කප් රුක ගැන නොදත් කතා | සිළුමිණ

කප් රුක ගැන නොදත් කතා

 

 

සුවපහසු බස් රිය හැල්මේ පැමිණ ඇත. අප දැන් බන්දිරිප්පුවේය. ගමනාන්තය විසල් පොල් රුප්පාවක් ප්‍රවේශයේ ඇති කෞතුක පෙනුමක් සහිත ගොඩනැගිල්ලක් අබියසය. ලුණුවිල ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය මෙතැනය.

 

පොල් සම්බන්ධව ඉතිහාසය මේ රටේ ශිෂ්ටාචාරවත් ජන සමාජයෙන් උපදින ආහාර සංස්කෘතියේ ආරම්භක අවධිය තෙක් ද පොල් වගාව පිළිබඳ තොරතුරු අවුරුදු දෙදහසකට පමණ ඉහත අනුරාධපුර යුගයේදී දක්නට ලැබෙන්නේය. ජය සිරිමහා හාමුදුරුවන් වැඩවසන මලුව ප්‍රවේශයේ ඇති ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසට අයත් ප්‍රතාපවත් මුරගලෙහි දොරටුපාල රූපය දරා සිටින්නේත් පොල් මලකි. ඉන් සෞභාග්‍ය ප්‍රකාශ විය. අප විශ්වාස කරන පරිදි අපේ සංස්කෘතියේ පොල් ගස ලද ප්‍රභූ සලකුණ සංකේතවත් වන්නේ එසේය. මහාවංශයට අනුව අනුරාධපුර යුගයේ සිට ගෙවතු වගාවක් ලෙස පොල් පැවතිණි. පසු කලෙක මේ වගා උයන් ලෙස නම් විය. ආරාම වෙනුවෙන් පොල් උයන් පිදූ රජවරු වූහ.

එක පැහැර වැතිරෙන හිරු එළිය පොල් රුප්පාවේ කොළ පැහැති පත් අතරින් පෙරී පැමිණ මුව මත පතිත වෙයි. නෙත් මානයේ ඇත්තේ පොල් වගාව සඳහාම වෙන්වූ පර්යේෂණාගාර සංකීර්ණයකි. ලොව ප්‍රමුඛම පොල් පර්යේෂණාගාර සංකීර්ණ අතුරින් එකකි.

පොල් නිෂ්පාදනයේ දී වගාකරුවන් හා කර්මාන්තයේ ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳා දීම සඳහා පරීක්ෂණ අංශවලට ලබා දෙන්නේ කෘෂි ආර්ථික විද්‍යා අංශයෙනි. ආචාර්ය සරත් විජේසිංහ එම අංශයේ ප්‍රධානීයා ය. රට වෙනුවෙන් කරන සිය ආයතනික කාර්යය ගැන ඔහු අපට කියන්නේ මෙසේය.

“ අපේ රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2800යි. ඉන් සියයට හැත්තෑවක් පමණ වැය වන්නෙ ගෘහස්ථ පරිභෝජනයට. ඒ ගණනය කිරීම අනුව පොල් කර්මාන්තය වෙනුවෙන් අපට වෙන් වෙන්නේ පොල් ගෙඩි මිලියන 700ක් පමණ ප්‍රමාණයක්. පොල් මද, පොල් ලෙලි, පොල්කටු ආශ්‍රිත කර්මාන්ත මේ සමඟ බැඳී තිබෙනවා. පොල් මද ආශ්‍රිතව ඩෙසිකේටඩ් පොල්, පොල් කිරි, පිටිකළ පොල් කිරි වගේම පොල් තෙල් නිෂ්පාදනය කරනවා. රටේ වාර්ෂික පොල් තෙල් හෝ වෙනත් තෙල් වර්ග පරිභෝජනය මෙට්‍රික් ටොන් අනූ දාහක්. පොල් තෙල් විදිහට මෙට්‍රික් ටොන් හැත්තෑ දාහක් අපට අවශ්‍යයි. නමුත් අප නිෂ්පාදනය කරන්නෙ තෙල් මෙට්‍රික් ටොන් හතළිස් දාහක් විතර ප්‍රමාණයක්.“

මෙම අඩුව ආනයනය කිරීමේ දී දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කරගෙන මිල තීන්දු කරමින් බදු ප්‍රතිපත්ති සංශෝධනය වන්නේ කෘෂි ආර්ථික අංශයේ මේ විද්වත් මණ්ඩලය හරහාය.

