
- මංගල තෑග්ග පවුම් 63,000ක් වටිනා අවුඩි කාර් එකක්
- අවුරුද්දක් ඇතුළත මුනුපුරෙක් ඕනේ
- පුතු ගුවන් නියමුවෙක් කරන්න වියදම ඩොලර් 52,000ක්
- ඉපදුණ දා සිට මේ දක්වා වියදම් කළ බ්‍රිතාන්‍ය පවුම් 265,000ක මුදල සමඟ පවුම් 520,000ක වන්දියක් ඉල්ලයි
ඕනෑම තරුණ තරුණියකගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය ඔවුන්ගේ විවාහ දවස බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙමවුපියන් ඇතුළු නෑහිත මිතුරන් සිය ගණනකගේ ආශිර්වාදය මැද පෝරුවට නැඟ සියලු චාරිත්‍රවාරිත්‍ර ඉටුකරමින් ඔවුහු විවාහ ජීවිතය අරඹන්නේ දහසක් අනාගත බලාපොරොත්තු හිත තුළ දල්වාගෙනය.
වත්මන් ආර්ථික අර්බුදය නිසා අද බොහෝ තරුණ තරුණියන් චාම් මඟුල් උත්සවයක් පවත්වා වියදම් අඩුකර ගත්තද, බැංකු දෙක තුනකට ණය වී කෝටි ගණනක මුදල් වියදම් කරමින් තරු පහේ හෝටල්වල ලෝකෙටම පේන්නට මඟුල් කන ජෝඩු මෙන්ම මවුපියන් ද නැතුවා නොවේ. එවැනි ‘හයිෆයි’ අලුත්ජෝඩුවලට යථාර්ථය අවබෝධ වීමට වැඩි දවසක් ගත නොවේ.
මඟුල් ගෙදරට රුපියල් ලක්ෂ 50ක් 60ක් වියදම් වූ නිසා තමන්ගේම කියා නිවෙසක් සාදා ගැනීම ඔවුනට සිහිනයකි. බොහෝවිට නව යුවළ නවතින්නේ මනමාලයාගේ මහගෙදරය. තමන්ට ලැබුණු අලුත් ලේලියව ‘ටෙස්ට් කිරීමට’ නැන්දම්මාට ඉන් අවස්ථාව ලැබේ. මෙතෙක් කලක් ගෙදර උයා පිහා සැමියා හා අනෙක් දරුවන්ට කන්නට දුන් ඇයට දැන් අත්උදවුකාරයෙක් ලැබී ඇත. සමහරවිට ගෙදර ඉවීමේ කටයුතු සියල්ලම අලුත් ලේලියට පවරා නැන්දම්මාට දැන් ‘පොඩි රෙස්ට්’ එකක් ද ගත හැකිය.
සමහර ලේලිලාට ඉස් මොල රත්වන්නේ එතකොටය. මංගල දැන්වීමේදී “ගෙදරදොර හා කුස්සියේ වැඩකටයුතු මනාව පළපුරුදු” කියා පළකර තිබුණත් ඇය ජීවිතයටම හාල් ටිකක් ලිපේ තබා නැත. එහෙත් අන්තර්ජාලයට පින් සිදුවෙන්නට ඇයට බයවෙන්න දෙයක් නැත. ඕනෑම බතක්, ලංකා එළවළුවක් රහට උයන හැටි Youtube එකේ තිබෙන නිසා අලුත් ලේලියට තම කාමරේ දොර වසාගෙන වීඩියෝ බලාගෙන ඉගෙන ගැනීමට හැකිය. නොබෝදිනකින් නැන්දම්මාටත් උගන්වන්නට පුළුවන් තරමේ සුප ශාස්ත්‍රවේදිනියක් බවට ඇය පත්වන්නේ තම මනමාලයා ද පුදුම කරමිනි.
