රටේ දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 4 | සිළුමිණ

රටේ දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුත්තේ කුමන විෂය ක්ෂේත්‍රයන්ටද ? 
2. පවතින ආර්ථික අර්බුදය විසඳීමට බදු ක්‍රමයේ යම් සංශෝධනයක් කළ යුතුයි ද? 
3. අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල පාලනයට මිල සූත්‍රයක් අවශ්‍යද? 
4. ඉදිරි මාස කිහිපය තුළ ආහාර හිඟයක් ඇති වුවහොත්, ඒ සඳහා රටක් ලෙස මුහුණ දීමට කුමක් කළ යුතුද? 
5. යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ගොවි උපකරණ සහ සහනාධාර ලබාදීමට ගතයුතු පියවර කවරේද?

විදෙස් ප්‍රේෂණ එවන අයට දිරිගැන්වීමක් අවශ්‍යයි 
- නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග

1 අපි ප්‍රමුඛතාව ලබා දෙන්නේ වර්තමානයේ මෙරට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා හා ජනතාව මේ වෙලාවේ මුහුණ දෙන ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමයි.

මේ අවස්ථාවේදී ජනතාව ආර්ථික අර්බුදයත් සමඟ මුහුණ දෙන මූලික ගැටලුව ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදයයි. ඒවගේම බඩු මිල ඉහළ යාමයි. මේ කාරණා හතරටම මූලිකවම විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම විශේෂයෙන් අපි මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් ඩොලර් අර්බුදය.

මේ ඩොලර් අර්බුදය නිසා ජාත්‍යන්තරිකව කෙරෙන ගනුදෙනුවලදී ලොකු ගැටලුවකට අපි මුහුණ පාලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නය පසුගිය කොවිඩි වසංගතයත් සමඟ ඇති වූ ගැටලුවක්. මේ රටට එන්න තිබුණ ඩොලර් අහිමි වීමත් සහ ඒ හරහා පසුගිය කාල සීමාවන්වල රජයන්වලින් ගත් ණය ඩොලර්වලින් ගෙවීමට සිදුවීමත් නිසා ඇතිවූ තත්ත්වයන් නිසා අපිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්විමට ඩොලර් හිඟවෙලා තියෙනවා.

ඒ නිසා එයට විසඳුමක් සෙවීම අත්‍යවශ්‍යයි. ආර්ථීක අර්බුදය අපි විසඳගන්න අවශ්‍යයි කියලා අවධාරණය කරන්නේ ඒ නිසයි. ඒ හරහා ඉන්ධන ටික ආනයනය කරන සැපැයුම් ජාලය යළි සක්‍රිය කිරීම සිදුවිය යුතුයි.

මේ රටේ දුප්පත් ජනතාවට, අඩු ආදායම් ලබන අයට භාණ්ඩ කිහිපයක් හෝ සුලභව අඩු මිලට ලබා දෙන වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍යයි. උද්ඝෝෂණ හා පවතින ගැටලු නිසා සංචාරක ව්‍යාපාරය අද කඩාකප්පල් වෙලා තියෙනවා.

කොවිඩ් එකෙන් වහපු සංචාරක ව්‍යාපාරය ගිය වසරේ ඔක්තෝබර් මාසයේ විවෘත කරලා පෙබරවාරි මාසයේ සංචාරකයන් ලක්ෂයකට වඩා ආවා. ඒ අය අද අඩුවෙලා තියනවා. රටේ සාමකාමී වතාවරණය ඇති කරන්න අවශ්‍යයි. රටේ ආර්ථික ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න ඇතැම් දේශපාලන පක්ෂවලින් මැදිහත් වෙලා කරන දේවල් පාලනය විය යුතුයි.

2 මේ රටේ දුප්පත් ජනතාවට යම් සහනයක් ලබාදිය යුතු සේම, මේ රටේ ඉහළ අදායම් ලබන අයට ව්‍යාපාරිකයන්ගෙන් බදු මුදල් අය කර ගත යුතුයි. බදු මුදල් නැතුව රටක් කරන්න බැහැ. බදු ක්‍රම ලෝකයේ ඕනම රටක ක්‍රියාත්මක වෙනවා.

