පොලිසියත් දෙදරයි | සිළුමිණ

පොලිසියත් දෙදරයි

2021 පත්වීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරු 184 න් 182 ක්ම දේශපාලන පත්වීම් බව පොලිස්පතිම කියයි

ටේ පොලිසිය දේශපාලනීකරණය වී ඇති බව පුරවැසියෝ දනිති. දශක ගණනාවක අත්දැකීමෙන් මේ යථාර්ථය දන්නා ඔවුන්ට මේ මාතෘකාව සංවාදය සඳහා අමුතු නිමිත්තක් හදන්නේ නැත. එහෙත් රටේ පොලිස්පතිවරයා තමන්ගේ යටතේ ඇති පොලිසිය හසුරුවන්නේ තමන් නොව දේශපාලනය බව ලිඛිතව සිය පරිපාලන ප්‍රධානියාට ලියා දන්වන විට සමාජය තිගැස්වෙන්නේය.

එවැනි ලිඛිත රහස්‍ය වාර්තාවක් පසුගිය දා මාධ්‍යය ඔස්සේ හෙළිදරව් විය. පසුගිය දෙසැම්බර් මස 06 වැනිදා මේ වාර්තාව ලියන්නේ පොලිස්පති ඩී.සී වික්‍රමරත්නය. ඔහු එය යොමු කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්ටය. ඔහු එම වාර්තාවෙන් ලේකම්වරයාට දන්වා තිබුණේ 2021. 01.01 දින සිට, 2021.11.03 දින දක්වා පත්වීම් ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරු 184 න් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම ධුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරු 02ක් පමණක් බවය. ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරු 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලපෑම් මතම පත්කර ඇති බවය. 

•පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

ලංකාවේ පොලිස් සේවය පිහිටුවන්නේ මීට අවුරුදු 155කට පෙරය. ඒ 1866 අංක 16 දරන පොලිස් ආඥා පනත ප්‍රකාරව ජෝර්ජ් රොබට් විලියම් කැම්බල් මහතාගේ ප්‍රධානත්වයෙන් 1866 සැප්තැම්බර් 3 වැනිදා ය.

එතැන් සිට මේ කීර්තිමත් වෘත්තීය ආයතනය දින තුන්සිය හැට පහ පුරාම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේත් සමාජ පැවැත්මේ රිද්මය රැකගනු සඳහාත් දැවැන්ත මෙහෙයක් කළේය. විවිධ සංකූලතා මධ්‍යයයේ වුව ද මේ මොහොතේත් ඒ වගකීම පොලිසියෙන් ඉටුවන්නේය. එම පාලනය ගිලිහී ගිය මුල්ම මොහොතේම නීතිය බලය මත යටපත් කර ඇති සමාජයේ තිරශ්චීන නොදැමුණුකම මතුවන්නේය. එය අප අත් දුටුවේ මීට දෙසතියකට පෙරය. පොලිසිය පරමාදර්ශි ආයතනයක් විය යුතු බවට සමාජය කල්පනා කරන්නේ එබැවිනි.

පොලිස් ස්ථානාධිපතිවරයා යනු පොලිස් භූමිකාව සමාජය තුළ රූපණය කරන ප්‍රධානම වගකිවයුතු නිලධාරියා ය. එබැවින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම, පුහුණු කිරීම, අත්දැකීම් සහ පළපුරුද්ද ක්‍රමානුකූලව ලබා දීමට අනාදිමත් කාලයක සිට හැඩගැසුණු සම්ප්‍රදායක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ විය.

උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම, එසේ නිපුණතාවක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් වූ විට පොලිස් ස්ථානයක කාර්යය එක් එක් අංශවලට බෙදා වෙන් කර නැති, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු C හෝ D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබා දීම සිදු විය.

එයින් අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යොදවනු ලැබිණි. A1 හෝ A2 ලෙස ශ්‍රේණි ගත කර ඇති වගකීම් බහුල, සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්යබහුල පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයෙක් ලෙස පත් කෙරෙන්නේ ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන්ය.

එහෙත් පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරු 184ගෙන් ස්ථානාධිපතිවරු තෝරා ගනු ලබන සම්මුඛ පරීක්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126ක් බව පොලිස්පතිවරයා කීවේය. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03 දෙනෙක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබිණි. මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති කමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කරගෙන ඇතැයි පොලිස්පතිවරයා කීවේය. 

මින් පෙර කිසිම පොලිස් ස්ථානයක ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි. B හෝ C ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට කෙළින්ම A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරු ගණන 19කි. මේ පත්කරගැනීම්වලින් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛන සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කළේය.

•මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිළිතුර

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයා යොමු කළ වාර්තාවට සතියක් ඇතුළත එනම් දෙසැම්බර් 13 වෙනිදා පිළිතුරු ලිපියක් පොලිස්පතිවරයාට යොමු කරන්නේය. පොලිස්පතිවරයා විසින් තමන් වෙත යොමු කළ ලිපියෙන් අවධානයට ලක්කරන්නේ වසරක් තුළ පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් ගැන පමණක් බවත් ශ්‍රී ලංකා පොලිසියේ අකාර්යක්ෂමතාවට හේතුව ස්ථානාධිපතිවරු මතම බැර කිරීම කෙතරම් යුක්ති සහගතද දැයි සොයා බැලිය යුතු බවත් ය.

පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට ප්‍රධානම නිර්දේශ ලබා දෙන්නේ පොලිස් මූලස්ථානයෙන්වන අතර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙම පත්වීමටවලට අවසාන වගකීම දේශපාලකයින්ගේ නොව පොලිස්පතිවරයාගේ බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ ය.

මේ මාතෘකාව පිළිබඳ මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ද දැඩි සංවාදයට ලක් වී තිබේ. එමෙන්ම සමාජය තුළ ද අවිශ්වාසනීය අනියතයක් මෙන්ම විසංවාදයක් නිර්මාණය කර තිබේ. මේ සම්බන්ධව ප්‍රමාණිකයන් හා සංවාදයකට අප ප්‍රවේශ වන්නේ එබැවිනි.

මුලින්ම අප හා සංවාදයට එක් වන්නේ පොලිස් සේවයේ සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙන්ම ජනතාව සහ මාධ්‍ය සමඟ සමීපව ගනුදෙනු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ ප්‍රියන්ත ජයකොඩි ය. ඔහු කියන්නේ තමන් ද දේශපාන බලපෑම් මත පීඩාවට ලක් වූ වින්දිතයෙක් බවත් මේ තත්ත්වයෙන් පොලිසිය මුදවා ගැනීම කළ යුතු බවට වූ හේතුව දක්වමින් පොලිස්පතිවරයා දත්ත සංඛ්‍යාලේඛන සහිතව තොරතුරු ඉදිපත් කර ඇති බවය. “පොලිසිය දේශපාලනීකරණය වීමෙන් ප්‍රධාන හානි දෙකක් වෙනවා. යම් තනතුරකට නුසුදුසු නිලධාරීන් පත් වීමෙන් එම තනතුරේ ගෞරවය නැති වීම හා එයින් නිලධාරියා සතු කාර්යභාර්යය කඩාගෙන වැටීම. සුදුසුකම් සැපිරූ නිලධාරීන් සිටිද්දී පොලිසිය වැනි නිල ව්‍යුහය ශක්තිමත්ව තිබිය යුතු තැනක නුසුදුසු අයට උසස්වීම් ලැබෙන විට සුදුසුකම් සහිත අය ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. එයින් සිදුවන්නේ ආයතන ව්‍යුහය බිඳ වැටීමයි. 

මෙය ඉතා නරක විදිහට රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ව්‍යුහයට බලපාන නිසයි පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට පොලිස් කොමිසම යෝජනා කළේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය කළා. එයින් පසු පත් වූ ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් එය නැති කළා. නැවත රජය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරන් ඇවිත් නැවත පොලිස් කොමිසම බල ගැන්වුවා. නමුත් පවතින රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය නැති කළා. පොලිසියේ ස්වාධීනත්වය නැති කරන්නේ බලය තමන් වටා ගොනු කරගන්න. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පොලිසිය දේශපාලනීකරණය කිරීමේ ආදීනව තමයි 09 වැනිදා රට භුක්ති වින්ඳේ.

මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි පසුගිය දෙසැම්බර් 05 පොලිස්පතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට පෙන්වා දුන්නේ. පොලිස් ස්ථානාධිපති තනතුර කියන්නෙ ඉතාම වගකීම් සහගත තනතුරක්. එවැනි තනතුරකට සුදුස්සෙක් ආවේ නැති නම් 09 වැනිදා වාගේ තත්ත්වයකදී ඊට මුහුණ දෙන්න, නිලධාරීන් මෙහෙයවන්න ඔහුට බෑ. නිලධාරීන් ඔහුට අවනත නෑ. මැති ඇමති ගෙවල් එකසිය ගානක් ගිනි තියනකල් නිර්ලජ්ජිත විදිහට පොලිසියට බලාගෙන ඉන්න වුණේ ඒ නිසා.

