ජුනි මාසයේ ඔබේ ලග්නයේ පලාපල මෙන්න | සිළුමිණ

ජුනි මාසයේ ඔබේ ලග්නයේ පලාපල මෙන්න

- විදෙස් ගමන් සාර්ථක වන මාසයක්
- දරුවන්ට ජයග්‍රහණ රැසක් හිමි වෙයි
- ගොවිතැනට යොමු වීමෙන් අටු කොටු පිරෙන කාලයක්
- පිනට දහමට යොමු විමෙන් සිතට සැනසීම ලැබේ
- මාධක මැද වුවත් ආත්ම තෘප්තියෙන් කටයුතු කළ හැකියි

2022 වසර ආරම්භ වී මාස 5 ක් ගත වුයේ නොදැනුවත්මය. රටතුළ පවතින අර්බුදකාරී වාතාවරණය සමඟ කාලය ගෙවී ගියද රටෙහි තත්වය මෙතෙක් තිබූ තත්වයෙන් යම් වෙනසක් දක්නට ලැබේ. පොදුවේ ගත් කල ශ්‍රි ලංකාව කුම්භ ලග්නයට අයත් අතර ඒ අනුව ජූනි මාසයද යම් පෙරළිකාර මාසයක් බව සඳහන් කළ යුතුය. රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් ලෙස විදේශ ආධාර ලැබුණ ද පොදුජනතාව නියෝජනය කරන ක්ෂේත්‍රෙය් බලය ඉදිරි කාලෙය්දී වැඩි වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට සහන සැලසෙන අතර ආරක්ෂක අංශවලට වැඩ වැඩිවෙන කාලයකි. නීතිමය ගැටලු වලදී පොදු ජනයාට වාසි සහගත වන අතරම රටේ පවතින ස්වාභාවික ආපදා හේතුවෙන් මේ ජුනි මාසයේදී ජනතාව පීඩාවට පත්වේ. සෑම කෙ‌ෙනක්ම රට ගැන හිතා කටයුතු කළ යුතු කාලයකි.

රටක් ලෙස එසේ වුව ද ජුනි මාසයේ ග්‍රහ බලපෑම අනුව ඔබේ පලාපල මෙසේය.

මේෂ ලග්නය - මංගල යෝග උදා කරයි

ලග්නාධිපති කුජ විමලා යෝගයෙන් බලවත් වූ ගුරුත් සමඟ යෝග වී සිටීම අසුබ නැත. දෙවැන්නාධිපති සිකුරු ලග්නගතව සිටින අතර මේෂ ලග්නයට උච්ච වන සහ ග්‍රහලොව බලවතා වන රවි දෙවැන්නා වූ ධනස්ථානයේ ගමන් කරයි. සඳු සිව්වැන්නේ අධිපති ලෙස තෙවැන්නේ සිට මාසික චාරිකාව ආරම්භ කරයි.

ඉහත ග්‍රහබල අනුව මේෂ ලග්නයෙන් උපත ලද ඔබට වෙනදාට වැඩි උනන්දුවකින් කරන කියන කටයුතුවල නියැළීමටත් ඒවායෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමටත් හැකියාව ඇත. රැකියා ස්ථානවල තිබූ ගැටලු මග හැරී යයි. අවිවේකය පහව ගොස් ආත්ම තෘප්තියෙන් තම කටයුතුවල නියැළීමට හැකියාව ලැබේ. පොදු වැඩ කටයුතුවලට ද දායකත්වය දීමට සිදුවන අතර සියලු කම් කටොලු අමතක කර දරා ගැනීමේ ශක්තිය මතු කරයි. අවිවාහක අයට මංගල යෝග උදා වුණත් ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතුවේ. ඒ සිකුරු සමඟ රාහු යෝග වී සිටින බැවින් වංචා සහගත දේට ඉඩ තිබෙන බැවිනි. ලිපි ලේඛන සම්බන්ධ රැකියාවන්ට යොමු වන්නට අවස්ථාව සැලසේ.