අඩුම තරමින් 8%ක් හෝ අයවිය යුතුයි. එසේ නොමැතිව රජයකට කටයුතු කරන්න අමාරුයි. ජනතාවට හිරිහැර නොවෙන ලෙස බදු ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ මේ අවස්ථාවේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන යම් කිසි දායකත්වයක් බදු සඳහා ලබාදිය යුතුයි. විදෙස් ප්‍රේෂණ එවන පිරිසට දිරිගන්වන වැඩ පිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

3 මිල සූත්‍රයක් අවශ්‍යයි. ඉන්ධනවලට වැඩිම මුදල් වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගෙන්. ඉහළ සිට පහළ දක්වා අය ඊට එක් එක් ආකාරයෙන් දායක වෙනවා. නමුත් යතුරු පැදියක් පාවිච්චි කරන අය, තෙල් ලීටර් තිහක් හතළිහක් භාවිත කරන අයට ආණ්ඩුව යම් දායකත්වයක් දෙනවා.

අඩු ආදායම් ලබන අයට සහන ක්‍රමයක් සහ වැඩි ආදායම් ලබන අයගෙන් වැඩි බද්දක් අයකර ගත යුතුයි. රජයක් ලෙස බැංකු මුහුණ දෙන තත්ත්වය සලකා බලා ඒ සඳහා මිල සූත්‍රයක් ඇති කළහොත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවන විට අඩුකරන්නත් වැඩිවන විට වැඩි කරන්නත් පුළුවන් වෙයි.

4 අපේ රටට විතරක් නොවෙයි, ලෝකයම ඒ සඳහා සූදානම් වෙනවා . පකිස්ථානය, ඉන්දියාව සහ යුරෝපයේ රටවල් පවා සැලසුම් සුදානම් කරනවා.

ඒ ආකාරයෙන් වගා නොකරන බිම් වගාකරන්නත්, කුඹුරුවල වගා කරන ප්‍රමාණය වැඩි කරන්නත්, අතුරු බෝග වගාකරන්නත් සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.

5 විශේෂයෙන් මේ වන විට පොහොර ගැටලුවක් තියනවා. ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් හැටපන් ලක්ෂයක් පමණ පොහොර ගෙන්වීමට කටයුතු කර තියනවා. එය කඩිනමින් ගොවියාගේ අතට ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම පසුගිය කොවිඩ් සමඟ වගා නොකර සිටි වගාබිම් සකස් කරගැනීමට රජය දායකත්වයක් ලබා දිය යුතුයි. ශ්‍රම බළකායක් ලබා දීමට කටයුතු කළහොත් දිරිගැන්විමක් හැටියට ගොවියා ශක්තිමත් වෙයි. “අපි වවමු රට නඟමු” වැනි වැඩපිළිවෙළක් යළි සකස් කිරීම කඩිනම් කිරීම අවශ්‍යයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් තවම හැදිලා නැහැ 
- සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න

1 ඔක්කොටම කලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්න ඕන. තවම එහෙම ආණ්ඩුවක් හැදිලා නැහැ. කොළවල, කතාවල සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා එකක් තියෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් පක්‍ෂ නායකයන් එක තැනකට ඇවිත් ඒ අය විසින් යම් සම්මුතියක් සකස් කරගත යුතුයි. එවැනි දෙයක් අපි දකින්න නැහැ. මොන විදිහකින් හෝ සියලු පක්‍ෂ නායකයන් එකතු වෙලා සම්මුති ආණ්ඩුවකට ආවොත් මූලිකව මේ රටේ තියෙන මුල්ම ප්‍රශ්න ටික හඳුනාගෙන ඒවාට වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. සෑම අංශයක්ම දැන් කඩාවැටිලා තියෙන්නේ. ඒ සෑම සෞඛ්‍ය කෘෂිකර්මය, අධ්‍යාපනය, කර්මාන්ත සියලු අංශයන් ආර්ථීකමය දේශපාලනිකව කඩාවැටිලා. මේ ආදී සෑම අංශයක්ම අරන් බැලුවහම අද කඩාවැටුණු තත්ත්වයකයි තියෙන්නේ. ඒ නිසා මේ සියලු අමාත්‍යංශවලට වෙනමම වැඩපිළිවෙළක් සකස් කරන්න වෙනවා. දිගුකාලීන, මාධ්‍යකාලීන මෙන්ම කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න වෙනවා. එය ජාතික ප්‍රතිපත්තියක් විදිහට සකස් විය යුතු බව මගේ හැඟීමයි.

