ඉහළ යන මිලෙන් බැට කන මිනී පෙට්ටි කර්මාන්තයේ ශෝකාන්තය | Page 2 | සිළුමිණ

ඉහළ යන මිලෙන් බැට කන මිනී පෙට්ටි කර්මාන්තයේ ශෝකාන්තය

මිනි පෙට්ටි නිෂ්පා­දනය කරන ස්ථාන­යක්

පා වෙනකොට පේන, ඕන වෙනකොට නොපෙනෙන අපූරු භාණ්ඩයක් ලෙස සලකන ‘මිනී පෙට්ටිය’ ගැන කතාබහට ලක්වෙන්නේ අඩුවෙනි. සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන පසුබිමක මේ කතාව මිනීපෙට්ටි ගැනයි.

නිෂ්පාදන වියදම් අධික වීම නිසා මිනී පෙට්ටි නිසා නිෂ්පාදනය කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් මිනී පෙට්ටි මිල ද ශීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවී ඇතැයි නිෂ්පාදකයෝ පවසති.

වෙනත් කාලවලදී සතියකට තම ගම්මානයෙන් මිනී පෙට්ටි ලොරි ලෝඩ් දෙක තුනක් අලෙවි වුවද, මේ වන විට දිනකට තම ගම්මානයෙන් මිනීපෙට්ටි ලොරි ලෝඩ් දෙකක් තුනක් අලෙවි වන තරමට ඉල්ලුම වැඩිවී තිබුණද ඒ ඉල්ලුම ලබාදිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ද මිනීපෙට්ටි නිෂ්පාදකයෝ වැඩිදුරටත් පවසති.

මැල්සිරිපුර, මඩහපොල, අලි පල්ලම, ඇල්ලගාව යාය නම් වූ ගම්මානය සම්පූර්ණයෙන්ම මිනී පෙට්ටි නිෂ්පාදනය කරන ගම්මානයකි. මෙම ගම්මානයේ පවුල් 25 කට අධික ප්‍රමාණයක් සිටින අතර, එහි බහුතර ජනතාව නිවෙස්වල මිනී පෙට්ටි නිෂ්පාදනය කිරීමේ රැකියාව කාලයක සිට සිදුකරනු ලබන්නකි.

දීවයිනේ බොහෝ ප්‍රදේශවල මල් ශාලාවලට අවැසි සියලුම වර්ගයේ පෙට්ටි නිෂ්පාදනය මෙම ගම්මානයේ ජනතාව අතින් සිදුකරගෙන යනු ලබයි.

නිෂ්පාදකයෝ පවසන්නේ මීට පෙර එක් මිනී පෙට්ටියක් රුපියල් 4,500 ත් 5000 ත් අතර මුදලකට අලෙවි කළ නමුත් මේ වන විට පෙට්ටියක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 8,500 වැඩි මුදලක් වියදම් වෙන බවයි. එම නිසා මිනී පෙට්ටියක් මල් ශාලාවට ලබා දිය හැක්කේ රුපියල් දහදාහකට හෝ ඊට වැඩි මුදලකට වුවත් මල්ශාලා හිමියන් එම මුදලට මිනීපෙට්ටියක් මිලදී ගැනීම අකමැත්ත ප්‍රකාශ කරන බව ද ඔවුහු පවසති. ඒ හේතුව නිසා දැන් ඇතැම් නිෂ්පාදකයන්ට සිදුව ඇත්තේ තමා නිපදවූ පෙට්ටි නිවෙසේ තබාගෙන සිටීමටය. ඒ, පාඩු ලබමින් අඩු මුදලට මිනී පෙට්ටි අලෙවි කිරීමට නොහැකි නිසාය.

මිනී පෙට්ටි නිෂ්පාදන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු මොනවාදැයි අපි ඔවුන්ගෙන් විමසා සිටියෙමු. මිනී පෙට්ටි නිපදවීම සඳහා යොදාගන්නා ලෑලිවල සහ යකඩ භාණ්ඩවල මිල ඉහළ යෑම පමණක් නොව පෙට්ටි ඔප දැමීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ද මේ වන විට ඉහළ ගොස් ඇත. එපමණක් නොව කම්කරු කුලිය, විදුලි බලය, ඉන්ධන සඳහා ද දැන් වෙනදාට වඩා ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇත. ඒ ආකාරයට සියලුම අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම මිනී පෙට්ටි නිෂ්පාදනකරුවන්ට මරු පහරක් බවට පත්ව ඇතැයි ඔවුහු මැසිවිළි නඟති.

“පෙට්ටි හදනවාට වඩා ගෙළ වැළලාගෙන මිය යෑම සැපක්” යැයි මිනීපෙට්ටි කර්මාන්තයේ නියැළී සිටින කාන්තාවෝ දැඩි වේදනාවෙන් යුතුව පවසන්නේ එබැවිනි.

