
හදට හදක් යා කරන ප්‍රේමයට සීමා මායිම් කොහෙන්ද? සැබෑ ප්‍රේමයේ භාෂාව වටහා ගන්නට සවන් අවැසි නොවේ. වදන් ද අවැසි නොවේ. එවැනි ප්‍රේමයක් දැනෙන්නේත් හැඟෙන්නේත් හදවතටය. ඒ බව පසක් කළ සුන්දර කතාවක් ඉකුත් දා ඌව පළාතේ සුන්දරම නගරය වන බණ්ඩාරවෙලින් අසන්නට ලැබිණ. දෙස් විදෙස් සංචාරකයන් අතර පවා ප්‍රසිද්ධියට පත් බණ්ඩාරවෙල නගරය ශීත දේශගුණික තත්ත්වයකින් හෙබිය. හදවත්වල ආදරය පැළ කරන්නට ඒ සෞම්‍ය දේශගුණය ද අත්වැල් සපයන්නා සේය.
සුන්දර බණ්ඩාරවෙල නගරය තවත් සුන්දර කරමින් ඉකුත් දා බණ්ඩාරවෙල නගරයටම මංගල සීනු හැඬවූයේ ඒ නගරයට පමණක් නොව රටටම අලුත් අත්දැකීමක් එක්කරමිනි.
ඒ සුන්දර කතාවේ කතානායකයන් වූයේ බණ්ඩාරවෙල ආබාධිත පුද්ගල සංවර්ධන පුහුණු ආයතනයේ පුහුණුව ලබා දැනට පෞද්ගලික අංශයේ විවිධ රැකියාවන් කරන කථන , ශ්‍රවණාබාධිත යුවළ පස්දෙනෙකි. එම යුවළ පස්දෙනා එකම දින එකම සුබ නැකතකට එකම පෝරුවකට නංවා මංගල චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් විවාහ කර දීමේ ඓතිහාසික දැවන්ත විවාහ මංගල උත්සවයත් සමඟ සුන්දර බණ්ඩාරවෙල නගරය තවත් විචිත්‍රවත් විය. මේ ඓතිහාසික විවාහ මංගල උත්සවයේ පෙරගමන්කරුවා වූයේ බණ්ඩාරවෙල සිංහ සමාජයේ ලේකම් විමලසිරි ආරියවංශ ය.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවති මෙම ඓතිහාසික විවාහ මංගල උත්සවයේ මනාල මනාලියන්ගේ විවාහය ලියාපදිංචි කරනු ලැබූයේ බණ්ඩාරවෙල අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් ඩී.එන්.හෙට්ටිආරච්චි විසිනි.
බණ්ඩාරවෙල සිංහ සමාජයේ සභාපති ආර්.එම්.ප්‍රේමරත්න, අධ්‍යක්ෂ බී.ජී.ලක්ෂ්මන් යන අය මේ අපූරු ඓතිහාසික විවාහ මංගල උත්සවයේ සාක්ෂිකරුවෝ වූහ.
මනාලයන් පිරිස සිය මවුපියන් සමඟ වෙස් නර්තන කණ්ඩායම පෙරටුකොටගෙන උත්සව ශාලාවට පිවිසි අතර, අනතුරුව එළැඹි සුබ හෝරාවේදී මනාලියන් පස් දෙනා ද සිය මවුවරුන්ගේ අතින් අල්ලාගෙන වෙස් නර්තන කණ්ඩායම පෙරටු කොටගෙන උත්සව ශාලාවට පැමිණියේ රැස්ව සිටි සියලුම දෙනාගේ නෙතට සතුටු කඳුළු එක්කරමිනි.
පසුව යුවළ පස්දෙනා සුබ නැකතින් පෝරු මස්තක වීමෙන් පසු විවාහ මංගල උත්සවයේ චාරිත්‍රවාරිත්‍ර සිදුකෙරිණු අතර ඒ සියල්ල සඳහා නව යුවතිපතින්ට උපදෙස් ලබාදුන්නේ ආබාධිත පුද්ගල උපදේශිකා රෝහිනි ය.
ගුරු උපදේශක ආර්. එම්. තිලකරත්න සහ පාඨශාලාචාර්ය උපුල් සීලවංශ පෝරුවේ චාරිත්‍ර ඉටුකර නව යුවතිපතීන්ට මුදු පැලඳවීම, සුදුවත ඇන්දවීම, දෑගිලි බැදීම, අතපැන් වැඩීම යනාදී සියලුම චාරිත්‍ර ඉටු කළහ. ඇහැලියගොඩ, බළංගොඩ , බලහරුව , තණමල්විල , උඩුපුස්සැල්ලාව, මොනරාගල , තණමල්විල සහ බණ්ඩාරවෙල, ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 30 අතර වයසේ පසුවන නව යුවතිපතින් වෙනුවෙන් ඔවුන්ගේ නම් ඇතුළත් කර අලංකාර කේක් ආකෘති 5ක් ද නිර්මාණය කර තිබිණ.
කතා කිරීමට නොහැකි ශ්‍රවණාබාධිත මනාලියන් හැඩ ගැන්වීම සිදු කර තිබුණේ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි නිලූකා කොඩිකාර විසිනි. වෙනත් මනාලියන්ට මෙන් නොව මෙම කථන, ශ්‍රවණාබාධිත මනාලියන් හැඩගැන්වීම බෙහෙවින් දුෂ්කර කාර්යක් වූ බවත් ඇය සඳහන් කළාය. මෙම ඓතිහාසික විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල සිංහ සමාජයේ ලේකම් විමලසිරි ආරියවංශ සිළුමිණට අදහස් දක්වමින් මෙසේ කීවේය.
“මේක අපූරු ඓතිහාසික විවාහ මංගල උත්සවයක්. අනික් මංගල උත්සවවලට වඩා මේක වෙනස් බැරෑරුම් එකක්. බණ්ඩාරවෙල ආබාධිත පුද්ගල සංවර්ධන පදනම සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන්නේ.මේක 1999 වසරේදී පටන් ගත්තේ. මෙහි කථන, ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් සපත්තු සෑදීම, වඩුවැඩ, රෙදි විවීම ආදී පාඨමාලා පවත්වනවා. දැනට දරුවන් 600ක් පමණ මෙහි පාඨමාලා හදාරා විසිර ගොස් තිබෙනවා. වසරකට වරක් මේ දරුවන් අපි බණ්ඩාරවෙලට ගෙන්වනවා. එහිදී තමාට සුදුසු සහකරු, සහකාරිය තෝරා ගැනීමට මොවුන්ට අවස්ථාව ලබාදෙනවා. මේ දරුවන් හරිම සංවේදීයි.
2018 වසරේ මෙවැනි ජෝඩු 8 ක් හඳුනා ගත්තත් එයින් විවාහ වුණේ දෙදෙනකු පමණයි. මෙවර අපට පස්දෙනකු විවාහ කර දෙන්න හැකිවුණා.
ඔවුන් එකිනෙකා හඳුනාගෙන තෝරා ගැනීමෙන් පසුව අපි නැකත් බැලුවා . ඒ අනුව තමයි මේ විවාහ මංගල්‍යය පැවැත්වුයේ. බණ්ඩාරවෙල සිංහ සමාජය හැටියට අපිට හරිම සතුටුයි මේ වගේ තරුණ තරුණියන් පිරිසකට ජීවිතයේ වැදගත්ම අවස්ථාව මේ ආකාරයෙන් උදාකර දීමට හැකිවීම ගැන.”
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සිංහ සමාජයේ දෙවැනි සිංහාධිපති සිංහ ඉස්මත් හමීඩ් සහභාගි වූ අතර, ඔහු විසින් නව යුවතිපතීන්ට වටිනා ත්‍යාග පිරිනැමීම ද සිදු විය. සිංහ ලලිත් හෙට්ටිආරච්චි, සිංහ උපුල් පෙරේරා , සිංහ මධුරංග මනෝරත්න , සිංහ ගුණසේකරම්, කලාපීය සභාපති සිංහ නිලංග ජීවන යන අය මේ විවාහ උත්සවය සඳහා විශේෂ අනුග්‍රහය දැක්වූහ.
පොලිස්පති සී. ඩී.වික්‍රමරත්න ගේ විශේෂ අනුග්‍රහය මත මෙම විවාහ මංගල උත්සවය වර්ණවත් කිරීමට පොලිස් නර්තන, වෙස් නැටුම් සහ සංගීත කණ්ඩායම ලබා දී තිබිණ.මෙහිදී නව යුවතිපතීන් ද නර්තනයට සහභාගි වූහ. මංගල සභාවෙන් අනතුරුව නව යුවතිපතීන් සුබ මොහොතින් මධුසමය සඳහා පිටත්ව ගිය අතර, ඒ සඳහා නවීන පන්නයේ මෝටර් රථ යොදවා තිබිණ.
මෙම ඓතිහාසික විවාහ මංගල උත්සවයේදී නව යුවතිපතින්ට සුබ පැතුම් එක්කිරීමට මනාල මනාලියන්ගේ මවුපියන්, සමීපතම ඥාතීන්, සිංහ සමාජයේ නිලධාරින්, සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සී ගමගේ, සොරණාතොට සමූහ