2 ඇත්තටම වැරදුණු තැන එතනයි. IMF වාර්තාවේ තිබෙනවා; මේ ආර්ථිකය කඩා වැටෙන්න එක හේතුවක් හැටියට දකින්නේ අපේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම බව. එයින් රජයට අය විය යුතු බිලියන ගණනක් අහිමිව ගොස් තිබෙනවා. මේ ආණ්ඩුව පත්වී කැඳවූ ප්‍රථම කැබිනට් රැස්වීමේදී ගත් තීන්දුව නිසයි එසේ සිදුවුණේ. එය පැහැදිලිවම IMF වාර්තාවේ සඳහන්ව තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම බදු ක්‍රමය වෙනස් විය යුතුයි. අපි දන්නවා සීනි හා පොල්තෙල් ආනයනයේදී රුපියල් පනහකට තිබූ බද්ධ සත විසිපහ කළ නිසා විශාල බදු මුදලක් අහිමිව ගියා. ඒ වගේම එහි වාසිය පාරිභෝගිකයාට ලැබු‍‍ණෙත් නැහැ. නමුත් අද වනවිට ඩොලරයේ මිල ඉහළ යාම තුළ රුපියල අවප්‍රමාණය වීම හරහා සියලු බර පැටවී තිබෙන්නේ මහජනතාවගේ කර මතයි. විධිමත් බදු ක්‍රමයක් සකස් විය යුතුයි. අඩුම තරමේ තිබුණු ක්‍රමයවත් පවත්වාගෙන ගියා නම් අද අපි මේ වැටිලා ඉන්න තත්ත්වයට වැටෙන්නේ නැහැ.

3 මිල සුත්‍රයක් අවශ්‍යයි. අපි දකිනවා වෙනත් රටවල්වල අඛණ්ඩව එකම මිලක පවතින්නේ නැහැ.ලෝක වෙ‍ළෙඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල උච්ඡාවචනය වීම තුළ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවෙනවා. අද වැඩිවෙනවා හෙට අඩුවෙනවා. නමුත් අපිට කවදාවත් එවැනි අත්දැකීමක් ලැබිලා නැහැනේ. අපි පුංචි කාලේ ඉඳන්ම දැක්කේ ඉන්ධන මිල වැඩිවුණොත් වැඩිවුණා තමයි අඩුවීමක් නැහැ. ලෝක වෙළෙඳපොළහි තෙල් මිල අඩුවුණත් අපේ රටේ තෙල් මිල අඩු වුණේ නැහැ. වෙන රටවල්වල එහෙම නැහැ. මම හිතන්නේ මිල සුත්‍රයක අවශ්‍යතාව තදින් තියෙනවා.

4 ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවෙනවා. රටට සාගතයක් එනවා කියන කරුණ මේ පොහොර ප්‍රතිපත්තිය වෙනස් කරපු දවසෙ ඉදලම පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් අපි කිව්වා. විශේෂයෙන්ම රසායනික පොහොර අයින් කරලා කාබනික පොහොර ගෙනල්ලා හරිත කෘෂිකර්මයට යනකොට මම කිව්වා; එක රැයෙන් මේවා කරන්න බැහැ. මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සහ කාලයක් අවශ්‍යයි කියලා. පොහොරවල සංයුතිය ගැනත් කතා කළා. යුරියා කිලෝ එකක නයිට්‍රජන් 42%ක්‌ තියෙනවා. කාබනික පොහොර එම ප්‍රමාණයෙන් නයිට්‍රජන් ඇත්තේ 1% වගෙයි. එසේ වෙද්දී යුරියා කිලෝ එකක යොදන තැනකට කාබනික පොහොර කිලෝ 42ක් දාන්න වෙනවා. ඒ වගේ ප්‍රයෝගික නොවන ගැටලු බොහොමයක් ඇති වුණා. ඉදිරියේ දැඩි ආහාර අර්බුදයක් රටේ ඇතිවෙනවා. ඒ මොහොතේ මහ කන්නය සඳහා ගොවින් ළඟ යම් ප්‍රමාණයක් රසායනික පොහොර තිබුණා. ඒ නිසා ඔය පමණින් හෝ අස්වැන්නක් ලැබුණා. ඒත් සියයට පනහකින් පමණ අස්වැන්න අඩු වුණා. දැන් මේ යල කන්නය පටන්ගෙන තියෙනවා. පරක්කුවෙලා පොහොර දීලා වැඩකුත් නැහැ . එතකොට අපිට අනිවාර්යෙන්ම දකින්න පුළුවන් ඉදිරියේදී ආහාර අර්බුදයක් මේ රටේ ඇතිවෙනවා. අගමැති සියලු ඉඩම් වගා කරන්න කියලා කිව්වා. ඊළඟට අපේ දේශීය බීජ තිබුණා නම් පොහොර නැතුව කාබනික පොහොර මඟින් වගා කරන්න පුළුවන්. නමුත් මේ තියෙන බීජ සියල්ල හුරුවෙලා තියෙන්නේ රසායනික පොහොරවලට. එළවළු වගාව ගත්තත් උඩරට එළවළු සම්පුර්ණයෙන්ම විනාශ වෙලා. මම අපේ රටේ ගෘහණියෝ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මම කියන්නේ යම් පමණකට අපිට නිවිති වැලක්, මිරිස් ගහක්, තාක්කාලි ගහක් වගේ දෙයක් අමාරුවෙන් හෝ හදාගන්නවා නම් හොඳයි. ගෙදර දරුවෝ ටික බඩගින්නේ ඉන්නකොට දැනෙන්නේ ගෙදර අම්මාටයි තාත්තටයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පුළුවන් විදිහට ඉදිරියේ අප රට දරුණු ලෙස ආහාර හිඟයකට පත් වෙනවා.

අපිට වැඩිම අස්වැන්නක් ගෙන දෙන්නේ මහ කන්නයයි. මේ යල කන්නය වගා කළේ ගොවි බිම්වලින් 50% ක පමණ ප්‍රමාණයක්. ඒ අයටත් පොහොර නැතිව අර්බුදයක. ඒ අනුව යල කන්නයේ අස්වැන්න ගැන අපට බලාපොරොත්තු තියාගන්න අමාරුයි. එළවළු මිළ 400% කින් ඉහළ යා හැකියි. මේ සියල්ලටම හේතුව පොහොර ප්‍රතිපත්තිය වෙනස් කිරීම හා එය සිදුකළ ආකාරයයි. ඒ වෙනුවෙන් හඬ නැඟුවද පළක් වුණේ නැහැ. අපි අපේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පෞද්ගලිකවම කුමක් හෝ කළ යුතුයි.

5 මේ රටේ ගොවියෝ නොමිලේ පොහොර ගොවි උපකරණ ඉල්ලුවේ නෑ. මේ රටේ පොළොවට ණය නැති පිරිසක් ඉන්නවා නම්, ඒ අය අතර මුලින්ම ඉන්නේ ගොවි ජනතාව. ඒ අයට පොහොර හා උපකරණ වෙළෙඳපොළේ සාධාරණ මිලකට දෙනවා නම්, කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට අඩු පොලී අනුපාතයකට බැංකු ණය පහසුකම් සපයනවා නම්, ඒ අය රටට බත සපයා දෙයි. ජනතාවට කන්න දෙයි. අද ලෝකය ඵලදායි කෘෂිකර්මාන්තයට යනවා. අඩු භූමි ප්‍රමාණයක, අඩු කාලසීමාවකින් වැඩි අස්වැන්නක් ලබාගැනීම කළ යුතුයි. මේවාට සැලසුම් හදන්න ඕන.