තමන්ගෙන් රුපියල් 5,500ත් 8,500ත් අතර මිලකට ලබාගන්නා මිනී පෙට්ටියක් මල්ශාලාවේදී රුපියල් 35,000 ත් 50,000 ත් අතර මිලකට අලෙවි වන බවත් එම මිල තීරණය කරන්නේ මල්ශාලාවට පැමිණෙන පුද්ගලයාගේ මුහුණ බලා ඔහුගේ ආර්ථිකය අනුව බවත් ඔවුහු පැවසුවේ දැඩි කනස්සල්ලෙනි. ඉහත කී සියලු කරුණු හේතුවෙන් තම ව්‍යාපාරයට මේ වන විට සිදුව ඇති හානිය පිළිබඳ අදහස් දැක්වූ මිනි පෙට්ටි නිෂ්පාදකයකු සුමිත් නන්ද අප සමඟ කීවේ මෙසේය. "අපේ ගමට හැමෝම කියන්නේ මිනීපෙට්ටි ගම කියලා, ඒ තරම්ම ප්‍රසිද්ධයි. ලංකාවේ හැම තැනකම වගේ මේ ගමෙන් තමයි මිනි පෙට්ටි අරගෙන යන්නේ.

ඒත් දැන් ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි තරමටම පත්වෙලා, මොකද නිෂ්පාදන වියදම ගොඩක් වැඩි වෙලා. ඒ නිසා පෙට්ටියක් අඩුම තරමේ රුපියල් දහදාහකටවත් විකුණන්න ඕනේ. හැබැයි මල් ශාලා හිමිකරුවන් ඒ මිලට පෙට්ටි ගන්න බැහැ කියනවා, අපි දන්නවා මිනිස්සුන්ටත් අමාරුයි ඒත් අපි මොකද කරන්නේ? අඩු මුදලට දෙන්න පුළුවන්.

එහෙම වුණොත් මේ ව්‍යාපාරය විතරක් නෙවෙයි, අපේ රස්සාවත් ඉවර වෙනවා. අපි මහා ලොකු මුදලක් ලාභයක් ලබන්නේ නැහැ. බලන්න අපි ජීවත් වෙන හැටි.... පවුල් විසි පහක් තිහක් මේ නිසා ජීවත් වෙනවා." ඔහු කීවේ කනස්සල්ලෙනි. මිනීපෙට්ටි කර්මාන්තයේ නියැළී සිටින චම්පා කුමාරි ඒකනායකගේ කතාව ද එවැනිම ශෝකජනක එකකි. "අපිට දැන් මිනී පෙට්ටි හදන එකත් මහ පණ යන වැඩක් බවට පත්වෙලා ,ඒ විතරක් නෙවෙයි දැන් නම් පාඩු කාලා කාලා අපිට බෙල්ලේ වැළදාගෙන මැරෙන්න වෙලා තියෙන්නේ.

බලන්න මොන තරම් දුකක් විඳිනවද? අපේ ගම්මානයේ පිරිමි, කාන්තාවෝ වගේම ගෙවල්වල ඉන්න දුවා දරුවෝ පවා මේ පෙට්ටි හදන්න මහන්සි වෙනවා. අවසානයේදී මේවා අලෙවි කරන්න තියෙන අමාරුව දන්නේ අපි විතරයි. හැබැයි මේ තත්ත්වය ඉස්සර තිබුණෙ නෑ , අද සෑම දේම මිල ඉහළ යෑම නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ."

මිනි පෙට්ටි පෙට්ටි නිෂ්පාදනය ගම්මානය හඳුන්වා දුන් ඩී.එම්. ගාමිණී වීරසිංහ ද අප සමඟ අදහස් දැක්වීය.

" මේ ගමේ මිනිස්සුන්ට රස්සාවක් තිබුණෙ නැහැ. පස්සේ මම වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා මේ කර්මාන්තය ඉගෙනගෙන ඇවිල්ල තමයි ගමේ අයට පුරුදු කළේ. අද පවුල් තිස් පහක් විතර ගමේම මිනිස්සු පෙට්ටි මඩු දාගෙන මටත් වඩා හොඳට දියුණු වෙලා තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.

මේ දවස්වල මිනී පෙට්ටිවලට විශාල ඉල්ලුමක් පවතිනවා.

