කළු ගල් කර්මා­න්ත­ය­ටත් කණ කොකා හඬයි | සිළුමිණ

කළු ගල් කර්මා­න්ත­ය­ටත් කණ කොකා හඬයි

සෘජුව හා වක්‍රව මිලියනයකට ආසන්න ශ්‍රම බළකායක් සේවයේ යෙදී සිටින මෙරට කළුගල් කර්මාන්තය අද වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

කළුගල් කර්මාන්තයට අවශ්‍ය ඇමෝනියා නයිට්‍රේට් නම් පුපුරන ද්‍රව්‍යය රට තුළ නොමැති වීම, මීට බලපා ඇති ප්‍රධාන හේතුවයි. ඇමෝනියා නයිට්‍රේට් මෙරටට ආනයනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් පමණක් වන අතර, එය පූර්ණ වශයෙන් නියාමනය කරනු ලබන්නේ ද එම අමාත්‍යාංශය මගිනි.

තම සේවකයන්ට රැකියා අවස්ථා ලබාදීමට නොහැකිව මෙන්ම, තම කර්මාන්තයට අවශ්‍ය ආයෝජන වෙනුවෙන් බැංකු සහ ලීසිං සමාගම් මඟින් ලබාගත් මූල්‍ය පහසුකම් ගෙවාගත නොහැකිව අද කළුගල් කර්මාන්තකරුවන් මහත් අසරණ බවට පත්ව සිටිති. එසේම මෙම කර්මාන්තයේ කඩා වැටීම තුළ බැංකු සහ ලීසිං පද්ධතියට උද්ගත වී ඇත්තේ ද බරපතළ තත්ත්වයකි.

මෙම ගැටලුව පිළිබඳ ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ (NMPA) සභාපති, සුමින්ද සේනාධීර පැවසූයේ මෙවැනි අදහසකි.

" මම අවුරුදු 28ක් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ. මේ තමයි අපි මුහුණ දී සිටින දරුණුම කාල පරිච්ඡේදය. කළු ගල් පුපුරවන්න භාවිත කරන මූලිකම අමුද්‍රව්‍ය වන ඇමෝනියා නයිට්‍රේට් ගෙන්වන එක මාස තුනක් තිස්සේ සම්පූර්ණයෙන්ම නවත්වලා. අපි මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයට සහ වාණිජ නීතිගත සංස්ථාවට කිහිප වරක්ම කතා කළා. නමුත් ඵලක් වුණේ නැහැ. ඉන්දියාවෙන් තමයි මෙතෙක් අප ඇමෝනියා නයිට්‍රේට් මිලදී ගත්තේ. වෙන රටකින් හරි ගෙනැත් දෙන්න, මේ වගකිව යුතු ආයතන දෙක පොරොන්දු වුණා. නමුත් මාස තුනක් ගෙවී ගිහින්. අද දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා.

අපිට ආරංචි වෙලා තිබෙනවා, මේ ඇමෝනියා නයිට්‍රේට් ගෙන්වන එක දැවැන්ත ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙක් අතට දීලා, සම්පූර්ණ කර්මාන්තය ම ඔවුන් අතට පත් කරන්න උත්සාහයක් තිබෙනවා ය කියලා. 1828ක් වූ සුළු හා මධ්‍ය පරිමාණ කළුගල් නිෂ්පාදකයෝ සියලුදෙනාම මේ දේට දැඩි ලෙස විරුද්ධයි. අපි කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට ගෙන්වන ටොන් පන්සියයක් විතර වන ඇමෝනියා නයිට්‍රේට් ප්‍රමාණය සියලුම කර්මාන්තකරුවන් අතරේ සම සේ බෙදිය යුතුයි කියලයි.

අද වන විට මේ පුපුරන ද්‍රව්‍ය ගන්න තැනක් නැහැ කියන එකයි ඔවුන්ගේ තර්කය. නමුත් ආසියානු සංවර්ධන සහ ලෝක බැංකුවේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන රටක පුපුරන ද්‍රව්‍ය සංචිතයක් තබා නොගැනීම ගැටලුවක්. මෙතෙක් ඇමෝනියා නයිට්‍රේට් ආනයනය කළේ ඉන්දියාවෙන්. ලෝකයේ වැඩිපුරම පුපුරන ද්‍රව්‍ය (60%ක්) සපයන රට රුසියාව. නමුත් අප මිලදී ගන්නේ ඉන්දීය නිෂ්පාදන. ඉන්දියාව බැහැ කිව්වම, අපිට ඇමෝනියා නයිට්‍රේට් නැහැ. ඒ හා බැඳුණු කර්මාන්ත සියල්ලම නතර වෙනවා.

