අපේ ගුරුතුමා | Page 2 | සිළුමිණ

අපේ ගුරුතුමා

මා උසස් පෙළ පන්තියට ඇතුළත් වුයේ ඒ යුගයේය. එනම් එක්දහස් නවසිය අසුවේදීය. ඒ වසරේ ජූලි මාසයේ එක්තරා දිනයක විද්‍යාලය තුළ කිසියම් නොසන්සුන් තත්වයක් දක්නට විය. විදුහල්පති වික්‍රමසූරිය මහතාද නොසන්සුන්ව ඒ මේ අත දිවයනු පෙනිණී. පාසැලේ අධ්‍යාපන කටයුතුද සිදු නොවිනි. ඒ අසුවෙි ජුලි වර්ජනයේ ආරමිභක දිනයයි. එදා අපට මේ පිළිබද අවබෝධයක් නොතිබිණි. නමුදු ඒ ගැන කරුණු සොයන්නට බොහෝ වෙහෙසුනෙමු. නිසි තොරතුරක් එකවර සොයාගත නොහැකි විය. එහෙත් අවසානයේ වර්ජනයේ නියුතු සුමනරත්න සර්ව මුණගැසිනි. 

"හරි මං දැන් පන්තියට ඇවිත් පැහැදිලි කරන්නමි..."

එසැණින් පන්තියට පැමිණ අපි ඔහුගේ පැහැදිලි කිරීම වෙනුවෙන් සිසුන් සුදානමි කළෙමු.

“කැමිපස් ඉන්න කාලේ අපේ ශිෂ්‍ය සටන්වලට දුමිරිය සේවක සහාය ඉල්ලුවාම දුම්රියේ රෝද පීල්ලට තියලා වෑල්ඩින් කරලා තමයි ඒ අය අපට සහය දුන්නේ. අපිට එදා ඒ සහාය දුන් රාජ්‍ය සේවක සහෝදරවරුන්ගේ මේ සාධරණ සටන කිසිසේත්ම මග හරින්න බෑ. ඒ නිසා අපි මේක කෙලවරක් දක්වා ගෙනියනවා.."

සුමනරත්න සර් දෑත් අහසට ඔසවා පැවසුවා. අපි වේගයෙන් අත්පොළසන් දුන්නෙමු. ඒ සටන් කාමියාද රැගෙන අප පන්ති ගානේ ගියේ මහ ආඩම්භර කමක් පෙර දැරි කරගත් උද්යෝගයෙන්ය.

දින දෙක තුනකින් පමණ රටම සාමාන්‍ය වූයේ සෝමපාල නම් කමිකරුවෙකු මරා දැමීමත් දහස් ගණනකගේ රැකියා අහිමි කිරීමත් සිදුකරමින්ය. යළිත් පාසල් අධ්‍යාපන කටයුතු ඇරඹිණි. හැත්තෑනමය වසරේ විදුහලේ සා.පෙළ සමත්වූවන්ගේ ප්‍රතිඵල පිළිවෙළින් ලයිස්තුගත කළහොත් එම ලයිස්තුවේ මුල් විසිපහ තුළ මා සිටිබව මතකය. සෑම වසරකම අප පාසැලෙන් සරසවි වරමි ලැබූ සංඛ්‍යාව සියයකට වැඩිය. එබැවින් සරසවි වරමි ලබන කුලකය තුළ මා ඇත යන මතයක් මගේ සිතතුළ පැළ පදියමි වී තිබුණී. නමුත් මට එම වසරේ සරසවි වරම අහිමි විය. ඒ නිසාවෙන් නිශ්චිතවූ වෘත්තිකයෙක් වීමේ අවස්ථාව මට මඟ ඇරී ඇත. එහෙත් ඒ සුන්දරවූ පාසැල් අතීතය සිහිපත් කරණා සෑමවිට හදට දැනෙන අපූර්වත්වය,මිහිර , සතුට, කියා නිමකළ නොහැක.

