ඇමැති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම් නියමවූ කප්පම් කතාව | Page 2 | සිළුමිණ

ඇමැති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම් නියමවූ කප්පම් කතාව

 

ස්නාහිර පළාත් මහ ඇමැතිව සිටි කාලයේදී අයුතු ලාභයක් ලැබීමේ අරමුණින් ව්‍යාපාරිකයකුට තර්ජනය කර පොරොන්දු නෝට්ටු (යම් ආකාරයකින් ණය මුදලක් ලබා ගත් විට පොලිය සමඟ එකී ණය මුදල ආපසු ගෙවන බවට ලිඛිතව දෙන පොරොන්දුව) පහක් අත්සන් කර, දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට එල්ල වූ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැති, වත්මන් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගට වසර 5කට අත්හිට වූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වූයේ පසුගිය ජූනි 6 දාය.

නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 15ක් යටතේ පැවැරූ නඩුවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් තීන්දුව ලබා දෙමිනි. ඇමැති ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිව සිටි කාලයේ, සිය බිරිය වන මොරින් ස්ටෙලා රණතුංග හා ඔවුන්ගේ ඥාතිවරයකු යැයි කියන නරේෂ් කුමාර් ෆාරිස්ය යන එක්ව ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙනි.

ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය ජූනි 6 දා කොළඹ මහාධිකරණ  නඩු විභාගයට පැමිණි අවස්ථාව

2014 වසරේ අප්‍රේල් මස 6 සහ එම වසරේ ජුනි මස 02 වැනි දා අතර කාලසීමාව තුළ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ 2016 වසරේදීය. වසර 7 ක් පුරා දීර්ඝ නඩු විභාගයක් පැවැත්වූ මෙම නඩු තීන්දුව පිටු 52 ක දීර්ඝ එකකි.

මෙම නඩුවේ පළමුවැනි චූදිත වුයේ ඇමැති ප්‍රසන්න රණතුංග ය. ඔහු එවකට බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයාය. 2 වැනි චූදිත වූයේ ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංගය. තෙවැනි චූදිත වූයේ නරේෂ් කුමාර් ෆාරිස්ය. ඔහු 1 හා 2 යන චූදිතයන්ගේ පවුලේ හිතවතෙකි. මෙම නඩුවේ චූදිතයන් තිදෙනාගේ අධි චෝදනා පත්‍රය චෝදනා 15 කින් සමන්විතවූ අතර 1,8,12 යන චෝදනා සියලු චූදිතයන්ටත්, 2,5,9, හා 23 චෝදනා 1 වැනි චූදිතයාටත් එරෙහිට ගොඩ නැඟී තිබුණි.

මෙම නඩුවේ පැමිණිලිකරු තමන්ගේම ව්‍යාපාරයක් කරන සමාගම් අධ්‍යක්ෂකවරයෙකි. ඒ ව්‍යාපාරය Silicon Technologies යි. ඔහු 2013.9.2 වැනි දින අජිත් පැස්කුවල් නම් තැනැත්තකුගෙන් මීතොටමුල්ල ප්‍රදේශයෙන් අක්කර 2, පර්චස් 2.8 ක ඉඩමක් මිලදී ගත් අතර ඔහු මෙම ඉඩමේ එකම අයිතිකරුය. එම ඉඩමේ කිසිදු නීත්‍යානුකූල අයිතියක් චූදිතයන්ට තිබී නැත. මෙම ඉඩමට පිවිසෙන මාර්ගයේ අනවසර ඉදිකිරීම් තිබී ඇත. එහෙයින් ඒවා ඉවත් කිරීමේදී ඒ වන විට බස්නාහිර පළාත් සභාවේ බලය ලත් පුද්ගලයා වන 1 වන චූදිත සහය දක්වා ඇති බව සැලය. ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇත්තේද ඔහුගේ නිල නිවසේ බව සඳහන් වෙයි. මේ සාකච්ඡාවලින් අනතුරුව එම අනවසර පදිංචිකරුවන්ට විකල්ප ස්ථාන ලබා දීමටද හැකි වී ඇත. ඉන් අනතුරුව පැමිණිලිකරුගේ මෙම ඉඩමේ බස්නාහිර පළාත් සභා ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම සම්බන්ධයෙන් 1 වැනි චූදිත සමඟ සාකච්ඡා කර ඇතිබව වාර්තා වන අතර, එය මූල්‍යමය හේතු මත අසාර්ථක වී ඇත. ඉන් පසු අවස්ථා කිහිපයකම විවිධ සංවර්ධන කටයුතු සඳහා අවබෝධතා ගිවිසුම් සකස් වී ඇති බව සඳහන් වෙයි. මේ අවබෝධතා ගිවිසුම් අනුව ඉඩමෙන් පර්චස් 191.7 ක ප්‍රමාණයක් සහ සම්පූර්ණ ලාභයෙන් 59% පැමිණිලිකරුට ද, ඉඩමෙන් පර්චස් 53.7 ක් සහ සම්පූර්ණ ලාබයෙන් 17% ක් 3 වැනි චූදිතගේ බිරියට ද, ඉඩමෙන් පර්චස් 43.7ක ප්‍රමාණයක් සහ සම්පූර්ණ ලාබයෙන් 14% ක් 2 වැනි චූදිතට ද, ඉඩමෙන් පර්චස් 33.7 ක ප්‍රමාණයක් සහ සම්පූර්ණ ලාබයෙන් 10% ක් අජිත් පැස්කුවල්ටද හිමිවන පරිදී සැකසි ඇති බව සැලය.

