
හිමි සමඟ ගමන් ගත්තෝ එසේ මෙසේ අය නොවූහ. හිමි අණ පරිදි ඕනෑම දේකට මුහුණ දිය හැකි ජාති හිතෛෂී පිරිසක් වූහ. ගත වූයේ මොහොතකි දෙකකි. කුසගින්නේ සිටින බලු කපුටන්ට මස් කඩේ එල්ලී තිබූ හරක් මස් ගාත් පිටින් මහ මඟට හෙළූහ. මස් කඩේ සමතලා විය.
“අනේ අපට සමාවෙන්න. අපට මෙහේ ඉන්න දෙන්න. අපි සාමයෙන් ඉන්නම්.”
කැලේට ගිය මස් කඩකාරයා පිරිසක් ද සමඟ යළි පැමිණි හිමි ඉදිරියේ වැඳ වැටුණේය.
“හරි සමාව දෙන්නම්. තවත් මේ පළාතේ මස් කඩ හදන්න බෑ. මේක අපේ ඇත්තො ඉපදිලා මැරිලා ගිය තැනක්. උඹල මෙහේට ආවේ කුලීකාරයො හැටියට. දැන් මෙහේ උඹලගෙ රාජධානියක් කරන්න පටන්ගෙන. මම උඹලව මරල දානවා, බැරි වුණොත් මේ මහ පොළොව මට උරුම කරල තියන රියන් හතරෙ ඉඳගෙන උඹලට සාප කරනවා.”
“අනේ සමාවෙන්න හාමුදුරුවනේ. අපි මෙතෙක් කාලයක් කළේ අපිට උරුම රස්සාව. අපෙන් කෙරෙන්න ඕන දෙයක් කියන්න. අපි අහිංසකයි.”
“උඹල අපි වගේම අහිංසක තමයි. ඒත් මේක බුද්ධ භූමිය. මේ මහ පොළොව මම උරුම කරගෙන ආවෙ අපේ ඇත්තන්ට උරුමය දීල යන්න. හදපල්ල කුඹුරු, පාරවල., කැලෑ කොටපල්ලා. මම එක වතාවයි කියන්නෙ. මම ලබන සුමානෙ මෙහේ එනව. ඒ එන්නෙ මගේ බල සේනාව එක්ක. මේ මාත් එක්ක ආපු අයගෙ හැටි පේනවනේ. නාහෙට අල්ලන්නෙ නෑ. විලුඹ කොටෙන් අල්ලල ඔළු කට්ට මහ පොළොවෙ ගහන්න දහිරිය ඇති අය.”
“සමාවෙන්න හාමුදුරුවනේ. අපි ඔක්කොම කරන්නම්.” සතියක් ඉක්ම යත්ම දිඹුලාගල හාමුදුරුවෝ පිරිවරත් සමඟ මනම්පිටියට වැඩියහ. මෙතෙක් කල් බලය පතුරුවා සිටි පිරිස තමන් අණසකට යටත්ව ඇති සැටි හිමි දුටුයේ ලඳු කැලේ ඉවත්ව ප්‍රදේශයම හිරු කිරණින් පුබුදු කළ නව ගම්මානයක් ලෙසිනි.
“අවසරයි අපේ හාමුදුරුවනේ අපේ වැඩ රාජකාරි කරල හමාරයි.”
“අපේ ළඟ ආගම් ජාති භේද නෑ. උඹලත් අපි වගේම අහිංසක මිනිස්සු මාත් උඹලට හැම ඇප උපකාරයක්ම කරන්නම්. අපේ මිනිස්සු එක්ක ඉන්නව නම් උඹලගෙ කොලු කෙල්ලන්ට උගත්කමක් ඕන. මම අපේ ජාතියේ උන්ට වගේම උඹලගෙ රැහැටත් දෙමළ ඉස්කෝලයක් හදල දෙන්නම්. සමගියෙන් සාමදානයෙන් ජීවත් වෙයල්ල.”