ඒ වගේම වෙළඳපොළ සකස් කරදීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මේ රටේ ගොවියා හා ගොවිතැන සම්බන්ධයෙන් කෘෂි පර්යේෂණ සහකාර නිලධාරින්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ අය හරහා රටේ අවශ්‍යතාවට අනුව බෝග වගා කිරීම, ඒවා රට පුරා බෙදා හැරීම වැනි කාරණා විධිමත්ව සකස් කර ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ රට සහලෙන් ස්වංපෝෂිත රටක්. අපි කන්න නැති වුණ ජාතියක් නොවෙයි. අද උදාවෙලා තියෙන මේ තත්ත්වයන් නැවත නොවීම සඳහා සැලසුම් සකස් කරන්න ඕන.

සමස්ත කෘෂිකර්ම ප්‍රතිපත්තියම වෙනස් කරන්න අවශ්‍යයි
- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

1සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කිරීමේදී කැබිනට් මණ්ඩලයක් පත් කරලා තිබෙන බව අපිට පේනවා.

නමුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පෙර සඳහන් කළ එකඟතා කඩකරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇමැති මණ්ඩලය 20කට සීමා කරනවා කියලා අගමැතිවරයා කලින් පොරොන්දු වෙලා තිබුණා.

නමුත් දැන් දවසින් දවස අලුත් ඇමතිවරු පත් කරනවා. මේ හැදෙන කැබිනට් මණ්ඩලය විසින් මොනම ප්‍රශ්නයක්වත් විසඳෙන එකක් නැහැ. ඉදිරියේදී ජනතාවගේ වෛරයයි සහ කෝපය තවත් වැඩි වෙයි.

2 දැනට තියෙන බදු ක්‍රමය ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් උඩු යටිකුරු කරන්න ඕන. සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය 15% යි සහ 85% යි. මෙය මුල් වටයේ 60 % - 40 % දක්වා මට්ටමකටවත් ගේන්න ඕන. භාණ්ඩ හා සේවා මත තියෙන බදු අඩු කරලා ඒවෙනුවට විවිධ ලාබ ලබාගන්නා සමාගම්වලින් ඒ මත යම් බද්දක් අය කිරීමට ප්‍රමුඛතාව දෙන්න ඕන.

ඒ වගේම බදු ප්‍රතිපත්තිය අනුක්‍රමික බදු ක්‍රමයක් වෙන්න අවශ්‍යයි. එනම්, ලාබ වැඩිපුර ගන්න වැඩි බද්දක් ද පොඩි ව්‍යාපාරවලට අඩු බදු ප්‍රතිපත්තියක් ද අනුගමනය කරන්න අවශ්‍යයි.

ව්‍යාපාරවලට යම් අවස්ථාවලදී බදු සහන දුන්නනේ, උදාහරණයක් විදිහට සීනි සඳහා බදු සහනයක් දුන්නා. වැට් බද්ධ ඉවත් කරලා සහන දුන්නා. ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ තමයි ඒවායින් වාසි ගත්තේ. ඒ නිසා බදු වෙනස් කරද්දී ඒකෙ වාසිය ජනතාවට එන විදිහට ඒ වෙනස කළ යුතුයි.

2015/2019 අතර අවුරුදු 5ක කාලය රජය රුපියල් කෝටි හතළිස් එක්දහදාස් හාරසිය පහළොවක් හිඟ බදු තියෙනවා කියලා ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. රුපියල් දහදහස් පන්සීයයකට අධික හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා කියල ප්‍රකාශයට පත් වුණා.

