණු මහ සුළ­ඟක සිහිල ගඟකි
වලා වියන යට මහ පොළොවේ උරුම දුනී
නිමා නොවන සෙනේ ගඟක උපත විනි...

සිව් පෙති එක විලස දරා දෝතට ගෙන
කවි මුතු අමුණා නැළ­විලි ගීත ගැයූ
නකුල මාතා වෙමින් පිය­තු­මට දිරිය දුනි
නුඹත් ගියෙද ඔහු ගිය මඟ පාර අසා....

දුක දුකම සමඟ එකට අනා නො වල­ඳාම
නුග රුකක් වෙලා හිටියේ නුඹ ගම් තුලාන
අම්මා­වරු ජීවත් වෙත් යන්න බැරුව දුක දරාන
ගිය එකම හොඳයි මේ වෙන දේවල් නොදැ­කම....

හඳක් නොපෙ­නෙන 'නියොන් එළි' රෑ පුරා දැල්වෙන
මගෙ හද පුරා නොනිවී දැල්වෙන පහන
තව­මත් විටෙන් විට නුඹගේ හඬ ඇසෙන
මහ­ගෙය වැසී ඇත පුරවා නුඹ සුවඳ....

නිවන් පුර නොගියෙ නුඹ කුසල් මදි වී නොවේ
අපිට රැක­ව­ලක් වී කොහේ හෝ ඇති බලන්
අතැර අපි සිව්දෙනා පැතූ බෝධිය බලා
දැන් ඉතින් වඩිනු මැන අපි පිරූ කුසල් ගෙන....

අර­ග­ලය කර­ගලේ තබා මුව­හත පොවා
කියා දුන්නේ නුඹයි නුඹ කියූ කවි දිගේ
ඒ කවිම මම ලියමි නව­ක­තා­ව­කට ගෙන
ලොව සියලු මවුන් වෙත එය පුදමි නුඹ නමින්....

චම්මින්ද වෙල­ගෙ­දර


සසල

සුපුල් තමර පෙති විදා මඳ සිනා නගන්නි
තාරකා කැළුම් යුග බිම යොමා සිටින්නි
කොපුල් තල සැලී මුනි­ව­තම රකින්නි
අතී­ර­ණය හමුවේ හද වෙරළ සැලෙන්නි

වස­න්තය ගෙන එමින් - දෑත ඔහු දිගු කරයි
නිශා­න්තය ප්‍රභා­මත්ය - තාර­පති සිනා­සෙයි
හිත­ව­තෙකු මිස අද ද - වසත් සිහි­නය නොවෙයි
කළු­වලා වියන් කඩක - නිශා සිතු­වම වැසෙයි

පොකුරු වැහි මං තලාවේ - එක්ව යන්නට මුතු කුඩය යට
අන­පේ­ක්ෂිත ඇර­යු­මක් විත් - කලඹ­වයි හද දෙද­ර­ව­න්නට
ප්‍රේම රළ පෙළ දලය නිස­ලය - විරා­ම­යක් නැත අන­න්ත­ය­ටම
යා යුතුය සබද යළි අප - සුන්දර වූ ඇර­ඹු­ම­ටම

චාන්දනී දේවිකා පුංචි­හේවා



 

විඳීම.....

රුව දුටිමි
හද නොදු­ටු­වෙමි
ප්‍රථි­ප­ලය විඳිමි

ගාමිණී දළු­වත්ත


ඔබේ සෙනේ

කොපුල් තලා මතින් උරා
යව්වනේ නුරා රසේ
ගිමන් නිවා රැඳී හිඳීම්
ඔබේ ලවන් දැලේ...

දුහුල් වලා සරින් ඇදී
නිල් නුවන් රහස් කතා
යහන් පුරා සලා සිහිල්
සරා සඳේ සුපෙම් සිනා...

සහස් හැඟුම් සිතින් දරා
ඔබේ සෙනේ නමින්
නැවුම් හැඟුම් අරන් එමි
හෙටත් උදැ­ස­නින්...

සන්ධ්‍යානි සේනා­රත්න


හන්තාන

හන්තාන කඳු මුඳුන
මහ­වැලි ගං දෑල
තරු කතා කී අහස
තවම ඇත එලෙස
නුඹ හා එම දෙදෙන
දෙතැන තනිවී මෙලෙස

යුරේ­ෂිකා චාමින්දි
 


මියෑ­දුණු බොළ­ඳ­කම

සහ­සක් හැඟැම් වැල් කැටි­කොට
නොහිම් අරුත් සාග­ර­යක
විදා­ලන නෙතු සඟ­ලක
රහස මවේදෝ සිත­කට....