පොල් ගසේ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම නව දේශගුණික තත්ත්වවලට ප්‍රතිරෝධී පොල් ප්‍රභේද හඳුනා බිහි කිරීම, ලංකාවේ පොල් පලදාව පුරෝකථනය කිරීම සිදුවන්නේ පොල් පරීක්ෂණාගාරයේ කායික විද්‍යා අංශයෙනි.

“විශේෂයෙන්ම කර්මාන්ත කරුවන්, අපේ අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය වැනි ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනවලට, අවසාන වශයෙන් රටේ ආර්ථිකයට බලපාන විදේශ විනිමය සම්බන්ධව මේ පුරෝකථනයට ඉතා වැදගත්“. පොල් පරීක්ෂණ ආයතනයේ ශාක කායික විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය අතුල නයිනානායක කියන්නේය.

ලෝකයේ පොල්වගාව ඇසුරෙහි අප බොහෝ දේ කළ මිනිස්සු බව රට දන්නේ නැත. හැම විටම අපේ ඇස් කන් යොමු වී ඇත්තේ මහා අසුබ දේවල් අසන්නයට. කියන්නටය. ලංකාවේ පමණක් මෙතෙක් භාවිත වුණු තැඹිලි ගෙඩි මිලියන 9.5ක් අපනයනය කර ඩොලර් මිලියන හයසියයක විදේශ ආදායමක් ලැබීමට ඔවුන් සමත් වී ඇත. ලෝකයේ මුල්ම වරට පටක රෝපණය තාක්ෂණයෙන් මවු ශාකයට සර්වාකාරයෙන් සමාන පැළ ලබා ගැනීමේ තාක්ෂණය පොල් වගාවට හඳුන්වා දුන්නේ අපය. ලෝකයේ ප්‍රථම වතාවට පොල් වගාවේ බිහිසුණුම ඝාතකයා ලෙස සැලකෙන රතු කුරුමිණිය සඳහා විකර්ශකයක් සොයා ගන්නේත් මයිටාව සඳහා විලෝපික මයිටාවෙක් සහ කෘමි නාශකයක් සොයා ගන්නේත් අපේ පරීක්ෂකයන්ය.

පොල් පටක රෝපණ තාක්ෂණයට ඉතාම ප්‍රතිරෝධී ශාකයකි. එවැනි විද්‍යාත්මක පරිසරයක් තුළ පටක රෝපණ තාක්ෂණයෙන් ලෝකයේ මුල්ම වරට පොල් පැළයක් බිහිකළ අසිරිමත් කතාව අපට කියන්නී පටක රෝපණ අංශ ප්‍රධානි ආචාර්ය විජිතා විදානාරච්චි.

“ලෝකයේ පළමු වරට ළපටි ගැහැනු පොල් මල භාවිත කර පොල් පැළ නිපදවීමේ තාක්ෂණය අප හඳුනාගෙන තිබෙනවා.

ගෙඩි පැළ කිරීමෙන් මවු ශාඛයට සර්ව සම පැළ නිපදවන්න බෑ. ගෙඩි කියන්නෙ පරාගනයෙන් හැදෙන ප්‍රතිඵලයක්. නමුත් විවෘත නොවුණු ළපටි පොල්මල පාවිච්චි කර පටක රෝපණයෙන් මවු ශාකයකට සර්ව සම්පූර්ණ පැළ නිපදවන්න පුලුවන්.

