කුඩු - පාතාලේ හෙල්ලේ | සිළුමිණ

කුඩු - පාතාලේ හෙල්ලේ

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම බැඳී ඇත්තේ එකටය. මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූවෝ පාතාලයට ද බෙහෙවින් සබඳතා පවත්වති. ඒ පාතාලය නොමැතිව ඔවුනට ගමනක් නැති නිසාය. පාතාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගහ මරා ගැනීම්, පැහැරගෙන යෑම්, මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම් පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ පාතාලයන් සිය සබඳතා අත් නොහරින්නේ ඔවුන් දෙකොට්ඨාසයම රුපියල් ලක්ෂ කෝටි ගණනින් උපයන නිසාය.

කොරෝනා වසංගතයත් ඊට පසු ආර්ථික අර්බුදයත් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මෙන්ම පාතාලයන්ට, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට ශත පහක වැඩක් නැති වුවත් ඒ කාලයේ මේ දෙකොට්ඨාසයම නිහඬව සිය කටයුතු නිරුපද්‍රිතව කරගෙන යන්නට ඇත්තේ පොලිසියෙත් ආරක්ෂක අංශවලත් අවධානය පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට මෙන්ම සෙසු රාජකාරිවලට ද යොමු වීමට සිදුවීම නිසාය.

එසේ අවුරුද්දක දෙකක පමණ කාලයක් නිහඬව සිටි පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තුවක්කු පිස්තෝල එකවරම දින කිහිපයකදී දිගින් දිගටම පත්තු වෙන්නට පටන් ගත්තේ පසුගිය 30 වැනි දා සිටය. පසුගිය මැයි මාසයේ 30

අලු­ත්ගම මොර­ගොල්ල මර­දාන මාර්ගයේ දී ගයාන් සමින්ද නමැති තැඹිලි වෙළෙ­න්දා ඝාතනය වූ ස්ථානය

වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා පාතාලයේ මත් ජාවාරමුන්ගේ තුවක්කු, පිස්තෝලවලින් නිකුත් වුණු ගිනි උණ්ඩවලට බිලිවී මිය ගිය ගණන හයකි. මැයි 30 වැනිදා පාතාලේ පළමු වෙඩිල්ල පත්තු වන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ අසලදීය. බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසලදී මේ වෙඩි පහර එල්ලවී තිබුණේ පුද්ගලයන් තිදෙනකු ඉලක්ක කරගෙනය. මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙක් මහ මඟ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා ඉලක්ක කරගෙන එල්ල කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු ජීවිතත්ෂයට පත් වූ අතර තවත් අයකු බරපතළ තුවාල ලැබීය.

වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා අනුරාධපුරය දිසාවේ මහඉලුප්පල්ලම පදිංචිකරුවකු වූ විරාජ් ලක්ෂිත බව මූලික පොලිස් විමර්ශන වලදී හෙළි විය.

විරාජ් ලක්ෂිත මෙන්ම ඔහු සමඟ සිටි අනෙක් දෙදෙනා ද කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සෙබළු බව හෙළි වන්නේ ඔය අතරය. මේ තිදෙනා එදින කොළඹට පැමිණ සිටියේ අධිකරණයේ ඔවුන්ට විරුද්ධව විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා ය. විරාජ් සමඟ සිටි හිටපු කොමාන්ඩෝ සෙබළ ප්‍රදීප් ද වෙඩිපහරින් තුවාල ලැබීය. ඔහු නාකියාදෙණිය පදිංචිකරුවෙකි.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සුපිරි අවන්හලකට පහරදී අලාබ හානි සිදු කළේ යැයි චෝදනා මත කොමාන්ඩෝ සෙබළු තිදෙනා ඇතුළු සිවු දෙනකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය 2017 වසරේ නඩු පවරා තිබුණු අතර ඔවුන් එම නඩුවට අවසන් වරට පෙනී සිටීම සඳහා පැමිණ සිටියේ 30 වැනිදාය. ඉන් අනතුරුව ඔවුන් බැස්ටියන් මාවත බස්පොළට පැමිණ සිටියදී විරාජ් ලක්ෂිත වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූයේ ඉකුත් 30 වැනිදා ය.