මේ අතර ජුනි 16 දින රවි මිථුන රාශි ගත වීම නිසා ආර්ථික තත්වය සුබවාදී වන අතර සැලසුම් සහගතව තවත් උනන්දුවෙන් දිවි පෙවෙත ගෙනයයි. ජුනි 18 දින සිකුරු දෙවැන්නට පැමිණීම ස්ත්‍රි පක්ෂයේ අයගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම 27 වෙනි දින කුජ එනම් ලග්නාධිපති ලග්නයට පැමිණීම නිසා කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වේ.

වෘෂභ ලග්නය - විදේශ ගමන් සඵල වේ

ලග්නාධිපති 12 වැන්නේ සිටිනුයේ 10 වැන්නේ බලවත්ව සිටින ශනිගෙන් දෘෂ්ටි ලබමිනි. දෙවැන්නාධිපති ලග්න ගතව බුධ ආදිත්‍ය යෝගය නිර්මාණය කර ඇත. වෘෂභ ලග්නයට උච්ච සඳු දෙවැන්නේ ගමන් කරමින් මාසික ගමන් මඟ හෙළිකරගෙන තිබේ.

රැකී රක්ෂා කටයුතු දියුණුවට පමුණුවා ගත හැකි වාතාවරණයක් සැලසේ. ආවේගශීලී බව අඩුවේ. ප්‍රිය වචන කථා කිරීමට පෙළඹේ. බන්ධු මිත්‍රාදීන් හිතවතුන් උදව් උපකාර කරයි. අතමිට මුදල් ගැවසුණත් වියදම් වැඩිවේ. විදේශ ගමන් පිළිබඳව උනන්දුවෙන් සිටි අයට යාමට අවස්ථාව සැලසේ. ගුරු බලවත්ව අයස්ථාන ගත වීම ලැබීම් සහිත වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේ. පාදවල අසනීප හෝ තුවාල ඇතිවිය හැක. ආත්මාර්ථයට වඩා පරාර්ථකාමිත්වයට යොමුවේ. ධාර්මික වේ. ජුනි 16 දින රවි මිථුන රාශි ගතවන අතර සිකුරු ලග්නයට පැමිණ බලවත් වීම 18 වෙනි දින සිදුකෙරේ.

එම ග්‍රහ මාරුවලදී ආර්ථික යහපත් අතට හරවා ගැනීමට ඉඩකඩ සලසයි. ඉඩකඩම් දේපළ ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය වෙයි. මංගල යෝජනා අපේක්ෂිත අයට තීන්දු තීරණ ගැනීමට පහසු කරයි. කුජ ග්‍රහයා 27 වෙනි දින මේෂ රාශි ගතවීම විමලා යෝගය උදා කරන බැවින් විදෙස් ගමන් සාර්ථක කර ගැනීමට අනුබලයක් ලැබේ.

මිථුන ලග්නය - බුද්ධිමත්ව සිටිය යුතු කාලයකි

ලග්නාධිපති 12 වැන්නේ සිටියත් ගුරුහංස යෝගය උදා කරමින් සුරගුරු 10 වැන්නේ සිටිනුයේ සියලු ලැබීම් පෙන්වන අයස්ථානාධිපති සමඟය. දෙවැන්නාධිපති ලග්නගතව සිටිමින් මවගේ කාර්ය ඉෂ්ට සිද්ධ කරයි.

ඔබ මෙතෙක් රැකියාවක් සොයමින් සිටියේ නම් ඒ පිළිබඳව සතුටුදායක ආරංචි ලැබෙයි. තමා ඇසුරු කරන පිරිස අතරේ ඔබගේ තත්වය මඳක් උසස්වේ. ගෞරවයට පාත්‍ර වේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සතුටුදායකව කරගෙන යාමට ඔවුන්ට අවකාශ ලැබේ. සාමාජීය ආගමික කටයුතු වලට කැමැත්තෙන් ඉදිරිපත් වී ආත්මීය ලාභයක් ලබයි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින මිථුන ලග්න හිමියනට ලිපි ලේඛන ලැබීමට වාසනාව පවතී. තුනටිය සහ පා ඇඟිලි ආශ්‍රිත වේදනා ඇතිවිය හැකිය.

