
රාජකන්නු යනු දකුණු ඉන්දියාවේ ගමක කුලවතුන්ට, වංශවතුන්ට අයත් ගොවිබිම්වල ගැවසෙන සර්පයන්, මීයන් වැනි සතුන් අල්ලා ඉවත් කිරීම ජීවිකාව කරගත් දිළිඳු තරුණයෙකි. ඔහු අයත් වන්නේ ඉරුලා නමැති ජන කොට්ඨාසයකටයි. එය සමාජය තුළ දැඩි කොන් කිරීමකට ලක් කර ඇති අසරණ ජන කොට්ඨාසයකි.
දිනක් රාජකන්නු ගේ ගමේ ප්‍රභූවරයකුගේ නිෙවසකට නයකු රිංගා ගනියි. නයා අල්ලා ඉවත් කිරීම සඳහා කැඳවනු ලබන්නේ රාජකන්නු ය. රාජකන්නු තමා වෙත පැවරෙන රාජකාරිය ඉටු කිරීමට සමත් වුවත් ඉන් දින කිහිපයකට පසු ප්‍රභූ නිෙවසේ සිදුවන සොරකමකට ඔහු සැකකාරයකු බවට පත් වේ.
පොලිසිය ඔහු සොයා ඔහුගේ ගෙදරට යන නමුත් ඒ වනවිට ඔහු සිටින්නේ වෙනත් ප්‍රදේශයක ගඩොල් වැඩපළක රැකියාවක් සඳහා ගොසිනි. රාජකන්නුගේ බිරිය සෙන්ගනී ඒ වෙද්දී ගැබ්බරව සිටින අතර රාජකන්නු රැකියාවක් සොයා ගොස් ඇත්තේ පවුලේ අනාගතය ගොඩනැඟීමේ බලාපොරොත්තුවෙනි. පොලිසිය ඔහු සොයා ගඩොල් වැඩපොලට ගියත් ඒ වනවිට රාජකන්නු එම ස්ථානයෙන් පලා ගොසිනි.
ඊට හේතුවන්නේ වැඩපොළේ අයිතිකාරයා එක් අවස්ථාවක ඔහුට බිරිය බැලීම සඳහා ගෙදර එන්නට නිවාඩුවක් නොදීම ය. රාජකන්නු තමාටත් නොකියා පලා ගොස් ඇති බව වැඩපොළේ අයිතිකාරයා පොලිසියට පවසයි. මෙය රාජකන්නු පිළිබඳ සැකය තවත් තීව්‍ර කිරීමට හේතුවක් වේ.
සිය බිරිය බැලීමට ගමට එන රාජකන්නු පොලිසියට කොටු වේ. පොලිසියට රැගෙන යනු ලබන ඔහුට ඉතා දරුණු වධහිංසා පමුණුවමින් සොරකම ගැන ඔහු ලවා පාපොච්චාරණයක් කරවා ගැනීමට පොලිසිය නින්දිත සහ ක්‍රෑර උත්සාහයක නිරත වේ.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ අපේක්‍ෂාව වන්නේ අහිංසකයකු හෝ සොරකමට අල්ලා දී උසස් වීමක් ලබා ගැනීම ය. කෙසේ හෝ වේවා, මේ සිදුවීම් දාමය අවසන් වන්නේ රාජකන්නු පොලිස් අත්අඩංගුවේ සිටිය දී අබිරහස් ලෙස අතතුරුදන් වීමෙනි. ඔහුට සිදු වූයේ කුමක්ද?
දෙමළ සිනමාවේ මෑත කාලයේ නිර්මාණය වූ විශිෂ්ටම සිනමාපටයක් ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලබන ‘ජායි භිම්’ චිත්‍රපටයේ කතා පුවත ඉදිරියට යන්නේ මේ ආකාරයෙනි. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ දෙමළ චිත්‍රපට නරඹන ප්‍රේක්‍ෂකයන් අතර ඉතා ජනප්‍රිය රංගන ශිල්පියකු වන සූර්යා ය.
