
පසුගිය ජුනි 05 වෙනි එනම් සෙනසුරාදා දින සෙනසුරු කුම්භ රාශියේ සිට සිය වක්‍ර ගමන ආරම්භ කළේ රටවැසි අපට ද යහපත අයහපත පිළිබඳව යම් පණිවුඩයක් කියා දෙමිනි. වක්‍ර වීම යනු එම ග්‍රහයා සිටි රාශියේ සිට ආපසු හැරී ගමන් කිරීමයි. ඉහළ සිටි අය පහළටත් පහළ සිට අය ඉහළටත් ඇද දමන සෙනසුරු අයුක්තිය අසාධාරණය ඉදිරියේ තදබල දඬුවම් ලබාදෙයි. ග්‍රහ තරු අතර සුරගුරු යුක්තිය පසිඳලන පුරෝහිතයා වුවත් මැදිහත් සිතක් සෙනසුරුට නැත.
ජුනි 05 දින සිට වක්‍ර ගමනේ යෙදෙන සෙනසුරු ග්‍රහයා ජූලි 13 දින මකර රාශියට පැමිණේ. ලබන ඔක්තෝබර් මස 23 වෙනි දින වක්‍රයෙන් මිදී නැවත කුම්භ රාශියට පිවිසෙනුයේ 2023 ජනවාරි 17 වෙනි දිනය. ඉහත කාල පරාසය තුළ සෙනසුරුගේ ගමන රටට මෙන්ම රටවැසියනට අපල සහගත කාලයක් බැව් පෙනෙන්නට ඇත.
කුසල් අකුසල් දෝලනය වෙමින් සුබ අසුබ අඩු වැඩි කරමින් ස්වභාවික ආපදා, අසනීප අපල අනතුරු ඇති කරමින් සිදුවන මෙම සෙනසුරු වක්‍රයේ බලපෑම රාශි වළල්ලේ ලග්න 12 ට ම එකසේ බල නොපවත්වයි. එහෙත් පොදුවේ බලන කල සුළු අපලයක් හෝ නොයෙදේ යැයි කීමට නොහැක.
ඒ නිසා මේ මොහොතේ සිටම බුදු වදනට අවනතව මෙත් සිතින් අන්‍යයන්ට හිරිහැරයක් නොවී ජීවිතය ගෙනයාම අපව කරදරවලින් මුදාගනු ලබයි.
සැම විටම සෙනසුරු නියෝජනය කරන්නේ පීඩිත පංතියේ ජනතාවයි. කෙසේ වෙතත් මෙතැන් පටන් 2023 ජනවාරි 17 තෙක් කාලය ඉතාම ප්‍රවේශම් සහිතව කරන කියන කටයුතුවල නියැළීම වැදගත් වේ.
මේෂ රාශියේ පටන් දොළොස් රාශියේ උපන් සියලු රටවැසි ලෝකවැසි ජනතාවටත් සියලු ලෝක සත්වයාටත් 2023 ජනවාරි 17 තෙක් කාලය සෙනසුරුගේ පීඩාවන් නොයෙදී යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ කාල පරාසයක් වේවා යන්න මගේ එකම බලාපොරොත්තුවයි. ලග්නයෙන් ලග්නයට ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු වක්‍ර වන ස්ථාන අනුව ඒ අසුබ මඟ හරවා ගැනීමට උපදෙස් පහතින් දක්වමි.
මේෂ ලග්නය - ධාර්මික වන්න
ඔබගේ කේන්ද්‍රයට අනුව සෙනසුරු වක්‍ර වීම සිදුවන්නේ 10 සහ 11 වන භාව වලයි. පොදුවේ බලන කල මේෂ ලග්න හිමි ඔබේ රැකියාව සහ ලැබීම් පෙන්වන 11 වැන්න මෙයට අයත් වේ.
ආයෝජන වලදී ප්‍රවේශම් විය යුතු වගේම උද්ඝෝෂණ වලදී පෙරට නොයා සිටීම වැදගත් වේ. රැකියාව ආරක්ෂා කර ගැනීම වටිනා බැවිනි. උපතේදී සඳු 9, 10, 11 සිටින අයට ජන්ම ඒරාෂ්ටක ද බලපාන බැවින් ධාර්මිකව හැසිරෙන්න. නිතර පිං දහම් කරන්න.
