
බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් (1898 - 1956) යනු බොහෝ ලාංකිකයන් අතර ප්‍රකට ජර්මානු ජාතික ලේඛකයෙකි. නාට්‍ය රචකයකුට අමතරව ඔහු කවියෙක් සහ ප්‍රබන්ධ රචකයෙක් ද තිර පිටපත් රචකයෙක් ද විය. එසේම ඔහු විසින් නාට්‍යකරණය සම්බන්ධයෙන් කෘති අටක් ද ලියා පළ කොට ඇත. එහෙත් ඔහු ලොව පුරා බුහුමනට පාත්‍රවැ සිටින්නේ නාට්‍යවේදියකු ලෙසය. ඔහුගේ නාට්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය වී ඇති අතර ඔහු පිළිබඳ දෑ අඩුම තරමින් වසරකට වරක්වක් මෙරට කුමන හෝ මාධ්‍යයක පළවේ. හෙන්රි ජයසේන, විජිත ගුණරත්න වැනි නාට්‍යවේදීන් විසින් ඔහුගේ නාට්‍ය සිංහලට පෙරළා වේදිකා ගත කැරිණි. ඒ අතරිනුත් වඩාත්ම ප්‍රකට වූයේ සහ බ්‍රෙෂ්ට් නාමය ලාංකිකයන් තුඩග රැව්දෙන නමක් බවට පත්කළේ ‘හුණු වටයේ කතාව’යි සිතමි.
දිරිය මව සහ ඇගේ දරුවෝ (ජර්මානු: Mutter Courage und ihre Kinder) හුණුවටයටත් වඩා විශ්ව ප්‍රේක්‍ෂක ප්‍රජාවගේ ආකර්ෂණය දිනා ගත් සහ වඩා ප්‍රබල පණිවුඩයක් ගෙන එන නාට්‍යය බව සාමාන්‍ය පිළිගැනීමයි.
‘දිරිය මව’ 20 වැනි සියවසේ විශිෂ්ටතම නාට්‍යය ලෙසත්, සමහර විට සර්වකාලීන විශිෂ්ටතම යුද විරෝධී නාට්‍යය ලෙසත් ඇතැමුන් විසින් සලකනු ලැබේ. විචාරකයකු වන මිසූරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රෙට් ඩී. ජොන්සන් පෙන්වා දෙන්නේ, මෙය බ්‍රෙෂ්ට්ගේ විශිෂ්ටතම කෘතිය බවත් විසිවැනි සියවසේ විශිෂ්ටතම නාට්‍යය බවත් ය. මෙය 2007 තරම් මෑතක දී නාට්‍යකරණය පිළිබඳ ඔහු විසින් රචිත ලිපියක සඳහන් වන්නකි.
මේ නාට්‍යය බ්‍රෙෂ්ට් විසින් රචනා කොට ඇත්තේ 1939 වසරේදීය. ඒ ලෝකයට වැඩිම විනාශය කැඳවූ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ ආරම්භක අවධියයි. ඒ වනවිට ඔහු නාසි හමුදාවෙන් බේරීම සඳහා සිය මවු බිමෙන් පලා ගොස් රටින් රට සංක්‍රමණය වෙමින් සිටියේය.
එහෙත් මේ නිර්මාණයට පසුබිම් වී ඇත්තේ දෙවැනි ලෝක මහා යුද්ධය නොවේ. 1618 - 1648 කාලය තුළ ජර්මනිය පෝලන්තය සහ ස්වීඩනය පුරා ඇවිල ගිය ‘තිස් අවුරුදු යුද්ධය’ නමින් හැඳින්වෙන ආගමික යුද්ධයයි. ප්‍රෙතෙස්තන්ත සහ කතෝලික ක්‍රිස්තියානින් අතර පැවැති මේ යුද්ධයේ දී අභාවයට පත් මිනිස් ජිවිත සංඛ්‍යාව මිලියන 4.5 - 8 දක්වා අතර බව ගණන් බලා තිබේ.
අංක දොළොසකින් සමන්විත නාට්‍ය ඇරඹෙන්නේ හමුදා මුර කපොල්ලක් අසලිනි. සොල්දාදුවන්ට බඩු විකුණන ඇනා ෆියර්ලිං නමැති කාන්තාව සිය දරු තිදෙනා ද නංවාගත් ගැලෙන් ඒ වෙත පිවිසෙයි. මුර කපොල්ලේ සිටන නිලධාරියාට අලුත් භටයන් බඳවා ගැනීමේ වගකීම පැවරී ඇත. ඔහු ඇගේ දරුවන් අතරින් වැඩිමලා වන අයිලීෆ් බලාත්කාරයෙන් බඳවා ගනියි. එතැන් සිට අවුරුදු 17ක දීර්ඝ කාලයක් පුරා ඇය සහ ඇගේ දරුවන් හමුදාව සමඟ විවිධාකාර ගනුදෙනු කරන ආකාරය නාට්‍යානුසාරයෙන් මෙහි ඉදිරිපත් කෙරේ. නාට්‍යය අවසන් වන්නේ ඇගේ දියණිය වන කැට්‍රින්ගේ ඝාතනයෙනි.
