ඉහළ යන ඉන්ධන මිලෙන් පහළ යන කර්මාන්ත | සිළුමිණ

ඉහළ යන ඉන්ධන මිලෙන් පහළ යන කර්මාන්ත

මේ වන විට අප රටට ඉතා දුෂ්කර සමයක් ගත කිරීමට සිදුවී ඇත. එක් පැත්තකින් විදේශ විනිමය පිළිබඳ ගැටලුවකි. අනෙක් පැත්තෙන් ඉන්ධන, ගෑස්, ආහාර හා ඖෂධ හිඟයකි. තවමත් දවසකට පැය කීපයක් විදුලිය ද කපා හරින අතර, තම අත්‍යාවශ්‍ය සේවා කෙසේ හෝ සපයා ගැනීම සඳහා පෝලිම්වල සිටින්නට ජනතාවට සිදු වී ඇත. "ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ" යැයි කියන පිරුළ සැබෑ කරමින් මේ වන විට අවස්ථා කීපයකදීම ජනතාවට දරා ගත නොහැකි ලෙස පෙට්‍රල්, ඩීසල් ඇතුලු සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇත. මිල වැඩි වූවා පමණක් නොව අවශ්‍යතාවට සරිලන ලෙස සැපයුම ලබා දීමට නොහැකි වීම නිසා රට පුරා ඉන්ධන පිරවුම් හල් අසල කිලෝ මීටර් ගණන් දුරට දිවෙන විශාල පෝලිම් ද නිර්මාණය වී ඇත.

නැවත වතාවක් පසුගිය මැයි 24 වැනිදා අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ඔක්ටේන්, පෙට්‍රල් 95 ඔක්ටේන්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළ නැංවුණු අතර, එලෙස ඉන්ධන මිල වැඩි වීමේ බලපෑම සෘජුවම එල්ල වන ක්ෂේත්‍ර කීපයක අදහස් ඒ සම්බන්ධව විමසා බැලීමට අපි තීරණය කළෙමු. මේ එහිදී ප්‍රකාශ වූ අදහස් කීපයක දිග හැරුමකි.

ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධව අදහස් දැක්වීමට එක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ ප්‍රකාශ කර සිටියේ, මෙවර ඉන්ධන මිල වැඩි වීම සමඟ සියලු ඉන්ධන වර්ගවල මිල රුපියල් 400 ඉක්මවා ගොස් ඇති බවයි.

"ඉන්ධන වැඩි වීමට ප්‍රධානතම හේතුව අපි කවුරුත් දන්නා පරිදි මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති ඩොලර් හිඟයයි. එම විදේශ විනිමය හිඟය නිසා ඩොලරය නිතරම ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ උච්චාවචනය වෙනවා. මා දකින විදියට නම් මෙයට එකම විසඳුම අනවශ්‍ය ආකාරයට ජනතාව තෙල් පරිභෝජනය සිදු කිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. ඒ සඳහා කළ යුතු හොඳම වැඩපිළිවෙළ වන්නේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමයි."

"ඉදිරියේදී ඉන්ධන මිල තවත් වැඩි වේවි. ජනතාව ඉතා හොදින් ඒ බව තෙරුම් ගත යුතුයි. රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වුණහම ඒ හරහා ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මේ වන විට මේ රජයේ සේවකයන්ට පඩි දෙන්න සල්ලි අච්චු ගහනවා. මේකෙන් වෙන්නේ උද්ධමනය වැඩි වෙන එක විතරයි. නමුත් පොදු ප්‍රවාහනය දියුණු කිරීම වැනි ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපට හැකි වුණොත් උද්ධමනය ලොකු බලපෑමක් එල්ල කරන එකක් නැහැ.

පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ, මෙලෙස විටින් විට ඉන්ධන මිල වැඩි කිරීම නිසා පෞද්ගලික බස් රථ කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි භීම සමයක් මේ වන විට උදා වී ඇති බවයි.

"පසුගිය කාලය පුරා විටින් විට ඉන්ධන මිල වැඩි වුණා. ඉන්ධන මිල වැඩි වෙන කොට බස් ගාස්තුත් වැඩි කරන්න සිදු වීම අනිවාර්යයි. මේ මිල වැඩි වීම් අපගේ කර්මාන්තයේ පැවැත්මට සෘජුවම බලපෑම් කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ විධියට ළඟ ළඟම ඉන්ධන මිල වැඩි වීම සමස්ත පෞද්ගලික බස් කර්මාන්තයටම දරා ගැනීම හරිම අමාරුයි. මේ වෙනකොට රට පුරාම පෞද්ගලික බස්රථ දහතුන් දහසක් තියෙනවා. ඒකෙනුත් බස්රථ අටදහසක් වගේ තමයි දැන් දුවන්නේ. බොහෝ විට ඊටත් අඩුයි. එක දවසක් පෝලිමේ ඉන්නවා.පෝලිමේ ඉදලා තෙල් ගහනවා. ඊළඟ දවසේ මගී ප්‍රවාහනය සිදු කරනවා. ඉක්මනින් මේ තත්ත්වය නොවිසඳුණොත් අපගේ කර්මාන්තය තවදුරටත් පවත්වා ගෙන යාමට බැරි වේවි."