වෘෂභ ලග්නය - පින් දහම් කරන්න
ඔබගේ යෝගකාරක ග්‍රහයා සෙනසුරුම වන බැවින් ලොකු බලපෑමක් ඇති නොවුණත්, කටක සිංහ වෘශ්චික රාශියක උපතේදී සෙනසුරු තැන්පත් වූයේ නම් අපල බලපවත්වයි. 9, 10 අධිපති සෙනසුරුගෙන් යෙදෙන ධර්ම කර්මාධිපති බලය ද ඔබට ඇත. එය යහපත් ලෙස ස්ථානගතව තිබුණේ නම් (තුලා වෘෂභ වැනි රාශියක නම්) සුබය. කෙසේ වෙතත් හවුලේ කෙරෙන පුණ්‍ය කටයුත්තකදී වුවත් චෝදනා මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
මිථුන ලග්නය - ඉදිරිය සුබයි
ඔබට මෙතෙක් තිබූ අෂ්ටම ඒරාෂ්ටකයෙන් මිදුනත් යළිත් වරක් එහි බලපෑම ජනවාරි තෙක් විඳ ගැනීමට සිදුවේ.
8 වැන්න සහ 9 වැන්න තුළ සිදුවන යහපත් සුබ ග්‍රහයෙකුගේ දශාවන් ගෙවයි නම් අපල අඩු කරයි. උපතේදී සෙනසුරු සතුරු නම් අපල ගෙන දෙයි. පිං දහම් කරන්න. ඉදිරි කාලය ඉතා යහපත්වේ.
කටක ලග්නය - පුණ‍්‍ය කටයුතු වල නිරතවන්න
දැනටත් අෂ්ටක ඒරාෂ්ටකයක් බලපවත්වන බැවින් සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. කටක ලග්නය හිමි ඔබගේ 7, 8 භාවයන්වල වක්‍ර වීම සිදුවෙයි. සඳු ග්‍රහයා 6, 7, 8 රාශියක සිටීදැයි බලා අපල සඳහා පිළිවෙත් කරන්න. හැකිතාක් බෝධිපූජා තබා දෙවියන්ට පිං දෙන්න. අන්‍යයන්ට උදව් උපකාර කරන්න. විවාහ ගැටලු පැන නැගීමට ඉඩ ඇති බැවින් එක් අයෙක් නිහඬ වීම වැදගත් වේ. ඉවසීම ප්‍රගුණ කරන්න.
සිංහ ලග්නය - ආදායම සතුටුදායකයි
සෙනසුරු වක්‍ර වීම සිදුවනුයේ 6, 7 භාවයන් වල බැවින් සැලකිලිමත් වන්න. මෛත්‍රී සිතුවිලි පහළ කරගන්න. ඉවසීමෙන් යුතුව සහකරු හෝ සහකාරිය සමඟ වචන හුවමාරු කරගන්න. බෙහෙත් විෂ වීමට හෝ අසනීප ගෙනදීමට හැකියාව ඇත. විශේෂයෙන් ගර්භාෂය ආශ්‍රිතව හෝ මුත්‍රාදෝෂ පිළිබඳ සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. ආදායම් තත්වය සතුටුදායකව පවත්වාගෙන යාමට ශක්තිය ගොඩනැඟේ.
කන්‍යා ලග්නය - කල්පනාකාරි වන්න
සෙනසුරු වක්‍රය සිදුවන්නේ ඔබගේ කේන්ද්‍රයේ 5 සහ 6 යන භාවයන්හිය. සඳු 4, 5, 6 රාශිවල සිටී නම් සහ උපතේදී සෙනසුරු වක්‍රව සිටියේ නම් අපල ගෙනදෙයි. එහෙත් ගත කරන දශාව සුබයෙකුගේ නම් තරමක් දුරට අපල මඟ හැරී යයි.
සමූහයන් සමඟ කටයුතු කරන ස්ථානවලට යාමෙන් ප්‍රවේශම් වන්න. සතුරු කරදර දරුවන් පිළිබඳ ගැටලු මතු කරයි. හැකිතාක් දුරට තීන්දු තීරණ ගැනීමේදී දෙපාරක් සිතන්න. ක්ෂණික තීරණ ගතහොත් කරදරවලට මුහුණපාන්නට සිදුවේ.
තුලා ලග්නය - අසුබපල මගහැරෙයි
ඔබගේ කේන්ද්‍රයේ 4, 5 යන භාවයන්හි සෙනසුරුගේ වක්‍රවීම සිදුවෙයි. ඉඩකඩම් ප්‍රශ්න පදිංචි ස්ථානයේ ගැටලු ඇතිවීමට පුළුවන. එමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වෙහෙසෙන්නට සිදුවේ.
දරුවන්ගේ හිතුවක්කාර තීරණ නිසා සිත්තැවුල් සිත්තැවුල් ඇතිවේ. අවවාද දීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. ඔබගේ කේන්ද්‍රයේ සඳු 4, 5 ස්ථානයක නොවේ නම් ඔබ බිය විය යුතු නැත. ගතකරන දශාව සුබ ග්‍රහයෙකුට අයත් නම් අසුබ මඟ හැරී සුබඵල ඇතිවේ.
