
කෘතිය - උඩප්පර
කර්තෘ - ජයසේකර මලවිආරච්චි
මිල රුපියල් 300/= පිටු 67
විමසීම් 071 1381619
සරසවි ප්රකාශනයකි
‘උඩප්පර‘ ජයසේකර මලවිආරච්චි කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වූ ගිරිහිස සහ අහස නිකුත් වන්නේ 2009 වසරේදීය. ඔහු කවි ලියන්නට පටන් ගන්නේ පාසල් වියේ සිටය. එසේ ලියූ ඔහු විසින් මෙතෙක් ලියා පළකර ඇති කවි පොත් ගණන හයකි.
කවියට පෙම්බැදි ඔහු විවිධ විරිත් අනුව සිය අත්දැකීමට ගැළපෙන අයුරින් කවි ලියා ඇත. උඩප්පර කාව්‍ය සංග්‍රහයේදී ඔහු ලියා ඇති කවි හරි අපූරුය. ඔහුගේ කවි බස ද අපූරුය.
මේ කවියේ කතකයා යන්නේ සිය පෙම්වතිය හෝ එහෙමත් නැත්නම් තමන් හිත ගත් කෙනෙකු හමුවීමටය. ඈ හා කතාකරමින් සිටින්නට ඔහු බොහෝ ප්‍රියය .
නමුදු ඒ යන මඟ අතර මඟදි කුරුල්ලන් සිටින දෙවැට පාරේදී ඔහු ඒ පරිසරයට පෙම්බදින්නට පටන් ගනී. ඔහුට ඒ පරිසරයේ රැදෙන්නට හිතක් පහළ වේ. අද මිනිසා පරිසරය විදිනවා බොහෝ අඩුය. නමුදුඔහු පරිසරය හා රැදෙන්නට බොහෝ ආසා ඇත්තෙකු බව ඒ කව අපට මනාව පැහැදිලි කරයි. මාතෘකාව වෙනත් දවසක එන්නම්.
“තාර පාර මඟ ඇරලා
කැලෑව මැද්දෙන්
අඩිපාර දිගේ එනකොට
ගහක අත්තෙන් අත්තට පැන පැන
කුරුල්ලන් කෑ ගානවා
සින්දු කියනවා
ඒ දිහා බලා හිටියා හුඟක් වෙලා
එතැනින් එන්න හිතුණෙ ම නෑ
දැන් ඉතිං ඩිංගක් වෙලා ඉන්නම්
වෙනත් දවසක එන්නම්...“
කවියා පරිසරයට පෙම්බඳින්නෙකි. ඔහුගේ සෑම කවියක්ම වාගේ එති ඇත්තේ පරිසරය වටාය. අද අපට නැත්තේ ද සොබාදහමට පෙම්බදින්නන්ය. මහ ගස් වල සෙවණ ලබා පෝෂණය වන කුඩා පැළ ගැන ඔහු අපට කියන්නේ පොඩි දෙයකි. නමුදු ඒ වටා අපට සිතන්නට බොහෝ දේ සිතට එකතු වෙයි.
‘කෝපි පැළ යාය සහ මහා ලොකු ගස්‘ මාතෘකා ව වී ඒ වටා ගෙතෙන කවියයි මේ.
මොර පලු වීර රඹුටන්
කැට කෑල ලුණුවරණ
මේතරම් ලොකු ගස්
දිගු කර දසත අතු ඉති
සතුරු උවදුරු නසා
මෙබිම රකිනු දැක
පුදුමයක් දැල්වෙයි සිත...
සොබා දහමේ වුවද
නොවිය යුතු දෙය සිදු වෙයි
පුදුම නම් එයයි..
ජයසේකර ලියූ ‘මැණිකේ එන්න‘ කවිය කියවන විට කවරෙකුට වුවත් සිය බාල විය සිහියට නැගෙනු ඇත. විශේෂයෙන් සිය ගම්බද ජීවිතය මතක් වන අැත.
ඔහු අතීතයට පෙම්බදින්නෙකු යැයි අපට සිතෙන්නේ ඔහු අපේ පරිසරයේ එදා තත්වය ගැන විවිධ අයුරින් රසවත්ව ලියනක හෙයිනි. ‘මැණිකේ එන්න ‘ කතකයාගේ සහකාරිය මුල්ව ලියැවි ඇතැයි හැගේ. ඇතැම් විට ඇය නාගරික පරිසරයෙන් පැමිණියා විය යුතුය.
ඇය හා ගැමි පරසරයේ ඇවිදින ඔහු කියන්නේ අද නැති එදා තිබු පරිසරය ගැනයි. පරිසරයට සිදුව ඇති ව්‍යසනය ගැනයි. නමුදු ඔහු කිසිවෙකුට දොස් නොකියයි. අතීතය , බාල වියේ තම් දුවපැන නටපු වෙල් එළියේ , දියකඩිති වල සිටි පුංචි මාළුවන් ගැන සිහිපත් වන ඔහුට ඇත්තේ යම් කනගාටුවන් යැයි හැඟේ. නමුත් නගරයෙන් ගෙනා අලුත් මනාලියගේ හිත නොරිදවා ඔහු ද සිත නොරිදාගෙන එදා දුටු පරිසරය ගැන සිහිකරයි. තමන් ඒ පරිසරය වින්ද අපූරුව ගැන ඔහු ඇයට කියයි. සිතට දැනෙන හැඟෙන දේ කවි බසින් ලියන්නට ඔහු උත්සාහ දරයි.
“එන්න මැණිකේ
සෙමෙන් එන්න...
ඉස්සර නම් මලවදේ නේ
නියරෙ උඩින් යන්නම බෑ
ගෙම්බන් බක බක ගානවා
කකුල් දෙකේ හැපෙනවා තව
නියරෙන් පනිනවා ලියැද්දට
ජබෝහ්...
එක නොවෙයි
මැණිකෙගෙ මුදු දෙපාවලට
වෙලේ වතුර හරි අගුණයි...
ගෙදර තියෙන
පයිප්පවල
වතුර වලින් සෑහෙමු අපි...
කවියා මේ උත්සාහ දරන්නේ තමන් එදවස හැදි වැඩුන ගැමි පරිසරය ගැන කියන්නටය. ඔහු ඒ පරිසරය ගැන ලිව්මේදී භාෂා භාවිතයේදී බොහෝ පරිස්සම් වේ යැයි හැඟේ.
ඔහු අරගලකාරයකු නොවී සියුම්ව පරිසරය වින්දනය කරමින් සිය නිර්මාණ පාඨකයාට දෙන්නට උත්සාහ දරයි.