ජුනි 16 දින රවි මිථුනයට පැමිණීමෙන් උද්යෝගිමත් බව ඇතිවේ. තමන් ගැන අභිමානයක් ඇති කෙරේ. ජුනි 18 දින සිකුරු මාරුවෙන් අලංකාර වස්ත්‍රාභරණ, රස ආහාරපාන ලැබීමට භාග්‍ය ඇත. 27 වෙනි දින කුජ මේෂ රාශියට පැමිණීම සුබ ඵල මෙන්ම තරමක අසුබ ඵල ද භුක්ති විඳින්නට පුළුවන. ඒ නිසා බුද්ධිමත්ව කටයුතුවල නිරත වීමද ධාර්මික පැවතුම් ද ඇතිකර ගැනීම වැදගත් වේ.

කටක ලග්නය - දරුවන් දහමට යොමු කරන්න

ලග්නාධිපති 12 වැන්නේ ගමන් කළ ද ලග්නයට උච්ච වන ගුරු පුණ්‍යස්ථානයේ බලවත්ව 5 වැන්න අධිපති කුජ සමඟ පිහිටීම යහපත් වේ. සුරගුරු හෙවත් ග්‍රහලොව ගුරුතුමාගේ දෘෂ්ටිය ලග්නභාවයට වැටෙමින් ආරම්භ වන මාසය සුබ අසුබ මිශ්‍ර ඵල ඇති කරයි.

දැනට අෂ්ටම ඒරාශ්ටක තත්වයක් උද්ගත ඇති බැවින් ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. කුඩා දරුවන්ට නිතරම සෙම් රෝග උණ ගති පැවතිය හැකි බැවින් සැලකිලිමත් වන්න. ආගමික කටයුතුවල නියැළීමක් ඇති කරයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට සාර්ථක කෙරේ. දුර ගමන් බිමන් යෙදෙන්නට පුළුවන. රැකී රක්ෂා කටයුතුවල වෙනස්කම් ඇතිවීමේ ප්‍රවණතාවය පෙන්නුම් කරනුයේ රාහු 10 වැන්නේ ගෝචර වී ඇති බැවිනි. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍යයය.

විදෙස්ගතව සිටින දුවා දරුවන්ගෙන් හෝ හිතවතුන්ගෙන් උපකාර ලැබීමට හැකියාව පවතී. ධර්ම කර්මාධිපති යෝග්‍ය භාග්‍යස්ථානගත වීමෙන් ප්‍රසිද්ධිය ගෞරවය හිමිවේ. ජයග්‍රහණ අත්විය හැකිය. ආවේගශීලී බව අඩුවීමට පුළුවන.රවි, සිකුරු හා කුජ යන ග්‍රහයින්ගේ ග්‍රහ මාරුවීම් තුළින් ද පදිංචි ස්ථානයේ අසුබ ඵල ඇති නොකරයි. ධෛර්යමත්ව වැඩ කටයුතු කරගෙන යාමට අවකාශ හිමිවේ.

සිංහ ලග්නය - රැකී රක්ෂාවල දියුණුව

ලග්නාධිපති රවි දෙවැන්නාධිපති සමඟ දහවැන්නේ දිග්බලව ඇත. හත්වැන්නේ සෙනසුරු බලවත්ව ද සරලා යෝගයෙන් යුතුව ගුරු අටවැන්නේ ගමන් කිරීම ද යහපත් ලෙස දැකිය හැකිය. සඳු 12 වැන්න අධිපතියා ලෙස 11 වැන්නේ සිටීම අනුව ද විදෙස් ගතව සිටින අයගෙන් ලාභ ප්‍රයෝජන හිමි කරන ග්‍රහ බලයකි.