විටෙක මුවෙන් හස­රැළි මතු­වෙන
සරා සඳෙක කැලුම් විලස
සඳේ දියර ගලන ගඟක
පීනා එමි රිසි අයු­රින....

බෝ සිහි­න­යත් මතු වීගෙන
නින්ද පාව යයි ඈතට
කාන්සි­යට ළඟ දැව­ටෙන
සිතු­විලි පොද පොබ­යයි සිත....

කිසිත් කතා­බ­හක් නැතිව
ගොළු වූ මුහු­දත් පාමිත
ඈතින් ඈතට විසිරි
කිමද ගියේ ඇයි මා සයුරි.....

නයන්ත ජගත් පුංචි­හේවා


ඔබ එන්න

දුරස්වී හිටි­යාට කමක් නැහැ
ඒ දුරම ළං කරයි
ඔබේ මුළු ආත්මය මා වෙතට
දැනෙයි මට ඔබේ උණුසුම් සුසුම
ලොවේ කාටත් හොරෙන්...

කේඩෑරි වු මගේ දිවි­කෙ­තට
සිහින් වැහි පොද­ක්මය සිහිල දෙන
නැවුම් අරු­ණැ­ල්ලක්ය
පැතුම් කෙත කිරි­ව­දින
ඔබෙ වදන, ඔබෙ සුසුම මට ඇසෙන
මට දැනෙන.....

රන් කරල් මෝදුවී සැලෙ­නදා
අස්වැන්න නෙළ­න්නට
ඔබ එන්න.
ලොවේ රහ­සක් නැතැයි දැන­ගෙ­නම.

සාලිය ගුණ­ව­ර්ධන


පහන නිවෙ­න්නට පෙර

සැප සම්පත් කෙරෙහි ආසා වුණා තුනී
පන්සිල් රැකීමේ අනු­හස් තිබේ පෙනී
යහ­පත් සිරිත් අනු­ක­ර­ණය කිරී­මෙනී
සැත­පුම් කණුව දැක­ග­ත්තෙමි අනු­වෙනී

ආ දුර වැඩිය තව යා යුතු ටිකකි දුර
සැර­ය­ටි­ය­කට දුන්නේ නෑ සිරුරෙ බර
දුර දිග දකි­න්නෙමි උප­නෙත් බැහැර කර
ඉන්නට නිරෝ­ගීව පින්කර තිබුණි පෙර

පොත් හා පුව­ත්පත් කිය­වන අතර තුර
දැනු­මට ඇතුළු වෙන්නට ඇර තබමි දොර
ගෙන යනු පිණිස යන දව­සක මෙලොව හැර
රැස් කළ කුසල් ඩිංගක් ඇත ඉතුරු කර

සංවර කරන් පස් ඉඳු­රන් හැකි පමණ
දෙලො­වම දිනන කට­යුතු වෙත සිත යොමන
දිවි­මග කටුක බාධක යෙදු­නද කුමන
කෙළ­වර කිරී­මයි අර­මුණ බව ගමන

මර­ණය තිබෙන එක නිය­මය උපත ළඟ
මේ බව ගමන මර­ණින් නිම නොවන වග
වද­හල සේක සම්බුදු හිමි තිලොව අග
නිම කළ යුතුය සංසා­රික ගමන දිග

ප්‍රේම­දාස නුගේ­ගොඩ


වත දසුන

ගඟ එගොඩ
නිසං­සල වන දසුන
සිත්ත­මක් නොවන බව
හඟ­වන්න
කුරු­ල්ලෙක් පියා­ඹයි
තටු සලා

එම්. චන්ද්‍ර­පාල


කවි සිතක වරුණ

නිරා­කුල හැඟුම් නික­ලෙස් සිරු විලිය
ගලන පත් හිදෙන් අර­මුණු පැහැ දිලිය
හැගු­මක සිසි­ල­සින් නෑවෙන පද වලිය
එම පද ලකළ පරි­ණාත මුතු සිතු විලිය

තණ්හා කෙලෙස් ගිලි හුනා පිට පිරුණ සිත
තෙපුල කෙවුණු කම­නිය කවි විජය කොති
නැණ සිත් දිලෙන රස ඉති­රෙන නිපුණ මති
ගෙනා පැතුම් සොදි බැගත් නුවණ ඇත