අපගේ උසස් පෙළ පන්තිය භාර වූයේ සුනීතා ගුරුතුමියටය. ඈ අවිවාහක මැදිවියට ආසන්න වූ සුරූපි ගුරු මාතාවක් වූවාය. ඇය වර්තමානයේ විවාහකව දරුවන් ලැබ විදේශ ගතව දිවි ගෙවන්නීය. එතුමිය අපට ශුද්ධ ගණිතය විෂය ඉගැන්වුවාය. භෞතික විද්‍යාව ඉගැන්වූයේ සීලරත්න නමි සුන්දර අවිවාහක ස්වේචිඡා හමුදා මේජර් වරයකු විසිනි. ඔහුගේ කැපී පෙනුනු එක් අපූර්වත්වයක් නම් බොහෝ දේ අපට ඉගැන්වුවද පන්තියට පැමිණෙන්නේ හුණු කූරක් පමණක් රැගෙනය. කමනී ගුරුතුමිය අපට ව්‍යාවහාරික ගණිතය ඉගැන්වූවා ය. ඇය යාපනය සරසවියේ අධ්‍යාපනය හැදෑරූ තැනත්තියකි. එසේම ඇගේ මුල්ම පත්වීමද අප පාසැල විය. රසායන විද්‍යාව අපට ඉගැන්වුයේ පේරාදෙනිය සරසවියේ අධ්‍යාපනය ලද සුමනරත්න ගුරුතුමා විසිනි. ස්වේචිඡා හමුදා නිලධාරි සීලරත්න ගුරුතුමා හැර අනෙකුත් සියලු ගුරු භවතුන් සරසවියෙන් බැහැරවූ වහාම ගුරු වෘත්තියට ඇතුළත්වූ අය වූහ.

කෙසේ නමුත් හය වසරේ සිට සාපෙල දක්වා අධ්‍යාපනය ලද ගුරු භවතුන් මෙන් උසස් පෙළ ගුරු භවතුන් සියලු සිසුන්ට එකම අයුරින් ළෙන්ගතු නොවීය. ඔවුන් අදාළ විෂය පිළිබඳ වූ තම දැනුම සිසුන්ට ලබාදීමම පමණක් සිදු කල බැවින් වෙනස්වූ සිතුවිලි සහ ක්‍රියාවලි සහිත ශිෂ්‍යයන්හට එම අධ්‍යාපනය නීරස එකක් වීය. ඒ නිසාවෙන්ම එම ගුරු භවතුන් බොහෝ විට තම පාඩමි වලට අනුගත නොවන සිසුන් නොතකා හරින ලදි. එබැවින් එම සිසුන් අධ්‍යාපන කටයුතු වලින් දුරස්වි දඩබ්බරයන් වීම නිතැතින්ම සිදුවිය.

ස්වේචිඡා හමුදා නිලධාරි සීලරත්න ගුරුතුමා හැර අනිකුත් ගුරු භවතුන් අප කිහිප දෙනෙකුටම හෘදයාංගම හැගීමකින් තොරව කටයුතු කළ බැවි ඒ අතීත මතක ගැන අද සිතනා විට හැඟේ. ඒ ගුරු භවතුන් විධිමත් ගුරු පුහුණුවකින් තොරව ගුරු වෘත්තියට යොමුවු අය නිසාවෙන් එසේ සිදුවන්නට ඇතැයි සිතමි. දැනුමෙන් පරිපූර්ණ වීමම ගුරුවරයකු විමට ඇති එකම සුදුසුකම නොවේ යැයි සිතමි. අධ්‍යාපනය අත්හැර දඩබිබරයෙක් වූයේ ඇයි දැයි අද සිතුවිට අප හදවත් හඳුනා ගත හැකි උසස් පෙළ ගුරුභවතුන් එදා සිටියානමි මේ විධිමත් අධ්‍යාපනයේ තව දුරක් හෝ ගමන්කොට අප සතු යමි කුසලතා හඳුනා ගෙන ඒ අනුව අදාළ උසස් අධ්‍යාපනයකට යොමුවන්නට හැකිව තිබුණා යැයි සිතේ.

කෙසේ වුවද අධ්‍යාපනය හැරෙන්නට බොහෝ කරුණු කෙරෙහි අපි උනන්දු වුනෙමු. ආදරය ඉල්ලා කෙල්ලන් පසුපස හඬා හඬා ගියෙමු. එහෙත් මේ දඩබ්බරයන්ට බිංදු මාත්‍රයක කැමැත්තක් උන්ගේ නොවිනි. එදා ඒ ආදරය නොලද හේතුව දඩබ්බර කමද නැතිනමි වෙනත් කරුණක්ද යන්න තවමත් මම සොයමි. ඒ සොදුරු පාසැල් පරිශ්‍රය තුළ බොහෝ දේ අත්වින්දෙමු.