නඩු වාර්තාවට අනුව අනතුරුව පැමිණිලිකරු විසින් මෙම ඉඩම 2015 අප්‍රේල් ටෝකියෝ සිමෙන්ති සමාගමට රුපියල් මිලියන 204.8 ක මුදලකට විකුණා ඇත්තේ චූදිතයින්ගේ එකඟත්වයකට අනුවය. මෙම ගනුදෙනුවේ තැරවුකරුවන් ලෙස ක්‍රියාකර ඇත්තේ 1 වැනි චූදිත විසින් පැමිණිලිකරුට හඳුන්වා දී ඇති ගුණරත්න නැමැත්තාය.

ඉඩම විකිණුවද අදාළ මුදල පැමිණිලිකරුට නොලැබී තිබුණ ද, ඔහු ලබාගෙන තිබූ ණය මුදල් හේතුවෙන් එම මුදල කොමර්ෂල් ලීසිං හා LOLC ආයතනයට චෙක්පත් 2 ක් මඟින් ලබා දී ඇත. ඒ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ 3 වැනි චූදතයාද එහි සිට ඇති අතර, 2015.4.10 දින පෙරවරුවේ දුරකතනයෙන් ඇමතුමක් ලබාදෙමින් 3 වැනි චූදිත පැමිණිලිකරුට පවසා ඇත්තේ චෙක්පොතද රැගෙන 1 වන චූදිතගේ නිල නිවසට පැමිණෙන ලෙසය. ඒ දැනුම්දීම අනුව පැමිණිලිකරු සිය බිරිය සමඟ මහ ඇමැතිවරයාගේ නිල නිවසට ගොස් ඇති අතර, චෙක්පත් 11 ක් ලියා ඒවා 3 වැනි චූදිතට දුන් බව සඳහන් වෙයි. ඒ රුපියල් මිලියන 3 හා 5 චෙක්පත් දෙකක් , 2වැනි චූදිතගේ නමට ලියූ චෙක්පත් 4 ක් හා 3 වැනි චූදිතගේ නමට ලියූ චෙක්පත් 5 කි. මේවාගේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 64 කි. ඉඩම විකිණූ රුපියල් මිලියන 204.8 න් 31% ක මුදල රුපියල් මිලියන 64 කට ආසන්න වී ඇත. මේ සියලු චෙක්පත් හැටන් නැෂනල් බැංකු ගිණුමට අදාළ චෙක්පත්ය. මෙම චෙක්පත් අතරින් 2 චූදිතගේ නමට ලියූ රුපියල් මිලියන 5 පැමිණිලිකරු නොගෙවීම නිසා අගරු වී ඇත. කෙසේ වෙතත් ඉහත චෙක්පත් 11 අතරින් මුදල් කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් මිලියන 8 ක් පමණි.

අනතුරුව සිදුවී ඇත්තේ මෙසේය. එම මාසයේ 10 වැනිදායින් පසුව නැවත වතාවක් මහ ඇමැතිවරයාගේ කාර්යාලයට පැමිණෙන ලෙස 3 වැනි චූදිත පැමිණිලිකරුට දන්වා ඇතිබව වාර්තා වෙයි. එහිදි 1 වැනි චූදිත වන හිටපු මහ ඇමැතිවරයා

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව ඇමැති ප්‍රසන්න රණතුංග අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාව

පවසා ඇත්තේ මුලින් ලබාදුන් චෙක්පත් මඟින් ගෙවන ලද රුපියල් මිලියන 8 ක මුදල සහ එම ඉඩම සංවර්ධනය කිරිම සඳහා ඒ වන විට පැමිණිලිකරු විසින් වියදම් කර තිබූ මුදල අඩුකර රුපියල් මිලියන 34 ක පමණ මුදලක් තමන්ට ගෙවන ලෙසය. අනතුරුව පැමිණිලිකරු තම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා වන බිමල් ප්‍රනන්දු හරහා චෙක්පත් 8 ක්, 1 වැනි චූදිත වන හිටපු මහ ඇමැතිගේ නිවසට යවා ඇත. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 34 කි. කෙසේ වෙතත් මේ චෙක්පත් පැමිණිලිකරු විසින් ගෙවීම නවතා දැමු හෙයින් මුදල් කර ගැනීමට හැකි වී නැත. එසේම පැමිණිලිකරු විසින් ලබාදුන් චෙක්පත් නැවත පැමිණිලිකරුට ලබා දී නොමැත.

