කවියට ආනන්දයක් වූ කවියා ආනන්ද රාජකරුණා | සිළුමිණ

කවියට ආනන්දයක් වූ කවියා ආනන්ද රාජකරුණා

නන්ද රාජකරුණා නම් අප සුප්‍රකට කවියාගේ නෙක අරුත් දෙන මේ කවි දෙපදය ඇසෙන වාරයක් පාසා හදවත සාංකාවකින් පිරී යයි. ගස් මල් බිහි කරයි. සුළඟ විත් ඒ මල් සුවඳ පතුරුවා හැර බඹරුන්ට පැණි තිබෙන ඉසව් ගැන ඉඟි කරයි. මල උපද්දවන්නට අනේකවිධ වෙහෙස දැරූ ගස ගැනවත්, ඒ ගසට වැඩෙන්නට ඉඩ හසර සලසා දුන් මහපොළොව ගැනවත් හාංකවිසියක හෝ වගක් නොමැතිව බඹරා මල් පැණි රිසි සේ බොයි. මලේ සාරය උරාගත් විගස බමරා තනියෙන් නික්ම යන්නේ මලට ද නොකියා ය. එහෙත් බඹරා මල් පැණි බොන්නේ නම් මල නොතළා ය; ඒ සොබාදහමේ විදිය ය. ජීවන චක්‍රයත් එසේ ම ය. බිහි කරන්නට වෙර දැරුවෝ පසක සිටියදී වෙනත් අය ඵල ප්‍රයෝජන ලබති. ලෝකයේ හැටි එහෙමය. නිර්මාණකරුවෝ ද එපරිදි ය.

ඒ අපමණ මෘදු හදවත ඇත්තා ආනන්ද රාජකරුණා කවියා ය. පද හතරකින් මුළු මහත් සමාජයත්, නිර්මාණකරණයත් අතැඹුලක් සේ පිරිසිඳ දුටු හේ සොබාදහමෙන් ආභාසය ලබන්නේ ද මල නොතළා පැණි ගන්නා සමනලයකු සේ ය.

මේ කවියා කවි පද දෙකකින් කියූ දේ විස්තර කරන්නට අපට වචන සියක් පමණ අවශ්‍ය වන්නේ ය. කවියා සූක්ෂාත්ම ව වචන ආත්ම කොට ගත්තා ය යන්න නිවැරදි වන්නේ ඒ නිසා ය. එහෙත් කවිය නමැති මලෙහි නම් මලත්, පැණිත් දෙක ම ලැබෙන්නේ සහෘදයාට ම ය.

කවියකුට තමාගේ කවියක් යුග යුග ගණන් හා පරම්පරා ගණන් මුවඟ කියැවෙන්නේ නම් ඒ තරම් වාසනාවක් නැත. එ් මුවඟ මතකයෙන් මිමිණෙන සමහර කවි පද ලියූවේ කවුදැයි කියා නොදන්නා රසිකයෝ ද වෙති. නිර්මාණකරුවාට අවැසි තම නම නොව තම නිර්මාණය කෙතරම් ජනගත වී ද යන්න ය. එය ඕනෑ ම නිර්මාණකරුවකුගේ අහිංසක ප්‍රාර්ථනාවකි. එකී වාසනා ගුණය ලද්දෙක් වන ආනන්ද රාජකරුණා කවියා ලියූ සමහර කවි පද අදත් දරුවන්ගේ පමණක් නොව දරුවන් නළවන්න වැඩිහිටියන්ගේ මුවගේ ද මිමිණෙනු ඇසීම කෙතරම් වාසනාවක් දැයි ඔබට අලුතෙන් කිව යුතු නැත.