විරාජ් ලක්ෂිතට වෙඩි තැබීම ගැන පිටකොටුව පොලීසිය කළ මූලික විමර්ශන වලින් අනතුරුව වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර කැරිණි. එම කොට්ඨාසයේ නිලධාරීන් මේ ගැන කළ දීර්ඝ විමර්ශනයේදී එළියට එන්නේ අමුතුම කතාවකි. ඒ ප්‍රබල පාතාල කල්ලියක් සිය විරුද්ධවාදියකු ඝාතනය කිරීම සඳහා කළ සැලසුමක් විරුද්ධවාදියාගේ හැඩරුව හරියටම හඳුනා ගැනීමට නොහැකි වීම නිසා අහිංසකයකු පිස්තෝල උණ්ඩයට ඉලක්ක වී ඇති බවකි.

පාතාලේ වෙඩි තැබීමෙන් මියගිය 6 දෙනා වමේ සිට. මහඉලුප්පල්ලම විරාජ් ලක්ෂිත, අලුත්ගම ගයාන් සමින්ද , පානදුර රන්දික මල්ෂාන්,  දික්වැල්ල අසුන් චාමර    කුඩාවැල්ල අසේල සම්පත් සහ මෝදර විනෝදන් 

කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ එදින විභාග වූ එක් නඩුවක රජයේ සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි දීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ සිටි අතර ඉන් එක් අයකු 'බේරුවල ජනක' නමැත්තෙකි. සෙසු පුද්ගලයා ඔහුගේ මස්සිනාය. අදාළ නඩු විභාගයට පෙනී සිටි මේ දෙදෙනා සිය නිවෙස බලා යද්දී මේ දෙදෙනා ඉලක්ක කළ පාතාල කල්ලියක් හැඩරුව වැරදී විරාජ්ට වෙඩි තබා ඇති බව මේ වන විට හෙළි වී තිබේ. ජනක සහ ඔහුගේ මස්සිනා ඝාතනය කරන ලෙස මේ පාතාල කල්ලියට කිසියම් පුද්ගලයකු උපදෙස් දී තිබුණත් ඔවුන්ගේ ඉලක්කය වැරදී යන්නේ එසේය.

මේ සිද්ධියෙන් අනතුරුව බේරුවල පදිංචිකරුවා වූ ජානක පොලිස් කණ්ඩායමකට කට උත්තරයක් දෙන්නේ ස්වේච්ඡාවෙනි. ඔහු පිටකොටුවේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් ද හෙළි කරන්නේය. මේ වෙඩි තැබීම සිදු වූයේ තමා ඉලක්ක කර ගනිමින් බවට ජානක ඒ වන විට දැන සිටින්නට ඇත.

ජානක ඝාතනයට තැත්කිරීමේ ආසන්නම හේතුව වී තිබුණේ ද මත්ද්‍රව්‍ය ජාවාරමකි. ඒ මත්ද්‍රව්‍ය කිලෝ 300ක පමණ තොගයක් සම්බන්ධව ආරවුලකි. මේ ඝාතන තැතට පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව සහ බටුවත්තේ චාමර සම්බන්ධ බවට තොරතුරු හෙළිවන්නේ ඉන් අනතුරුවය.

මේ පාතාල නායකයන් දෙදෙනා විදේශයක සිට මෙරටට මත්ද්‍රව්‍ය කිලෝ 300ක් එවීමට සැලසුම් කරන්නේ මීට ටික කලකට පෙරය. එම මත්ද්‍රව්‍ය තොගය මෙරට සිටින ජාවාරම්කරුවකුට බාරදීමට කටයුතු යොදා තිබිණි. එම ජාවාරමා කැලණිය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට ඔහුද සිටින්නේ බන්ධනාගාරගතවය.