දක්ෂ නිලධාරීන් ඉන්නවා නම් ඊළඟට සිදුවෙන දේ සම්බන්ධව ඔවුන්ට ඉව මෙන්ම සැලසුම් තිබෙනවා. ඔවුන් සංවිධානාත්මක වෙනවා. එවැනි දේවල් අපි පසුගිය සිදුවීමේදී දැක්කෙ නෑ.

නිර්දේශපාලනික පොලිසියක් වෙනුවෙන් සිවිල් සාමාජය ශක්තිමත් විය යුතුයි. මා එසේ කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස දේශපාලන බලපෑම් නිසා මේ රජය දෙක යටතේම දෙවතාවක් වින්දිතයෙක් වූ නිලධාරියෙක් ලෙසයි. විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ලෙස මගේ මට්ටමින් කළ හැකි සියලු දේම ඒ වෙනුවෙන් කරන්න මා කැප වෙනවා.

“ මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මේ රටේ මානව හිමිකම් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ වෘත්තිකයෙකි. තිරාණගමයන්ට අනුව පොලිසිය පමණක් නොව රටේ සියලුම රාජ්‍ය ආයතනවලට ස්වකීය බල ව්‍යුහය තුළ ක්‍රියාත්මක වීම සඳහා දේශපාලනය විසින් ඉඩ සලසා දිය යුතු බවය.

“77 දි පැමිණි ජේ. ආර්. ආණ්ඩුව පොලිසිය දේශපාලන අවශ්‍යතා මත හසුරවනු ලැබුවා. මිනිස්සුනට හිරිහැර කරන්න පොලිසිය එළිපිට යෙදෙව්වා. එවැනි නිලධාරීන්ට උසස්වීම් ලබා දුන්නා. ඒ පටන් ගත් ගමන තමයි මේ ඇවිත් තිබෙන්නෙ.

ඒ සමඟම මෙම ආයතන ස්වාධීන විය යුතුයි යන මතය සමාජයෙන් ආවා. පොලිස් කොමිසම එහි ප්‍රතිඵලයක්. උසස්වීම් සහ පත්වීම් ලබා දිය යුත්තේ පුද්ගල සුදුසුකම්, ජ්‍යෙෂ්ඨත්වය සහ විනය මත. පොලිසිය තුළ මේ බලය තිබුණු පොලිස් කොමිසමේ පත්කිරීමේ බලය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත්වී රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කිරීම නොවිය යුතු දෙයක්. සුදුසුකම් ජ්‍යෙෂ්ඨත්වය නොබලා දේශපාලන ළැදියාව මත පත්වීම් දුන්නා. පොලිස්පති කියන්නෙ මේ කතාව. ඒ කියන්නේ මේ ආයතනය ස්වාධීන නැති බව. ලංකාව නීතියක් නැති රටක් බව. ලෝකයට ඒ දෙන පණිවුඩය හොඳ මදි . නමුත් කවුරුන් හෝ වගකිවයුතු පුද්ගලයෙක් මේ තත්ත්වය ලෝකයට හෙළිදරවු කළ යුතුයි. එහෙම වුණොත් විතරයි එය නිවැරදි කරගන්න පුළුවන්. මේ පෙන්වන්නෙ කාලයක් තිස්සෙ සමාජයෙ වෙච්ච ගරා වැටීම."

ශාස්ත්‍රපති කළුපහන පියරතන හිමි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකි. මෙම සංසිද්ධිය පිළිබඳ උන්වහන්සේ මෙසේ අප හා අදහස් දක්වන්නට එක් වූහ.

“ මොනම ආයතනයකට වුණත් අනවශ්‍ය බලපෑමක් කාගෙන් හෝ සිදුවෙනවා නම් ඒ කිසිම ආයතනයකට මානව හිමිකම් ආරක්ෂා කරන්න බෑ. යම් කිසි කටයුත්තක් සඳහා මොනම ආකාරයකට හෝ රාජකාරියට පරිබාහිරව කරන බලපෑම අප දකින්නෙ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි.

අප මේ සංවාදයට ලක් කරන පොලිස්පතිවරයාගේ රහස්‍ය වාර්තාවේ අන්තර්ගත කරුණු ජාත්‍යාන්තරයට ගියාම රටේ මානව හිමිකම් සම්බන්ධව විතරක් නොවෙයි, රටේ යහපාලනය සම්බන්ධවත් මතු කරන්නේ විශාල ප්‍රශ්නයක්. එහෙම දෙයක් වෙලා තිබෙනවා නම් රටේ සෑම අංශයකටම බරපතළ ප්‍රශ්නයක් එයින් ඇති කර තිබෙනවා.

