සතියේ කවි පොත | Page 3 | සිළුමිණ

සතියේ කවි පොත

කෘතිය - හැඟුම් මුහුළස ලිහුණි 
කර්තෘ - ලක්මාලි හේවාවසම් 
මිල - රුපියල් 300/= පිටු 80 
විමසීම් 0750351078 
K Book ප්‍රකාශනයකි

ලක්මාලි හේවාවසම් කිවිඳිය මුලින්ම අපට හමුවන්නේ ජාතික පුවත්පත්වල කවි පිටුහරහාය. වසර විස්සකට වැඩි කාලයක් පුවත්පත් කවි පිටු හරහා රසවිඳි ඇගෙ කවි හැමවිටම අලුත් ජීවයක් සපයන්නට විය. ‘හැඟුම් මුහුළස ලිහුණි‘ ඇගේ කාව්‍ය සංග්‍රය කියවීමේදි නිතැතින්ම සිතට නැගුණේ ඇය කාව්‍ය සංග්‍රහයක් පළකරන්නට මෙතරම් කාලයක් ගත වුයේ ඇයි ද කියාය.

සිය පියාගේ වියෝවෙන් තවමත් තැවෙන කිවිඳිය සිය පියා පිළිබඳ ලියන්නේ මෙසේය. පියාගේ අහිමි වීම දරුවෙකුට දරා ගැනීම අසිරූය. වසර ගණනක් ගියද ඒ දුක හිතෙන් මැකි නොයයි. මේ ඇගේ හිතේ පිරි වේදනාවයි. මාතෘකාව පියාණෙනි,

හීනෙන් ඇවිත් හිස අත ගා යන්න ඇති 
පාරෙන් ඉද්ද මල් කඩලා දෙන්න ඇති 
යානෙන් නැගිටලා නොකියම යන්න ඇති 
නාඩන් කියන්නට අමතක වෙන්න ඇති

පාළොස්වක සඳකි ඔබ බැස නොගිය මට 
පානක් දොළොස්මහ නොනිමෙන අහස යට 


දෑසත් වසා ගමි කඳුළක් වැටෙන කොට ආයෙත් ආත්මෙක පියතුම වෙන්න මට“

ආදරය කුමන හැඩයද ? එය හැමදාමත් ප්‍රශ්නයක් පමණි. එක් එක් කෙනා ඊට එක එක හැඩතල මවති.ඒ හැඩතල ඔවුන් ඊට දෙන්නේ තමන් ලබන අත්දැකීම් සමඟය. ‘ප්‍රේමයත් අටපට්ටම්‘ කෙනෙක් එසේ කියන්නේ තමන් ලැබූ අත්දැකීම් හරහාය. වෙසක් දා රාත්‍රියේ අටපට්ටම් කූඩුවක් වටා මැවෙන මේ කවියේ දෙදෙනෙකුගේ සිතුවිලි... ඒ සිතුවිලි ඔස්සේ ගමන් කරන හැඟුම් ආදිය එක්තැන් වී කියන්නේ වෙනස්ම කතාවකි. පවුල් ජීවිතයක

පුංචි පුංචි අඩදබර සිහි ගන්වන මේ කවිය අපව නව ඉසව්වකට ගෙන යයි.

මේ අපි හැදු පළමු කූඩුව 
කසාද බැන්දාට පසු 
‘රැලි අගට රතුපාට අලවමු‘ 
කිව්වෙ නම් මා නොවෙයි ඔබ 
ඕනවට වඩා රැලි මොකටද? 
නෑ අනේ එතකොටයි ලස්සන 
කොන් හතරටත් ටික ටික අලවමු  
කෝ ඉන්න ඔයාට බැරින්

පිරිපුන්ය දැන් අටපට්ටම 
සුදු බද රැලි අග රතුවන් 
එල්ලමුද අඹ ගහේ අත්තක? 
අනේ බෑ ඉස්තෝප්පුවයි හොඳ 
 

දෙදෙනාගේ ගැළපිම් නොගැළපීම් මතින් අවසානයේ ඇය ජයගනී. අටපට්ටම් කූඩුව ඉටි පන්දම් ද පත්තු කරන්නේ විදුලි බුබුලක් දමනවාද යන්න ද දෙදෙනා අතර කතාකාවකි. එය අඹ ගහේ එල්ලනවාද නැත්ද එයට ද කතාවකි. අවසානයේ අැගේ ඉල්ලිමට කුඩුව එල්ලන්නේ අඹ අත්තේය. සියල්ල එතැනින් නොනවතියි.

සුළං හමා වැහි පොද වැටෙන විට කූඩුව තෙමේ යැයි කියා ඇති වන අරගලය. දෙදෙනා අතර ඇති වන සියුම් වචන හුවමාරුව මේ සියල්ලම අවසානයේ ඇගේ කතාවට ඔහු නැවතීමක් තබයි. සුළඟ හමාවිත් අටපට්ටම් කූඩුව දැවීයයි. එයත් ජීවිතය මෙනි.

සුසුමක් නැඟිණ මට 
ඉටි පන්දමේ දැල්ල සව්කොළය මැදට වැදිණ 
සිහින් ගිනි දලු පට්ටම් සතරේම 
බැලින්නම් ප්‍රේමයත් අටපට්ටම්‘

 

මිනිස් සිතුවිලි විශේෂයෙන්ම දෙදෙනාගේ සිතුවිලි ගට්ටනය මනාව විග්‍රහ කරන්නට ඇය අටපට්ටම හරහා උත්සාහ දරා ඇත.

අද ඇත්තේ මුව වැස්ම දමා ගත්සමාජයකි. සොදුරු සිනා දකින්නට නැත. වෙනදාට අතින් අල්ලා ගෙන මඟ පිය නැගු පෙම්වතුන් දැන් දකින්නට නැත.

දැන් ඔවුන් එක මඟ ගිය ද යන්නේ මඳක් දුරස්වය. ඒ සියල්ලට මුල වසංගතයයි. මේ වසංගත කාලයේ ඇගේ අතින් ලියු කවියකි ‘වසංගත සංගායනා‘

 

‘විදා දෙනෙත මුඛවාඩම් බැඳ සිටිමී 
එදා විලස හිනැහෙන උන් නොම දකිමී 
බලා වැලඳ සිප ගත් නුඹ දැක තැවෙමී 
මෙදා පාර මීටරයක් දුර සිටිමී...‘

 

සමස්තයක් ලෙස ගත් කළ කිවිඳිය භාෂා භාවිතයේදි වඩ වඩාත් පරිස්සම් වී ඇතියි සිතේ. ඇය සිය අත්දැකම් සියුම් කියන්නට උත්සාහ දරන අතර ඇතැම් තැනකදී සියුම්ව පහර දෙන්නටද උත්සාහ දරා ඇත.

Comments