පැලියගොඩ ජාවාරම්කරු මේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300 මුහුදේදී භාරගැනීමේ වගකීම කරන්නේ ජනකටය. ජනක බහුදින යාත්‍රා පදවන පුද්ගලයෙකි. (ස්කීපර්) මේ ගනුදෙනුව සඳහා පැලියගෙඩ ජාවාරමා ජනකට රුපියල් ලක්ෂ 30ක් ගෙවා තිබුණු අතර තවත් අයකුට රුපියල් 26 ලක්ෂයක් පමණ ගෙවා තිබිණි.

මේ ජාවාරම ගැන කිසියම් හෝඩුවාවක් ලබාගෙන සිටි ආරක්ෂක අංශ ඉරාන ජාතිකයන් පිරිසක් සමඟ මුහුදේදී හෙරොයින් කිලෝ 240ක් අත්අඩංගුවට ගන්නේ ජනක අතට එම මත්ද්‍රව්‍ය තොගය පත්වීමට පෙරය.

මේ තොරතුරු දැනගන්නා ගනේමුල්ලේ සංජීව සහ 'බටුවත්තේ චාමර' ආරක්ෂක අංශවලට මේ ඔත්තුව ලබා දුන්නේ ජානක සහ ඔහුගේ මස්සිනා බවට සැක කර ඔවුන් දෙදෙනා සිය ගෝලබාලයන් ලවා ඝාතනය කරන්නට තැත් කරන්නේ ඉන්පසුවය.

තිස් වැනිදා පාතාල කල්ලියෙන් බේරුණත් ජනකගේ මස්සිනාට ජීවත් වීමට වරම් ලැබෙන්නේ ජුනි මාසයේ 03 වැනිදා දක්වා පමණි. බේරුවල මරදාන පාරේ බට්ටා ලොරියකින් ගමන් කරමින් සිටියදී ජානකගේ මස්සිනා වන මෝදර පේඩිගේ ගයාන් සමින්ද වෙඩි තබා ඝාතනය කරන්නේ ඔය අතරය. තැඹිලි වෙළෙන්දකු වන ගයාන් සමින්ද බේරුවල රේගුව පාරේ පරණ කඩේ පදිංචි කරුවෙකි.

ගයාන් සමින්ද ගැන තව තවත් තොරතුරු හෙළිවන්නේ ඔහුගේ මරණින් අනතුරුවය. ගයාන් සමින්ද නාකොටික් කුඩු නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකි. මෑතකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අල්ලා ගත් හෙරොයින් කිලෝ 240 ක තොගයේ ප්‍රධාන ඔත්තුකරුවා යැයි කියන්නේ ද මේ තැඹිලි වෙළෙන්දාය. මේ තැඹිලි වෙළෙන්දා රජයේ සාක්ෂිකරුවකු බවට පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පිරිසක් සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකරුවකු ලෙස සී.අයි.ඩීය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 12 දෙනෙකු එවකට මේ ජාවාරම සම්බන්ධයෙන් සී.අයි.ඩීයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

'කෝවිඩ් ඇඳිරියට' මුවා වී සිදුකළ මේ මහා ජාවාරමට මේ තැඹිලි වෙළෙන්දාද සම්බන්ධ වී සිටි අතර හෙරොයින් කිලෝ 200ක් දකුණු මුහුදු තීරයට පැමිණි කුඩා නෞකාවකින් බෝට්ටුවකට පටවා මෙරටට ගෙන්වීමට තැඹිලි වෙළෙන්දා ද සම්බන්ධ වී සිටියේ ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දින ගණනාවකට පසු එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එහෙත් විශේෂත්වය වූයේ එලෙස අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය විශාල තොගයක් අඩු වී තිබීමයි. මේ වැටලීම ගැන විවිධ මත පළ වෙද්දී මිනුවන්ගොඩදී හෙරොයින් සමඟ කොටුවු ප්‍රකට ජාවාරම්කරුවකු වන ටයිල් චමින්දගෙන් සී.අයිඩිය කළ ප්‍රශ්න කිරීමේ දී ටයිල් චමින්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන් ගැන තොරතුරු හෙළිකර තිබිණි.

