බිරි­යගේ අනි­යම් පෙමට ජීවි­ත­යෙන් වන්දි ගෙවූ අහු­න්ගල්ලේ තිළිණ | සිළුමිණ

බිරි­යගේ අනි­යම් පෙමට ජීවි­ත­යෙන් වන්දි ගෙවූ අහු­න්ගල්ලේ තිළිණ

තිළි­ණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා
තිළි­ණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා

 

 

”තාත්තේ, මං බලන්න එන්නෙ නැද්ද?“

”මං එනවා දුවේ“

”තාත්තේ දැන්ම එන්න හොඳේ, තාත්තා එනතුරු මං පාර බලාගෙන ඉන්නවා“

 

කුඩා දියණියගෙන් ඇමතුම ලැබෙන විට තිළිණ සිටියේ ඔහු උපන් අහුන්ගල්ල කටුවිල නිවෙසේය. ඒ 2017 මැයි මස 29 වැනිදාය. ”බණ ගෙදරකුත් තියෙනවා. එහෙත් ගිහින් දරුවත් බලල එනවා“ සිය මවට එසේ කියූ තිළිණ එදා සවස කොස්ගොඩ වතුරවෙල බලා පිටත් වූයේ සවස පහයි තිහට තිබුණු බස් රථයෙනි. පසුදින ලැබුණු ආරංචියකට අනුව තිළිණගේ මව ඇතුළු ඥාතීන් කොස්ගොඩ වතුරවෙල නිවෙසට යන විටත් තිළිණ පුටුවක් මත අවසන් හුස්ම හෙළා තිබිණි. එසේ ඝාතනය කර තිබුණේ අහුන්ගල්ල කටුවිල පදිංචි එදිරිමුණි තිළිණ පෙරේරා නැමති අයෙකි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි.

 

ඊට වසර හතරකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවයක් මත තිළිණ කොස්ගොඩ වතුරවෙල පදිංචි ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා සමඟ විවාහ විය. වසරකට පමණ පසු ඔවුන්ට දියණියක් ද ලැබුණු අතර ආර්ථික අගහිඟකම්වලින් මිදී සිය පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තිළිණ විදේශගත වන්නේ එයින් පසුවය. තමන්ටම කියා නිවෙසක් තනා ගෙන පාඩුවේ ජීවත් වීම තිළිණගේ කුවේට් ගමනේ අරමුණ විය. ඒ, 2015 ඔක්තෝබර් මස විසි දෙවැනිදාය. ස්වාමියා රට යෑමෙන් පසු මධුෂ්කා කුඩා දියණිය ද කැටුව කොස්ගොඩ වතුරවෙල මවගේ නිවෙසට ගියාය. තිළිණ මාසිකව නොවරදවා දෙදෙනාගේ වියදමට අවශ්‍ය මුදල් එව්වේය. ගතවූයේ මාස කිහිපයකි. මධුෂ්කා අනියම් පෙමක පැටලුණු අතර සියල්ල ආරංචි වූ තිළිණ නැවත ලංකාවට පැමිණියේ සිය දියණියගේ අනාගතය වෙනුවෙන් බිරියට සමාව දී හෝ නැවත පවුල් ජීවිතය ගෙනියන්නට මඟක් සෙවීමේ අටියෙනි. රට යන්නට පෙර තිබූ සාමකාමී පවුල් ජීවිතයේ අඬදබර ඇතිවන්නේ එතැන් සිටය. එහි ප්‍රතිඵලය ලෙස මධුෂ්කා නැවත වරක් සිය දියණිය ද කැටුව කොස්ගොඩ වතුරවෙල සිය මවගේ නිවෙසට ගියාය. දියණිය බලන්නට නිතර නිතර වතුරවෙල ගිය තිළිණ සහ මධුෂ්කා අතර ඇතිවිය. මේ කාලය තුළ මධුෂ්කාගේ තවත් අනියම් සම්බන්ධයක තොරතුරු ද තිළිණට ආරංචි වන්නට විය. එයට මධුෂ්කාගේ දෙමවුපියන්ගේ ආශීර්වාදය ද ලැබෙන බවට ලැබුණු ආරංචිය තිළිණට ඉවසුම් නොදෙන්නක් විය. මේ නිසාම තිළිණ සෑම දිනකම පාහේ මධුෂ්කාගේ නිවෙසට ගොස් අඬදබර කරගැනීම ගැන මධුෂ්කාගේ පවුලේ උදවිය සිටියේ ද තිළිණ සමඟ අමනාපයෙනි.