වෘශ්චික ලග්නය - පිං දහම් හී නියැළෙන්න
ඔබගේ කේන්ද්‍රයේ 3, 4 යන රාශිවල සෙනසුරුගේ වක්‍රය සිදුවෙන අතර උපතේදී සෙනසුරු සතුරු නොවී යහපත් තැනක සිටියේ නම් සහ වක්‍රව නොසිටියේ නම් අසුබ නැත.
ඒරාෂ්ටක යෙදී ඇත්නම් සහ යන දශාව අසුබ පාප ග්‍රහයෙකුගේ නම් තරමක් අපල බලපවත්වයි. සහෝදර පිරිස් සමඟ මතභේද, පපුවේ අසනීප, මව් පාර්ශ්වයේ විරෝධතා සහ උරහිසේ වේදනා බලපවත්වයි.
ඔබගේ කේන්ද්‍රය අනුව ඉහත කියූ දේවල් සුබ අතට හැරෙන්නට ද පුළුවන. නිරතුරුවම පිං දහම් හී නියැළෙන්න.
ධනු ලග්නය - බලාපොරොත්තු ඉටු වේ
ඔබගේ කේන්ද්‍රයේ 2 හා 3 වැන්න ඇසුරු කරගෙන සිදු කෙරෙන මේ වක්‍රවීම සුබ අසුබ දෙයාකාරයෙන්ම මතු කරයි.
ජන්ම ඒරාෂ්ටක නොමැති නම් යන දශාව ද සුබ ග්‍රහයෙකුගේ නම් මිල මුදල් අපතේ නොයයි.
උරහිසේ වේදනා මතුවිය හැකියි. 2023 ජනවාරියෙන් පසු බලාපොරොත්තු අරමුණු ඉටුවන කාලසීමාවක් බැවින් එතෙක් ඉවසීමෙන් සහ පුණ්‍ය කටයුතුවල නියැළෙමින් තමාගේ රාජකාරි කරගෙන යාම වැදගත් වේ.
මකර ලග්නය - සෞඛ්‍යතත්ත්වය ගැන සැලකිලිමත් වන්න
ඔබගේ උපත් කේන්ද්‍රයේ ලග්නය සහ දෙවැන්න තුළ සෙනසුරුගේ වක්‍රවීම සිදුවෙයි. ජන්ම කේන්ද්‍රයේ සෙනසුරු යහපත් තැනක සතුරු හා වක්‍ර නොවී සිටියේ නම් ඔබට කරදර නොපැමිණේ.
එහෙත් දැන ද ලග්න ඒරාෂ්ටකයක් බලපවත්වන බැවින් හිස ඇස් කන් මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා ඇතිවිය හැකියි. සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න. අසනීපවලින් සුවය ලබා ගැනීමටත් බලාපොරොත්තු අරමුණු සඵල කර ගැනීමටත් බෝධි පූජා තබන්න.
කුම්භ ලග්නය - අන් අයගෙන් උදව් උපකාර ලැබේ
ඔබගේ ලග්නය සහ 12 වැන්න අතර සිදුවන සෙනසුරු වක්‍ර වීම තුළ සුබ අසුබ මිශ්‍රව ලැබෙයි.
සෙනසුරු යහපත් අයුරින් උපත් කේන්ද්‍රයේ සිටින අයට අපල නොයෙදේ. සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යාමට හැකි අතර පිටස්තර අයගෙන් උදව් උපකාර හිමිවේ.
එහෙත් උපතේදී සතුරුව හෝ දැනට ඒරාෂ්ටක ගත කරන්නේ නම් අසුබ ඵල ද යෙදේ. බෝධිපූජා පැවැත්වීම තුළින් අපල අවම කර ගැනීමට පුළුවන.
කේන්ද්‍රය ගැන නොසිතා පන්සිල් රකිමින් යහ පැවැත්මෙන් ජීවත්වීම වුවද සෑහේ. අන්‍යයන්ට උපකාර කරන්න.
මීන ලග්නය - විදේශ ගතවීම් ඇත
ඔබගේ කේන්ද්‍ර සටහනේ 11 සහ 12 වැන්න තුළ සෙනසුරු වක්‍රය සිදුවේ. උපතේදී සෙනසුරුගේ පිහිටීම මත ආදායම අඩු වැඩි වීමට පුළුවන.
යහපත් තැනක බලවත්ව සිටියේ නම් අපල අඩුවේ. සතුරු රාශිගතව සෙනසුරු සිටියේ නම් අසුබ ඵල පෙන්වයි. පා ඇඟිලිවල වේදනා සුළු තුවාල ඇතිවිය හැකියි.
12 වැන්නේ සෙනසුරු උපතේදී පිහිටියේ නම් විදේශගතවීම් යෙදෙයි. ආර්ථිකය දුර්වල හෝ හොඳ අතට හැරෙනුයේ ද උපත් කේන්ද්‍රයේ බලපෑම අනුවයි.
ශ්‍රීයා ගනේගොඩ