එහිදී අනාවරණය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සැකකාර නිලධාරීන් පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග වැඩි හරියක් ජාවාරම්කරුවන්ට නැවත අලෙවිකර ඇති බවයි. එම කුඩු තොග විකුණා අදාල නාකොටික් නිලධාරීන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපළ සී.අයි.ඩීය විසින් සොයාගෙන තිබිණි. ඒ අතරේ සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ පාකිස්තානු ජාවාරම්කරුවන් විසින් මෙරටට එවා තිබුණු තුවක්කු පිස්තෝල රැසක් ද සොයා ගැනීමට හැකි විය. පාතාලයේ ප්‍රබලයන් රැසක් ද මේ ජාවාරමට සම්බන්ධව සිටි නිසා එවකට මේ විමර්ශනවලට නායකත්වය දුන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබිණි. ඒ ඔහුට එල්ල වී තිබුණු ජීවිත තර්ජනය නිසාමය.

එම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාක්ෂිකරුවකු වූ බේරුවල පදිංචි මෝදර පේඩිගේ ගයාන් සමින්ද නමැති තැඹිලි වෙළෙන්දාට ගමින් ගමට ගොස් තැඹිලි එකතු කරමින් සිය ලොරියෙන් කොළඹට ගෙනගොස් අලෙවි කිරිමෙහි නිරතව සිටිය ද ඝාතනය වන්නේ අනතුරුවය. ඒ පසුගිය 03 වැනිදා ය.

අලුත්ගම මොරගොල්ල මරදාන මාර්ගයේ දී එම වෙඩි තැබීම සිදුවන්නේ සමින්ද තැඹිලි කපා සිය ලොරියට පටවා ගෙන ගමන් ආරම්භ කිරීමට සූදානම් වෙද්දීය. ඔහුගේ හිසට වෙඩි පහර එල්ලවී තිබුණ අතර සැකකරු අල්ලා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබිණි.

ගයාන් සමින්ද මෙසේ ඝාතනය වෙද්දී පානදුර උයන්කැලේ නිර්මල මාවතේදී දී පාතාලේ පිස්තෝලයක් පත්තු වන්නේ 03 වැනිදා පෙරවරුවේය. පානදුර උයන්කැලේ දී මෙසේ පාතාල කල්ලියක වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූයේ තිස් හැවිරිදි දෙදරු පියකු වන රන්දික මල්ෂාන්ය. ඔහු පානදුර නගරයේ එළවළු වෙළෙන්දෙකි.

මල්ෂාන් මෙසේ වෙඩි පහරට ලක්ව ඇත්තේ අධිකරණ කටයුත්තක් සඳහා පානදුර අධිකරණයට ගොස් තවත් අයකු සමඟ වෙරළ ප්‍රදේශයේ සිට ගාලු පාර දෙසට මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටියදියි.

මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු ගෙන් එම මෝටර් බයිසිකලය පිටුපස ගමන් කළ පුද්ගලයා මල්ෂාන්ට වෙඩි තබනු සී. සී. ටී. වී කැමරාවක ඉතා පැහැදිලිව පටිගත වී තිබිණි. මෙසේ වෙඩි පහරට ලක්ව පාරට වැටුණු මල්ෂාන්ට වෙඩික්කරුවන් නැවත පැමිණ වෙඩි තැබුහ. මල්ෂාන්ගේ උදරයට සහ මුහුණට වෙඩි පහර එල්ල වී තිබිණි.

මල්ෂාන් සමඟ මෝටර් බයිසිකලයේ ගමන් කළ සෙසු පුද්ගලයාට අනතුරක් සිදු වී නැත. මේ ඝාතනයට හේතුව පෞද්ගලික පළිගැනීමක්. එසේත් නැත්නම් මුදල් ආරවුලක් දැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වෙයි.