රෝස මලේ නටුවෙ කටූ 
වන බඹරෝ ඔහොම හිටූ 
නටුව නොවේ මල සිඹිමි 
මම ළමයෝ පැණි උරමි 

කවියා මේ කියන්නේ මලත්, පැණිත් දෙක ම සහෘදයාට හිමි වූ කල කවියාට ඉතිරි වන්නේ නටුවේ ඇති කටු පමණක් බව ය. කටු ඇනගෙන හෝ මලක් බිහිකරන්නට හැකි නම් කවියාගේ සතුට එයයි. කවියාට අවැසි වන්නේ අපමණ මිනිස් ගුණයෙන් මුදු මොලොක් වුණු තමාගේ ම හදවත ය.

තවත් කරුණක් වෙයි. කවියාද මලක් වැනි මැ යි. මලෙහි සුවඳ කිසිවකුටත් අයිතිකර ගත නොහැකි ය. කෙතරම් උරා ගත්ත ද මලෙහි සුවඳ තව තවත් ඉතිරි වෙයි. අනුන්ට සුවඳ කෙතරම් දුන්නද, ඒ සුවඳ තමා ළඟ ද රඳවා ගන්නා අයුරු මල දනියි. කවිය ද එසේ ම ය; සුවඳ වන් එහි අරුත එහි ම ඉතිරි වෙයි. මලෙහි සුවද පරිද්දෙන් ම කවියෙහි අරුත ද එහි ඉතිරි වෙයි. එබැවින් කවුරු කෙසේ විවිරණ කළත් කවියේ අරුත දන්නේ කටු ඇනගෙන කවිය බිහි කළ කවියා ම පමණි. ආනන්ද රාජකරුණා ද එවන් කවියෙකි. හේ අනුන් ට කෙතරම් සුවඳ දුන්න ද තමා ළඟ ද ඒ සුවඳ තවතවත් රඳවා නැවතත් එය ප්‍රධානය කරන මලක් සදිසි ය.

ආනන්ද රාජකරුණා පසිඳු හිටිවන කවියෙකි. හේ ආභාසය ලැබූයේ මාතර යුගයේ ජනප්‍රිය කවියකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේ සිලෝ කාව්‍යයෙන් යැයි කියවේ. සරල හා කටබසට බෙහෙවින් සමීප ජනකවි බසෙන් පොදු ජනයා වෙනුවෙන් කවිකම් කරන්නට ඔහු රිසියෙක් විණි. පුරාතනයත් නූතනයත් එක්තැන් කළ කවියකු වූ ආනන්ද රාජකරුණා මේ කිසිවක ගැතියකු නොවී සිය ආරක් බිහි කර ගත්තේ දන මන සවිඥානික කිරීමේ භාෂා පෙළහර පිළිබඳ අවබෝධයෙනි. ළමා ගී හා කවි පැබැඳුමේදී හේ බෙහෙවින් සුරු ව දරුවා අවට පරිසරයෙන් නිදසුන් ගෙනහැර පාමින් දෙබස් කථනයක් සිහියට නැංවෙන අපූරු ලාලිත්‍යවත් බසකින් ලියූවේ ය. ඔහු ගියේ ජී.එච්.පෙරේරා හා එස්.මහින්ද හිමි ගිය මඟ ය. ජාතිභිමානය, පාරම්පරික සාරධර්ම, අතීත ශ්‍රී විභූතිය, රට ජාතිය හා ආගම වෙනුවෙන් කැපවීම, අධිරාජ්‍ය විරෝධී ආකල්පයෙන් යුතුව සිංහලයාගේ ඉංග්‍රීසි අනුකරණයට දැඩි සේ එරෙහිකම් පෑම වැනි ලක්ෂණ ඒ කවිවලට ආගන්තුක නොවීය.

