ඉතිහාසයක අසීමිත සීමාව | සිළුමිණ

ඉතිහාසයක අසීමිත සීමාව

විකුම් සංජිත් රණ­වීර

කෘතිය - සූර්යනාශ 
කර්තෘ - විකුම් සංජිත් රණවීර 
ග්‍රන්ථ (පුද්) සමාගමේ ප්‍රකාශනයකි. 
මිල - රු 780 
විමසීම් -070 551 7447

සූර්යනාශ ඓතිහාසික ප්‍රබන්ධයකි. එය දිවයන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැතිකම නිසාවෙන් මිථ්‍යාවක් , ප්‍රබන්ධයක් ගණයෙහි ලා සලකන්නා වූ රාවණා යුගයට පෙර යුගයත් ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝ විසින් තමන්ගේ දේශනාවන්හි දී විස්තර කළ කල්පිත ඇට්ලැන්ටිස් දේශය කේන්ද්‍ර කොට ගනිමිනි.

මෙම ශිෂටාචාරයන් ද්විත්වයම තහවුරු කළ හැකි නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂීන් හි මඳ නිසා ජනප්‍රවාද හා මිථ්‍යාවන් ගණයෙහි සලකන අතර මේවා පැවතියා යැයි විද්‍යාර්ථීන් හා ඉතිහාස ගවේෂකයින් විසින් විශ්වාස කරනුයේ මීට වසර 4500ත් 5000ත් අතර වූ කාලවකවානුවක ය.

මෙම ශිෂ්ටාචාරයන් ද්විත්වය ම එකල ලොව පැවති අනේක වූ ශිෂ්ටාචාරයන් හා සසඳන කල්හි තාක්ෂණයෙන් දියුණු තාක්ෂණයේ හිණිපෙත්තට ම නැඟසිටි එමෙන්ම එම තාක්ෂණය නිසාවෙන්ම අවසානයේ අවාසනාවන්ත ආකාරයට විනාශ මුඛයට පත්වූ ශිෂ්ටාචාර ද්විත්වයක් ලෙස සලකයි.

සූර්යනාශ හි කතානායකයා වූ කලී රාමායණයේ හා වෙනත් මූලාශ්‍රයන්හි සඳහන් වන මහාරාවණයන්ගේ සුප්‍රකට " පුෂ්පක යානය " හෙවත් " දඬුමොනරය " නම් වූ ආකාශ යාත්‍රාවෙහි නිර්මාපකයා ලෙස පිළිගැනෙන " හෙළයේ මහා නිර්මාණකරුවාණන් " යන විරුදාවලිය ලත් මයදානවයන් ය.

බෞද්ධයන් විශ්වාස කරන විශ්වකර්ම දේවතාවුන් හා මයදානවයන් යනු එකම තැනැත්තෙකි. ඒ කෙසේවෙතත් සූර්‍යනාශ කෘතිය පාදක වන්නේ මයදානවයන්ගේ තුරුණුවියේ ඔහු මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක් පිළිබඳව ය. එම සිදුවීම් අනාගතයේ බිහිවන්නා වූ විශිෂ්ට මිනිසකුට පන්නරය ලබාදෙන ආකාරයක් මෙහි එයි. ඔහුගේ, සියවස් ගණනාවක පටන් රාජ්‍යයන් ද්විත්වයක් අතර පවතින විනාශකාරී බල අරගලයක කුමන්ත්‍රණයකට හසු වන තරුණයකි. එහෙත් ඔහුගේ දෛවය ලියවෙන්නේ, අනාගතය රනින් බැබළවීමට හේතුකාරක වන වටාපිටාව පිළිසකර කිරීමට මුල්වන ප්‍රමුඛතම සාමාජිකයා ලෙසයි. එකී කුමන්ත්‍රණයේ බලපෑමෙන්, අනපේක්ෂිත සිඳුවීම් ගණනාවකට හසුවන ' ඔහු ', මහත් වූ වෙහෙසක් දරා ඉන් මිඳී වෙනත් දේශයක් කරා අහඹුවකින් ගමන් කරනුයේ ඔහුගේ දෛවයේ පෙර ලියමනකට අනුවයි. ආදරය, සෙනෙහස , මිත්‍රත්වය, විශ්වසනීයත්වය හා බලාපොරොත්තු එකට කැටිව ජීවත් වූ තම දේශය හැර දමවමින් ' ඔහු ' ගේ ගමන් පථය , දෛවය විසින් වෙනස් කරනුයේ, අනාගතයේදී එළඹෙන්නට නියමිත උත්කර්ෂයක් වෙනුවෙන් ඔහුව සූදානම් කරනු පිණිසයි. 

ඒ වෙනස් වූ ගමන් පථය ඔහුව රැගෙන යනුයේ, සියලුම ආකාරයන්ගෙන් හිණි පෙත්තටම නැගී දේශයක් කරායි. නමුත් එය, ශතවර්ෂයකට පමණ ඉහතදී සම්පූර්ණයෙන්ම විනාශ වූවා යැයි විශ්වාස කළ අන්ධකාරයේ ඇදහිල්ල ඇදහූ ' ඔවුන් ' ගේ , වසර ගණනාවක නිද්‍රාවකින් පසුව, ' පළිගැනීමේ ' චේතනාව පෙර කොටගත් හෝරාවේ ආරම්භය විය. ඒ සැබෑ කරවන්නාවූ අනාගත වාක්‍යයක් ද විය.

අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් අනතුරුව හෙළයේ සිට ඇට්ලැන්ටිස් දේශය දක්වා ගමන්කරන කතානායකයා එහිදී මුහුණදෙන සිදුවීම් ද ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව, ඔහුගේ හසුරු කුසලතාවයන් මඟින් එම සිදුවීම්වලට මුහුණදෙන ආකාරයත් මෙහි එයි. එමෙන්ම මෙහි පසෙකින් ප්‍රේම වෘතාන්තයක් ද වෙයි.

මේ ප්‍රේම කතාව තුළින් පාඨකයා තුළ, යුද්ධයේ හා එහි ක්‍රියාකාරිත්වයේ සාර්ථක ඵල නෙළා ගැන්මට, ' ප්‍රේමය ' නම් සංකල්පය හා එහි ශක්තිමත්භාවය හා විශ්වසනීයත්වය , දෙදෙනෙකු කෙරෙහි මොනතරම් නම් දුරට බලපාවිද යන්න පෙන්වා දෙයි.

Comments