
ඇතැම් පවුල් අතර ඇති නොහොද නෝක්කාඩුවල අවසන් ඵලය වන්නේ ජීවිත වලින් වන්දි ගෙවීමයි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වුයේ ඉකුත් 30 වැනිදා රාත්‍රියේ නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයෙනි. ඒ අඹු සැමි ආරවුලක් හේතුවෙන් බිරිය හා බිරියගේ සොහොයුරා මරා දමා සැමියා ද තියුණූ ආයුධයකින් සිය ගෙල කපා ගැනීමේ සිද්ධියයි. මෙම සිදුවීම හේතුවෙන් ඝාතනයට ලක්වුයේ නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩි.එම්.අනුර සම්පත් (33) හා ඩී.එම්. අනුෂා කුමාරි නැමති සොහොයුරා හා සොහොයුරියයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු නවගත්තේගම පොලිසිය විසින් 30 වැනිදා රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබිණ.
ඝාතනයට ලක්වු කාන්තාවට වයස අවුරුදු 4ක කුඩා දරුවකු සිටින බවත් මරණයට පත්වූ සොහොයුරාට වයස අවුරුදු 14 ක දරුවෙක් සිටින බවත් පොලිසිය පැවසුවේය. කලක සිට පැවති මෙම පවුල් ආරවුල හේතුවෙන් අඹු සැමියන් වෙන්ව වෙන්ව ජීවත් වූහ.
ඝාතනයට ලක්වු කාන්තාවගේ ගම් ප්‍රදේශය නවගත්තේගම මුල්ලේගමයි. ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූවාය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී එහි සේවය කළ ඝාතනයට සම්බන්ධ සැකකරු සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වූ ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව කාන්තාවගේ නිවෙස පිහිටි මුල්ලේගමට පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර හයකට පමණ පෙරය. ඝාතනවලට සම්බන්ධ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
![]() |
සිද්ධියට මුල් වූ නිවෙස |
එක වහලක් යටට පැමිණීමෙන් පසු කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා අතර නිතර නිතර අඩදබර ඇතිවී ඇත. ඒ හේතුවෙන් දෙදෙනාගේ නම් පොලිස් පොතේ සටහන් වූ වාර සංඛ්‍යාව අනන්තය. අවසානයේ ආණමඩුව අධිකරණයේ දික්කසාද නඩුවකින් මේ අවනඩුව කෙළවර විය. ඉන්පසු දෙදෙනා ජීවත් වූයේ සිය ගම්වල පිහිටි නිවෙස්වලය. ඝාතනයට ලක්වූ කාන්තාව මැටි ආශ්රිත කර්මාන්තය පවත්වා ගන්නා ස්ථානයක සේවය කරමින් තම කුඩා දරුවා සමඟ ජීවිතය ගෙන ගියාය.
දික්කසාද නඩුව විභාග වෙමින් තිබියදී ඉඳහිට දෙදෙනා අතර දුරකථනයෙන් උණුසුම් වචන හුවමාරු වීම ද සිදුවිය. මෙසේ ඉකුත් 30 වැනි දින ඇති වූ සිද්ධියක් මුල් කරගෙන දැඩි ලෙස උරණවු සැකකරු 30 වෙනි දින රාත්‍රී 11.00ට පමණ කාන්තාවගේ නිවෙසට හොර රහසේ පැමිණ වහලයට නැඟ එහි සෙවිළි තහඩු සූක්ෂම ලෙස ඉවත් කර නිවෙසට ඇතුළු වී ඇත.
එම අවස්ථාවේ කාන්තාව බියට පත්ව ඔහු හඳුනාගත නොහැකිව හොරෙක් නිවෙසට පැමිණි බව කියා කෑගැසීමත් සමඟ සැකකරු එක්වරම තියුණු ආයුධයකින් බිරිය කපා ඇයට බරපතළ තුවාල සිදු කර ඇත. එයින් ඇතිවූ වේදනාවත් සමඟ ඇය විලාප නඟද්දී ඒ හඬ ඊට යාබද නිවෙස් සිටි ඇයගේ සොහොයුරාට ඇසිණ. නැඟණියගේ කෑගැසීම අසා සොහොයුරා ඇයගේ නිවෙසට පැමිණීමත් සමඟම සැකකරු සැඟව සිට එම ආයුධයෙන්ම සොහොයුරාට ද පහර දී ඇත. සැකකරු එල්ල කළ පිහි පහරවලින් බරපතළ ලෙස කැපුම් තුවාල සිදුවූ සොහොයුරා හා බිරිය නිවසින් පිටතට දිව විත් ඇති නමුත් නැවත නැවතත් සැකකරු විසින් දිගින් දිගටම ඔවුන්ට එල්ල කළ පිහි පහරවලින් දෙදෙනාම අඩපණ වී ලේ වැගිරෙමින් මිදුලේ ඇද වැටී තිබේ. මේ අතරතුර නැඟණියගේ කෑගැසීමේ ශබ්දය අසා ඇයගේ නිවෙසට ගිය තම සැමියා යළි නොපැමිණීම ගැන බලන්නට සොහොයුරාගේ බිරිය ද ඒ නිවෙසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ ඝාතතයා සැඟවී සියල්ල බලාගෙන සිට ඇති අතර, සොහොයුරාගේ බිරිය නිවෙසේ නිදා සිටි නැඟණියගේ කුඩා දරුවා නිවෙසින් පිටතට ගැනීමත් සමඟ සැකකරු ඇය පිටුපස ද එළවාගෙන විත් පිහි පහරක් එල්ල කර ඇතත් ඇයට එයින් බරපතළ හානි සිදුවී නොමැත.
![]() |
ශෝකයට පත් වූ ඥාතීන් |
ඒ සමඟම සොහොයුරාගේ බිරිය විලාප තබමින් කෑගැසීමත් සමඟ අසල්වැසියන් පැමිණ සොයා බැලීමේදී නිවැසි කාන්තාව ලේ විලක් මත වැතිරී මිය ගොස් ඇති බව වටහා ගැනීමෙන් පසු බරපතළ කැපුම් තුවාල ලබා සිටි ඇයගේ සොහොයුරා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇත. තත්ත්වය අසාධ්‍ය වීම නිසා පසුව ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මරණයට පත්ව තිබිණි.
සිද්ධියෙන් සුළු වේලාවකින් පසු එම ස්ථානයට පැමිණි නවගත්තේගම පොලිසියේ නිලධාරින් විසින් ඝාතනය සිදුකළ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්ව සිටි බිරියගේ දේහය අසල ඔහු ගෙල කපාගෙන වැතිර සිටියදීය.
පොලිසිය වහාම සැකකරු පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට කටයුතු කළ අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරිහු සදහන් කළහ.
සිද්ධිය සම්බන්ධව පුත්තලම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහ ගේ උපදෙස් මත ආණමඩුව සහකාර පොලිස් අධිකාරි එච්.එම්.සී.පී හේරත් ගේ මෙහෙයවීමෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ටී.බි.සී .පැතුම් කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.කේ .දිසානායක ඇතුළු නිලධාරින් පිරිසක් විමර්ශන කටයුතු සිදු කළහ.