“මානව හිමිකම් කොමිසම ලෙස මේ වගේ වෙලාවක කළ හැක්කේ අදාළ සිදු වීම සම්බන්ධව නිසි අයුරින් පරීක්ෂණයක් කරන්නැයි වගකිවයුතු බලධාරින්ට නිර්දේශ කිරීමයි. රටේ තිබෙන ආයතන එකිනෙකාගේ බලපෑමින් තොරව නිදහසේ පවත්වා ගන්න පසුබිම සාදා දීමට මඟපෙන්වීමයි. නැතිනම් රටේ කීර්ති නාමයටයි කැලැළක් වෙන්නේ.

පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති නීතිඥ චන්ද්‍රා ප්‍රනාන්දු මේ රටේ පොලිස් සේවයේ සිටි විශිෂ්ට වෘත්තිකයෙකි. ඔහු මෙරට 29 වැනි පොලිස්පතිවරයාය. 2004 සිට 2006 කාල වකවානුවේ දී පොලිස්පති ධුරය හෙබවීය. පොලිස් කොමිසමේ හත්වැනි සභාපතිවරයාත් ඔහුය. දේශපාලනීකරණය වූ පොලිසිය පිළිබඳ ඔහුගේ කියැවීම අපට වෙනස්ම මානයක් විවර කරන්නේය. “සමාජයෙ තිබෙනවා ආයතන කීපයක්. එම ආයතන පිහිටුවීමේ ස්වභාවය තුළම දූෂිතයි. මුලින්ම මේ දූෂිතයි යන වචනයේ අර්ථය අප සමීකරණයකින් තේරුම් ගනිමු. CR=M+D-A . CR කියන්නෙ Corruption (දූෂණය). M කියන්නෙ monopoly

(ඒකාධිකාරිය). D කියන්නෙ Discriminatory Power (වෙනස්කම් කිරීමේ අභිමත බලය). M කියන්නෙ Minus Accountybility ( වගකීමක් නොගැනීම ). “ඒ කියන්නෙ දූෂණය = ඒකාධිකාරිය + වෙනස්කම් කිරීමේ බලය - වගකීම් නොගැනීම. “

“රටේ තිබෙන නීතිය හා සාමය පවත්වාගෙන යන එකම ආයතනය ලෙස ඒකාධිකාරී බලයක් තිබෙන්නෙ පොලිසියට. එම බලයට එකතු වෙනවා ඔවුනගේ අභිමතය. ඒ වගේම ඔවුන් වගකීම ගන්නෙ නෑ. ලෝකය පිළිගත් සිද්ධාන්තයක් තමයි එහෙම ආයතන දූෂිත බව.

“අපේ වගේ යැපුම් මට්ටමේ ආර්ථිකයක් තිබෙන සමාජයක, ජන ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සෑම කාර්යයකටම සම්බන්ධ වෙන පොලිසිය හැසිරෙන්නෙ වෙනස් ආකාරයකට. පොලිසියෙ ඉන්නෙත් මේ සාමජයෙම යැපුම් මට්ටමේ මිනිස්සු. ඔවුන් සිය යැපීම සඳහා දේශපාලකයින් ළඟට යනවා.

දේශපාලකයින්ට මිනිස්සු අවශ්‍යයයි. පොලිසිය හරහා ඉටු කරගන්න අවශ්‍ය දේවල් ලබා ගන්න මිනිස්සු මුලින්ම යන්නෙ දේශපාලකයින් වෙත. ඒ නිසා දේශපාලකයන් මිනිස්සුන්ගෙ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම සඳහා පොලිසියට ළං වෙන්න බලනවා.

මේ යැපුම් ආර්ථික ව්‍යුහයේ ඇති වන යැපුම් චින්තන රටාව, හීනමානය සහිත මිනිස්සුන්ගෙ මනෝභාවය සහිත ව්‍යුහය තුළ දේශපාලන බලපෑම පොලිසියට ඉබේම එනවා. මෙය තුන්වන ලෝකයේ ආර්ථික අතින් ඉතාම පහළ රටවල ලක්ෂණයක්.

ඇත්තටම මේ දේශපාලන බලපෑම සිදු වෙන්නෙ දේශපාලකයන්ගේ පෞද්ගලික ඕනෑකමට නොවෙයි. බොහෝ දෙනා මේ කරන්නෙ වරදක් බව දන්නවා. ඊට කැමත්තකුත් නෑ. ඒත් සමාජයෙන් බලපෑමක් තිබෙනවා දේශපාලකයින් ලවා පොලිසියට බලපෑමක් කරවන්න. ඒක බෑ කියන්න බැරි තත්ත්වයක්. මුලින් කීවා වගේ මේ ප්‍රකාශ වන්නෙ සමාජයේ නොදියුණු යැපුම් මට්ටම.

ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ වත්මන් පොලිස්පතිවරයාගේ වරදක් නොවන බව. ඒ වගේම දේශපාලකයින්ගෙ කිසිම වරදක් නෑ. යැපුම් මට්ටමේ ඉන්න අසරණ මිනිස්සුන්ට යම් යම් දේවල් අවශ්‍ය වෙනවා. එහෙම සමාජයක දේශපාලනය කරන පිරිස් මිනිස්සු වෙනුවෙන් යම් දේවල් කිරීම පහසු කරගැනීමට තමන්ට හසුරුවාගන්න පුළුවන් පිරිසක් තම තමන්ගේ දේශපාලන බල ප්‍රදේශවලට පත් කරගන්න උත්සාහ කරනවා.

මේ තත්වය ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක්. දේශපාලනීකරණය වන පොලිසියේ නියම ස්වරූපය මතුවෙන්නෙ හැත්තෑව දශකයෙදි. උතුරු නැගෙනහිර යුද්ධයත් එක්ක ඒක වැඩි වෙනවා. මේ එහි දිගුවක්.“

එහෙත් ඔහු කියන්නේ මේ තත්ත්වය නියැතියක් නොවන බවය. පොලිසිය දේශපාලනීකරණයෙන් මුදවා ගත හැකි බවය.

“නිසැකවම මේ ආයතනය දේශපාලනීකරණය වීමෙන් වළක්වා ගත හැකියි. එක් රැයකින් නොවෙයි. විධිමත් වැඩපිළිවෙළක් යටතේ එය නිශ්චිතවම කළ හැකියි.

මේ බලපෑම් සිද්ධවෙන්නෙ බඳවා ගැනීම්වලදි, හෝ උසස්වීම් ලබා දෙද්දි. නැතිනම් නිලධාරියෙක් කළ විනය විරෝධී කටයුතු වලට දඬුවම් ලැබීමෙ දි. දේශපාලන බලපෑමට කෙනෙක් පොලිස් සේවයට ආවත් ඔහු එම සේවයට කායිකව මානසිකව සුදුසු නැතිනම් ඔහුව ඉවත් කරන්න ඕනෑ තරම් අවස්ථාව මුල් අවුරුදු තුනේදි තිබෙනවා. විනයානුකූල දඬුවම් ලබා දීමට හැකියාව ඕන තරම් තිබෙනවා.

උසස් වීම් ලබා දීමේදි එන බලපෑම් උපක්‍රමශීලීව කළමනාකරණය කර ගත හැකි අවස්ථා තියෙනවා. චක්‍රලේඛ මඟින්, දැඩි අධීක්ෂණයකින්, වෙනස්කම් කිරීමේ බලය අඩු කර, වගකීම් සහගත වීම වැඩි කළ යුතුයි. අදූෂිත, පිළිගත හැකි දැනුමක් සහිත, නීතිය ගැන අවබෝධයක් ඇති නිලධාරී මණ්ඩලයක් විසින් කරන නිරන්තර අධීක්ෂණයක් යටතේ සංවිධානය වන පොලිසියකට දේශපාලන අතපෙවීම් එන්නෙ නෑ.

ඒ වගේම පොලිසිය ගැන තිබෙන සමාජ විශ්වාසය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කාගෙන්වත් උදව්වක් නැතිව පොලිසියට ගිහින් වැඩක් කරගෙන පැමිණිය හැකි බවට වූ විශ්වාසය මිනිස්සුන්ට ඇති කළ යුතුයි. අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් පමණයි.“ චන්ද්‍රා ප්‍රනාන්දු කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට මෙම පත්වීම් නැවත ඇගයීමට ලක් කරන ලෙසත්, සියලුම පොලිස්ථානවල ස්ථානාධිපති තනතුරු සඳහා දෙසතියක් තුළ යළි අයැදුම්පත් කැඳවා දේශපාලන හිතවත්කම් මත පත්ව සිටින සියලුම ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමට ක්‍රියාපටිපාටිය සකසන ලෙසත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නියෝග කර ඇතැයි වාර්තා වේ. මේ විද්වත් පර්ශදය අපට කියන්නේ පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ හුදු පොලිසිය ගැන කතාවක් නොව සමාජයක බිඳ වැටීම බවය. එහෙත් එය පුරුත්ථාපනය කළ හැකි සමාජ සංසිදධියක් බවය. සමාජය ද මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ එවැනි පෞරුෂයකින් හෙබි සමාජ පරිපාලනයක් ගැනය.

Comments