
දිනෙන් දින සංඛ්‍යා ලේඛන අලුත් කරමින් වැඩිවන මාරක රිය අනතුරු ලංකාවට අලුත් දෙයක් නොවේ. මේ හේතුවෙන් අකාලයේ ජීවිත අතහැර යන්නෝ ද, ජීවිත සදාකාලිකවම ආබාධිත තත්වයට පත් වන්නෝද එමටය. 2018 සැප්තැම්බර් 30 වැනිදා බොරලැස්ගමුවේදි සිදුවූ මාරක රිය අනතුරත් එවන්නකි. එදා පොලිස් පරික්ෂක ගමගේ අජන්ත ගාමිණි පෙරේරාට සිය දිවි අහිමි වූ අතර ඔහුගේ බිරිය මයුරි ගමගේටද,දරු දෙදෙනෙකු වූ ලොකු පුත් අනූප මංජිත ගමගේට හා පොඩි පුත් නෙතූක වින්ජිත ගමගේ බරපතළ තුවාල ලැබූ අතර අනතුරකට පත් කිරීමේ බරපතළ වරදට හසුවූයේ විශේෂඥ වෛද්‍යවරියක් වූ පාදුක්කගේ තිලානි කාවින්දා ගුණවර්ධනය. මෙම මාරක අනතුර සිදු කිරීමට ඇය ප්‍රධාන වැරදිකාරිනිය වූ අතර නීතිපතිවරයා විසින් අපරික්ෂාකාරි ලෙස මරණයක් සිදු කිරීම, පස් දෙනෙකුට තුවාල සිදු කිරීම ඇතුළු අධි චෝදනා යටතේ ඇයට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.
![]() |
අනතුරින් මියගිය පොලිස් පරික්ෂක ගමගේ අජන්ත ගාමිණි පෙරේරා |
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ වසර 4 කට ආසන්න කාලයක් පුරාවට පැවැති මෙම නඩු විභාගයේදී පොලිස් පරික්ෂක ගමගේ අජන්ත ගාමිණි පෙරේරාගේ දිවි අහිමි වීම මෙන්ම කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධව අදාළ වෛද්‍යවරිය අධිකරණයේදි ප්‍රකාශ කළේ නොසැලකිලිමත්ව රිය ධාවනය තමන් අතින් සිදුවූ වරදක් හෙයින් ඊට පශ්චාත්තාප වන බවත්, තමන් මියගිය හා තුවාල ලැබූ පිරිසට ගෙවිය හැකි උපරීම වන්දිය ගෙවීමට පොරොන්දු වන බවත්ය. ඒ අනුව අගතියට පත් පාර්ශ්වයට රුපියල් කෝටියක වන්දියක් ගෙවීමට ඇය උසාවියේදි පොරොන්දු විය.
මහාධිකරණයකදි අපරාධ නඩුකරයක් වශයෙන් ඉදිරිපත් වූ රථවාහන නඩුවක් වෙනුවෙන්, මාරක රිය අනතුරක් සිදුකර වරද තමන් විසින්ම පිළිගෙන, ඉහළම වන්දි මුදලක් ගෙවූ අවස්ථාවක් වශයෙන් මෙය ඉතිහාසගත වන්නේය. සාමාන්‍යයෙන් අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ උපරිම වන්දි සීමාවක් නැත. වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහාධිකරණයකින් ලබා දිය හැක්කේ රුපියල් ලක්ෂ 10 ක උපරිම වන්දියකි. නමුත් ඇය විසින් රුපියල් ලක්ෂ 100 ක් හෙවත් රුපියල් කෝටියක් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගෙවීය. ඒ තමන් විසින් නොසැලකිලිමත්ව රිය ධාවන වරද අධිකරණයේදි පිළිගෙන තිබූ බැවිනි. විශේෂඥ වෛද්‍යවරිය රුපියල් කෝටියක වන්දිය මියගිය පොලිස් පරික්ෂකවරයාගේ පවුලට ගෙවා ඇති අතර, විනිසුරුවරයාගේ නියමය පරිදි තමන් අතින් අනතුරට ලක් වූ අවස්ථාවේ තම වාහනයේ සිටි අනතුරට ලක්වූ දෙදෙනාට ද රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවීමටද එකඟ විය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306.2 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදක් සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක් මත යම් තැනැත්තෙකු වරදකරු කරනු ලැබූ පසු අයගේ චරිතය, පූර්ව ක්‍රියා කලාපය, වයස, සෞඛ්‍ය, මානසික තත්ත්වය ආදි කරුණු සැලකිල්ලට ගනිමින් හෝ නැතුව බැඳුම් ඔප්පුවකට ඇතුළත් වූ විට වරදකරු කොන්දේසි පිට නිදහස් කිරීමට අධිකරණය ආඥාවක් නිකුත් කළ හැකි වන්නේය. එහිදි වරදකරු වන්දි ගෙවීම සහ රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500 මුදලක් ගෙවන ලෙස ආඥාවක් නිකුත් කිරීමේ බලය අධිකරණය සතුය. ඒ අනුව රුපියල් 1500 ක රජයේ ගාස්තුවක් ගෙවීමටත්, එම විශේෂඥ වෛද්‍යවරිය වසරක නිරීක්ෂණ කාලයකට යටත් කිරීමටත් විනිසුරුවරයා තීන්දු කළේය.
මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කටයුතු කළේ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසාය.
“ වෛද්‍යවරියට විරුද්ධව මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර ගොනු වුණා. ඊට සමගාමීව නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක්ද ගොනු වුණා. ඒ කටයුතු සිදුවෙද්දී තමයි, වෛද්‍යවරිය විසින් මහාධිකරණයේදි එකඟ වුණේ මෙම වන්දි මුදල ගෙවීමට. අධිකරණයේදි ඇය නොසැලකිලිමත්ව රිය ධාවන වරද පිළිගෙන නඩුව සමතයකට පත් කළා. මෙම වන්දි මුදල තීරණය කිරීමට අගතියට පත් වූ පාර්ශ්වය, නීතිපතිතුමා, චූදිත වෛද්‍යවරිය හා නිතීඥයන් එක් වී සාකච්ඡා කර තීරණය මහාධිකරණයේදී ප්‍රකාශ කළා. මෙම වෛද්‍යවරිය රජයේ සැලකිය යුතු රැකියාවක් කරනවා. ඇය වරදකාරිය වුණා නම් රැකියාවටත් බාධාවක් විය හැකිව තිබුණා. නමුත් අධිකරණයේදී ඇයට තරයේ අවවාද කෙරුණා . එසේම මේ වන විට දිසා අධිකරණයේ ඇති වන්දි නඩුවද තවත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් මතු වුණේ නැහැ......“ ඒ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා සිළුමිණට පැවැසූ අදහස්ය.
අනතුර සිදුකළ වෛද්‍යවරිය වෙනුවෙන් පෙනි සිටියේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතීඥ සංජිත් සේනානායකය. ඔවුන් අධිකරණයේ හමුවේ පෙනි සිටිමින් පැවැසූයේ තම සේවාදායිකාව අධිකරණ ඉතිහාසයේ රිය අනතුරක් සිදුකිරීම වෙනුවෙන් ගෙවන වැඩිම මුදල ගෙවීමට පොරොන්දු වී ඇති හෙයින්, ඇයගේ වෛද්‍ය වෘත්තිය ගැන සැලකිල්ලට යොමු කර ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි. මෙහිදි පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ අධි නීතීඥ අග්බෝ පණ්ඩිතරත්නය.
“ මෙම වෛද්‍යවරියට එරෙහිව බිමතින් රිය පැදවීමේ චෝදනා ඉදිරිපත් කර තිබුණත්, අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් එය සනාථ වූයේ නැහැ. ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබි නැහැ. ඒ මත නීතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා යළි සංශෝධනය වුණා. ඒ අනුව ඇයට ඉදිරිපත් වූ උපරිම චෝදනාව නොසැලකිලිමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවයි. ඒ අනුව අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 306.2 වගන්තිය යටතේ කොන්දේසිවලට යටත්ව ඇය මේ වන විට විශේෂඥ වෛද්‍යවරියක් වශයෙන් නියුතු රැකියාව සලකා බලා ඇයව කොන්දේසිවලට යටත්ව මුදා හැරීමක් සිදු කළා. එසේම මහාධිකරණයක අපාරධ නඩුකරයක් වශයෙන් ඉදිරිපත් වූ රථ වාහන නඩුවක වැඩිම වන්දි මුදල වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගෙවීමට අපි ඉදිරිපත් වුණා. ඒ වගේම චූදිත වෛද්‍යවරියගේ රථ වාහනයේ ගමන් කර අනතුරට පත් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමටත් තීරණය වුණා.....“ ඒ චුදිත වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජිත් සේනානායකය.