දුටුදා උපත සැරසු කවි මුතු ඇටය
පිබි­දෙන සදැස් මල් වරුසා මිණි කැටය
උණු දිය විලේ සිසි­ලස දුටු දැණු මටය
හිරු­මල පිපෙන්නේ කව­රස සුබ දටය

නවෝ­ද­යට, මඟ සල­කුණු උරුම සතු
දුටු සුන්ද­ර­ත්වය ජන ජීවි­තය පැතු
රස නැති පිළුණු පද වැල කුණු ගොඩක එතු
කවි සිත කිරුළ බැදි සම්මා­න­යක් මතු

කෝකිල ගීත­යක වොරැ­දෙන සිත්යායයි
සුදු හිම් රැස් කණෙ විහි­දුම රමණීයයි
රට ගොඩ­න­ඟන කවි පන්හිඳ ඉතිරීයයි
සිතු­විලි බරින් තෙර­පුන සිත සුව දායයි

තුන් සිංහ­ලය රස නෑවෙන පද වැලය
සිව් සැට කලා­වන් පුබු­දන මිහි තලය
සමන් මලක පෙති­මෙන් සුව­ඳය මොළය
රජ කුල­යට වඩා මිහි­රකි කවි කුලය

දෙහි­වල ලය­නල් ප්‍රනාන්දු


නොමි­නිස් කම් පර­දමු

ලොව­ටම මවා පා තම හද­බැති කමල
මිනි­සුන් වැඳ­වැටී නිති බුදු­රුව අසල
රඟ පෑමක් කළද එහි නැති ගති අමිල
පෙර තිබු මිනිස් ගති කෝ? පැව­තුන පබල

දින දින යහ­ගු­ණය වැලලී යන ලකුණු
හෙළ සිරි­තුත් මව්බි­මෙන් ඉව­තට ඇදුනු
එස­වෙයි සුළු වැරැ­ද්ද­ක­ටත් අවි දරුණු
නොමි­නි­ස්කම රජව ලොව ගුණ­දම් මැකුණු

වනයේ පිපි සුවඳ මල ඉමි­හිරි සුවඳ
නොමි­යෙන ලෝ දහම දෙන රස­යකි නොමද
සුමි­හිරි වදන් සව­ටන දෙන සුව තවද
තිරි­සන් නොවන මිනිසා දෙවි­යෙකි නිබද

ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා


ඔහු මිස විමල් - ඔහු මය අභය සුන්දර

ගුව­නට විසුල ඒ කට­හ­ඬය ගම්භිර
'පද්‍යා­වලී' කවි පර­පු­රට රන්දොර
නුව­රක විසු - අම­තක නොකොට ගම්දොර
ඔහු මිස විමල් - ඔහු මය අභය සුන්දර

කුති­තය පුදව සුද කවිනා සැක්ක­මට
දෑසේ පෙනුම රැක­ග­න්නට යන්ත­මට
කවි­යෙන් එදා ඔහු පෑ පෙළ­හර එමට
සිවු­ප­ද­ය­කට ලගු කොට වෙහෙ­සෙනු කුමට

කව්, නළු, සකු, මගධ බස අතැ­ඹු­ලසෙ දැන
ගී ලොව විස්ම පෙළ­හර පෑ මහිම යෙන
ඔහු පුර­ස­ඳක් වී ගුව­නට නැඟුණු තැන
වික­සිත වන්න විය දුහු­නන් කුමුදු වත

'සම්භා­වනා'- සංගී­තය පිළි­බ­ඳව
ලියු මඟ ගතක් - යන­වුන් හට තැණ මඳව
ලක් මෑණි­යන්, ඔහු කළ මෙහෙ සිහි කැඳව!
විම­ලුත් නමට ඉහ­ළින් කෙහෙ­ළිය බඳව!

(පසු­ගිය 12 දාට යෙදුණූ පණ්ඩිත විමල් අභ­ය­සු­න්දර කිවි­යාගේ ගුණා­නු­ස්ම­ර­ණය නිමි­ත්තෙනි.)

රත්න ශ්‍රී විජේ­සිංහ
 


සීගිරි කාශ්‍ය­පගේ පාපො­ච්චා­ර­ණය

"රජෙ­කු­ටත් ඇත රිදු­මන්
ලොවෙන් සැඟවූ හැඬු­මුන්
නුරා පසු කළ ඈ ගමන්
තිළිණ දුණි හද නිවන සිතු­මන්.....

