කාලය හා අවකාශයෙන් ඔබ්බට | සිළුමිණ

කාලය හා අවකාශයෙන් ඔබ්බට

සමීර මධුශංක වන්නිආරච්චි

කෘතිය - ඇබිනෝල් 
කර්තෘ - සමීර මධුශංක වන්නිආරච්චි 
ග්‍රන්ථ (පුද්) සමාගම ප්‍රකාශනයකි 
මිල - රු. 780 
විමසීම් - 076 075 9227

සිංහල සාහිත්‍යය තුළ අඩුවෙන් බිහිවන ශානරයක් ලෙස විද්‍යා ප්‍රබන්ධ හඳුන්වා දිය හැක. සමීර මධුශංකගේ ඇබිනෝල් විද්‍යාප්‍රබන්ධය මෑතකාලීනව එම ශානරයට එක්වූ වෙනත් ආකාරයක ප්‍රබන්ධයක් බව පෙනේ. රහස්පරීක්ෂණ කලාව හා සම්බන්ධ කොට ගෙන කුතුහලයක් සහිතව ගොඩ නැගී ඇති එම නිර්මාණය පාඨකයාව රඳවා ගැනීමට ඒ හරහා උත්සාහයක් ගෙන තිබේ.

කාලය සහ අවකාශය යනු විශ්ව ගවේෂණය සඳහා මිනිස් තාක්ෂණයට පවත්නා විශාලම බාධාවකි. කාලය නියතයක් ලෙස වර්තමාන තාක්ෂණය තුළ සැලකුණද එය එසේ නොවනා බවට යම් යම් සාක්ෂි හෙළි කරගැනීමට දක්ෂ මහාචාර්යවරයෙකු සමත් වේ. මේ පිළිබඳ ලැබුණු තොරතුරු රැසක් අධ්‍යනය කළ මහාචාර්යවරයෙකුගේ අපූරු සොයාගැනීමක් වටා ඇබිනෝල් නවකතාව පෙළ ගැසෙයි.

ඔහුගේ සොයාගැනීම හරහා මිනිසාට සිහිනයක් වූ විශ්වයේ රහස් රැසක් එළි වෙමින් විශ්ව ගමන් සඳහා නව තාක්ෂණයක් ද සොයා ගැනේ. නමුත් මහාචාර්ය හෙන්රි ඩම්ලිකර් තම සොයාගැනීම ලෝකයා වෙත එළි දැක්වීමට පෙර අතුරුදන් වන්නේ අභිරහස් ලෙසයි. ඒ අතරේ ඔහුගේ සොයාගැනීම නිසාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක ආරක්ෂක පද්ධතිය වෙත සිදුවන බලපෑමක් මත ඩම්ලිකර් ගේ රහස පිළිබඳ ඉඟි පිටතට ගලා යාම ආරම්භ වෙයි. මේ හරහා මෙහි ප්‍රධාන චරිත යුගලයක් වන රයන් ඩී එඩ්මන්ටන් සහ ඇලීනා මැල්ෆෝයි නැමැති තරුණ යුවළ මුහුණ දෙන්නේ නොසිතූ විරූ ගැටලුවකට ය. මහාචාර්ය ඩම්ලිකර් සොයාගත් රහස් තාක්ෂණය පසුපස හඹා යන තවත් විද්‍යාඥයෙකු වන මහාචාර්ය බෲක් හැඩොක් එම නවමු තාක්ෂණය හරහා විශ්වයේ සුවිශේෂි ජීවීන් කොටසක් වෙත ළඟා වීමට උත්සාහ කරයි.

“ඇබිනෝල් කියන්නෙ අප චක්‍රාවාටයට පිටතින් ආලෝක වර්ෂ සිය ගණනක දුරින් පිහිටි වර්ණ වලාකුළක පිහිටි ලෝකයක ජීවීන්. ඔවුන් වායුමය ලෝකවල ජීවත් වන භෞතික ශරීරයක් රහිත ජීවීන්. වැදගත්ම කාරණය ඔවුන් මෙම දුර ගෙවා මෙහි පැමිණීම නෙවෙයි. ඔවුන් මිනිස් මනසට කරනා භයානක බලපෑමයි”

ඇබිනෝල් නමින් හඳුන්වන ඔවුන් කෙතරම් සුවිශේෂිද යන්න පිළිබඳ වටහා ගැනීමට නවකතාවේ එන මෙම දෙබස ඔබට ප්‍රමාණවත් විය යුතුය. සැබවින්ම මෙහි ගලා යන්නේ මිනිසා සහ අවකාශය අතර වන බාධකය බිඳීම නිසාවෙන් ඇතිවන විශ්ව විපර්යාසයකි. එබැවින් මෙහි ප්‍රධාන චරිත වරින්වර දෝලනය වෙමින් කතාව ගලා යන්නේ එකම කේන්ද්‍රයක් වටාය. 

මිනිසාගේ වර්ථමාන සිහිනය පිළිබඳ අප හොඳින් දනිමු. විශ්වය ජයගැනීමට අප දකිනා සිහිනය සැබෑවන තෙක් අප ඇඟිලි ගනිමු.

නමුත් අපි මේ බාධක බිඳ දැමීමෙන් පසු අප වෙත පැමිණෙන හෝ අප මුහුණ දෙනු ලබන විශ්ව අමුත්තන් කුමන ආකාරයේ අයවලුන් විය හැකිද. ඔවුන් සහ අප අතර වන සම්බන්ධතාවය කුමන ආකාරයේ එකක් වියහැකිද. ඇබිනෝල් විද්‍යා ප්‍රබන්ධ නවකතාව මේ කාරණා පිළිබඳ පාඨක අවධානය විශේෂයෙන් යොමු කරවා ඇත. කාලය, අභ්‍යාවකාශය සහ පිටසක්වල ජීවය යනු විද්‍යාප්‍රබන්ධ ශානරයට අලුත් මාතෘකා නොවනා බව සැබෑවකි. පාඨකයන්ට හුරුපුරුදු මෙම මාතෘකා අතරේ වෙනස් මානයක් සෙවීම ඇබිනෝල් හි ප්‍රධාන අරමුණ වී තිබේ.

සක්වල ජීවය පිළිබඳ තාර්කික විසංවාද පසුබිමේ මේ සා විශ්වයේ කුඩා වැලි කැටයක ප්‍රමාණයක සිටිනා අප නොදකිනා මානයන් ඕනෑතරම් තිබිය හැකි බවත්, ඔවුන් සමහරවිට අප නොසිතනා තරමේ අය හෝ සමහරවිට අදටත් අප සමීපයේ සිටින්නන් විය හැකිය යන්න කතුවරයාගේ විශ්වාසයයි.

ඇබිනෝල් ජීවීන් නිර්මාණය කිරීමට මූලික අඩිතාලම ඒ අදහස් මතින් නිර්මාණය වී ඇත. පවතින රාමුවෙන් පිටතට පාඨකයා රැගෙන යාම ඔහුගේ උත්සාහය වී තිබේ.

Comments