දිඹුලාගල හාමුදුරුවෝ මනම්පිටිය සිය බල ප්‍රදේශයක් බවට පත් කර ගත්හ. එදා මලියදේව මහ රහතුන් භාවනානුයෝගීව ගත කළ දිඹුලාගල ශුද්ධ භූමියේ අතු පතර නැඟි සිටි බෝධීන් වහන්සේගේ ශාඛාවක් රැගෙන හිමියෝ මනම්පිටිය පන්සලේ ඉඩ කඩ ඇති තැනක රෝපණය කළහ.
තමා සමඟ සිටි පිරිස පමණක් නොව මෙතෙක් මෙහි උරුමය පංගාර්තු කරගත් ද්‍රවිඩ පිරිස ද සාධු නද දෙන්නට වූහ.
***********
දිඹුලාගල රෝහණ විදුහලින් ආරම්භ වූ ව්‍යාපෘතිය තුළින් පාසල් විසි හයක් සෑදීමට සීලාලංකාර හිමියෝ සමත්වූහ. ඒ සියල්ල හිමියන්ගේ අධීක්ෂණය යටතේ විය. දවසින් වැඩි කාලයක් ගිනිකාෂ්ටකව පවත්නා මහ පොළොව සිහිල් කරන්නට වතුර කළගෙඩි රැගෙන එන පිරිස සමඟ එක්වූ හිමිපාණන් තෙත් බිම උළුප්පා එන මැටි තම සගයන් සමඟ එක්කරමින් දෑතින් අන අනා කළ විශ්ව කර්ම ක්‍රියාවලිය ගැමියෝ බලා සිටියහ.
වරිච්චි බිත්ති හදන්නට නුපුරුදු ගමේ වැසියන්ට හිමිපාණෝ උපදෙස් දුන්හ. “හය හතර නොදන්නා බබ්බු වගේ නේ මුන් වැඩ කරන්නෙ. ඔහොම හිටපියව් මම ඒකත් කරන්නම්.”
හිමි හඩ තීව්ර වෙත්ම තරුණයෝ නව පණක් ලබා අසුරු සැණින් තම ශක්තිය පෙන්වූහ. ආතක්පාතක් නැතිව සිටි අසල්වැසි ගම් දනව්හි දරු දැරියෝ පාසල් ගමනේ නියුක්ත වූහ.
නිරන්තරම නියඟයෙන් දුක් විඳින ලක්ෂ ගණන් ජනතාවගේ දහඩිය කඳුළු තුළින් පැන නැඟුණු රජරට වාරි කර්මාන්තය අතීතයේ අති ප්‍රබල තත්වයක පැවතිණි. රුහුණු - මායා - පිහිටි තුන් සිංහලටම බත සැපයීමට පෙර රජුන් ගත් මෙහෙය තුළින් ඉදිවුණු මහාජලාශ සමුදුර පරයමින් රැළි නැඟෙමින් වැව් තාවුළු කරා ගමන් ගති. එසේ වුවද ජලාශ වියළී සිඳී යාමෙන් මිනිසුන් මහා දුක් කන්දරාවකට යොමුවී සිටි අයුරු දුටු දිඹුලාගල නායක හිමි තුළ දැඩි චිත්තවේගයක් ඇති විය.
මුළු මහත් පොළොන්නරුව ඇතුළු රජ රට හදිසි පාලනයකට නතුවෙමින් තිබිණි. මුළු පොළොන්නරු භූමිය සිංහලයන් සතු කර නොගතහොත් මුළු මහත් දේශයම එකී බලවේගවලට නතුව නන්නත්තාර වන බව කල් තබා දුටු හිමියෝ තම ගමන් මඟ කෙසේවේදැයි ධාරණය කර ගත්හ. හිමියන් ඉදිරියේ වූයේ අති විශාල අභියෝගයකි.