සිරිලක කවිකෙත අස්වද්දන්ට ඔහු කැපවූයේ දරු නැළවිල්ලේ සිට ජාතික අනන්‍යතාව ගොඩනැංවීම සඳහා වන පරාසයක් ඇතුළත ය. තම උප්පැන්නේ සඳහන් නාමය වන ඇල්ෆඩ් යන්න ආනන්ද ලෙස හේ වෙනස් කර ගන්නේ මේ පෙලඹවීම නිසා ය. පියදාස සිරිසේන, එස්. මහින්ද හිමි ඇතුළු සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙන් නිදහස් අරගලයට පණ දුන් පෑනේ විරුවන් අතර ආනන්ද රාජකරුණා නාමය ද මුල්පෙළේ කියවේ. ඔහුගේ කාව්‍ය මෙහෙවර අගයනු වස් වස්කඩුවේ ශ්‍රී විභූති හිමිපාණන් ප්‍රමුඛ සංඝ සභාවක් විසින් ශ්‍රී රූපදේව කවීන්ද්‍ර නම් ගරු නාමය ඔහුට පිළිගැන්විණි. ලංකාවේ කවියකු සඳහා හිමි වූ ප්‍රථම ගෞරව සම්මානය එය බව කියැවේ.

ළමා කාව්‍යකරණය ඔහුගේ කවියේ සුවියත් ලකුණ යැයි කිවහොත් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත. ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල, ළදරු කව් මී, රුක්මාවතී කතාව, ආනන්ද ගී, ආනන්ද චම්පු, නමෝ තේ මාතා, කැලණි නෙත, ලංකාඩම්බරය, රජසිරිත් මාලය, උද්‍යානය, සිංහල කොඩිය, කව්රස බඳුන, ළදරු කව් මඟ, ජාතික මඟුල් පඬුර, ජාතික බයිලා සින්දු හා සම්බුද්ධායනය මීට නිදසුන් ය. මේ කාව්‍ය සමුච්ඡයට ළදරු ගී පොත් 7ක්, ළමා කවි පොත් 7ක්, ළඳරු කවිමඟ පොත් 7ක් ඇතුළත් ය. මීට අමතර ව හේ ගද්‍ය, පද්‍ය, චම්පු, නවකතා, නාට්‍ය, ව්‍යාඛ්‍යාන, පරිවර්තන හා ළමා පොත් පනහකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇත. නන්දාවතී හෙවත් රහස් අනුශාසකයා හා වාසනාවන්ත ගෙදර හෙවත් වසන්තාගේ ප්‍රථම ජයග්‍රහණය ඔහු විසින් රචිත නවකතා ද්විත්වයයි. කුමරි බඹසර, දොන් කොස්මෝ චරිතය හා උතුවන්කන්දේ සරදියෙල් ආදී වශයෙන් හේ නාට්‍ය කිහිපයක් ද රචනා කර ඇත.