ඇවැසිව තිබුණේ යුද්ධය තම වාසියට හරවා ගත් කූට වෙළෙන්දියක ලෙස ඇනා ෆියර්ලිංගේ චරිතය ඉදිරිපත් කරන්නට ය. එහෙත් එය සාර්ථක නොවී ය. ප්‍රේක්‍ෂකයෝ ඇයට අනුකම්පා කරන්නට වුහ. එය බ්‍රෙෂ්ට්ට රිසි වූයේ නොවේ. ඒ නිසා ඔහු මෙහි පිටපතේ ඇතැම් තැන් හය වාරයක් ම වෙනස් කොට ලියු බවත් එහෙත් ඔහුගේ උත්සාහය ව්‍යවර්ථ වු බවත් සඳහන්ය.
ප්‍රේක්‍ෂකයා තමන් බලන නාට්‍යය සමඟ හදවතින් බැඳීම බ්‍රෙෂ්ට් ප්‍රතික්‍ෂේප කළේය. ඒ ගැන ඔහු කරන සඳහන් මෙවැන්නකි.
‘මෙය සැබෑ ජීවිතය නොවේ. මෙය නාට්‍යයකි. ප්‍රේක්‍ෂක ඔබට දුරස්තර සිදුවීම් දාමයකි. මෙහි සිදුවීම් හා සිතින් බැඳීම අනවශ්‍ය ය. කල්පනාවෙන් හා විමසිල්ලෙන් යුතු වැ ඔබ මේ නිර්මාණය නැරඹිය යුතු ය. එහි හොඳ නරක, හරි වැරදි පිළිබඳ ඔබ ඔබෙන්ම විමසිය යුතුය.’
දුරස්තර බව පිළිබඳ බ්‍රෙෂ්ට්ගේ මේ මතය පසු කලෙක ලොව පුරා බොහෝ නාට්‍යකරුවන් මෙන්ම ප්‍රේක්‍ෂකයන් කෙරේ ද බලපා ඇත.
එහෙත් එසේ නොබැඳෙන්නේ කෙසේද? යන පැනය අප තුළ පැන නගින බව හෙන්රි ජයසේන කියයි. ඔහු එය කියන්නේ මෙයාකාරයෙනි.
‘දිරිය මව “ යුද්ධය සූරා කමින් ජීවත්වන කැණහිල් දෙනක්” ලෙස මට නම් නොපෙනේ. යුද්ධයේ සිත්පිත් නැති බව විසින් මෙහෙවනු ලබන යුද්ධය විසින් ඔලමොට්ටල කරනු ලැබූ, යුද්ධය නිසා අවුල් වියවුල් වූ, මං මුළා වූ, දළදඬු, එනමුත් අනුකම්පා කටයුතු ස්ත්‍රියක් ලෙස ය දිරිය මව මට දිස් වන්නේ.’
දිරිය මව සහ ඇගේ දරුවෝ නාට්‍යයේ මෙරට වේදිකා සම්ප්‍රාප්තිය සිදු වූයේ 1972 වසරේය. ඒ මෙරට ජනයා යුද්ධයක් ගැන හීනෙකින්වත් නොසිතූ වකවානුවකි. එහෙත් දැන් අපි යුද්ධය යනු කුමක්දැයි අත්දැකීමෙන් දනිමු. යුද්ධයක් යනු ගිනි ඇවිළීමකි. මේ ගින්න අවුළවනු ලබන්නේ එයින් තමන්ට වාසි ලැබිය හැකි බව සිය කපට ශූර දුර දක්නා නුවණින් දකින, ලේ ගඳට ඉව අල්ලන වෘකයන් විසිනි. ඒ ගැන මෙහි කියැවෙන්නේ මෙලෙසිනි: ‘යුද්දෙත් වෙන ඕනම ජාවාරමක් වගේ තමයි. පටන්ගන්න අමාරුයි. පටන් ගත්තට පස්සෙ පස්ස බැලිල්ලක් නෑ’
‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ හෙන්රි ජයසේනයන්ගේ කෘතියකි. වගන්තියක දෙකක අඩුවක් වුවහොත් මිස මෙය බ්‍රෙෂ්ට්ගේ මුල් නාට්‍යයේ සම්පූර්ණ අනුවාදයක් බව ඔහු සිය පෙරවදනේ සඳහන් කරයි.