වාසනා ගුණය පූර්ව ජන්මවල කළ පින්පෙත් අනුව මහා පුරුෂයකු තුළ පහළ විය හැකි ජවය පිබිදිණි. ආත්ම ශක්තිය හිමි සතුව පැවැති එකම අසිපත විය. පිරිස් බලය තිබුණ ද උසස් මට්ටමේ ශිල්ප ශාස්ත්‍ර දැනුමක් උන්වහන්සේ සතුව නොපැවතිණ. දැන කියාගත්තකු ලෙස හිමියන් ඇසුරු කළේ ඒබ්‍රහම් වෙද මහත්තයා පමණි.
“ලොකු හාමුදුරුවො අද ඉන්නෙ වෙනද වගේ නෙමෙයි. බර කල්පනාවක. ඇඟිලි ගණන් කරනවා. උඩ බලනවා. කුඩමිට බිම ගහන්නෙත් වෙනදට වඩා අමුතු විදියකට.” වෙද මහතා බලා හිටියේ වික්ෂිප්ත සිතුවිල්ලකිනි.
“වෙද මහත්තයො මට හිච්චි පහේ කාරණාවක් කියන්න තියනව. යමුකො ඇතුළට.”
බෙහෙත් තෙල් බෝතල් නිවෙස පුරා ගොනු වී තිබිණ. තමන් පැමිණි කාරණය හිමියන්ට අමතක වී ඇති බවක් පෙණින. “මහත්තයො මගෙ තට්ට ගෙඩිය රත් වෙලා ගිනි ගන්නව වගේ. බෙහෙත් තෙලක් හෙම තියෙනව නම් ගන්නකො බලන්න.”
ඩහදියෙන් මුළු සිරුරම පෙඟී පැවති හිමි දෙස බැලූ ඒබ්‍රහම් වෙද මහතා තම නිවෙස පිටුපස දිය පාර වෙත හිමි සමඟ ගියහ. “නායක හාමුදුරුවෝ ඇඟපත වෙහෙස කරවනවා වැඩියි. පයින්ම මහදුරක් ඇවිත් මහන්සි ඇතිනේ. ඇඟපත සෝදා ගන්කො.”
ඒබ්‍රහම් වෙද මහතා පසක සිට හිමියන් දොළ පහරින් නහන අයුරු දැක බලා ගත්තේය. කට හඬ සේම අති ශක්තිමත් සිරුරක් ඇති, එහෙත් වරෙක ගැමියකු ලෙස හැසිරෙන මේ අසම්මත මිනිසා කෙරෙහි ඔහු තුළ භක්තියක් මෙන්ම තැති ගැන්මක් ද විය.
“වෙද මහත්තයො මෙතැන හොඳයි මම ආපු කාරණාව කියන්න. දැන් මුළු පළාතම කාෂ්ටක වෙලා. අව් ගින්දරින් පිච්චෙනව. මම අපේ ගම්වල මිනිසුන්ට පුළු පුළුවන් විදියට උදවු උපකාර කළා. නගරාධිපතිට කරන්න බැරි දේවල් මම කෙරුව. මුළු පළාතම මාත් එකට එකට එකතු වුණු විත්තිය දැන් නගරාධිපතිත් දැනගෙන ඉන්නෙ.”
“ඉතින් හාමුදුරුවනේ මම මොකක්ද කරන්නෙ. කියන්න හාමුදුරුවනේ.”
“හරි එහෙනම් වෙද මහත්තයා ලියන්නකො.”
“පොළොන්නරුව එගොඩපත්තු ගම් කාර්ය සභාවට ගම් දහතුනකට නියෝජිතයෝ පත් කර තියනව. මේ ගම්මාන එකක සියයක්, එකසිය පනහක් පමණ ජීවත් වෙනව. මේ ගම්මාන බෙදා වෙන්කොට කොට්ඨාස කඩා නියෝජිතයෝ පත්කිරීම අවශ්‍යයි. කරුණාකර ඔබතුමා මේ වසරේ මේ පිරිස වෙනුවෙන් මේ ගම්මාන බෙදා ලියාපදිංචි කොට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න.”