පානදුර මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා මේ සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරික්ෂණය සිදු කළේය.

මේ අතර අහංගම 'පංචාලිය' ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන්නේ 04 වැනිදා සවසය.

මෙසේ ඝාතනය වූයේ මාතර දික්වැල්ල දඹගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි ලියන පටබැඳිගේ අසුන් චාමර නමැති අයෙකි.

අසුන් චාමර දැනට ඩුබායි රජයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සමීපව ඇසුරුකළ අයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

'අසුන් චාමර' හෙරොයින් කිලෝ ග්‍රෑම් 230ක පමණ තොගයක් මෙරටට ගෙන එමින් සිටිය දී දකුණු දිග මුහුදු තීරයේ දී ආරක්ෂක අංශවලට හසුවූ පුද්ගලයන් අතර සිටි අයකු බවට ද තොරතුරු හෙළි වී ඇත. මේ සිද්ධිය වූයේ 2020 වසරේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අසුන් චාමර කලක් බන්ධනාගාරව සිටි අයෙකු බවත් ඔහු මේ වන විට ඇප මත මුදා හරින ලැබ සිටින බවත් පොලිසිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් දකුණු මුහුදේ දී අල්ලාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 230 මෙරටට එවා තිබුණේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් බවට පොලිස් විමර්ශනවලදී හෙළිවිය. අසුන් චාමර ඝාතනය වන්නේ ඔහුගේ මිතුරන් සමඟ අහංගම තවත් මිත්‍රයකු හමුවීමට 04 වැනිදා සවස්වරුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීය. මෙසේ ගමන් කරමින් සිටි අසුන් චාමරගේ ජංගම දුරකතනයට කිසියම් පුද්ගලයකු ඇමතුමත් ලබාදී ඇති අතර එම ඇමතුම දුන් පුද්ගලයාව කිසියම් අවශ්‍යතාවයක් හමුවීමට අවශ්‍ය බව අසුන් චාමර මිත්‍රයාට කියා ඇත. ඉන් අනතුරුව මෝටර් රථය හරවාගත් අසුන් චාමර අදාළ පුද්ගලයා හමුවීමට ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙසේ ගමන් කරන අතර දුරකතන ඇමතුම දුන් පුද්ගලයා බව කියන අයකු මෝටර් බයිසිකලයකින් පැමිණ අසුන් චාමර ගිය මෝටර් රථය නතර කරගෙන ඇත.

මෙසේ මෝටර් බයසිකලයෙන් පැමිණි පුද්ගලයා අසුන් චාමරගේ මෝටර් රථය අසලට ගොස් අසුන් අමතා ඔයා අසුන් චාමර දැයි අසා ඇති අතර අසුන් චාමර 'ඔව්' යැයි පිළිතුරුදුන් අවස්ථාවේදී අසුන්ගේ හිසට පිස්තෝලයක් එල්ල කර වෙඩි තබා පලාගොස් ඇත. අසුන් වැලිගම රෝහල රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, අහංගම පොලිස් ස්ථානාධිපති ටී.එච්. බන්දුල ඇතුළු කණ්ඩායම් හයක් මේ පිළිබඳව විමර්ශනය කරන්නේ ඉන් අනතුරුවය.

චාමර ඝාතනයේ උණුසුම නිවී යන්නටත් පළමුව පාතාලේ තවත් වෙඩිල්ලක් පත්තු වන්නේ තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර ප්‍රදේශයේදීය. ඒ 5 වැනිදා රාත්‍රියේය.

තංගල්ල මොරකැටිආර හන්දියේදී කැබ්රියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට මේ වෙඩි ප්‍රහාරය එල්ල විය. කැබ් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයට ලක් වූ තිදෙනාම ඇතුළු කරනු ලැබුවේ තංගල්ල රෝහලටය. ඒ වන විටත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව සිටියේය.