මම සුපුරුදුලෙසම දඩබිබරයෙක්ම වීමි. කාලය ද ඉගිළුනි. සුන්දර මැදි විදුහල් බිමට දුක්බරව සමුදුනි. පෙනී සිටිය උ/පෙළ විභාගයේ ප්‍රතිඵලයද දඩබිබර විය. අප සමඟ සිටි බොහෝ දෙනෙක් සරසවි අධ්‍යාපනයටද සමහරුන් වෙනත් විශේෂ පාඨමාලා හැදෑරීමටද යොමු විය. අරමුණක් නොමැතිව අයාලෙ සැරිසැරූ මමද කිසියමි අරමුණකට යොමුවිය යුතු යැයි සිතුවෙමි. ඒ අනුව මම රජයේ ගැසටි පත්‍රයේ ඉල්ලුමි කළ හැකි සියල්ලටම ඉල්ලුම් කළෙමි. ඒ අතරින් කෘෂිකර්ම පාඨමාලාවක් සඳහා යොමුකළ ඉල්ලුම්පතකට විභාගයක් සඳහා කැඳවීමක් ලැබුණි. එය කෙසේ හෝ ජය ගත යුතුයි දැඩි අදිටනක් සිතේ ධාරණය කර ගනිමින් විභාගයට සූදානමි වීමි. විභාගයටද ඉතා වෙහෙසව ලීවෙමි. විභාගය සමත්වී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් ලද අතර ඊටද උත්සාහයෙන් පෙනී සිටියෙමි. තත්වය සතුටුදායක විය. එම පාඨමාලාව සඳහා මා තෝරා ගෙන තිබුණි. එම දෑඅවුරුදු පාඨමාලා කාලය මාගේ දිවියට නව අරුතක් එක් කරන ලදි. එසේම ඒ දෑඅවුරුද්ද සුන්දර මතක ඉතිරිකොට වේගයෙන්ම ගෙවී ගියේ නොදැනීමය. ඉන් පසු එලැබියේ විරැකියාවට පිළිතුරු සෙවීමය. ඒකටත් සරළ පිළිතුරක් නැත. රජයේ ගොවිපළ රැසක අනියම් තනතුරු දරමින් ගතව යද්දි අද මා සේවය කරනා ආයතනයට යොමු කළ අයදුම් පතකට අනුව පැවැත්වූ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණයට අනුව පත්වීමක් ලැබුණී. එහෙත් එම රැකියාව තුළ මා අපේක්ෂා කළ තෘප්තිය නොවීය.

නමුත් අහිංසක ජනතාවකට සේවය කිරීමට ලැබීමත් තෘප්තියකි. ඒ ගැන සිතමින් අතෘප්තිය අමතක කොට මාගෙ සේවය හැකි ලෙස ඉටුකර දෙන දෙයක් ලබාගෙන වෙන දෙයක් බලාගෙන උන්නෙමි. මාසකට වරක් පැවැත්වෙන දිස්ත්‍රික් කාර්යාලයේ රැස්වීමද මා හට අමිහිරි කටුක අත්දැකීමකි. නමුත් එම රැස්වීමට පැමිණීමට දිරිය වඩා ගන්නේ පස්වරුවේ අප යොදාගන්නා හමුවේ මිහිර සිහිපත් කිරීමෙනි. අප කිහිප දෙනෙකු සමඟ මම රැස්වීම අවසන් වූ වහාම එම කටුකත්වයෙන් මිදී සුන්දරත්වය සොයා ඉගිළෙමි.

එම දිනයද එවන් දිනයකි. නගරයේ ඉතාම කර්ය බහුල අවන්හලේ කෙලෙවරකින් අසුන් සොයා ගතිමු. අපගෙ ජීවිත ගැන රැකියාවෙ රස මුසු, දුක්මුසු තැන් ගැන මියුරු සාකචිඡාව ඇරඹෙන්නේ පළමු වඩිය අමිහිරට උගුරෙන් පහළට හෙළමිනි. එදිනද නොයෙක් දෑ පිළිබඳව සල්ලාපය දීර්ඝව සිදුවෙමින් තිබුණී. එය පදමද ඉක්මවා යන සංධිස්ථානයට එලෙබෙමින් තිබුණී. කීපවිටක්ම අප සිටි මේසයට එහා මේසයට, එපිටින් මේසයේ කවදා කෙතනකදි හෝ දැක හුරුවක් ඇති මිනිසකු ගේ රුවක් මානෙත ගැටුණී. ඒ රුවේ මුව සල්ලාපයකට මට කළ ඇරයුමක් යැයි සිතුණි. මම ඔහුට සමීප උනෙමි.

“මහත්තයා දැකලා පුරුදුයි ... කොහෙද වැඩ කරන්නේ“ හුදකලාවූ ඔහු ගේ දැහැන බිද දමමින් විමසුවා.