වැදගත්ම දේ අපේ රටේ දැනුම තිබෙන මිනිස්සු ඉන්නවා. මේ අයට රජයේ ප්‍රතිපාදන දීලා රට තුළම ඇමෝනියා නයිට්‍රේට් හදන්න පුළුවන්. දේශපාලකයෝ කියන්නේ මේක හැදුවාම අපේ රටේ එච්චර භාවිතයක් නැහැ කියලා. රටේ එපමණ භාවිතයක් නැතිනම් පිට රටවලට විකුණලා අපනයන ආදායම් ගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ පිටරටවලට අතපාලා බලා ඉන්න. අනික, ඇමෝනියා නයිට්‍රේට් නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස පොහොර නිෂ්පාදනය කළ හැකියි. එවිට මේ රටේ ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. රටට ඵලදායීතාවක් නැති ව්‍යාපෘතිවලට ප්‍රකෝටි ගණන් වියදම් කරලා.ඒවායින් රටට සතපහක ආදායමක් නැහැ. මේ වගේ කරන්න පුළුවන් දේවල් නොකර ඉන්න එක ජාතික අපරාධයක්.

ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. ලංකාවේ මහ පො‍ළොවෙන් හමුවන ඛනිජ සහ කළුගල්වල අයිතිය ශ්‍රී ලංකා ජනරජය සතුයි. ඒ අයිතිය, 1993 අංක 33 දරන පනතින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට පවරා තිබෙනවා. අපි කඩන කළුගල්වලින් උපයන ආදායමෙන් 4%ක් භූවිද්‍යා එකට දිය යුතුයි. ඒක තමයි රජයේ ආදායම.

හැබැයි දැන් ඉඩම් අයිතිකරුත් මේ අයිතිය ඉල්ලනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ඉල්ලනවා. ෆොරස්ට් එකත් ඉල්ලනවා. මහවැලියෙනුත් ඉල්ලනවා. නමුත් මේකේ අයිතිය භූවිද්‍යා එකට විතරයි. කර්මාන්තකරුවන් වන අපට බැහැ, මේ හැම තැනටම ඉල්ලන ඉල්ලන භාග ගෙවන්න. දැන්වත් භූ විද්‍යා කාර්යාංශය හැදූ ප්‍රතිපත්ති ඒ විදියට ම ක්‍රියාත්මක කර, එක නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි..."

තමන් මුහුණ දී සිටින ගැටලුව පිළිබඳ සංගමයේ ලේකම්, ජගත් දීගල්ල පැවසුවේ මෙවැනි අදහසකි.

" අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ කර්මාන්තයක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොඳු නාරටිය කළුගල්.

මේ විදියට අපේ කර්මාන්තය තවදුරටත් ඇණහිටලා දිගින් දිගටම පැවතුණොත් මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නැත්තටම නැති වෙයි. ගෙයක් දොරක් හදාගන්න වුණත් මූලිකවම ඕනේ කළුගල්. හරියට කළුගල් කුඩු නොදැම්මොත් මහ පාරක්වත් පවතින්නේ නැහැ. රටක සංවර්ධනයේ පදනමට උරදෙන කර්මාන්තයක් තමයි, කළුගල්. නමුත් දේශපාලකයෝ මේ කර්මාන්තය දාලා තියෙන්නේ ජාවාරම් ගොඩට. මේක එහෙම කර්මාන්තයක් නෙවෙයි. මොන දේ තිබුණත් කළුගල්වලින් දමන පදනමක් නැතිව කිසිම ඉදිකිරීමක් ආරම්භ කරන්න බැහැ. දැනටමත් පණ ඇද ඇද යන ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නංවන්න නම්, කළු ගල් කර්මාන්තය යළි හිස ඔසවන්න ම ඕනේ.

අනික ඉස්සර ගල් කැඩූ ආකාරයට නෙවෙයි දැන් කළු ගල් කොරි පවත්වා ගෙන යන්නේ. සියල්ල යන්ත්‍රානුසාරයෙන්. ඒ නිසා වර්තමානයේ කළු ගල් කොරි කියන්නේ විශාල ආයෝජනයක් දරලා කරගෙන යන කර්මාන්තයක්. අපේ සියලුම කර්මාන්තකරුවෝ බැංකු ණය අරන් ලීසිංවලින් කරගෙන යන්නේ. මේ වෙනකොට ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකු ආධාරවලින් පටන් ගත් ව්‍යාපෘති සේරම නැවතිලා. ඒ හරහා රටට එන ආදායම් ඇහිරිලා..."