මෙසේ ඝාතනය කැරැණු පුද්ගලයා දකුණු කුඩාවැල්ලේ පදිංචි හතළිස් දෙහැවිරිදි අසේල සම්පත්ය. මේ පුද්ගලයාගේ ඝාතනය ගැන විමර්ශනය සිදු කරන පොලිස් කණ්ඩායම් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් ප්‍රධාන කාරණාව වූයේ අහංගම පංචාලිය ප්‍රදර්ශනයේදී ඝාතනය කැරුණු අසුන් චාමර සහ තංගල්ල මොරකැටිආරේදී ඝාතනය කැරුණු පුද්ගලයා දෙමිතුරන් බවයි.

මේ දෙදෙනාම ඩුබායි හි සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සමීපව ඇසුරු කර ඇති බව හෙළි වන්නේ එහිදීය.

ඩුබායි රජ්‍යයේ සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වල නිරතවන වැලිගම මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව කියන මොරකැටිආරේදී වෙඩි පහරට ලක් වූ පුද්ගලයා ද මත්කුඩු කිලෝ 220 ක් මුහුදු මගින් මෙරටට ගෙන එමින් සිටියදී නාවික හමුදාවට හසු වූ අයෙකි.

හරක්කටාගේ මත්ද්‍රව්‍ය තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් මෙරටට ගෙන ආ බහුදින යාත්‍රාවේ හිමිකරු බවට සැක කරන්නේ පංචාලියේදී වෙඩිකා මිය ගිය අසුන් චාමරය. පොලිසිය සැක කරන්නේ අසුන් චාමර සහ තංගල්ල මොරකැටිආරේදී ඝාතනය කැරුණු පුද්ගලයාගේ ඝාතන එකම කල්ලියක් සිදු කර ඇති බවයි.

හරක්කටාගේ හෙරොයින් තොගය නාවික හමුදාවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අල්ලා දීමට අසුන් චාමර සහ මොරකැටිආරේදී ඝාතනය වූ පුද්ගලයා ඔත්තු දුන්නැයි හරක්කටාගේ සමීපතමයන් අතර කට කතාවක් පැතිර ගොස් තිබුණු අතර මේ ඝාතනවලට එය හේතුවක් දැයි විමර්ශන කණ්ඩායම් සොයා ගෙන යයි.

මේ වෙඩි ප්‍රහාර දෙකම එල්ලකර තිබුණේ මෝටර් බයිසිකල්වලින් පැමිණි තුවක්කුකරුවන් විසිනි.

මොරකැටියේ ඝාතනයෙන් අනතුරුව ඝාතනය සඳහා ගමන් කිරීම පිණිස උපයෝගිකරගත් මෝටර් බයිසිකලය පහත්ජාව දෙද්දුවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැරදමා තිබියදී තංගල්ල පොලිසියේ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබිණි. එම මෝටර් බයිසිකලය පරික්ෂා කරද්දී හෙළි වූයේ එහි සවිකර තිබුණු අංක තහඩු ව්‍යාජ ඒවා බවයි.

මේ අතර මෝදර පොලිස් වසමේ රෙඩිබානා වත්ත ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවන් විසින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන්නේ 06 වැනිදා සවස පහට පමණය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඝනනාදන් විනෝදන් නමැති 24 හැවිරිදි අයෙකි. ඔහු කොළඹ අලුත් මාවතේ පදිංචි කරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ පෞද්ගලික ආරවුලක් මේ ඝාතනයට මුල් වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අයෙකි. කලක් බන්ධනාගාරව සිටි එම පුද්ගලයා මෑතකදී ඇප මත මුදාහැරීමෙන් අනතුරුව නිවෙසට පැමිණ සිටි අයෙකි.

මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.ජේ.එස්. ඇන්ටනි මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

ඡායාරූප - මැදමූලන සමූහ එච්. ඒ පී. සමරවික්‍රම, මතුගම සමූහ බන්දු තඹවිට, ගන්දර සමූහ

ජයසිරි පේදුරුආරච්චි,

 

Comments