සිංහ ලග්න හිමියනට බුද්ධිමත්ව සිය කටයුතු කරගෙන ඒවායින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට හැකි කාලවකවානුවක් ලෙස ජුනි මාසය හැඳින්විය හැකිය. විවාහ කටයුතු වලට අසුබ ඵල ඇති නොකරයි. ස්ත්‍රී පක්ෂයේ අයගෙන් මවු පාර්ශ්වයේ අයගෙන් උදව් උපකාර හිමිවේ. ලිපි ලේඛන සම්බන්ධ රැකියාවලට ඇරයුම් ලැබේ. භූමිය සම්බන්ධව කරන ගොවිතැන් වලින් ඵල ලබා ගැනීමට හැකියාව පවතී. ධනය හිඟ නොවී පවතී. කීර්ති ප්‍රශංසා ලැබේ. ජුනි 16 වෙනි දින රවි 11 වැන්නට පිවිසීම නිසා සිංහ ලග්න හිමියනට පවතින්නාවූ බාධක පලවා හැරේ. 18 වැනි දින සිකුරු 10 වැන්නටත් 27 වෙනි දින කුජ මේෂ රාශියටත් ගමන් කරයි. එම ග්‍රහ මාරු වලින් ද කරන කියන රැකියා කටයුතුවල සාර්ථකත්වය විනා අයහපත් බලපෑම් නොමැත. සුළු අසනීප ගති ඇති වූවත් දිගින් දිගටම නොපවතී. කිසිවෙකුටත් යටත් නොවී අභිමානයෙන් සිය අභිමතාර්ථ ඉටුකර ගනී.

කන්‍යා - පුණ්‍ය කටයුතුවලට නැඹුරුවේ

ලග්නාධිපති භාග්‍යස්ථානය හෙවත් පුණ්‍යස්ථානයේ ද සුර ගුරු 7 වැන්නේ ද රාහු සිකුරු 8 වැන්නේ ද ගමන් කරයි. සඳු අයස්ථානයේ අධිපතිකම ඉසිලුවද රැකියා ස්ථානය වූ 10 වැන්නේ සිට මාසික ගමන ආරම්භ කරයි.

රැකී රක්ෂා කටයුතු සඳහා වැඩිපුර ඇවිදීමට සිදුවේ. සමහරවිට කලකිරුණු ස්වභාවයක් ද ඇතිවිය හැක. දරුවන්ගේ සුළු අසනීප ගති මතු කරයි. රාහු සිකුරු සංයෝගය නිසා විවාහ ගැටලු මතුවිය හැකි වුවත් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මඟහරවා ගත හැකිවේ. ඇහුම්කන්දීම වැඩියෙන් ද කථාව අඩුවෙන් ද පවත්වා ගනී. ජුනි මස 16 වෙනි දින රවි 10 වැන්නට පිවිසීම යහපත්ය. උද්යෝගිමත්ව රැකී රක්ෂා කටයුතු කරගෙන යයි. ඉන්පසුව සිදුවන 18 දින සිකුරුගේ හා කුජ ග්‍රහයාගේ මාරුවෙන් අසුබ ඵල ඇති නොකරයි. අතමිට මිල මුදල් ගැවසෙන පුණ්‍ය කටයුතු වලට යොමුවන කාලයකි. දරුවන්ගේ දියුණුවට කැපවීම් කරයි. සමාජ සුබසාධන වැඩවලට සහයෝගය ලබා දෙයි. ගේදොර අලංකාරය පිළිබඳව වැඩි කැප කිරීම් කරයි. තම ගෙවත්තේ වගාකටයුතු නියුතු වීමෙන් තෘප්තියක් ලබයි.