![]() |
මියගිය පොලිස් පරික්ෂක ගමගේ අජන්ත ගාමිණි පෙරේරාගේ දරු පවුල මෑතකදි ගත් ඡායාරූපයක් - වමේ සිට අනතුර සිදුවන අවස්ථාවේ නොසිටි දෙවැනි පුතු තිසල් අංජිත ගමගේ, බිරිය මයුරි ගමගේ, හා අනතුරට ලක් වූ වැඩිමහල් පුතු අනූප මංජිත. මව ඉදිරියෙන් සිටින්නේ අනතුරට ලක් වූ බාල පුතු නෙතූක වින්ජිතය. |
"ඒ අවාසනාවන්ත මොහොත මතක් කරන්න මම කැමැති නෑ. ඒත් මොනව කරන්න ද? එදා හැන්දෑවේ හයට විතර මේ ගෙදරින් අපි ගියේ. අම්මාගේ උපන් දිනය වෙනුවෙන් පැවැති බණ පින්කමට සහභාගි වෙන්න. ඒ ගිහින් 11ට විතර බොරලැස්ගමුවෙන් පිටත් වුණා. එදාම අපි ආවේ පහුවදා වෙඩින් එකකට යන්න තිබුණ නිසා. ඒ එන ගමන් පැපිලියානේ තැනකින් මගේ හැට්ටයක් හදාගන්න තිබුණා. එතැනත් පැයක් විතර පරක්කු වුණා. දෙවැනි පුතා ගියේ නෑ. එයාට එදා හවස ස්කූල් වෝටර් පොලෝ මැච් එකක් තිබුණා නිසා මහන්සියි යන්න බෑ කිව්වා. අපි පුතාට කෑමත් අරගෙන ආවේ.
ලොකු පුතා ඩ්‍රැයිව් කළේ. ඈතින් නිකන් ඡායාව වගේ දැක්කා එහෙට මෙහෙට පැද්දි පැද්දි වගේ ඔය වාහනේ එනවා. අපි හිතුවේ එන විදිහට එයා කොහේහරි තාප්පෙක වද්ද ගනිවී කියලා. ඒත් මගේ මහත්තයා කිව්වා, 'මෙයා එන විදිහනම් හරියන්නෙ නෑ' කියලා. එහෙම කියලා තත්පරයක් ගියේ නෑ. අපේ වාහනේ හැප්පුවා. හැපුණ ගමන් මහත්තයා වාහනෙන් බැහැලා පුතාගේ පැත්තට යනවා මං ඡායාව වගේ දැක්කා. පුතාගේ පැත්තෙ දොර ඇරලා පුතාව අල්ලන ගමන් මාවත් අල්ලනවා මට මතකයි. මාත් අඩසිහියෙන් වගේ චූටි පුතාව දිහාට අත දික් කරලා බැලුවා. ඒ වෙලාවෙ එයාව මගේ අතේ වැදුණා. ඊට පස්සෙ මට සිහිය නැතිවුණා. කොහොමහරි මහත්තයා තමයි අපි හැමෝම රෝහලට ඇරලවන්න කටයුතු කරලා තියෙන්නෙ. මාව මහත්තයාගේ භූමිදාන දවසේ රෝහලෙන් ගිලන් රථයක දාගෙන මළගෙදරට අරගෙන ආවා. ඒ මොහොතේ තමයි මං දැනගත්තෙ මහත්තයා නැතිවුණ බව." මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ වන මයුරි ගමගේ අදටත් හැඬූ කඳුළිනි.
අනතුරට ලත් වූ අනුප මංජිත ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ළාබාල ක්‍රීඩකයෙකි. පිහිනුම් තරග සඳහා රටවල් රැසක සංචාරය කර තිබෙන අනුප පදක්කම් රැසක්ම දිනාගත්ත ද අද එවැනි ක්‍රිඩා සඳහා තරග කරන්නට ඔහුට වරම් නැත.
“ ලොකු පුතාට අදටත් එක දිගට ඇවිදින්න බැහැ. දණහිස දක්වා යකඩ පතුරක් දාලා තියෙන්නේ. වසර 4 ක් ගියත් පුතාලා තවමත් මේ වේදනා විඳවනවා. චූටි පුතා නෙතුක තවමත් පාසල් යනවා. ඒ වගේම අදටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. අස්ථි ස්නායු සම්බන්ධ වෛද්‍යවරුන්ට දරුවෝ නිතරම පෙන්විය යුතුයි. මම රැකියාවක් කරන්නේ නැහැ. වන්දියක් ලැබුණා කියලා සිදුවූ දේවල් මෙන්ම ඉදිරියටත් මුහුණ දෙන්නට සිදුවන දේවල් මුදලින් පිරිමහන්න බැහැ. අපි මැරෙනකම්ම මේ ප්‍රශ්න සදාකාලිකවම විඳවනවා. ඒ වගේම කලින් මේ මුදල ලැබුණා නම් මීට වඩා දෙයක් කිරිමට හැකිව තිබුණා. “ ඒ මියගිය පොලිස් පරික්ෂක ගමගේ අජන්ත ගාමිණි පෙරේරාගේ බිරිඳ සිළුමිණට දැක්වූ වදන්ය.