අප හඳුනාගත් මේ තාක්ෂණය යොදාගෙන දැන් අප වාණිජ මට්ටමින් මෙම පැළ නිපදවීමේ කටයුත්ත සඳහා පරීක්ෂණ කරනවා.“

මේ වනවිට පටක රෝපිත පොල්පැළ ලෝකයේ පළමු වරට ක්ෂේත්‍රගතව වැඩෙමින් ඵලදාව ලැබෙන්නට ආසන්නයේ ඇත. පටක රෝපණ තාක්ෂණයේ දී පැළයක විකෘතිතාවක් ඇති වීමේ සම්භාවිතාවක් ඇතත් ඔවුන් නිෂ්පාදිත පටක රෝපිත පොල්පැළවල විකෘතිතා නැත.

“මීට අමතරව පැළ මදවල කළලය වෙන් කර පරීක්ෂණ නළ තුළ වර්ධනය කිරීමෙන් විවිධ රටවලින් ගෙනාපු පොල් ප්‍රභේද ක්ෂේත්‍රයේ සිටුවා තිබෙනවා. නව ප්‍රභේද හදන්න ඒ පොල් ප්‍රභේද යොදා ගන්නවා.“ ඇය කියන්නීය. අප හොඳින්ම දන්නා දී කිරි පොල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ මේ තාක්ෂණය ය. හේතුව දී කිරි පොල් ගසේ ගෙඩි පැළ නොවීමය.

ඔවුන්ගේ ඉලක්කය ගෙවතු වගාවක් ලෙස පොල් ප්‍රචලිත කර දැනට පරිභෝජනයට ගන්නා පොල් ධාරිතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කර්මාන්ත ක්ෂේත්‍රයට එක් කිරීමය. “වැඩි දියුණු කළ පොල්ගස් දෙකකින් වාර්ෂික ගෘහස්ත පොල් අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්...“ ඔවුන් කියන්නෙ එසේය.

පොල් තාක්ෂණ උද්‍යානය පසෙකය. එම අංශය කරන්නේ පර්යේෂණ අංශය මඟින් සොයා ගන්නා තාක්ෂණය ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික කිරීමය. ආදර්ශ ඉදිරිපත් කිරීමය. ප්‍රජාවට දැනුම ලබා දීමය. බීජ සහතික කිරීමේ නිලධාරී චන්දන හේරත් පොල් පැළයක් ක්ෂේත්‍රගත කිරීමේ විද්‍යාත්මක තාක්ෂණි දැනුම ලබා දුන්නේය.

වැලි පසක අඩි තුනයි තුනක් වන පරිදිත්, කබොක් පසක අඩි හතරයි හතරවන පරිදිත් පොල් වළක් සකසා, උචිත පොල් පැළයක් තෝරා ගැනීමෙන් පසු වසුන් යොදා මතුපිට පස් භාවිත කර, අන්තර් මෝසම් කාලයේ දී පොල් පැළය ක්ෂේත්‍රගත කරන ආකාරය විශේෂ දැනුමකි.

හැරල්ඩ් උපාලි වතු අධිකාරීවරයා පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ නිලධාරියෙකි. ඔහු රා නිෂ්පාදනය මෙන්ම ඒ හරහා පැණි නිෂ්පාදනයේ තාක්ෂණය අපට කියා දෙන්නෙ මනරම් කතාවක් මෙනි. ආචාර්ය නයනී ආරච්චිගේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ය. වගා සංරක්ෂණ අංශය ඇත්තේ ඇය යටතේය. එය කර්මාන්තයේ විශාල ගැටලුකට පිළිතුර සපයන අංශයකි. “ අප ප්‍රධාන වශයෙන් කර්මාන්තයට දායක වන්නේ පළිබෝධ හා රෝග මර්ධනයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරමින්. මේ අංශය පලිබෝධ මර්දන පර්යේෂණ සහ සේවා සපයන අංශයක්