තුලා ලග්නය - ආර්ථිකය සමබරව පවත්වා ගනී

ලග්නාධිපති සිකුරු 7 වැන්නේත් 10 වැන්න අධිපති 9 වැන්නේත් රවි බුධ 8 වැන්නේත් ගමන් කරයි. හර්ෂ යෝගය උදා කරමින් ගුරු ග්‍රහ තුමා 6 වැන්නේ සිටිනුයේ දෙවැන්නාධිපති සමඟය.

ඉහත ග්‍රහ ගෝචර වලින් තුලා ලග්න හිමි ඔබට සුබ අසුබ මිශ්‍රඵල උදා කර දෙන ජූලි මාසය ආර්ථිකයේ සමබරතාවය රඳා පවත්වා ගැනීමට උදව් කරයි. සතුරු කරදර තිබුණේ නම් ඒවා මඟ හැරී යයි. දැනුම බුද්ධිය බෙදා දෙන බුධ ග්‍රහයා ද සරලා යෝගය සහ බුධ ආදිත්‍ය යන යෝග වලින් පරිපූර්ණ බැවින් සුබඵල වැඩියෙන් ලබා දෙයි. විදේශගත වීම් බලාපොරොත්තු අයට කැඳවීම් ලිපි ලැබෙන්නට හැකියාව ඇත. ගොවි තැන් වැඩවලට අත ගසයි. ඒවායින් සුබ ඵල අත්වෙයි. ගෘහ ජීවිතයේ සාමකාමී බව පළුදු වෙන අන්දමේ අනවශ්‍ය බැඳීම් වලින් වළකින්නේ නම් වඩාත් යහපත්ය.

ජුනි 16 වෙනි දින රවි මිථුන රාශි ගත වීම ඉදිරි කටයුතු සැලසුම් සහගත ගෙනයාමට උදව් කරයි. පොතපත ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණ ලබයි. චෝදනා සහ අපවාද එල්ල විය හැකි වුවත් ඒවා සමථයකට පමුණුවා ගත හැකිවේ. ඒවාට මුහුණ දිය හැකි අපූර්ව බුද්ධි මහිමයක් තුලා ලග්න හිමි ඔබ තුළ නිර්මාණය වේ.

වෘශ්චික - අධ්‍යාපන කටයුතු දියුණුවේ

ලග්නාධිපති පස් වැන්නේ එනම් පූර්ව පුණ්‍යස්ථානයේ සුරගුරුත් සමඟ යෝග වී ඇත. ශනි ග්‍රහයා ජය යෝගය නිර්මාණය කරමින් සිවුවැන්නේ බලය විහිදුවමින් සිටී. ගුරු 5 වැන්නේ ලක්ෂ්මී යෝගය ද උදාකරයි. 10 සහ 11 අධිපතීන් 7 වැන්නේ සිටිනුයේ ද බුධ ආදිත්‍ය යෝගයේ බල ඇතිවය. භාග්‍යස්ථානාධිපති සඳු අටවැන්නට පැමිණීම තරමක් දුරට අසුබය. එසේ වුවද ගුරුගේ දෘෂ්ටියෙන් ලග්නය බලවත්ව ඇත.

ඔබගේ අපේක්ෂා අරමුණු මුඳුන් පමුණුවා ගැනීමට හැකි කාල වකවානුවකි. රැකී රක්ෂා වෙළහෙළඳාම් ව්‍යාපාර ආදියේ දියුණුව සැලසේ. නිවසෙහි සිට මුදල් ඉපයීමේ කටයුතු වුවද සඵල වේ. ජනතාවගේ ආදරය කරුණාව නොමදව ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවේ. ගෘහ ජීවිතය සාමදානයෙන් ගතවේ. ඥාති හිතවතුන් තමා සොයාගෙන පැමිණේ. පුණ්‍ය කටයුතු කරන්නට සිත්වේ. ජුනි 16 දින රවි මිථුන රාශි ගත වීමෙන් ද 18 දින සිකුරු වෘෂභ රාශි ගත වීමෙන් ද 27 වෙනි දින ලග්නාධිපති මේෂ රාශි ගත වීමෙන් ද අයහපත ඇති නොවේ. ඉඩකඩම්, ගේ දොර ප්‍රශ්න තිබුණේ නම් ඒවාට ද විසඳුම් ලැබේ. ධාර්මික කටයුතු කෙරෙහි නැඹුරුවක් ඇති වීමෙන් වාසනාව ළඟා කර ගැනීමට පුළුවන.