පෞද්ගලික බස් රථ හිමියන් පසුගිය කාල වකවානුව පුරාම අපේක්ෂා භංගත්වයට පැමිණ ඇති බව පැවසූ ගැමුණු විජේරත්න, පෞද්ගලික බස් ව්‍යාපාරය යම් ලාභයක් ලැබිය හැකි විධිමත් හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් Travel Card එකක් හඳුන්වා දීමේ යෝජනාවක් තම සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය කළේය. එම කාඩ් පත ඉක්මනින් හඳුන්වා දීමට කටයුතු කිරීම මඟින් මගී ජනතාව පමණක් නොව බස් හිමියන් ද ආරක්ෂා වන බව පැවසූ ඔහු ඉක්මනින් එකී කාඩ් පත හඳුන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටී. මැනින් පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම්. උපසේන අවධාරණය කළ ප්‍රමුඛතම කරුණ වූයේ ඉන්ධන මිල වැඩි වීමත් සමග එළවළු මිලත් විශාල වශයෙන් වැඩි වීමට ඉඩ ඇති බවයි.

"මේ වන විට එළවළු මිල ගොඩක් වැඩි වෙලා. ඒ මිල ඉහළ යාමට ඉන්ධන මිල වැඩි වීම සෘජුවම බලපෑම් කර තිබෙනවා. රුපියල් 400/-ක් 500/-ක් පමණ වියදමක් කරලා ගෙනා එළවළු ගෝනිය දැන් රුපියල් 800/- පමණ මුදලක් වැය කරලා තමයි ගේන්න වෙලා තියෙන්නේ. මේක ගොවියා හූරගෙන කන වැඩක් වෙලා. ඉදිරි කාලය තුළ එළවළු මිල බරපතළ විදිහට වැඩි වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම වෙළෙඳපොළ තුළ එළවළු හිඟ වෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම විටින් විට ඉන්ධන මිල වැඩි වීම හා එම මිල වැඩි වීමේ ප්‍රමාණය ගොවියාට දරා ගන්න බැහැ. මේකෙන් සිදු වන්නේ අධික ප්‍රවාහන ගාස්තු ගෙවිය නොහැකි නිසා ගොවි ජනතාව තම එළවළු අස්වැන්න වෙළෙඳපොළට මුදා නොහැරීමයි. ඇතැම් විට ගොවි ජනතාව ඉදිරියේදී එළවළු වගාවෙන් ඈත්වීමටත් පුළුවන්. මේ හේතු නිසා පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට එළවළු මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා." 

සමස්ත ලංකා ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන ඉන්ධන මිල වැඩි වීමත් සමග ත්‍රීරෝද රථ ධාවනය කරමින් සිය ජීවිකාවේ යෙදෙන ත්‍රීරෝද රථ රියැදුරන් මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ කරුණු පැහැදිලි කළේ මෙලෙසිනි.

මේ වන විට රටපුරා ත්‍රීරෝද ලක්ෂ 12ක් පමණ තියෙනවා. ඒකෙනුත් ලක්ෂ අටහමාරක් විතර ප්‍රමාණයක් හයර් දුවනවා. එහෙම හයර් දුවලා තමයි කාටත් බරක් නැතිව ඔවුන් ජීවත් වෙන්නේ. මේ ඉන්ධන මිල වැඩිවීම ත්‍රිරෝද රථ හිමියන්ට දැඩි ලෙස බලපාලා තියෙනවා. මොකද ඔවුන් දෙපැත්තකින් තැළෙනවා. එකක් පාරිභෝගිකයන්ගේ පැත්තෙන්. ඒ වගේම තමන්ගේ පැත්තෙන්. කවුරු කොහොම මොන විධියට විග්‍රහ කළත් අවසානයේදී ත්‍රීරෝද රථ හිමියන් පෝලිම්වල ඉඳලා පෙට්‍රල් ටික ගහගෙන සේවය සපයන්නේ ජනතාවටයි.

මේ වන විට ඉන්ධන පිරවුම් හල්වලින් එක්වර ත්‍රීරෝද රථයකට පෙට්‍රල් නිකුත් කරන්නේ රුපියල් 3,000/-ක සීමාවකටයි. ඒකට හේතුව මේ ත්‍රිරෝද රථ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් විදිහට තවමත් පිළිගෙන නොතිබීමයි. ඇත්ත වශයෙන්ම රුපියල් 3,000ක තෙල් ගහගෙන ජනතාවට සේවයක් කරන්න ගොඩක් අපහසුයි. රුපියල් 3,000ක තෙල් ගහගෙන අපි කොහොමද අපේ මේ වෘත්තිය කරන්නේ. එතකොට අපි කොහොමද හයර් යන්නේ. පැය දෙක තුනක් පෝලිමේ හිටියම අපි කොහොමද ජීවත් වෙන්න ඕන මුදල් ටික හොයා ගන්නේ."

බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එච්.එම්.ජයවර්ධන පැවසුවේ, ඉන්ධන මිල වැඩි වීම පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම මේ වන විට විවිධ අර්බුද මතු වී ඇති වී ඇති බවයි.

"රට පුරා බේකරි 7,000 ක් පමණ තියෙනවා. ඒත් ඉන් බේකරි 3,000කටත් වඩා අඩු බේකරි කීපයක් විතරයි දැන් වැඩ කරන්නේ. ඉන්ධන මිල වැඩි වීම වගේම රටේ සෑම ක්ෂේත්‍රයකම මේ වන විට විවිධ අර්බුද මතු වී තිබෙනවා. මේ සෑම කරුණක්ම අපගේ බේකරි කර්මාන්තයේ කඩා වැටීමට හේතු සාධක නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් සියයට 50ක්ම ජනතාව බේකරි කෑමවලින් අයින් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වුවහොත් රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ලොකු ඛේදවාචකයක් සිදු වේවි."බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments