බස උදෙසාත් අරගල කරමු | සිළුමිණ

බස උදෙසාත් අරගල කරමු

සිංහලයෙහි හරි වහර පිළිබඳ වැ බොහෝ කරුණු ‘හර වහරින්’ මෙ තෙක් කල් විමැසිණ, ඉදිරියටත් විමැසේ. වැරැදි වහර ගණනාවක් ද මෙ මඟින් පෙන්වා දෙනු ලැබිණ. ඒ නිවැරැදි කරන සැටි ද දැක්විණ.

“ඌරා ගේ මාළු ඌ ගේ ම ඇඟේ තබා කපනවා” යැයි කියමනක් සිංහලයන් අතර වේ. එමෙන්, දැන් හරි වහරිනුදු එහි ම වැරැදි පෙන්වා දෙන්නට වී ඇත. ගිය වර හරි වහරේ මාතෘකාවේ ම වරදක් ඇතැ යි බොහෝ දෙනකු විසින් පෙන්වා දෙනු ලැබිණ. මේ ලියන අතරෙහි දු ඇතැමෙක් ඒ බව පෙන්වා දෙති. කිමෙක් ද එ කියන වරද? (ආලෝකය යන අරුතින්) ‘එලි” යැ යි (දන්තජ) ‘ල’ යොදා ලිවීම යි. ‘හරි වහර’ ලියන අසරණය, අතින් ලියැවුණත් නොවුණ ද පුවත් පතෙහි එ සේ පළ වූ හෙයින් දැන් එ ගැන විමැසිය යුතු යි. “මවා දෙනු පර හට - තමා සම්මතෙහි (සම්මඟෙහි?) පිහිටා සිට” යැ යි රණස්ගල්ලේ හිමියෝ ද වදාළෝ ය.

‘එලි’ යනු අප ශබ්දයක් හෙවත් වැරැදි වදනක් බව සැබැවි, එහි නිවැරැදි වදන නම් (මූර්ධජ) ‘ළ’ සහිත ‘එළි’ යන්න ම ය. පුරාතනයෙහි පටන් වියත් වහරෙහි යෙදුණේ ‘එළි’ යනු යි.

කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ 
එළි කොට නැවැත දුන් මිනිසකුට එ තෙකිනේ 
විලි වැස්මෙක් නො ම විය දෙවි වුවත් අනේ 
කෙළියට වත් නො කරවු සොරකමක් දැනේයි

වීදාගම හිමියෝ ‘එළි’ යනු (මූර්ධජ) ‘ළ’ සහිත යැ යි තහවුරු කොට දක්වති. මෙහි ‘එළි’ යනු යෙදුණේ ආලෝක අර්ථයෙහි ම නො වතුදු ඒ හා ඉතා සමීප වූ හෙළි කිරීම් අරුතෙහි ය.

ගෙරි නවතමින් යනෙන ගොපලු අඟනන් තුනු එළියේ 
නෙතු සිතු සනසමින් සබඳ නොලස ව මොරටුව එළියේ

යි තිසර සන්දේශ කාරයෝ ද ‘එළි’ යන්නෙහි (මූර්ධජ) ළ යෙදෙන බව දක්වාලති.

එළි යනු යෙදෙනුයේ ආලෝක අර්ථයෙහි පමණක් නො වේ. බොහෝ අරුත් කිහිපයකුදු එහි වේ.

අතරතුර එළියක් 
යෙදුම පබඳට එළියක් 
වියැ හැකි යැ එළියක් 
හට නො වේ වා එළුව එළියක්

යි කුමාරතුංග මුනිදාසයෝ අරුත් තුනක් සඳහා ‘එළි’ යනු යොදති. එ නම් ආලෝකය, එළි සමය, එළු දෙන යනු යි.

‘එළි’ යනු හා අනුරූප වූ සංස්කෘත හෝ පාලි හෝ ශබ්දයක් ඇති බව නො පෙනේ. මෙය නිෂ්පන්න (සිංහලයෙහි ම ඇති වූ) වචනයකැ යි ද කියැවේ. දෙමළ බසින් බිඳී ආවකැ යි ඇතැම්හු කියත්. එහෙත් එය තහවුරු කරන්නට ප්‍රබල සාක්ෂ්‍ය නැති. ‘හෙළි’ යන්නෙහි ‘හ්’ ලෝපයෙන් ඇති වූවකැ යි යනු ද මතයෙකි. කෙසේ වුව ද යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ’ බව නම් නිසැක ය. එ හෙයින් ගිය වර හරි වහරේ වූ පමාදොස නොපමා ව පෙන්වා දුන් හිතවතුනට පින් දෙමු.

මේ දිනවල බොහෝ දෙනකු ගේ විමැසුමට ලක් වූ තව ද වදනක් නම් ‘අරගල/ළ’ යනු යි. අතිවේගයෙන් ඇරැඹුණු අරගල/ළ නම් දැන් දැන් කෙමෙන් නිවී යන අයුරු පෙනෙන නමුදු එ වදන ගැන විමසන්නන් වෙනුවෙන් එ ගැන වඳන් පැහැදිලි කිරීම මැනැවැ යි හැඟේ. අරගල/ළ කාරයනට කෙසේ වුව ද බස විමසන්නන් හට එයින් වැඩක් විය හැකි යි.

අද සිංහලයෙහි අරගල/ළ යෙදෙනුයේ මහත් කලබලය, ගැටුම, කෝලාහලය වැනි අරුත් දෙනු පිණිස ය. දබරය, රණ්ඩුව වැනි අරුත් ද එහි ලා යෙදේ. යම් කිසි අරමුණක් ඉටු කැරගැන්ම පිණිස (ප්‍රචණ්ඩ වැ වුව ද, නො වුව ද) ගෙනයන උද්‍යෝගවත් ව්‍යාපාරය ද එ නමින් හඳුන්වන බව ‘නිදහස් අරගලය’ වැනි යෙදුම් මඟින් කියැවේ.

අද යෙදෙන අරුත එබඳු වුවද පැරැණි වහරෙහි අරගල/ළ යනු යෙදී ඇත්තේ එ අරුතින් ම නො වේ. මහත් නාදය, ඝෝෂය යන අරුතිනුදු එ වදන යෙදුණු බවට කාව්‍යශේඛරයෙහි එන

මනහර පුළුලුකුළ 
කැරැ මිණිමෙවුල් අරගළ 
රන් හිණිනි සුලකළ 
තුමුටු බටුවෝ ලියෝ පැහැදුළ

යන පද්‍යය මනා නිදසුනෙකි. මෙහි ‘මිණි මෙවුල් අරහළ’ යනු මිණිමෙවුලේ නාදය යි.

මෙයින් හෙළි වන තව ද කරුණක් නම් ‘අරගළ’ යැ යි (මූර්ධජ) ‘ළ’ කාරවත් වැ මෙ වදන පැරැණි වහරේ යෙදුණු බව යි. සෙල් ලිපි කිහිපයෙක ද (මූර්ධජ) ‘ළ’ කාරයෙන් (අරගළ) යැ යි මේ යෙදී ඇත්තේ ය. අද බොහෝ දෙන අරගල යැ යි (දන්තජ) ‘ල’ කාරය යෙදුව ද නිවැරැදි වනුයේ ‘අරගළ’ යනු මැ යැ යි මෙ බඳු නිදසුන්වලින් පෙනී යයි.

සංස්කෘතයෙහි ‘අර්ගල’ යැ යි වදනක් වේ. ඒ අගුළු යන අරුත් ඇත්තේ ය. පාලියෙහි ඒ යෙදෙනුයේ ‘අග්ගළ’ යනුයෙනි. සිංහලයෙහි අරගළ යනු මේ රූප දෙක ම හා අනුරූප වී යෙදෙන්නකැ යි සිතිය හැකි ය. ඒ කෙසේ වුව ද, ආදර්ශ පාඨය වත් සිංහලයෙන් ලියාගන්නට බැරි, ලියා ගන්නට වුව මනා නොවන අපේ අරගළ කාරයනට එයින් නම් කිම? අපි සැම දා නිවැරැදි බස, හරි වහර උදෙසා අරගළ කරමු.

Comments