ධනු ලග්නය - ගැටලු නිරාකරණය වේ

ලග්නාධිපති ගුරු හංස යෝගය උදා කරමින් සිව් වැන්නේ ගමන් කරනුයේ පංච මහා පුරුෂයෝග බලයෙනි. එම ග්‍රහ බලය මේ කාලවකවානුවේ ජීවිතයට අස්වැසිල්ලකි. සෙනසුරු ග්‍රහයා ද ජය යෝගය උදා කරමින් වික්‍රමස්ථාන ගතව සිටින අතර සඳු විවාහක ස්ථානයේ ගමන් කරමින් මාසික චාරිකාව ආරම්භ කරයි.

තම දැනුම උපයෝගී කරගෙන දැනට කරගෙන යන වැඩ කටයුතු නවතාවයෙන් යුතුව පවත්වාගෙන යෑමට උනන්දු වේ. පසුගිය කාල වකවානුවල පැවති ඒරාශ්ඨක අපල බොහෝ දුරට ගෙවී අවසන්ව ඇති බැවින් යම් සහනදායක බවක් පවතී. එසේ වුවද දැනුදු නිශ්ඵල වියදම් නිශ්ඵල ගමන් නැතුවා නොවේ. තම නිවසේ ඉදිකිරීම පිළිබඳව සිතුවලි පහළ වූවත් ක්‍රියාත්මක කිරීමේ ස්ථිරතාවයක් තවම සිතට නොයේ. බන්ධු මිත්‍රාදීන් පිළිබඳ කටයුතු වලදී ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරයි. මවට හෝ මවු පාර්ශ්වයේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ඇසුරු කරන අය අතර විශ්වාසය තහවුරු කරගෙන සතුටින් කාලය ගෙවයි.

රැකියා කටයුතු වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නට සිදුව ඇතත් පවුලේ ආර්ථිකය ගොඩනඟා ගැනීම එකම අරමුණ වී ඇති බැවින් චිත්ත ධෛර්යයෙන් වැඩ කරයි. ජුනි 16 දින රවි මිථුනයට යාම 9 වැන්න අධිපති බැවින් අසුබ ඵල ඇති නොකරයි. විවාහ දිවිය සාමයෙන් ගෙවේ. සිකුරු ග්‍රහ මාරුව ජුනි 18 දින සිදුවේ. ආමාශගත අසනීප බඩ පුරවා දැමීම් ආදියට හේතු ඇති බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. කුජ 27 වෙනි දින සිය රාශියේම බලවත්ව 5 වැන්නේ ගෝචර වීම දරුවන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කරන අතර හදිසි සුළු අනතුරුවලට ඉඩ ඇති හෙයින් ආරක්ෂා කරන්න.

මකර ලග්නය - ධෛර්යයෙන් වැඩකටයුතු කරයි

ලග්නාධිපති සෙනසුරු ජය යෝගය උදා කරමින් දෙවැන්නා වූ ධනස්ථානයේ ගෝචර වී සිටියත් තවම මකර ලග්න හිමිකරුවන්ගේ ඒරාශ්ඨක අපල ගෙවී නොමැත. සුරගුරු තෙවැන්නේ ගමන් කරන්නේ සිව්වැන්නේ අධිපති කුජ ග්‍රහයා ද සමඟිනි. රවි බුධ දෙදෙන 5 වැන්නේ ද සඳු හෙවත් චන්ද්‍රයා සය වැන්නේ ද සිය චලිතය පවත්වා ගනිමින් මාසික චාරිකාව අරඹනු ලබයි.