පක්ෂී භාෂාව නම් ආනන්ද රාජකරුණා රචිත ළමා පද්‍ය රචනය වෙන්ව ගන්නට තරම් සුවිශේෂි අනන්‍යතා ලක්ෂණ සහිත වූවකි. පක්ෂීන්ගේ නාද මාලාවෙහි පවත්නා විවිධත්වය හා ඒවායේ පවත්නා අවස්ථාවෝචිත විවිධාර්ථ ළමා ලොව අබියස ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අභිප්‍රායයි. ඒ සඳහා ඔහු පක්ෂීන් විවිධ අවස්ථාවන්හි හා විවිධ පාරිසරික තත්ත්වවලදී පවත්නා වෙනස්වීම්වලට අනුව නාද කරන අයුරු හා එයින් මතු කෙරෙන විවිධාර්ථ විෂය කර ගනියි. උපමා රූපක කිසිවක් යොදා නොගෙන්නා කවියා ස්වභාවෝක්තියේ ම පිහිටා මවන සෞන්දර්ය අනන්ත ය; අපරිමිත ය. පක්ෂී චලන සේම නාදය හේ ගුරු කර ගනී. පක්ෂියා විදාරන්නට ඔහු භාවිත කරන්නේ මානුෂීය හැඟීම් ය. එයින් කුළු ගැන්වෙන දරුවා පක්ෂියා සිය ජිවිතයේ කොටසක් යැයි අනුදනියි. තමා සේ ම තවත් ජීවියකු බව සිතයි. පුනරුක්තිය විසින් යොදන අලංකරණ කවියාගේ භාෂාත්මක ගැඹුර සේම නිර්මාණාත්මක බව ද විශද කරයි. ජගණ, තගණ, ජගණ, රගණ පිිළිවෙළින් යෙදෙන වංශස්ථ විරිත යොදා ගෙන සිලෝ ආකෘතියට අනුව පාද බෙදා ඇති මෙම නිර්මාණය ළමයාට තාලයකට කියවිය හැකි ය. සොබාදහම සහ මිනිසා දෙකක් නොව එකක් ම ය යන්න ඔහුගේ නිර්මාණ ඇසුරේ පෙනෙන ලකුණකි. දරුවා ගනුදෙනු කරන්නේ සොබාදහම සමඟ ය. එක තැනකදී ඔහු දරුවන් වෙනුවෙන් කවි ලියන්නේ බමරකු හා දරුවා ඇතිවන සංවාදයක් පරිද්දෙනි. තවත් විටෙක එය රෝසමල හා නටුව වෙයි. ටිකිරි ටිකිරි ටිකිරි ලියා, අම්බලමේ පිනා පිනා වැනි කිසිදාක නොමියෙන සුප්‍රකට ළමා කවි ඔහු අතින් ලියැවෙන්නේ දරුවන්ගේ ලෝකයේ විචිත්‍රත්වයත් ඔවුන්ගේ මනසේ ස්වභාවයත් මනාසේ හඳුනා ගනිමිනි. මේ සියල්ල ඔහු ගන්නේ අවට පරිසරයෙනි. පසුකාලීන බොහෝ කවියෝ ඔහුගෙන් ආභාසය ලබති; ඒ මඟ යති.

1934 දී පබැදු ‘ජාතික දරු නැළවිල්ල’ නම් කෘතියට කවි 50ක් ඇතුළත් විය. මෙය බෙදා හැරුණේ නොමිලේ ය. දරුවාගේ මනසේ දේශානුරාගය ඇතිකරනු වස් රචිත මේ කවි ඒ යුගයට අවැසි ම වූවකි.

ජාතික ගති පණ පොවන්ට 
නව ජීවන රස කවන්ට 
සිංහල නම බබළවන්ට 
සිය රට දැය පුබුදුවන්ට

මේ මඟ යමින් බිහි වූ බොහෝ කවියෝ සේම කවි පන්ති ද වෙති. එහි පුරෝගාමී මෙහෙවර සිදුවන්නේ ආනන්ද රාජකරුණා කවියාගෙනි.

ආනන්ද රාජකරුණා කවියකු සේ ම පුවත්පත් කලාවේදියකු ද වෙයි. කෙටිකලක් ගුරු වෘත්තියේ යෙදුණු හේ පසුව සිංහල බෞද්ධයා පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයට බැඳෙයි. ඉන්පසු සිංහල සමය පුවත්පතේ ද, බෞද්ධයා යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරී ලෙස ද කටයුතු කර තිබේ.

ආනන්ද රාජකරුණා කවියා සිය කාව්‍ය මෙහෙවරෙන් සේ ම දේශපාලනික වශයෙන් ද ජනතාව සවිඥානික කළ යුතු ය යන ආස්ථානයේ සිටියෙකි. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සිංහල මහා සභාව ආරම්භ කරන විට එහි උප සභාපතිවරයා වූයේ ආනන්ද රාජකරුණා ය. සිංහල මහා සභාවේ පළවෙනි ශාඛාව එතුමා දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද්දේ බලපිටියේ ගොඩගෙදර තම නිවසේදී ය. මෙම අවස්ථාවට ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආදී එදා සිටි නායකයන් රාශියක් සහභාගී වූ බවට වාර්තාවල සඳහන් වේ. හේ සක්‍රිය දේශපාලනයේ දී කැපී පෙනෙන්නේ 1923 දී දකුණු පළාතේ පැවැති ප්‍රථම අතුරු මැතිවරණයේ දී ඒ සඳහා ඉදිරිපත් වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ඡන්ද සටනට දුන් නායකත්වය නිසා ය. 1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එහි ඡන්ද සටනේ යෙදුණු නායකයන් වෙනුවෙන් සිය කවි හඬ කැප කරමින් රට පුරා රැස්වීම්වල කවි කතා කියන්නට හේ පසුබට වී නැත.