අතීතයේදී ශ්‍රී ලංකාවේ මනමාලියක් විවාහ වී වසරක් වසර එකහමාරක් තුළ දරුවකු බිහිකිරීම සාමාන්‍ය සිරිත වී තිබුණි. එසේ නොකළහොත් එයඅඩුවක් වශයෙන් සැලකිණි. එහෙත් වර්තමාන තරුණ පරපුරේ බොහෝ දෙනකු විවාහ වු අලුතම දරුවකු හදාගැනීමට උත්සාහ නොකරති. මඟුලට ගත් බැංකු ණය ගෙවාගත යුතු නිසා තම රැකියාව හොඳින් කරමින් ප්‍රමෝෂන් ලබාගෙන වැඩි මුදලක් ඉපයීම දෙදෙනාගේම බලාපොරොත්තුවයි. එනිසා අද බොහෝ ජෝඩු “අවුරුදු දෙක තුනක් යනකම් අපි දරුවෙක් නොහදා ඉදිමු ” යැයි නැණවත් ගිවිසුමකට එළැඹ තම තරුණ ජීවිතය විනෝදයෙන් ගත කරති.
එහෙත් තවමත් පරණ යුගයේ ජීවත්වන නැන්දම්මා ඒ බව දන්නේ නැත. මඟුල් ගෙදරින් මාස හය හතක් පමණ වන විට තමා මිත්තණියක් වන සුභ ලකුණු ලේලියගේ සිරුරෙන් දිස්වෙන්නේ නැතිනම් ඇය කනස්සල්ලට පත්වෙයි. ඒ ගැන තම සැමියාට ද විටින්විට කොඳුරයි. තවත් මාස පහ හයක් ගතවනවිට ඇයට මේ ගැන නොවිමසා සිටීමට බැරිය. ලේලිය කුස්සියේ පොල් ගාන විට ඇය ළඟට වී පිටි අනන නැන්දම්මා “දුවේ ඉතින් දැන් බැඳලත් අවුරුද්දක් වෙන්න ආවානේ, ඉතින් හැමදාම දෙන්නෙක් විතරක් වෙලා කොහොමද ?” යැයි වටින් පිටින් මුට්ටිය දමා විමසයි.
අවුරුදු පහක් යනතුරු දරුවකු නොහැදීමට දෙන්නා කතිකා කරගෙන සිටින බව කිව්වොත් නැන්දම්මාට කලන්තේ හැදෙන බව දන්නා නිසා ලේලිය, “අනේ අම්මේ, බැඳලා තවම වැඩිකල් නැහැනේ. පස්සේ බැරියැ” කියමින් එතනින් ‘ෂේප් වී’ යන්නට වග බලා ගනී.
නමුත් අලුත බැන්ඳ යුවළකට අවුරුදු දෙකක් ගතවීත් දරුවකු නැතිනම් රුදාව හැදෙන්නේ දෙපැත්තේ ඉන්නා නෑයන්ටය.
ජෝඩුව නැති තැන ඔවුහු ඒ ‘අඩුව’ ගැන කතා කරති.
ගෙදරට එන තරුණයාගේ ලොකු නැන්දා “මොකද නංගියේ දුවගෙන් තවම සුභ ආරංචියක් නැත්තේ” කියා අසමින් ඔහුගේ මව නොසන්සුන්බවට පත්කරයි. අවාසනාවට ඉන්පසු මෙම තරුණ යුවළට මහ ගෙදර ජීවත්වන්නට වෙන්නේ බලවත් මානසික පීඩනයක් මැද්දේය. කසාද බැඳලා අවුරුදු තුනකට පස්සේත් ඔවුන්ට දරුවෙක් නැතිනම් වැඩේ විනාශය.
“පුතේ නරකද කෙල්ලව දොස්තර කෙනෙකුට පෙන්නුවොත්” කියා ගෙදරට එන පුංචි අම්මා අසනවිට කොල්ලාට අසුහාරදාහට නගී. අපි දැන්ම දරුවෝ හදන්නේ නැතැයි ඔළුවෙන් හිටගෙන කිව්වත් නෑයෝ එය පිළිගන්නේ නැත. ඔවුන් හිතන්නේ තරුණියට මොනවාහරි බැරිකමක් ඇත කියාය.
1989 දී රුවිනි සමඟ විවාහවී ලන්ඩන් පැමිණි පසු මා ඇයට කීවේ, ජීවිතයේ මුල්වරට පිටරටකට පැමිණි ඇය තම අලුත් රැකියාව වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවය. “මේ සුන්දර රටේ සිරිත් විරිත්, සංස්කෘතිය ටිකෙන් ටික ඉගෙන ගනිමින් ඔයා විනෝද වෙන්න. රස්සාවෙන් දියුණුවෙන්න බලන්න. අවුරුදු හතර පහකට පස්සේ දරුවෙක් හදන්න රස්සාවෙන් කැමතිනම් අස්වෙන්න” කියා මම ඇයට කීවෙමි. ඇයත් එයට එක සිතින්ම එකඟ වුවාය. අපි අවුරුදු පහමාරක්ම අලුත බැදපු යුවළක් සේ නිදහසේ සතුටින් කල්ගත කළෙමු.