“තවත් ලියුමක් තියනව වෙද මහත්තයො. ගම්මාන දෙකක් ඉතුරුයි. කන්න බොන්න දෙයක් නෑ. ඉක්මනින් උදව් කරන්න.”
“වෙද මහත්තයො මේ ලියුම් දෙකම අරගෙන නගරාධිපති ළඟට හෙට උදේම යමු. මම උන්නැහේගෙන් ලියුම් කරදාසි දෙකක් ඉල්ල ගන්නම්. ඒ මිනිහ සිංහල අකුරක්වත් දන්නෙ නෑ. ලියන දේකට අත්සන් කරල දේවි. බලමුකො මොකද වෙන්නෙ කියල.” ඒබ්‍රහම් වෙද මහතා සමඟ පසුදිනදී අරුමැක්කේම දිඹුලාගල නායක හාමුදුරුවන් නගරාධිපතිවරයා හමුවූයේ ලොකු රාජකාරියකටය.
මුළු පළාතම නියඟයට ලක්ව තිබුණි. වනසතුන් වල්මත්ව පිපාසය නිවා ගැනීමට වැව් තාවුළු කරා එක්වීම නිසා පොදු ජනතාවගේ ජන ජීවිතයට තර්ජන එල්ලවන්නට පටන්ගෙන තිබිණ. දිඹුලාගල ගම්මාන වැසියන්ට කෑම බීමෙන්, ජල පිපාසයෙන් අඩුවක් නොවූයේ හයි හත්තිය ඇති හිමියන්ගේ මඟපෙන්වීම තුළින් දිවා රෑ නොබලාගත් වෙහෙස මහන්සිය නිසාය.
“අවසර නායක හාමුදුරුවනේ. කොහොමද දිඹුලාගල පැත්ත.”
“තමුන් බලාගෙන ඉන්නවා අපි වැඩ කරනවා. අහපු එකත් හොඳයි. තමුන්නාන්සෙ මේ පළාතෙ ලොක්කා. ඒ වුණත් මේ හද්ද පෑවිල්ලට මිනිසුන්ට කන්න දෙයක් නෑ. ළිං හිඳිල. මේ කාමරයට වෙලා කුරුටු ගගා ඉන්නවා. මම මගේ වැයික්කියේ අයට පුළුවන් හැටියට උදවු කළා. මට කොළඹ රටේ මිනිසුන්ගෙන්වත් මොනව හරි උදවුවක් කරගන්න හිතාගෙන තකහනියෙ මේ පැත්තට ආවෙ.”
“හාමුදුරුවන්ට නම් සෙනඟ කන්දරාවක්. අපිට කවුරුත් නැහැ. ඉතින් හාමුදුරුවනේ මම මොකක්ද කරන්න ඕන.”
“මහත්තය මට ලියුමක් ලියන්න. අපේ කොළඹ මහත්තුරු දෙමළ දන්නෙ නෑ. සිංහලෙන් ලියන්න.”
“මෙන්න හාමුදුරුවනේ ලියුම් කඩදාසි. මම දන්න සිංහලයක් නෑ. ලියල දෙන්න. මම අත්සන් කරන්නම්.”
නගරාධිපතිගේ ලිපි ශීර්ෂය සහිත කඩදාසි දෙකක් රැගත් හිමියෝ පසකට ගමන් ගත්හ. ඒබ්‍රහම් වෙද මහතා මොහොතක් යාමට පෙර කලින් සකස් කළ ලිපි දෙක සිය අත්සන යොදා හිමියන්ට දී නමස්කාර කළේය.
“නායක හාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ පළාත්වල මිනිසුන්ටත් කන්න බොන්න දේ ලැබේවි නේද?”
“බලමුකො මම හෙට කොළඹ යනවා.”
එසැණින් හාමුදුරුවන් පිටත් වුණේ විජයග්රහණයක් ලද්දකු ලෙසිනි.
“වෙද මහත්තයො, එකක් හිතට ගන්න. මේ ලියුම් දෙකෙන් එකක් මට වැඩක් නැහැ. මේ පළාතේ මිනිසුන්ට කන්න දෙන්න කියල මම කොළඹ රටේ උන්නැහෙලගෙන් හිඟමන් ඉල්ලන්නෙ නෑ. ඒක වෙද මහත්තයාගෙ ළඟ තියාගන්න. අනික් ලියුම මට රටක් වටිනව. මම රාජකාරි වැඩ ගොඩක් කරගන්නවා තේරුණාද?”
“හාමුදුරුවො කළේ ලොකු හපන් කමක්. අපි කොළඹ යමු. මම රාජකාරි වැඩ ලෑස්ති කරලා තියෙන්නෙ.”
පොළොන්නරුව දිසාපති, සී.ජී. ද සිල්වා මහතා සමඟ දිඹුලාගල හාමුදුරුවො කොළඹ බලා ගමන් ගත්හ.
දින කීපයක් ගත විය. නගරාධිපතිවරයාට කොළඹින් දැනුම් දීමක් ලැබුණි. ‘උක්ත කාරණය සඳහා පැමිණෙන පිරිසට පහසුකම් සලස්වන්න.’ යනුවෙන් එහි සඳහන් විය.
නගර සභාව මහ ජයට උත්සවය සූදානම් කෙරිණි. උඩට උඩු වියන්, පයට පාවාඩ, බෙරකරුවන්, පංච තූර්ය නාදය මේ කිසිවක් නොදන්නකු සේ දිඹුලාගල හිමි උත්සව භූමියේ සැරි සැරීය. සිදු වන්නේ කුමක්දැයි නගරාධිපතිවරයා දැන ගත්තේ පැමිණ සිටි පිරිසගේ කථාබහිනි.
“පළාත බෙදල වෙන්කරන්න මම ලියුමක් ඇරියෙ නෑ.” ඔහු මහ හඬින් කෑගැසීය.
නිලධාරියෙක් ඉදිරියට පැමිණියේය.
“බලන්න මහත්තයො මේ ලියල අත්සන් කරල තියෙන්නෙ මොකක්ද?” ඔහුගේ ඉහමොළ රත්විය.
“මේ නගරාධිපතියා දන්න මළ හත්හිලව්වක් නෑ. අපි ගම්මාන හදල ඉවරයි. බෙදල වෙන්කරන එක විතරයි කරන්න තියෙන්නෙ. මහත්තරු එන්න. මම පෙන්නන්නම් වෙච්ච දේ.”
කොළඹ සිට පැමිණි වාහන පෙළ සමඟ ඉදිරියෙන්ම ගමන් ගත්තේ දිඹුලාගල හිමියන්ය.
අලුතින් කොතෙක් මිනිසුන් පදිංචි කළද ගම්කාර්ය සභාවේ බලය සිංහලයන්ට ලබාගන්නට නම් මෙතෙක් තිබුණ කොට්ඨාස ප්‍රමාණය වැඩි කළ යුතු විය. එකී අරමුණු තුළින් ඉදිරියට ගිය දිඹුලාගල හිමියන් විසින් අනුගමනය කළ සූක්ෂම වැඩ පිළිවෙළ යටතේ නගරාධිපතිට ඉහළින් සිටින පළාත් පාලන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ලවා මෙම කටයුත්ත ඉටුකර ගැනීමට සිතූ හිමියන් මේ තුළින් ලැබූයේ ඉහළ ප්රතිචාරයකි. පැමිණි නිලධාරීන් සමඟ ගමන් ගත් හිමියෝ දිඹුලාගලත් ඒ අවට ප්‍රදේශවලත් ජනතාව පැමිණ ඇති නව ලෝකය ඔවුනට විස්තර කරන්නට වූහ.
“පේනව නේද මහත්තුරුණේ මේක වල් වැදිල තිබුණු පළාතක්. මම දන්නව කහ සිවුරක බලය හා හයිය. මම මේ පළාතට එනකොට අපේ මිනිස්සු අන්ත අසරණ වෙලා හිටියෙ. කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. මෙහි ජීවත්වුණු හැම කෙනෙකුටම නම් දීල තිබුණෙ දෙමළ ගම්මුලාදෑනිවරු. මම හොරෙන් හොරෙන් හොයල බැලුව. ඉස්සර වෙලාම මගේ ඉස්සරහට ආවේ ගමේ තලත්තෑනි මිනිහෙක්. මම ඇහුව තමන්ගෙ නම මොකක්ද කියල. ඒ මනුස්සය කිව්ව “කරුපයියා” කියල. ඒක නෙමෙයි මිනිහො උඹෙ වාසගම මොකක්ද? අත්තනායක මුදියන්සෙලාගේ කරුපයිය”. දැක්ක නේද වෙච්ච සංහදිය. මුං අපේ පරම්පරාගත සිංහල නම් වෙනස් කරල.
“දන්නවද තව වැඩක් මේ මඩකලපුව පැත්තෙන් කල්ලතෝනි රෑන් රෑන් පිටින් මෙහාට එනව. ඇවිත් උන් අපේ උරුම මහපොළොව ගිල ගන්නව. ඒ වැඩේ මම පස්සට කරනව. බලන්න අර නගරාධිපති. ඌට අබ ඇටයක මොළයක් තිබුණ නම් තමන්ගෙ පළාතෙ මිනිස්සු බඩ සායෙන් ඉන්නව. කෑම, බීම නෑ. මේ සාගත කාලෙ වැව් අස්සෙ හිර වී ඇති වතුර පොල් කටුවලින් ගෙන හට්ටි මුට්ටිවලට පුරවල ගෙදර ගිහින් දරු මල්ලන්ට බොන්න දෙනව. බීපු බීපු එකා දවසින් දෙකකින් අතීසාර හැදිල මියැදිලා යනව.
මේ ගම්මාන දහ අටම හැදුවෙ මම. මිනිස්සුන්ගෙ දරු පැටවුන්ට එක ඉස්කෝලයක් හදල දුන්නෙ නෑ. මම මගේ තට්ට ගෙඩියෙ බිබිළ දාගෙන බඩු මුට්ටු කරගහ ගෙන ඇවිත් මේ දරුවන්ට කන්න බොන්න දීල, වතුර ඇදල වරිච්චිගහල ඉස්කෝල හැදුව.”
කොළඹ රටින් පැමිණ දැන උගත් පිරිස තුෂ්නිම්භූත වූහ. පුරාවෘත්තවල එන විශ්ව කර්ම කථා පුවත් අසා තිබුණු ඔවුන්ට හිතුනේ දිඹුලාගල හිමි මේ මිහිපිට පාදුර්භූත වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයකු ලෙසය. ඩහදියෙන් පෙඟී ගොස් සති හා මාස ගණන් නොසේදූ කාස වස්ත්‍රය තුළින් මතු වන්නේ බුදු සුවඳයැයි ඔවුනට හැඟිණ. අලුතින් ගම් සභා බල ප්‍රදේශ දහ අටක් වෙන් කෙරිණ. එමඟින් පසුව කොට්ඨාස තිහක් වූ ඡන්ද විමසීමේදී පැවති නගර සභා මැතිවරණයේදී මුලින්ම සිංහල බහුතර නියෝජනයක් යටතේ සිංහල නගරාධිපතිවරයකු පොළොන්නරුවට පත් විය.
ලබන සතියේ තවත් කොටසක්...