2015 මැයි මස 29 වැනි දින පැමිණිලිකරුට 1 වැනි චූදිත වන හිටපු මහ ඇමැතිගේ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලැබී ඇත. පැමිණිලිකරු එය පටිගත කර ඇත. මෙම සංවාදයේදී 1 චූදිත පැමිණිලිකරුට තර්ජනාත්මකව පවසා ඇත්තේ ‘තමා නරක මිනිහා කර නොගන්නා ලෙසත්, තමන්ගේ ප්‍රශ්න විසඳන ලෙසත්‘ය. එදිනම 1 වනි චූදිත පිටකෝට්ටේ පිහිටි පැමිණිලිකරුගේ කාර්යාලයටද ගොස් තර්ජනය කර ඇති බව නඩු වාර්තාවේ දැක්වෙයි. අනතුරුව ජූනි මාසයේ දිනක තම නිවසට පැමිණ තමා හමුවන ලෙස 1 වැනි චූදිත පැමිණිලිකරුට දන්වා ඇත. ඒ අනුව පැමිණිලිකරු 1 වැනි චූදිත හෙවත් ප්‍රසන්න රණතුංගගේ නිවසට ගොස් ඇති අතර, එහිදි 1 වැනි චූදිත පවසා ඇත්තේ පොරොන්දු නෝට්ටු පහකට අත්සන් කරන ලෙසත්ය. පැමිණිලිකරු ඊට අවනත වී අත්සන් කර ඇත.

විත්තියේ නඩුවේදී 1 වැනි චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති වශයෙන් තමන් එම ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගැනීමට මැදිහත් වූ බවකි. එසේම පළාත් සභා ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා තමන් හා පැමිණිලිකරු අතර කිසිදු එකඟතාවක් ඇති නොවූ බවයි. එසේම වැඩි දුරටත් අදහස් දැක්වූ 1 වැනි චූදිත සඳහන් කළේ තම බිරිය මෙම ඉඩම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් ආයෝජනය කළ බවකි.

මෙම ඉඩම ටෝකියෝ සමාගමට විකුණා ඇත්තේ තමාගේ හා තම බිරියගේ අනුමැතිය යටතේ බවත්, ඉඩම විකිණීමෙන් පසු පැමිණිලිකරු විසින් සුහදශීලීව චෙක්පත් කිහිපයක් ලබා දී ඇති බවත්, පැමිණිලිකරු විසින් ඉඩම සඳහා වියදම් කළ මුදල අඩුකර ඉතිරි මුදල බෙදා ගැනීමට සියලු දෙනා එකඟ වී ඇති බවත් 1 වැනි චූදිත සිය ප්‍රකාශයේදි දක්වා ඇත. එසේම 1 වැනි චූදිත හා පැමිණිලිකරු අතර චෙක්පත් ලබා දෙන අවස්ථාවේදි හෝ ඉන් කිසිදු අවස්ථාවකදි තර්ජන නොකළ බවත් ඔහු සිය ප්‍රකාශයේදී දක්වා ඇත.

