විසිවැනි සියවසේ මානව හිතවාදියාගේ චරිතය | Page 2 | සිළුමිණ

විසිවැනි සියවසේ මානව හිතවාදියාගේ චරිතය

නිහාල් වීරසිංහ

කෘතිය - මානව හිතවාදියෙකුගේ කතාවක් 
පරිවර්තනය - නිහාල් වීරසිංහ 
සුභාවි ප්‍රකාශනයකි 
මිල - රු. 450 
විමසීිම් - 071 292 2714 

විසිවන සියවස ආරම්භ වන්නේ සාම්ප්‍රදායික මෙන්ම දිරාපත් වෙමින් පැවති දේශපාලන බලාධිකාරයන්හි මූලස්ථාන බිමට සමතලා කරමිනි. 1917 ඔක්තෝබර් විප්ලවය සාම්ප්‍රදායික රුසියානු සමාජයට ලබා දුුන් අත්දැැකීම ඊට උදාහරණයකි. සියවස මැද භාගයේදී චීන විප්ලවය සිය ජයග්‍රහණය අත්පත් කර ගන්නේ ලංකාවට වඩාත් සමීප ගොවි සංස්කෘතික අත්දැකීම් ද සමඟ ය. සමාජ සංස්කෘතික වශයෙන් අපට සමීප නොවුණත් කියුබන් විප්ලවයේ කස්ත්‍රෝ සහ චේ ගුවේරාගේ දේශපාලන කියවීම් අදටත් අප රටේ පොදු දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් නොවී පවතින බව අමුතුවෙන් කිය යුතු නොවේ. මේ ආකාරයටම විසිවන සියවස පුරාම අප දකින පොදු චිත්‍රය වන්නේ පැරණි අධිපතිවාදි මතවාද සහ අධිකාරයන් පරාජයට පත් කරමින් ඉදිරියට එන විප්ලවීය නව අදහස් හා මතවාදයන් ය.

නමුත් මේ විප්ලවීය ජයග්‍රහණ පසුබිමේ මතුවන නායකත්වයේ චරිත පැරණි යුද සටන් අතරින් මතුවුනු හුදෙක් යුදකාමය හා බැඳුණු වීරත්වයේ චරිත හා කොයි ආකාරයෙන්වත් සමාන නොවේ. ඊට හේතුව මෙම නායකත්ව චරිත මානව හිතවාදි ගුණය නිතරම ප්‍රකාශයට පත් කළ චරිත වශයෙන්ම සනිටුහන් වීම යි. විසිවන සියවසේ විශේෂත්වය ද එයම යි. රුසියාවේ ලෙනින් සිය නායකත්වය තුළ පවත්වා ගෙන ගිය ඒ මානව හිතවාදි ගුණය, මූලික වශයෙන් ගොවීන්ගේම අරගලයක් ලෙසින් මතු වූ චීන විප්ලවය තුළදි මා ඕ ගොවීන් සමඟ පැවැත් වූ සංවේදී මානවීය ඇසුර මෙන්ම කස්ත්‍රෝගේ නායකත්වය තුළ චේ වෙතින් පළවූුූ මානව දයාව මේ සඳහා දිය හැකි ප්‍රකට උදාහරණ කිහිපයකි. ඒ ආකාරයට තහවුරු වූු මානව හිතවාදය, ප්‍රංශයේ ආක්‍රමණයට ලක්වුණු පසුබිමක අමෙරිකානු යුද තන්ත්‍රයටද ගොදුරු වූ වියට්නාමයේ නිදහසට මහත් සේවයක් කළේ ය. ඒ අනුව බටහිර යුද ශක්තිය තිගස්සවමින් අවසානයේදී ඔවුන්ව සිය භුමියෙන් පලවා හරින්නට ශක්තිය ලබා ගත්තේ ද හෝචිමින් වැනි නායකයින්ගේ ජනතාව මුල් කොට ගත් මානව හිතවාදි ගුණය නිසා ය.

විසිවන සියවස තුළින් මතු වූ මේ මානව හිතවාදියා නම් චරිතය මේ ආකාරයට දේශයන්හි අභිවර්ධනය වෙනුවෙන් සිදු කළාවූ කැප කිරීම් නිසා ඒ රටවල ජනතාවාදි දේශපාලන ජයග්‍රහණ සාර්ථක වූ බව පැහැදිලි ය. මෙහි විශේෂත්වය වන්නේ එම මානව හිතවාදියා දේශ සීමා හෝ ජාතිකත්ව මායිම්වලින් තොරව සිය කාර්යභාරය ඉටු කිරීමට කැප වීමයි. නිහාල් වීරසිංහගේ “මානව හිතවාදියකුගේ කතාවක්” නම් කෘතියේ එන වෛද්‍ය නෝමන් බේතුන්ගේ චරිතය ඉහත කී තත්වයට කදිම නිදසුනකි. කැනේඩියානු ජාතික ශල්‍ය වෛද්‍යවරයකු වූ ඔහු අදටත් චීන ජනතාවගේ මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ගෞරවය දිනාගත් අයෙකු වේ. ඊට හේතුව ජපන් ආක්‍රමණය හමුවේ සිය දේශයේ විමුක්තිය වෙනුවෙන් දේශප්‍රේමි අරගලයක යෙදුණු මහජන විමුක්ති හමුදාව සමඟ යුධ පෙරමුණේ සිටිමින් ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ඔහු කළ සේවය යි. එමෙන්ම කැප කිරීම යි.

දැඩි ආගමික පසුබිමක් යටතේ හැදුණු වැඩුනු සාමාන්‍ය දරුවෙකු මෙන් දඟකාර මුරණ්ඩු ජීවිතයක් ගත කළ ඔහු පසුව ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතයට මුහුණ දෙන්නේ ඉහත පෙන්වා දුන් විසි වන සියවස තුළදී ය. එම සියවසට ආවේණික අයුරින්ම ජනතාවාදි සංවේදිතාවක් ඇති මිනිසකු වූ ඔහු ආත්මාර්ථකාමි සමාජ පැවැත්මක් වෙනුවෙන් සිය වෘත්තීය ජීවිතය යොමු නොකළ අයෙකු වූ තරමටම තමන්ගේ නිජබිම නොවූ භුමියක ජනතාවකට එරෙහිව ආ අධිරාජ්‍යවාදි ආක්‍රමණයකට විරුද්ධව සිය ජීවිතය සහ වෘත්තීය පැවැත්ම එක ලෙසින් කැප කළ අයෙකු වූයේ ය.

වෛද්‍ය නෝමන් බේතුන්ගේ මෙම චරිතාපදානය ෂූ අර්ෆු නම් චීන ලේඛකයා විසින් ලියන ලද්දකි. ඔහුගේ එම ලිවීම තුළ මේ මානව හිතවාදි චරිතයේ කැපවීම මෙන්ම වෛද්‍ය නෝමන් වෙතින් පළවූ දේශ සීමා ඉක්මවා ගිය පරිත්‍යාගශීලිත්වය ප්‍රබල ලෙසින් මතුවී ඇත.

අපට ආගන්තුක චරිතයක් වුවත් වෛද්‍ය නෝමන් බේතුන්ගේ මෙම පරිත්‍යාගශීලි ජිීව ගුණය සමාජ කියවීමක් වශයෙන් මෙන්ම දේශපාලනික විවරණයක් හැටියට ද පොදු පාඨකයා අතරට පත්වීම අගය කළ යුත්තක් වේ.

Comments