ගෙවුණු වසර 6ක කාලය තුළ ගෙවලා නැති බදු මුදල රුපියල් කෝටි පනස්දහක් වෙනවා. සතියක් දෙකක් ඇතුළත අදාළ පුද්ගලයන්ගෙන් ඒවා අය කරගන්න ඕන.

3 ඉන්ධන ලෝක වෙළෙඳපොළේ වැඩිවන තරමට මේ රටෙත් වැඩි වෙනවා කියලා කියන්න නම් ආණ්ඩුවක් මොකටද? ඉන්ධනවල මිල වැඩිවෙනවා කියන්නේ එයට සාපේක්ෂව සියලු භාණ්ඩ සහ සේවාවල මිල වැඩිවීමක් වෙනවා.

අපිට 1970 කාලයේදී මේ තෙල් මිල වැඩිවෙනවාට විකල්ප වැඩිපිළිවෙළක් තිබුණා.1975 වසරේදී තෙල් ගෙන්වන සමස්ත වියදමින් 40% අතුරු නිෂ්පාදනවලින් ලබාගත්තා. 1990දී ලංකාවට තෙල් ගෙන්වන්න යන සම්පූර්ණ වියදම කොළඹ වරායේ නැව්තෙල් අංශය මඟින් හෙව්වා. මෙවැනි ක්‍රමවේදයකට අපි යා යුතුයි.

තෙල් වියදම ජනතාව මත පටවන්නේ නැතුව වෙනත් විකල්ප සෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වන කාලයට තෙල් ගෙනත් ගබඩා කරගන්න තිබුණා. නමුත් ආණ්ඩුව කළේ මුතුරාජවෙල, ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණලා දැමීමයි.

4 ආහාර හිඟයක් ඇතිවීමට බලපාන ලද හේතු ගණනාවක් තියනවා. ප්‍රධාන හේතුවක් හරිත කෘෂිකර්මය කියලා ගොවියාට පොහොර ටික නැති කරලා තියනවා.

මේ වනවිට යුරියා මිල 38,000 ක් වෙලා තියනවා. ආනයනික පොහොර හා කෘෂි රසායනික නැතුව වගා කටයුතු දියුණු කිරීම එක රැයින් කරන්න බැහැ. දැනට ආහාර හිඟයක් මතුවෙමින් පවතිනවා නම් කඩිනමින් පිළිතුරු අවශ්‍යයි.

එළවළු වගා කිරීමට කඩිනම් පිළිතුරු සොයන්න අවශ්‍යයි. පූර්ව සුදානමක් නැතුව කෑම හිඟයක් එනවා කියලා ජනතාවට කියලා වැඩක් නැහැ.

පැවැති ආණ්ඩු අනුගමනය කරන ලද මේ සමස්ත කෘෂිකර්ම ප්‍රතිපත්තියම වෙනස් කරගන්න අවශ්‍යයි. බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය මුදා ගැනීම අවශ්‍යයි.

5 ඇත්තටම අපි දැන් සලකා බලන්න අවශ්‍ය වෙන්නේ මේ තරම් අධික කෘෂි රසායනික සහ රසායනික පොහොර යොදන්නේ නැතුව වගා කරන්න.

ලෝකයේ කෘෂි විද්‍යාඥයන් විවිධ ක්‍රමවේදන් අධ්‍යයනය කරමින් පවතිනවා. අද අපේ බීජ පවා බහුජාතික සමාගම් මත රදා පැවැතිලා තියන්නේ.

මේ සමාගම් බීජ ලබාදීමේදී ඒ සමාගමේ රසායනික ද්‍රව්‍ය විකුණා ගැනීමේ අපේක්ෂාවෙන් එය සිදු කරන්නේ.

අපේ ආහාර නිෂ්පාදනය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍යයි. රසායනික සහ කාබනික කෘෂිකර්ම ස්වභාවික ක්‍රමවේදයන් සහ සම්ප්‍රදායක ක්‍රමවේදයන් එකට එකතු කරන ලද ඒකාබද්ධ ශාක පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

Comments