අප දරුවකු නොහැදීම අපේ සමහර නෑයන්ට ලොකු ප්‍රශ්නයක් වීම අපට බලවත් විනෝදයක් ගෙන දුන්නේය. විවාහයෙන් වසර 5කට පසු අපේ පළමු පුතා දේශාන් ජනරංජන බිහිවීමේ ප්‍රීතිමත් පුවත අපි හිත මිතුරන්ට ලිපි මඟින් දන්වා සිටියෙමු.
එයට හැරෙන තැපෑලෙන් පිළිතුරු එවූ මාතර එක්තරා මාමා කෙනෙකු අසා තිබුණේ “පුතා බලවත් සටනකින් ජයගත්තා නේද” කියාය.එදා ළඟ හිටියා නම් ඒ මාමා මගෙන් හොඳවයින් දෙකක් අහගන්නවාය.
එම සිද්ධියෙන් අවු 25කට පසු අදත් ශ්‍රී ලංකාවේ ඇතැම් මවුපියන්ගේ ආකල්ප වෙනස් වී නැත. තමාගේ පුතා හෝ දුව විවාහවී මාස 18ක් තුළ දරුවකු බිහි නොකළහොත් එය අඩුවක් ලෙස ඔවුන් සලකති. “දරුවෙක් හදපන් හදපන්” කියා ඔවුන් ඇතිකරන පීඩනය නිසාම සමහර අලුත් ජෝඩු මානසික අසහනයට පත්වෙති. අඬදබර වී දික්කසාද වෙති.
එහෙත් එකඅතකින් බලන විට ලංකාවේ අලුත්ජෝඩු වාසනාවන්තය. ඒ ඔවුන් ඉන්දියාවේ අලුත් විවාහක තරුණ තරුණයන් මෙන් බලවත් පීඩාවට හෝ ශාරීරික හිංසාවට ළං නොවන නිසාය.
අද බොහෝ ඉන්දියාවේ නොදියුණු ගම්මානවල සිටින තරුණියන් විවාහයට පත්වන්නේ බොහෝ බියෙනි. එයට හේතුව මනාලයාගේ පවුල අවුරුද්දක් වැනි සුළු කාලයක් ඇතුළත ඇයගෙන් අනිවාර්යයෙන්ම දරුවකු බලාපොරොත්තු වන නිසාය. මෙහි භයානක තත්ත්වය නම්බොහෝ ඉන්දියානු මවුපියන් බලාපොරොත්තු වන්නේ ගෙදරට ආ අලුත් ලේලිය තමන්ගේ පරපුර ඉදිරියට ගෙනයාම සඳහා හැකි ඉක්මනට මුනුපුරෙක් ලබාදෙයි කියාය. ගැහැනු දරුවන් විවාහ කරදීමේදී විශාල දෑවැද්දක් දිය යුතු නිසා බොහෝ නැන්දම්මලා මාමලා ඔවුනට කැමති නැත. බැරිවෙලාවත් ලේලිය බිහිකරන්නේ ගැහැනු දරුවකු නම් ඇයට වැඩ වරදී. ගැහැනු දරුවන් ගර්භාෂයේදීම මරා දමන ලෙස ක්‍රෑර ඉන්දියානු සැමියන් බිරියන්ට අණ කළ අවස්ථා ද අනන්තය. පසුගිය වසර පහ තුළ පමණක් පිරිමි දරුවකු වෙනුවට ගැහැනු දරුවන් ප්‍රසූත කළ ඉන්දියානු මවුවරු 153දෙනෙකු පමණ සැමියන් හා නැන්දම්මලා එකතුව බිහිසුණු ලෙස පුලුස්සා මරා දමා ඇති බව ලෝක මවුවරුන්ගේ සංගමය හෙළි කළේ පසුගිය වසරේදීය.