ලංකාවේ ප්‍රථම වරට කවියකු වෙනුවෙන් රජය මඟින් නිකුත් කරන ලද සමරු මුද්දරය නම් වෙන්නේ ඔහුගේ නාමය හා රුව වෙනුවෙනි. කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ ද, රත්ගම මැතිවරණ කොට්ඨාසයේ ද ආනන්ද රාජකරුණා නමින් මාවතක් නම් කෙරෙන්නේ මේ කවි රජු විසින් කරන ලද කාර්යය ඇගයුම් පිණිස ය.

කවියා මතු නොව මේ ලොව නිර්මාණකරණයේ යෙදෙන සියලු ම නිර්මාණකරුවෝ සිය නිර්මාණ පාඨක සහෘදයා වෙත ප්‍රධානය කරන්නට අපමණ දුක් විඳිති. මනා සේ ලියන ලද ගද්‍ය රචනයක හැම විට ම ස්වයංජාත රිද්මයක් තිබේ. වාක්‍යයෙන් පවසන දේ ආයාසයකින් තොරව පාඨකයාට වැටහී යෑමට නම් ගද්‍ය රචනයේ වුව ද කවියක සේ රිද්මයක් තිබිය යුතු වෙයි. පාඨකයා කිසියම් ගද්‍ය ඛණ්ඩයක නැවත නැවත කියවමින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම් එය සාර්ථක රචනයක ස්වභාවය නොවේ. කවියේ ද ගද්‍යයේද ව්‍යාංග්‍යාර්ථය වෙයි. ඒ ව්‍යංග්‍යාර්ථය ද අතර සැඟවී තිබෙන්නකි. එය කෘත්‍රිම ව ඔබ්බවන්නට නොහැකිය. රිද්මය රැකෙන්නේ ලේඛකයා භාෂාව පරිහරණය කරන ආකාරය අනුව ය. එබැවින් පද්‍ය පිළිබඳ ව වන මනා නෛපුණ්‍යය නැවුම් පිවිතුරු බවක් ගද්‍යයට එක් කරයි. නිරන්තර භාවිතය නිසා හංවඩු ගැසුණු වචනවලට පවා නව ප්‍රාණයක් දීමේ හැකියාව පද්‍යවලට ඇත්තේ එබැවිනි. රෝස මලත්, රෝස මලේ නටුවේ කටුත් අපි හැමදාම දන්න කියන ඒවා ය. එහෙත් ඒවා වෙනස් අරුතකින් අප වෙත ගෙන එන්නට කවියා සමත් වෙයි. ආනන්ද රාජකරුණා කවියා සතු අසම සම රූපණ හැකියාව රසිකයා හා බද්ධ වෙන්නේ මේ වැනි අප දන්නා කියන උපමා රූපක හරහා අපට වෙන ලොවක් පෙන්වන බැවිනි. ඒ නිසා එවැනි සුලබ භාවිත පද පවා දිලිසෙන, සරුසාර වදන් සේ නව සුවඳක් විහිදුවමින් අප වෙත එයි.

ආනන්ද රාජකරුණා ඇතුළු කවීන් අප හදවත තෙමා සනහාලූයේ ස්වභාව ධර්මයෙන් ම ජීවන විවරණ ඉදිරිපත් කරමිනි. රෝස මලත් නටුවේ කටුත් ඔබ හා මා වැනි ම නොවේදැයි සිතෙන්නේ මෙවැනි සහෘදය නිර්මාණ ඇසුරේ ජීවිතය ගෙවද්දී ය.

Comments