2 වැනි චුදිත විත්ති කුඩුවේ සිට ප්‍රකාශයක් සිදු කර ඇත්තේ තම පවුලේ ව්‍යාපාරයක් වූ ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරයට අදාළ ගිණුමෙන් රුපියල් මිලියන 10 ක් ලබා ගෙන එයින් රුපියල් මිලියන 5 ක මුදලක් මීට ආයෝජනය කළ බවත්ය. පැමිණිල්ලේ ස්ථාවරත්වය අනුව මෙම නඩුවේ සිද්ධි දාමය අවසන් වී ඇත්තේ 2015.6.2 දිනය. පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් දූෂණ මර්දන කමිටු කාර්යාලය වෙත පැමිණිලි කරන අතර, අනතුරුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කිරීමෙන් අනතුරුව විමර්ෂණ ආරම්භ කෙරී ඇත. මෙහිදි පැමිණිලිකරු සිය සාක්ෂි දීමේදි ස්ථාවර ලේඛන ඉදිරිපත් කර ඇත. තමන්ට දුරතකනය හරහා එල්ල වූ තර්ජන ඔහු ටැබ් යන්ත්‍රයක් මඟින් පටිගත කර ඇත. එසේම තවත් පැත්තකින් මෙම ගනුදෙනුවේදී පළාත් ප්‍රධාන අමාත්‍ය නිල ලිපි ශීර්ෂ යොදා ගැනීම ගැනද චෝදනා මතු වී ඇත. මෙහිදි 1 වැනි චුදිත ප්‍රකාශ කර ඇත්තේ එසේ නිල ලිපි ශීර්ෂ යොදා ගත්තේ පැමිණිලිකරුට උදවු කිරීම සඳහා බවත්ය. මෙහිදි චෝදනා මතුවී ඇත්තේ ප්‍රධාන අමාත්‍ය ධූරයේ බලතල හා වරප්‍රසාද ඔහු අවභාවිත කර ඇති බවකි. එසේම 1 වන චූදිත වන පළාතේ ප්‍රධාන ඇමැතිවරයාම පැමිණිලිකරුට තර්ජනය කර ඇති බවද උසාවිය පිළිගෙන ඇත. පැමිණිලිකරු 2015.6.2 වැනි දින පොරොන්දු නෝට්ටු අත්සන් කර ඇත්තේද මෙම තර්ජනයේ සෘජු ප්‍රතිඵලයක් නිසා බව නඩුවෙ ගොනු කර ඇති කරුණු අනුව පැහැදිලි වී ඇත.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මොවුන් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ සඳහන් පරිදි ප්‍රශ්නයක් ඇත්නම් සුහදශීලීව විසඳා ගත යුතුව තිබුණද, 1 වැනි චුදිත එහිදි ක්‍රියාකර තිබුණේ අදාළ මුදල නීති විරෝධි මාර්ගයෙන් ලබා ගැනීම හෙවත් අයුතු ලාබයකි. මෙම ඉඩමේ නීත්‍යානුකූල අයිතියක් කිසිදු අවස්ථාවක චුදිතයන්ට තිබී නැති බවද, 1 වැනි චූදිත වන හිටපු මහ ඇමැතිවරයා කර ඇත්තේ පැමිණිලිකරු තමන්ගේ ඉඩම විකිණීමෙන් ලද මුදලින් කොටසක් කෙසේ හෝ ලබා ගැනීමක් බව සඳහන් වෙයි. මෙය තමන්ට නීත්‍යානුකූලව හිමි නැති දෙයක් නිති විරෝධී ලෙස ලබා ගැනීමකි.

මෙම අවබෝධතා ගිවිසුම පවා චූදිතයන්ගේ අවශ්‍යතාව මත පමණක් සකස් වූ ලියවිල්ලක් බව සඳහන් වෙයි. වැඩි දුරටත් මෙම තීන්දුවේ සඳහන් වන්නේ හිටපු මහ ඇමැතිගේ බිරිය විසින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5 ක් ආයෝජනය සඳහා ලබා දුන් බව පිළිගත්ත ද, 1 වැනි චුදිත ඊට වඩා වැඩි මුදලක් පැමිණිලිකරුගෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවකි. එසේම 1 වැනි චූදිතගේ නිවසේදී පොරොන්දු නෝට්ටු අත්සන් කරන අවස්ථාවේදි 2 වැනි චූදිත වන මහ ඇමැතිවරයාගේ බිරිය නිවසේ නොසිටි බවත්, 3 වැනි චුදිත විදෙස්ගතව සිටි බවත් අනාවරණය වී ඇති හෙයින් පොරොන්දු නෝට්ටු බලයෙන් ලබා ගැනීමේ වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවක් පෙනේ.

විත්තිකාර හිටපු මහ ඇමැතිවරයාට ගොනු කර තිබූ අනිකුත් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල මඟින් සනාථ කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනාවලින් නිදහස් කිරීමට ද නියෝග කළ අතර, නඩුවේ 13 වැනි චෝදනාවට පමණක් වරදකරු කරමින් මෙම තීන්දුව දුන් විනිසුරුවරයා රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ අතර, ඒ දඩය නොගෙවන්නේ නම් මාස 9ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. ඊට අමතරව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස දන්වා සිටි විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් මාස තුනක තවත් සිර දඬුවමක් හිමිවිය යුතු බවට සඳහන් කළේය.

එසේම ඇමැතිවරයාගේ බිරිය හා ඥාතියා නිදොස් කොට නිදහස් විය.‍ නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට විදේශයකට ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය කෙරිණි. ඇමැතිවරයා සහ බිරිය විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය හුදු ප්‍රකාශයක් පමණක් බව පෙන්වා දුන් විනිසුරුවරයා එය ඉවත දමන බව ද සඳහන් කළේය.

(මහාධිකරණ නඩු තින්දුව ඇසුරෙනි)

සේයාරූ - සමන්ත වීරසිරි

 

Comments