මිය­ගිය එදි­රි­මුණි තිළිණ පෙරේරා

මේ කරදරය ඉවර කළ යුතු බව මධුෂ්කාගේ පවුලේ උදවිය සිතන්නේ මේ අතරය. දියණිය ලවා දුරකතන ඇමතුමක් ලබාදී තිළිණ වතුරවෙල නිවෙසට ගෙන්වා ගැනීම සැලසුමේ එක් පියවරක් විය. මේ කිසිත් නොදත් දියණිය සිය පියාට එන්න කියන්නේ උතුරා යන පිය සෙනෙහසිනි. දියණියගේ දුරකතන ඇමතුම අනුව තිළිණ කොස්ගොඩ වතුරවෙල නිවෙසට යන විට ඇඳිරි වැටී තිබිණි. බිරිය ඇතුළු කණ්ඩායම තිළිණ එනතුරු මඟ බලා සිටියහ. එදින ද සුපුරුදු පරිදි තිළිණ බිරිය සමඟ කතාබහක් ඇති කර ගත්තේය. ඒ වන විට මධුෂ්කාගේ අනියම් පුරුෂයා සහ ඔහුගේ මිතුරකු ද පැමිණ සිටියේය. සියල්ලෝම එකතු වී තිළිණ ඉදිරිපස අඹ ගසේ ගැටගසා පහර දෙන්නට වූහ.

”අපි වතුරවෙල යන විටත් තිළිණ පුතා අවසන් හුස්ම හෙළා තිබුණා. බිරියගේ අනියම් සම්බන්ධය නිසා පුතා බිරිඳගෙන් ඈත් වෙලයි සිටියේ. 29 වැනිදා සවස දියණියගෙන් ලැබුණු ඇමතුමටයි ගියේ.“ යැයි තිළිණගේ මව වන ඒ. මාලා ලලිතා ද සොයිසා පොලිස් පරීක්ෂණ ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මියගිය තිළිණගේ බිරිය ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා සහ ඇයගේ පියා ලක්මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. තමා පියා සමඟ එක්ව තිළිණගේ අතපය ගැට ගසා පහර දුන් බව චතුරි මධුෂ්කා පොලීසියට ප්‍රකාශ කර තිබිණි. ඇයගේ බාල සහෝදරයා ත්‍රිරෝද රථයකින් තවත් දෙදෙනකු සමඟ පැමිණ පහර දුන්නා යැයි කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය මධුස්කාගේ අනියම් පුරුෂයා බව කියන කොස්ගොඩ නානතොට පදිංචි ගුණන්දාවඩු ධනුෂ්ක ද සොසිසා සහ ඔහුගේ මිතුරකු වන එම ලිපිනයේම පදිංචි දිනේෂ් රෝහණ ද සොයිසා යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට ගතවූ කාලය වසර පහකට දින දෙකක් අඩු විය. බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඉකුත් විසි හත් වැනිදා තීන්දුව ප්‍රකාශ කළේ තිළිණගේ බිරිය වූ ලක්මුණි චතුරි මධුෂ්කා සිල්වාට වසර හතක ලිහිල් සිර දඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් මෙන්ම ඇයගේ පියා වූ ලක්මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා නැමැති අයට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩයක් ද නියම කරමිනි.

 

 

Comments