ඉන්දියානු ජනයා පෙළන සමාජ අසාධාරණ, විෂමතා, සූරාකෑම්, ගතානුගතික සංස්කෘතික සම්ප්‍රදායන් ආදියට එරෙහිව කැරලි ගසන සිනමා නිර්මාණ මෙකල එරට සිනමාව තුළ නිතර බිහිවන බව රහසක් නොවේ. ‘ජායි භිම්’ ද මෙම සිනමා ධාරාවට අයත් වන්නා වූ නිර්මාණයක් ලෙස නොමසුරුව හැඳින්විය හැක්කකි.
පොලිස් අත්අඩංගුවේ සිටියදී රාජකන්නු අබිරහස් ලෙස අතුරුදන් වීමෙන් පසු ඔහුගේ ගැබ්බර බිරිය දැඩි ලෙස අසරණ වේ. කෙසේ හෝ වේවා, වාමාංශික දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු හරහා ඇයට මානව හිමිකම් නීතිඥයකු වන චන්ද්‍රෘ හඳුනාගන්නට ලැබේ. සූර්යා රඟපාන්නේ මෙම චන්ද්‍රෘගේ චරිතය යි.
එයින් පසු කතා පුවත විකාශනය වන්නේ රාජකන්නුට සැබැවින්ම සිදු වූයේ කුමක් ද යන්න සොයා ගැනීමටත්, එය ඔප්පු කිරීමටත්, ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීමටත් චන්ද්‍රෘ සහ සෙන්ගනි ගන්නා උත්සාහය හරහා ය.
මේ ඔස්සේ පොලිසියට, නීති කේෂ්ත්‍රයට, දේශපාලනයට අරක්ගත් දූෂිත අධම බව පිළිබඳ, මෙම ආයතන විසින් සැබැවින්ම ආරක්‍ෂා කරනු ලබන්නේ වින්දිතයන් ද නැතහොත් අපරාධකාරයන් ද යන්න පිළිබඳව, ධනය, බලය, කුලවාදය බඳු සාධක විසින් මෙම ආයතනවලට කරනු ලබන බලපෑම පිළිබඳ නිර්දය ලෙස නිරුවත් කර ප්‍රේක්‍ෂකයා හමුවේ හෙළිදරව් කිරීමට ‘ජායි භිම්’ සමත් වේ.
ඉන්දියාව යනු දිළිඳුභාවය, කුලභේදය, ජාතිවාදය, පුරුෂාධිපත්‍යය, ලිංගික ප්‍රචණ්ඩත්වය, නූගත්කම, ප්‍රතිගාමී සංස්කෘතික සම්ප්‍රදායන් ආදී බොහෝ විෂමතාවන්ගෙන්, අගතීන්ගෙන් පිරුණු රටක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
තමුන් පෙළන මෙවැනි කාරණා ගැන ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ඔවුන් තුළ මේවා ගැන අවදිබවක් ඇති කිරීම සඳහා, ඒවාට එරෙහි පෙලඹවීමක් සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිනමාව වැනි මාධ්‍යයකට කළ හැකි මෙහෙවර පිළිබඳව එරට සිනමාකරුවෝ ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. ඉන්දියාව තුළ සිනමාව යනු අතිශයින් ජනප්‍රිය සහ ජනතාවට බලපෑම් කළ හැකි මාධ්‍යයක් නිසා ඒ ඔස්සේ කළ හැකි මෙහෙවර අවතක්සේරු කළ නොහැක්කකි.
මේ ගැන හොඳින් දැනුම්වත්ව සිටින සිනමා කලාකරුවෝ මෙකල එබඳු ඉදිරිගාමී නිර්මාණ වැඩි වැඩියෙන් බිහි කරමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ.
‘ජායි භිම්’ ද දකුණු ඉන්දියානු සමාජයේ අද්දරට තල්ලු කරනු ලැබ සිටින අව වරප්‍රසාදිත ජන කොට්ඨාසයකට විඳින්නට සිදුවන පීඩා, අසාධාරණ, සූරාකෑම්, ප්‍රචණ්ඩත්වයන් ආදිය පිළිබඳ පොලිසිය වැනි ආයතනවලට අරක්ගත් අගතීන් පිළිබඳ ව්‍යක්ත ලෙස සාකච්ඡා කරන සිනමාපටයකි.
ටී. ජේ. ඥානවේල් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ජායි භිම්’ විචාරකයන්ගේ නොමද අවධානයට ලක් වූ සිනමාපටයක් වූ අතර එය මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී ඉන්දියාව නියෝජනය කිරීම සඳහා ද තෝරාගනු ලැබිණි.
කෙසේ හෝ වේවා, මෙම සිනමාපටය නිසා සූර්යාට සහ ඔහුගේ බිරිය වන ජෝදිකා ට බොහෝ හිරිහැරවලට මුහුණ දෙන්නට සිදුවිය. ‘ජායි භිම්’ නිෂ්පාදනය කරන ලද්දේ ඔවුන් දෙදෙනාට අයත් චිත්‍රපට සමාගමක් විසිනි.
චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී ඉන්දියාවේ වන්නියාර් නමැති තවත් ජන කොට්ඨාසයකට අයත් සංවිධානයකින් ඊට එරෙහිව විරෝධතා මතුවන්නට විය. ‘ජායි භිම්’ චිත්‍රපටයේ ගුරුමූර්ති නැමැති චරිතයක් වන අතර රාජකන්නු අත්අඩංගුවට ගන්නා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔහු යි.
ඔහු අතිශයින් දරුණු සහ දූෂිත නිලධාරියෙකි. ඉහත කී වන්නියාර් සංවිධානයේ විරෝධයට හේතු වූයේ ඔහුගේ කාමරයේ එල්ලා ඇති කැලැන්ඩරයක දක්නට ලැබෙන සංකේතයකි.
එය ගිනිදැල් නඟින බඳුනක රූපයකි. වන්නියාර් සංවිධානය පැවසුවේ මෙය ඔවුන්ගේ ජන කොට්ඨාසයේ සංස්කෘතික සංකේතයක් බවයි.
ක්‍රෑර, දූෂිත පොලිස් නිලධාරියකු තම ජන කොට්ඨාසයට අයත් කෙනකු ලෙස පෙන්වීමෙන් වන්නියාර් සමාජයට අපකීර්තියක් අත්වන බවට ඔවුහු තර්ක කළහ.
මෙම පොලිස් නිලධාරියාට ගුරුමූර්ති යන නම දීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විරෝධයක් පළ විය.
එහිදී ඔවුන් පැවසුවේ එයින් තම සංවිධානයේ නායකයකු වන කාදුවෙට්ටි ගුරු ට අපහාසයක් වන බවකි.
මෙම අපහාසවලට වන්දි වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 5 ක මුදලක් ඉල්ලා සිටීමට ද ඉහත සංවිධානය කටයුතු කළේය. එපමණක් නොව එම සංවිධානයේ නායකයකු පවසා තිබුණේ සූර්යාට ශාරීරිකව හානි කරන ඕනෑම කෙනකුට ඉන්දියානු රුපියල් ලක්‍ෂයක තෑග්ගක් පිරිනමන බවයි.
මෙම තත්ත්වය තුළ චෙන්නායි හි පිහිටි සූර්යාගේ නිෙවසට පොලිස් ආරක්‍ෂාව පවා ලබා දීමට සිදු විය.
කෙසේ හෝ වේවා, මෙම අපූරු සිනමාපටයට එරෙහිව මතු වූ මෙම තර්ජනය හමුවේ සිනමා ක්‍ෂේත්‍රයේ සහෝදර ශිල්පීහු, විචාරකයෝ මෙන්ම රසික රසිකාවියෝ ද විශාල පිරිසක් ‘ජායි භිම්’ වෙනුවෙන් පෙනී සිටින්නට පෙරට ආහ.
නිහාල් පීරිස්