නමුත් ඉල්ලුම දෙන්න විදිහක් නැහැ, නිෂ්පාදනය කරන්න බැහැ නිෂ්පාදන වියදම වැඩි වෙලා නිසා. ලෑලි ටිකවත් මිලදී ගන්න විදිහක් නැහැ. ඒ වගේම වෙනදා සතියකට අපේ ගමෙන් මිනිපෙට්ටිය ලොරි දෙකක් තුනක් විතර අලෙවි වුණා. හැබැයි මේ දවස්වල මිනිස්සු මිය යනවා වැඩියි, දවසකට ලොරි දෙකක් තුනක් දැන් විකිණෙනවා, ඒ තරමටම ඉල්ලුම හොඳටම තිබුණත් අපිට ඒ ඉල්ලුමට පෙට්ටි දෙන්න බැහැ නිෂ්පාදන වියදම වැඩි නිසා"

ඔහු කීවේ ද කනගාටුවෙනි. උතුර, නැඟෙනහිර, වයඹ, ඌව සහ සබරගමුව පළාත් ආදී පළාත් ගණනාවකට මිනි පෙට්ටි නිෂ්පාදනය කරන්නේ ඔහුගේ ගමේ උදවියයි. එහෙත් අද ඔවුනට ලබා ඇත්තේ අවාසනාවන්ත කලදසාවකි. නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල මෙන්ම ප්‍රවාහන වියදම් ද ඉහළ ගොස් තිබීම නිසා ඔවුහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

"අපි විවිධ ආකාරයේ මිනී පෙට්ටි හදනවා. කුඩා ළමයින්ට, මැදිවියේ අයට, කාන්තාවන්ට සහ මහත කෙට්ටු ආදී මිනිසුන්ගේ ශරීර ලක්ෂණ අනුව පෙට්ටි හදනවා. ඒක අපේ රස්සාව.

සාධාරණ ක්‍රවේදයක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වටපිටාවක් සකසලා දෙනවා නම් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන් වෙයි, එහෙම නැති වුනොත් වෙන්නේ මිල වැඩි කරලා අසරණ මිනිස්සුන්ට ඒ බර ලබාදෙන්න අපට බැහැ. මොකද, අපි දන්නවා මේ මිනිස්සුන්ට මොන තරම් අමාරු කාලයක්ද උදාවෙලා තියෙන්නේ කියලා. "

ඒ මිනීපෙට්ටි නිෂ්පාදනකරුවන් බහුතරය මුහුණ දෙන ප්‍රශ්නයි. මල් ශාලා හිමිකරුවන්ගෙන් ද මේ පිළිබඳ විමසීමට අපි අමතක නොකළෙමු. එහිදී මල්ශාලාකරුවන් බොහෝ දෙනෙකු කියා සිටියේ මෙම මිල ගණන් යටතේ සකසන ලද මිනී පෙට්ටි තම මල් ශාලාවට රැගෙන විත් නැවත ඒවා සැකසීම් සිදු කළ යුතු බවය. එමෙන්ම මෘතදේහ එම්බාම් කිරීම, ඇඳුම් පැලඳුම් සැකසීම, ප්‍රවාහනය කිරීම, මල් වඩම් ලබාදීම සහ අනෙකුත් සැරසිලි ආදිය ලබාදීම ද මල් ශාලා හිමිකරුවන් විසින් සිදුකළ යුතුව ඇති බවයි. ඒ සියල්ලට විශාල මුදලක් වැය වන බවත් තමන්ද විශාල පිරිවැයක් දරමින් මෙය සමාජ සත්කාරයක් ලෙස සලකා දිවා රෑ සිදු කරන බව ද ඔවුහු පැවසූහ.

ඇතැම්විට මිනී පෙට්ටි නිෂ්පාදකයන්ගෙන් අඩු මුදලට මිනී පෙට්ටි රැගෙන විත් වැඩි මුදලට පෙට්ටි සාප්පු කරුවන් අලෙවි කරනවා යැයි ඇතැම් අයකු පැවසුවද, භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා තමන් ද දැඩි අසීරුතාවට පත්ව ඇති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

මෘත දේහ එම්බාම් කිරීම සඳහා යොදා ගන්නා ලී, ඇණ වර්ග, මල් වඩම් සෑදීම සඳහා භාවිත කරන කඩදාසි මෙන්ම සුවඳ විලවුන්, මල් වර්ග සහ රෙදිපිළි මෙන්ම මල්ශාලාවලට අත්‍යවශ්‍යම වන මිනි පෙට්ටි සැරසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සියල්ලේ ද මිල ඉහළ යෑම හේතුවෙන් තම කර්මාන්තය ද හානි වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. එවැනි තත්ත්වයක් තුළ එකී සියලු වියදම් පියවාගත හැකි ආකාරයට මිනී පෙට්ටියකට මිලක් කීමට හෝ නොහැකි බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බව ද කීහ.

කාංචන ආරියදාස, සීගිරිය විශේෂ

Comments