ලංකාවේ ප්‍රධාන පොල් පළිබෝධකයන් වර්ග පහක් ඉන්නවා. එම පළිබෝධ මර්දනය ඉතාම අසීරුයි. කෘමිනාශක යෙදීම ප්‍රායෝගික නෑ. අපේ පර්යේෂණ ඉලක්ක කර තිබෙන්නෙ කෘමි නාශක නොවන වෙනත් ක්‍රම මගින් රෝග මර්දනය කිරීමයි. නමුත් සමහර කෘමීන් ඉන්නවා කෘමි නාශක නොවන ක්‍රමවලින් මර්දනය කරන්න බෑ. අප නිර්දේශ කරන්නේ ඉතාම අඩු කෘමිනාශක ප්‍රමාණයක්. එවිට අපට අත්‍යාවශ්‍ය වන්නෙ කෘමිනාශක දෙකයි. අප යෝජනා කරන්නෙ සමෝධානික ක්‍රම මගින් කෘමි උවදුරු පාලනයක්.“

වසංගත තත්ත්වයෙන් වර්ධනය වන පොල්කොළ නාශක දළඹුවා කීටාගාරවල වර්ධනය කළ විලෝපිකයෙක් යොදවා මර්දනය කිරීමට ඔවුන් සමත් වී ඇත. රතු කුරුමිණියාට විකර්ශකයක් හඳුනාගෙන ඇත. රතු කුරුමිණි උවදුර හඳුනා ගැනීමට තාක්ෂණික අංශ හා එක්ව ජංගම දුරකථන යෙදවුමක් වැඩි දියුණු කරමින් ඇත.

පොල් මයිටාවා ජෛව විද්‍යාත්මකව මර්දනය කිරීමට විලෝපික මයිටාවෙක් යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. මයිටා මර්දනයට කෘමි නාශයකයක් සොයා ගෙන සිටිති. කළු කුරුමිණියා සඳහා විශිෂ්ට පලිබෝධ මර්දන අනුගමනය කරති. ළඟදි වාර්තාවන සුදු මැස්සා ගැන විශිෂ්ට පර්යේෂණ මාලාවක් අරඹා පවත්වාගෙන යමින් සිටිති. පොල් වගාව විෂයෙහි දැනට ලංකාවේ දැනට ඇති ප්‍රධානම රෝගය වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය ය. එම රෝගය පාලනය කළ හැකි ක්‍රම ගැන මේ වනවිට පර්යේෂණ ඇරඹී ඇත්තේය. රටේ ඇති හොඳම කිටාගාරය ඇත්තේ ඔවුන් සතුවය. අප පොල් වගාව පිළිබඳ තාක්ෂණික දැනුම් ලබා දෙන්න වර්ෂය පුරා පාඨමාලා සංවිධානය කරනවා. පළිබෝධ මර්දනයට දැනුම සහ සැපයුම් ලබා දී හඳුනාගත නොහැකි රෝග හෝ පළිබෝධ මර්දනයට උපදෙස් සහ සේවා ලබා දෙනවා. ඒ වෙනුවෙන් ‘1928‘ අංකය කාර්යාල වෙලාවන්හි විවෘතයි. “

පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුමය. ඔහු ආයතනය හසුරුවමින් ඇති ඉලක්කගත පුළුල් අරමුණු පිළිබඳ අපට කියන්නේ මෙවැනි කතාවකි.