“මම සිල්වා වැඩ කරන්නෙ අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙි දෙනියාය කලාප කාර්යාලයේ“

ඔහු ඔහුගේ ඉදරිපස අසුන මවෙත දක්වමින් පැවසූවා. එහෙත් ඊට අනුකූල නොවුයේ ඒ වන විට මා මාගේ සීමාවද ඉක්මවා තිබු හෙයිනි

“එතකොට ඔබතුමා“

ඔහු අත තිබූ මධුවිතෙන් මඳක් තොලගාමින් මගෙන් විමසුවා

“මම ....... අමාත්‍යාංශයෙ .... එතකොට අපි හමුවුණෙ කොහේදිද..?“

මම දෙබසකට මුලපිරුවා. ඔහු බොහෝ දුක්විදි බැවි මුවේ ලියා තිබුණා. මුහුණ පුරා රැදි අකීකරු රැවුල ඒ බැවි තවත් තීව්‍ර කරන්නට වුණා

මුලින් මම ඉගැන්නුවා... නමසිය අසුවේ රැකියාව නැති වුණා. මම ජුලි වර්ජකයෙක්... ඒ වෙනකොට වැඩ කළේ කන්නලිය සෙන්ට්‍රල් ඒකේ .... “

ඒ මුහුණ අවිහිංසකයි. හිනාවත් අහිංසකයි. මං ඔහුගේ මුහුණ කියවන්නට උත්සුක වුණා.

“මමත් ඔය කියන කාලෙ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්තා“

මාගේ දඩබිබර අතීතය සිත තුළ කෙමෙන් දිග හැරෙන්නට පටන්ගත්තා. හරි මට මතකයි මේ අපේ පාසැලේ ක්‍රීඩා ගුරුතුමාය.

“කොහෙද අපි ඉතින් ඉස්කෝලෙ ඉන්න කාලෙ ක්‍රීඩා කළ එකක්ය...“ මට කියවුණා. ඔහු මඳහසක් පෑවා.

“ජුලි වර්ජන කළ හැමෝගෙම රස්සා නැති වුණාද. මං හිතන්නෙ අර සුමනරත්න සර්ගෙ එහෙම රස්සාව නැති වුණේ නෑනෙ..."

කුතුහලයෙන් මා පැවසු වදන් වලට ඔහුගෙ මුවෙි මඳ සිනාව ඇදී මැකී ගියා.

“සුමනරත්න සර් ඔය කියන දවසේ සර්පයෙක් කාලා. ඒ ඉස්කෝලෙ තවත් කිහිප දෙනෙක්ම සර්පයෝ කාල තිබ්බා. මටත් එහෙම සහතිකයක් ගේන්න කියලා විදුහල්පති කිහිප විටක්ම කිවිවා ඒත් මම ඒකට එකඟ වුණේ නෑ. ඒ නිසා මට රස්සාව නැති වුණා. ..... ඊට පස්සේ ජීවත් චෙන්න ගොඩක් මහන්සි වුණා. දරුවන් තුන් දෙනෙක්ට උගන්වන්න තිබුණා. මම පොළවල් ගානේ සෙරෙප්පු විකුණුවා.... මැණික් ගැරුවා... නොකරපු දෙයක් නෑ .ඒ නිසා දරුවන් යම් පමණකට අධ්‍යපනයට යොමුකරන්නට හැකිවුණා. මේ ළඟදි තමා මට නැවත රැකියාව ලැබුණේ. එතොකොට මගේ දරුවෝ දීග දීලත් ඉවරයි. ගෙදර උන්දෑ පිළිකාවකින් මිය ගියා. මට හරියකට එයාට සලකගන්නත් බැරි වුණා. තාමත් මගේ වැටුප් හදලා නෑ..."

සිල්වා සර් තම දුක් දොම්නස් ගොන්න මා ඉදිරියේ අත හැරියේ කලක සිටන් දැන හඳුනා ගත් මිතුරෙකුට පවසන්නාක් මෙනි. මටද මේ දුක දෝමනස්සයන් දරා සිටීමට තරමි මානසික ඒකාග්‍රතාවයක් නැත. සිරුරේ සමබරතාවයද බිද වැටෙමින් ඇත. පිටව යාමට කාලය පැමිණ ඇත.

"සර් සමාවෙන්න.... මම යන්නද නැවත ළඟදීම අපි මෙතනදීම හමුවෙමු..."

මම සිල්වා සර් ට සමු දුනිමි.