උද්ගතව ඇති ගැටලුව පිළිබඳ, සංගමයේ උප සභාපති, බී.එම්.ටී බී. හේරත් පැවසුවේ මෙවැන්නකි.

" ග්‍රාමීය මට්ටමෙන් කෘෂිකර්මාන්තයත් ඇද වැටිලා තියෙන මොහොතක, බහුතරයක් ග්‍රාමීය ජනතාව සේවයේ යෙදී ඉන්න කළු ගල් කොරි ව්‍යාපාරත් මේ විදියට වැහිලා ගියොත් රටත් ගමත් හාමතේ ඉන්න සිද්ධ වේවි.

ඇමෝනියා නයිට්‍රේට් නැතිකමින් මේ රටේ ගල්කොරි ටික සම්පූර්ණයෙන් ම වැඩ නැවතිලා. ව්‍යාපාරිකයෝ වැටෙනවා කියන්නේ එයින් යැපෙන පවුල් ලක්ෂ ගණනක් මහ පාරට වැටෙන එක. දැන් අපි බැංකුවලටත් හිර වෙලා. අපේ ගෙවල් දොරවල් ඇපයට තියලා ණය අරන් මේවාට ආයෝජනය කර තිබෙන්නේ. දැන් තවත් කල් මරන්න වෙලාවක් නැහැ. හැකි ඉක්මනින් අදාළ ආයතන ප්‍රධානීන් මේ ගැටලුවට විසඳුමක් දිය යුතුයි..."

කළුගල් කර්මාන්තය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක, දයාවංශ පෙරේරා මෙසේ පැවසීය.

"කළු ගල් කියන්නේ ගොඩනැඟිලි හදන්න ගන්න දෙයක් විතරක් ම නෙවෙයි. කළු ගල් කැඩීමේ දී ලැබෙන අතුරු ඵලය වන ගල් කුඩු තමයි, බ්ලොග් ගල් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ වගේම තුන්කාල, එකහමාර වගේ එක එක ප්‍රමාණවල ගල් කැට එකතු කරලා තමයි, පාර හදන A,B,C හදන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශවලට ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස කළුගල්, කැට,කුඩු, යොදාගත් නිෂ්පාදකයෝ හැමෝම අද පාරට වැටිලා.

අනික තමයි මේ තරම් කඩාවැටුණු අවස්ථාවකත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය බදු මුදල්, පරීක්ෂණ ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදී සියල්ල 400% කින් ඉහළ දමලා. කර්මාන්තයක් නැවතිලා තියෙද්දිත් මේ ගාස්තු කාර්තුවෙන් කාර්තුවට මේ විදියට ඉහළ දැමීම, කර්මාන්තය තවත් වළපල්ලට යැවීමක්. ඔවුන් දැන ගන්න ඕනේ මේ වෙලාවේ කර්මාන්තකරුවා බිමට සමතලා වන තීන්දු තීරණ නොගෙන උදව් කරන්න..." මේ සම්බන්ධව ජාතික සංගමය නියෝජනය කරමින් භාණ්ඩාගාරික ජයන්ත විජයසිරි මෙසේ පැවසී ය.

"කළුගල් කැඩිමේ ව්‍යාපාරයේ ශ්‍රම බළකාය ලෙස 85% ක්ම නිරතව සිටින්නේ ග්‍රාමීය ජනතාව. ඊට අමතරව හාඩ්වෙයාර්, අමතර කොටස්, ටිපර් රියැදුරන්.. යන මේ සියල්ලන්ගේමත් රස්සාවට පහර වැදිලා. වෙනෙකක් තබා, කළුගල් පටවා ගෙන ආ ගිය පාරවල් දෙපස තිබූ, ටිපර් රියැදුරන් නිතර තේ බිවූ ආහාර ගත් කුඩා හෝටල් සහ පෙට්ටි කඩ පවා අද වැහිලා ගිහින්. ඒවායින් යැපුණු පවුල් කීයක් අද අන්ත අසරණ වෙලාද?

අපි ඉල්ලන්නේ දවසක් ඇර දවසක් හරි වැඩ කරන්න, වේලක් ඇර වේලක් හරි සේවකයන්ගේ දරු පවුල්වලට කන්න දෙන්න, මේ කළුගල් කොරි ටික යළි පණ ගන්වන්න, ඇමෝනියා නයිට්‍රේට් ටික ලබා දෙන්න කියලයි..."

ජායාරූප-සුදත් මලවීර.


 

 

Comments