කෙතරම් අපහසුතා ජීවිතයට එක් වූවත් චිත්ත ඒකාග්‍රතාවය නොබිඳී පවත්වාගෙන යාමේ දක්ෂතාවය උපතේදීම රැගෙන ආ දෙයකි. ලෙහෙසියෙන් කෙනෙකුට දෙවෙනි වීමට අකමැතිවා සේම තනිවම තම මතය ක්‍රියාත්මක කරන ආර්ථිකය සම මට්ටමේ තබාගනී. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අඩු විය හැකි මේ කාල වකවානුව සැනසීම අඩුය. ධර්මානුකූලව කටයුතු කිරීම ජීවිතයට බද්ධ කරගෙන සිටින මකර ලග්න හිමියනට එයින් නොමඳ සහනයක් පොසොන් මාසයේ අත්විඳින්නට හැකිවේ. සුබඵල වලට වඩා අසුබ ඵල දක්නට ලැබුණත් ඉදිරි කාලය යහපත් වේ.

මේ කාලය තුළ බොහොම උනන්දුවෙන් පවුලේ සාමාජිකයන්ගේ ගැටලු විසඳීමට ද මැදිහත් වෙයි. අසනීප සඳහා වැඩි මුදලක් වියදම් වේ. ඒ නිසා ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඉගෙනීම ලබන දරුවනට මතක ශක්තිය වර්ධනය වේ. විභාග වලින් ජයග්‍රහණ හිමිවේ. ජුනි 16, ජුනි 19, ජුනි 27 දිනවල රවි, සිකුරු, කුජ යන ග්‍රහ මාරුවලින් පවතින අසනීප චිත්ත පීඩා මග හැරී යයි. ආර්ථික මට්ටම යම් තත්වයකට සහනදායී වේ. දරුවන්ගේ දියුණුව මගහැරුණු කාර්යයන් නැවත සඵලතාවයට පත්වේ.

කුම්භ ලග්නය - හදිසි ධන ලාභ

ලග්නාධිපති ශනි ලග්නයේම බලවත්ව සිය අණසක පතුරුවන අතර 12 වැන්න අධිපතිකම ද උසුලයි. අයස්ථානය මෙන්ම ධනස්ථාන අධිපති ග්‍රහලොව යුක්තිය පසිඳින්නා යන අරුත් ඇති බ්‍රහස්පති ධනස්ථානයේම ගෝචරව ඇත. එය සුබ පිහිටීමකි. භාග්‍යස්ථාන අධිපති සිකුරු රාහු සමඟ තෙවැන්නේ ද බුධ ආදිත්‍ය යෝගයකින් සැදුම් ලත් රවි බුධ දෙදෙන සිව්වැන්නේ ද ග්‍රහලොව මවුතුමිය සඳු 5 වැන්නේ ද සිට මාසික චාරිකාවට අවතීර්ණව ඇත. විදෙස්ගත වන්නට බලාපොරොත්තු වන කුම්භ ලග්න හිමියනට ද සුබ කාල වකවානුවකි. ඉහත ග්‍රහ පිහිටීම් දෙස ඇස යොමු කරන විට අපට පෙනී යන්නේ කොතෙක් නම් විය පැහැදම් යෙදුනද ඔබට අතමිට හිඟ නොවී පවත්වා ගැනීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී ඇති බවයි. ලග්න ඒරාශ්ඨකයක ආරම්භයක් තිබුණත් ලග්නාධිපති සිය අධිපතිකම දරන වාසභවනයට ආපදා නොකරයි. එනිසා කරන කියන රැකියා කටයුතු ගොවිතැන්බත්, දරුවන්ගේ දියුණුවට අදාළ දෑ මෙන්ම පවුලේ වගකිම් සියල්ල යහපත් අන්දමින් පවත්වා ගනී. ඇසුරු කරන අයගේ හොඳහිතදිනා ගනී. සාමාජීය ආගමික කටයුතු වල නිරත වෙයි. යහපත් මානසිකත්වයකින් ජීවිතය පවත්වාගෙන යාමට හැකියාව ඇත. හදිසි ධන ලාභ ද පෙන්වයි.