බොහෝ ඉන්දියානු මවුපියන් තමන්ගේ පුතා හෝ දුව ගැන හිතන්නේ ඔවුන් තමන්ට මුනුපුරකු නිපදවන වෙළෙඳ භාණ්ඩයක් කියාය. එනිසා අද බොහෝ ඉන්දියානු මනමාලියෝ පෝරුවෙන් බැස්ස ගමන් ළමයෙක් හම්බ විය යුතු තරමේ පීඩනයකින් පසුවෙති.
මේ අතර, තමන්ට මුනුපුරකු ලබා නොදීම ගැන උරණ වූ ඉන්දියානු යුවළක් තම පුතුගෙන් බ්‍රිතාන්‍ය පවුම් 520,000ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා නඩු පැවරූ අරුම පුදුම සිද්ධියක් පසුගියදා බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවල ලොකු අකුරින් පළවීය. (පවුමට රුපියල් 450 හේ වත්මන් අගය අනුව එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ 2,350ක් පමණ වෙයි)
මේ නඩුව ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියාවේ හරිද්වා ප්‍රාන්තයේ ධනවත් යුවළක් වන 61 හැවිරිදි සජිනීව් ප්‍රසාද් සින්හා සහ ඔහුගේ බිරිය 57 හැවිරිදි සාධනා ප්‍රසාද් සින්හාය. පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රසාද් සින්හා කියා සිටියේ තම පුතා සාගර් සින්හා උපන් දා සිට අද දක්වා තමා ඔහු වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 265, 000ක මුදලක් (ලංකා රුපියල් ලක්ෂ 1,150ක්) වියදම් කර ඇති නමුත් තමන්ට අද හෙට මුනුපුරකු ලබාදීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
“සෑම වැඩිහිටි දෙමවුපියකුගේම සිහිනය තමන්ගේ විවාහක දරුවා ඉක්මනට මුනුපුරෙක් ලබාදෙයි කියන එකයි. නමුත් අපේ පුතා අපේ ඉල්ලීම තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. එයා සුපිරි ඉස්කෝලයකට දමලා අපි ඉගැන්නුවා. ඊටපස්සේ අපි පුතාව ඕස්ට්‍රේලියාවට යවලා ඩොලර් 52,000ක් (රු. ලක්ෂ 235ක්) වියදම් කරලා එයාව පයිලට් කෙනෙක් කළා. අපි 2016 දී එයාට සුහන්ගි කියන ලස්සන තරුණිය බන්දලා දුන්නා. ඉන්දියාවේ තිබුණු ඉහළම තරු පහේ මඟුල් උත්සවයට අපි දෙන්නා රුපියල් ලක්ෂ 120ක් වියදම් කළා. ඒ මදිවට පවුම් 63,000ක් වටින ලස්සන අවුඩි කාර් එකක් අපි මංගල තෑග්ග විදිහට එයාලට අරන් දුන්නා.”
දැන් අපේ පුතා හා ලේලි බැඳලා අවුරුදු 6ක් වෙනවා. වෙන ඉන්දියන් ජෝඩු බැඳලා අවුරුද්දෙන් තමන්ගේ දෙමවුපියන්ට මුනුපුරෙක් ලබාදෙනවා. නමුත් අපි කොච්චර කිව්වත් එයාලට වුවමනාවක් නැහැ. එයාලට ඕන තමන්ගේ රස්සාවල් වැඩිදියුණු කරගන්න විතරයි. අසරණ අපිදෙන්නාගේ බලාපොරොත්තුව ගැන එයාලා කිසිම තැකීමක් නැහැ” ප්‍රසාද් සින්හා පවසන්නේ කනගාටුවෙනි.
ඉන්දියාවේ බොහෝ පවුල්වල මවුපියන් හා දරු මුනුපුරන් සියල්ලෝම ජීවත්වන්නේ මහගෙදරය. තමාගේ තරුණ දරුවන් තමන්ගේ ගෙදරින් පිටගොස් නිදහස් ජීවිතයක් ගෙවනවාට ඔවුන් කැමති නැත. මෙම වැඩිහිටි යුවළට වැඩියෙන්ම තරහ ගොස් ඇත්තේ තම පුතා හා ලේලිය වෙනත් නිවෙසක පදිංචියට යෑමයි.
“එයාලා දෙන්නා පිට ගෙදරකට වෙලා ජොලියේ ඉන්නවා. අපි දෙන්නා මේ මහගෙදර තනිවෙලා පාළුවේ ඉන්න බව එයාලට පේන්නේ නැහැ. පුතාට වියදම් කරලම අපි දුප්පත් වෙලා. අපේ ගෙදර හදන්න ගත්ත බැංකු ණය අපි තවම ගෙවල ඉවරත් නැහැ.” යැයි අසරණ ප්‍රසාද් සින්හා තම පෙත්සමේ තවදුරටත් සඳහන් කොට ඇත.
“අපිට මැරෙන්න කලින් මුනුපුරෙක් දකින්න ඕනමයි. ඒ නිසා අපි උසාවියට කියන්නේ අවුරුද්දක් ඇතුළත අපිට මුනුපුරෙක් ලබාදෙන්න ඔවුන්ට නියෝග කරන්න කියලා. එයාලා තව දුරටත් අපේ ඉල්ලීම ඉටුකිරීම ප්‍රතික්ෂේප කරනවානම් පුතා ඉපදුන දා සිට අද දක්වා අපි එයාට වියදම් කළ මුදලට අමතරව අපට ඇති කළ හිත් වේදනාව වෙනුවෙන් එයාල දෙන්නා අපිට පවුම් 520,000ක වන්දියක් ලබාදෙන ලෙස නියෝග කරන ලෙස අපි උසාවියෙන් ඇයද සිටිනවා.”
සින්හා යුවළ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන අරවින්ද කුමාර කියන්නේ එම ඉල්ලීම ඉතා සාධාරණ බවයි. “මේ දෙමවුපියෝ දෙන්නා තම පුතා වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. ඉතින් තමන්ගේ දෙමවුපියන්ට මුනුපුරෙක් ලබාදෙන්න එයාලට වුවමනාවක් නැතිනම් ඒ සල්ලි ඔක්කොම ආපසු ගෙවිය යුතුයි ”
මෙම නඩුව මෙම මාසය අගදී උත්‍රාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් නගරයේ ප්‍රධාන උසාවියේදී විභාගයට ගැනීමට නියමිතය. බටහිර රටවලට මෙය හාස්‍යජනක සිද්ධියක් වුවත් Indian
Express පුවත්පත පවසන්නේ මෙය ඔවුන්ගේ රටේ බොහෝ මවුපියවරුන්ගේ සාමාන්‍ය හැසිරීමක් බවයි. “ඉන්දියාවේ සංස්කෘතිය හරි වෙනස්. බොහොමයක් දෙමවුපියන් හිතන්නේ දරුවකුට ඉගැන්වීමට හා ඔහුගේ මඟුලට ලක්ෂ ගණනක් වියදම් කළ නිසා ඔහුගේ තරුණ ජීවිතයක් තමන්ට පාලනය කළ හැකියි කියා. ඔහුගේ රැකියාව කුමක් විය යුතුද? කුමන මෝටර් රථයක් ඔහු මිලදී ගත යුතුද? ඔහුගේ ඇඳුම් පැලඳුම් මොනවා විය යුතුද තීරණය කරන්නේ ඔහුගේ බිරිය නොව දෙමවුපියන්. නව යුගයේ ඉන්දියානු තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් මේ ගතානුගති ක්‍රමයට විරුද්ධව කැරලි ගසති.
මෙම 35 හැවිරිදි සාගර් සින්හා සහ 31 වියති බිරිය ශුභාංගි මවුපියන්ගේ බලයට යටත් නොවන එවැනි තරුණ යුවළකි. ඔවුන් කවදා දරුවෙක් හැදිය යුතුදැයි තීරණය කිරීම උසාවියට අයිති කරුණක් නොවේයැයි අපි තරයේ විශ්වාස කරමු”යැයි Indian Express පුවත්පත වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ මවුපියන් තමා වියදම් කළමුදල් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා දරුවන්ට එරෙහිව තවම අලුත්කඩේ උසාවිය පැත්තේ නොයෑම අපේ තරුණ පරපුරේ වාසනාව යැයි මට සිතේ.
ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන
(බ්‍රිතාන්‍ය ඉංජිනේරු)
ලන්ඩන් නුවර සිට ලියයි