සුව­යෙන් නුඹේ නොඉ­ඳුල්
මට ම පේ වුණු නිකැ­ළැල්
පහන් කළ බොහෝ රෑ කල්
එකම සැන­සුම විය හැම කල්.....

රඳවා මහද කුකු­සක්
අව­පස කරන් අහ­සක්
නුඹ නොවැඩි එක දව­සක්
ඉඟි කෙරිණි මට මහ ම නපු­රක්.....

නිවා­ලනු සඳ හද රිදුම්
නැරඹූ සඳ සිත්තරු විකුම්
ඇස ගැටිණි නුඹෙ මන­රම්
රුව ලෙනේ වී සිත්තම්....

දෙනු­ව­නින් අන් ඉඳුල් වී
මියැදි පිළි­ණෙන් සලිත වී
සත් කඩට හද පැළුම් වී
ඈ හිඳී වැව නිදන් වී...

සිංහ ගිර දනි හෙළු සුසුම්
අහිමි වී ඈ නෙතු කැලුම්
සොරා ගත්තෙන් මගෙ පැතුම්
සිත්ක­රුන් දිවි තොර කළෙම්...."

දිනුෂා කුමාරි විජේ­රත්න


පෙම් කළෙමි

ඔබ ලියන එක කවි­යක්
මට ඇති ආම­ත්ම­යක
සැන­සුම ලබ­න්නට
හඳ එළිය යට

තුරු වැල් පීරා මන්දා­ලෝ­කය හලන විට
මගේ මත­කය ඔබ ගැන පමණි
ඔබ ලියන්න - මට කිය­වන්න
හද ලසෝ­ගිනි නිවා ගන්නට...

මුතු කැට අකුරු
පැරණි පොත­කින් නැගි­ටලා
මවයි ඔබ රූ අසිරි
දඟ­කාර කෙහෙ රැල්ල
මා තාම ආසයි ඒ ප්‍රිය දැකු­මට...

කව් මිහිර විඳ­ගන්න
බලා ඉන්නෙමි මෙහෙම
සඳ යට හැංගිලා
ඔබ මා වෙහෙස කර­වයි
මම දනිමි කව­දා­ක­වත්
කවි ලිය­න්නට නොඑන බව
සඳ යටින් නැගි­ටලා
එන්න අපි තවත් කවි ලියමු.....

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


ඇත්ත

සපු මල් පිපී ගේ දොර­කඩ සුවඳ තියා
පුර හඳ නැගී ඇවි­දින් රහ­සින්ම ගියා
සුව­ඳට තුරලු වන්නට අව­ස­රය සොයා
හති හල හලා ළෙන්ග­තු­කම් පැනල ගියා

නෑ හිත මිතුරු කැළ වෙනදා එකට සිටී
අද ඇත දුරස් වී ජීවන පොරට වැටී
කැල­ඹෙන මනස අහු­මු­ලු­වල රහසෙ ගැටී
තනි­වම යන ගමනෙ පෙරමං ලකුණු දිටී

ඉණි වැට ගසා මායිම් කොට පොළොව බදා
රොද බැඳ පර පුරට ලද වප­ස­රිය බෙදා
වෛරය කොරෝ­දය ගිනි­ගත් හදින් විදා
යන­කොට යන්න වෙනවා ඔක්කොම හැරදා

උප­දින මැරෙන උප­දින මේ සක්වල ට
හැම තැන­කම තිබේ වැර­දෙන තැන් අප ට
අහ­සක් පොළොව අත­රෙහි දිවි පරදු කොට
අන්තිම කැමැ­ත්තට යනවා සොහොන් ගෙට

රිංගන සොහොන් ගෙට පෙට්ටිය දැවෙන තුරා
නෑ රුදු විලා­පය නෙත් අග කඳුළු පුරා
වෙනදා නැඟූ මර හඬ වාගබ දෙදරා
අද පැන ගිහින් එක­ලා­වම හිතට හොරා

කළ හොඳ නරක හිස වට කැර­කෙනු දැණුණා
ගෙන යන දෙයක් නැත ගෙන ආ දේ නොවුණා
වට­කොට කවුරු හිටි­යත් කුම­ටද හිතුණා
උඩ බල­ග­තුනෙ තව­මත් රුදු කොරොනා

රත්නා කහ­ඳ­ග­මගේ

Comments