ඉගෙනීම ලබන දුවා දරුවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මතක ශක්තිය වර්ධනය වේ. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට සුබඵල පෙන්නුම් කරන මේ කාලවකවානුවේ ජීවිතයට සැනසීම ලැබේ. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු බොහෝ දුරට මල්ඵල ගැන්වෙයි. ජුනි 16, 18, 27 දිනවලදී සිදුවන රවි, සිකුරු, කුජ මාරුවීම් තුළින් ද සහනදායී ප්‍රතිඵල අත්වේ. ගෙදර දෙර අලංකාරයට වෙහෙසේ. රෝග පීඩා සුළු වශයෙන් ඇති වුවත් කල් නොගොස් සුවවේ. සෙම් රෝග බලපවත්වයි.

මීන ලග්නය - සිතුවිලි ධාර්මික වේ

ලග්නාධිපති වන බ්‍රහස්පති ගුරු හංස යෝගය නිර්මාණය කරමින් දෙවැන්නේ, එනම් ධනස්ථානයේ අධිපති සමඟ ලග්නයේ ගමන් කරයි. ලග්නයට උච්ච වන සිකුරු දෙවැන්නේ ගෝචර වෙයි. රවි බුධ වික්‍රමස්ථානයේත් ග්‍රහලොව මවුතුමිය වන සඳු දිග්බලව හතර වැන්නේ ද සිට ගමන් වාරය අරඹයි.

කුජගේ නොඉවසිලිවන්ත කම පාලනය කරමින් ගුරු සිය ලග්නභාවය පාලනය කරන අතර මේ කාල වකවානුව ඔබ නිහඩ දිවියකට අවතීර්ණ වෙයි. වැඩිහිටි අයගේ, ස්වාමීන් වහන්සේලාගේ, හිතවත් කාරුණික අයගේ උපදෙස් පිළිපදියි. ආගම දහමට ද වැඩිපුර ලැදිවෙයි. ආර්ථික අපහසුතාවයන්ගෙන් පීඩා නොවිඳියි. කෙසේ හෝ ජීවිතය පවත්වාගෙන යාමටත් පවුලේ සමගිය රඳා පවත්වා ගැනීමටත් උනන්දු වෙයි. සැමවිටම නිවස, වටපිටාව පිරිසිදුව තබා ගැනීම අරමුණු කර ගනියි. තමන්ගේ නොවුණත් අනෙක් අයගේ දරුවන්ට ද ආදරය කරුණාව දක්වන්නට පෙලඹෙයි. ආත්ම තෘප්තියෙන් සියලු දෙනා සමඟ සහයෝගයෙන් කාලය ගෙවයි.

සතුරු කරදර ඉවත්වනු ඇත. හදිසි මුදල් ලැබීම් වලට ද භාග්‍ය ඇත. ජුනි 16, ජුනි 18, ජුනි 27 යන දිනවල සිදුවන ග්‍රහ මාරු ඔබට අයහපත් නොවේ. ආත්මාභිමානයෙන් යුතුව ජීවනෝපාය කටයුතු කරගෙන යාමට හැකි වාතාවරණයක් සැකසේ. සුළු අනතුරු සෙම් රෝග වලට ඉඩ ඇත. වචනය පිළිබඳව ප්‍රවේශම් වීම වැදගත් වනුයේ තමාගේ කටින් පිටවන වචන නිසා අන්‍යයන්ගේ සිත් රිදීම් ඇතිවන බැවිනි.

ශ්‍රීයා ගනේගොඩ

Comments