“සෞභාග්‍යයේ දැක්ම යටතේ තිබෙන ප්‍රධාන වැඩසටහනක් තමයි ‘සෞභාග්‍යයේ කප්රුක‘. මේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වර්ෂ 2023 පොල් ප්‍රධාන අපනයන ආදායම සහිත භෝගය කිරීමයි. වර්ෂ 2020 දී පොල් වලින් උත්පාදනය කර තිබෙන්නේ ඩොලර් මිලියන හයසිය හැට එකයි. එහෙනම් අපි ඉලක්ක අපනයන නිෂ්පාදනය දෙගුණ කළ යුතුයි.“

“අපේ රටේ වාර්ෂික නිෂ්පාදනය වන පොල් ගෙඩි මිලියන 2800න් සියයට හැත්තෑවක් ගෘහස්ත පරිභෝජනයට තමයි යොදා ගන්නේ. අපනයන කර්මාන්තයට මිලියන අටසීයක් සහ දේශීය කර්මාන්ත සඳහා මිලියන දෙසියක් ලෙස පොල් ගෙඩි යොදා ගන්නවා. එහෙනම් ඉදිරි වසරේ දී වැඩිපුර මිලියන දහසක් අපි කර්මාන්තය වෙනුවෙන් යෙදවිය යුතුයි. මේ සඳහායි අප සැලසුම් සහගත යුතු වන්නේ.“

සම්ප්‍රදායික මත එක්ක පොල් පරිභෝජනය කරන අපේ ගෘහණියන් අතින් සියයට තිහකට වඩා පොල් අපතේ යනවා. හේතුව පොල් අතින් මිරිකන නිසා. බ්ලෙන්ඩරය භාවිත කිරීමෙන් අහිතකර කොලෙස්ටරෝල් සහිත මේදය ශරීරගත වෙනවා කියන මිත්‍යා මතය නිසා. පෝෂණවේදීන්ට අනුව දිනකට පොල් ගෙඩියක් ප්‍රමාණවත් පස් දෙනකුගෙන් යුතු පවුලකට. අප යෝජනා කරන්නේ බ්ලෙන්ඩරය භාවිත කිරීමෙන් මේ භාවිතය දෙගුණයකින් වැඩි කරගත හැකියි කියලා. සතියකට පොල් ගෙඩි දහයක් වැය වන නිවෙසකට පොල් ගෙඩි පහක් ප්‍රමාණවත් කියලා. සතියකට පොල් ගෙඩි 10ක් යනවා නම් එය පහක් දක්වා අඩු කරගත හැකියි.“

මා වෛද්‍යවරයෙක් ලෙස කියන්නෙ පොල් බ්ලෙන්ඩර් කළාම කොලෙස්ටරෝල් හැදෙනවා යන කතාව අවිද්‍යාත්මකයි. කිසිම ශාකයක අහිතකර කොලෙස්ටරෝල් නෑ. බ්ලෙන්ඩර් කිරීම බ්ලෙන්ඩර් නොකර භාවිතයට වඩා හොඳයි. මොකද ඒකෙ තිබෙන විටමින් ඛනිජ ලවන ෆයිබර් වැඩිපුර භාවිත වෙනවා.“

කර්මාන්තය වෙනුවෙන් වැඩිපුර පොල් මිලියන හයසියයක් හත්සියයක් කර්මාන්තය වෙනුවෙන් යෙදවිය හැකිය. මේ මිත්‍යාවෙන් මිදී මිනිස්සු ප්‍රමිතියෙන් යුතු පොල් කිරි, පොල් කිරි පිටි, හෝ ක්‍රීම් සඳහා යනවා නම් මේ ඉලක්කය අපට මූලිකවම සාධනය කරගත හැකියි. ඒ වගේම වගාකරුවන් දැනුම්වත් කර එක් පොල් වල්ලක එක් ගෙඩියක් වැඩි කරගත හැකි නම් අපි දිනුම්.“

මේ දැනුම සෑම නිවෙසක් සඳහාම ලබා දීමට කප්රුක අත්පොත නමැති පොත් පිංචක් මුද්‍රණය කර දීමට ඔවුන් සූදානම්ය. තොරතුරු ලබා ගැනීමට 1928 කෙටි දුරකථන අංකයට 0704001928 වට්ස්ඇප් අංකයක් විවෘතය.

ඡායාරූප - සුදත් මලවිර

 

Comments