“හොඳයි පුතා“

ඔහු ආදරයෙන් මගේ හිස අතගාමින් මට සමු දුන්නා. මගේ හිත සසලය බමනමත සේම සිල්වා සර් සහ සුමනරත්න සර් සිතතුළ පෙරළි කරන්නට විය. එදා අසූවෙි ජූලි වර්ජනය මොහොතේ අප පන්තියේදී සුමනරත්න ගුරු තුමාගෙ රංගනය යළි යළිත් මැවීපෙනේ. ඔහු දැනට නගරයෙ වැඩිම මුදලක් අය කරණ ජනප්‍රියම රසායන විද්‍යාව ගුරුවරයාය. එසේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලයට උසස්වීමි ලබා ඇත.

පසු ගියදාක සුමනරත්න සර්ගේ නිවසේ මෙට්ටයක සඟවා තිබූ රුපියල් මිලියන හතරක් හෝ පහක් මංකොල්ලකා තිබුණී. ඒ මංකොල්ලකරුවන් සමඟ පොරබදා බරපතල කැපුම් තුවාල සහිතව ඔහු රෝහල් ගත කර තිබුණි. එවන් විශාල මුදලක් බැංකු ගත නොකර තබාගෙන ඇත්තේ රජයට ආදායම් බදු ගෙවීම මගහැරීමට බවත් හෙළී වී තිබිණි. සුමනරත්න සර් තවමත් අඛණ්ඩව ටියුෂන් පන්ති වලින් අසීමිතව උපයමින් සිටී. මේසියලු දෑ පිළිබඳව දීර්ඝ විග්‍රහයක්, සාකචිඡාවක් සිදුකිරීමට සිල්වා ගුරුතුමා යළි හමුවීමේ දැඩි උවමනාවක් සිතේ ඇති වුණි. යළි හමුවීමට සාකචිඡා වුවද ඒ පිළිබඳ නිශ්චිත වැඩ පිළිවෙළක් යොදාගන්නට නොහැකි විය. එදා ඔහුත් මාත් හමු වූ මොහොතේ එවැන්නක් සඳහා නිශ්චිතව අනුගත වන්නට තරම් ප්‍රකෘති මානසිකත්වයක් නොතිබීමයි. කෙසේ හෝ ඔහු හමුවීමේ අරමුණින් මම කිහිප දිනක්ම නගරයේ අප හමු වූ අවන්හලේ මෙන්ම තවත් බෙහෝ අවන්හල් තුළ ඔහු සොයා බලන්නට විමි. නමුදු පැහැදිලි තොරතුරක් සොයාගත නොහැකි විය. 

එහෙත් මම උත්සාහය අත්නොහැරීමි. දිනෙක මම ඔහුගේ නිවෙසට ගියේ තමත් ඔහු සොයා යන්නට වෙනත් තැනක් නැති බැවිනි. ඒකුඩා නිවසට මා ගොඩවන විට මැදිවිය නොඉක්මවූ කාන්තාවක් කුඩා දරුවකු ද වඩාගෙන පැමිණියාය.

“මහත්තයා ආවේ “ ඇය එසේ ඇසුවේ මට ඉගන්න යැයි අසුනක් පෙන්වමිනි. එක් වරම මට සිහිපත්වූයේ එදා අවන්හලේදී සිල්වා සර් මට ඉදගන්නට සන් කළ ආකාරයයි. ඇය සිල්වා සර්ගේ දියණියක් විය යුතුය. ඒ නැහැය, ඒ ඇස් එලෙසමයි. පොත් රාක්කයේ තබා තිබු තරුණ සිල්වා සර්ගේ ගේ සේයාරුව සමඟ මම ඈ රුව සැසදුවෙමි. ඔහුගේ පොත් රාක්කයද අපූරු පොත් එකතුවක්ඇති බැවි බැලූ බැල්මට පෙනුනි. එහි රුසියන් සාහිත්‍යයේ විශිෂ්ඨ පොත් ඒ අතර දැකිය හැකිවිය. “මං ආවේ සිල්වා සර් මුණගැහෙන්න“ ඇය යමක් පවසන්නට දැඩි ආයාසයක් ගනු පෙනිනි. ඒ දෑස් කඳුළින් දිලිසුණි.

“ තාත්තට හදිසියේ හාට් ඇටෑක් එකක් ආවා. ඉස්පිරිතාලේ ගෙනියන කොටත් නැතිවෙලා. ගිය සතියේ සඳුදාට හරියටම මාස දෙකක්..."

ඇගේ හඬ බොදවිය. කුමක් කියන්න ද...? කිසිවක් නොහැගුණි.

”ඇයි ?. ඔහු මට යළි මුණ නොගැහුණේ? නිවසේ සිට ආපසු එන ගමනේදී මම මගෙන්ම විමසුවා.

වජිර පූජිත ගුණවර්ධන

Comments