විවාහයට කන කොකා හඬවන ‘ශනි මංගල’ හා ‘කුජගේ ෂඩ් මහා දෝෂ’ | සිළුමිණ

විවාහයට කන කොකා හඬවන ‘ශනි මංගල’ හා ‘කුජගේ ෂඩ් මහා දෝෂ’

පොරොන්දම් බැලීම අප රටට උරුම වූයේ කවදා දැයි කීමට කවුරුවත් දන්නේ නැත. “තොරුන්ද කොල්වන්“ යන දෙමළ වචනයෙන් මෙය බිඳී ආවක් වන අතර එය පොරොන්දම් නමින් සිංහල භාෂාවට ඇතුළත්ව තිබේ. පොරොන්දම සංස්කෘතික භාෂාවෙන් හඳුන්වනුයේ ‘කූඨ‘ හෙවත් ‘පුරුන්දම්‘ යනුවෙන් හඳුන්වා දී ඇත්තේ ද පොරොන්දම විය හැකි ය.

විවාහයක් ගැළපීම සඳහා පොරොන්දම් පමණක් බැලීම ප්‍රමාණවත් වන්නේ නැත. විවාහයක් තීන්දු කිරීමට පෙර බැලිය යුතු ග්‍රහයෝග ගණනාවක් ඇති අතර ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ග්‍රහ බලය යහපත් ලෙස ගැළපේ නම් පමණක් ඊට අමතරව පොරොන්දම් බැලීම කළ යුතු බව ඍෂීන් පවසා ඇත. අපේ රටේ බොහෝ දෙනා ‘විසි පොරොන්දම‘ කෙරෙහි දක්වනුයේ මහත් උනන්දුවකි. එහෙත් එම පොරොන්දම් 20 න් වැඩකට නැති ඒවා ද තිබෙන බව වර්තමානයේදී හෙළිවී ඇත. කරන ජ්‍යොතිෂවේදීන් සැලකිල්ලට ගෙන ඇත්තේ පොරොන්දම් 12 ක් පමණි. ඒවා නම් 01. දින 02. ගණ 03. මහේන්ද්‍ර 04. ස්ත්‍රී දීර්ඝ 05. යෝනි 06. රාශි 07. රාශ්‍යාධිපති 08. වේධ 09. වශ්‍ය 10. රජ්ජු 11. වර්ණ 12. නාඩි යනුවෙනි. එම පොරොන්දම් 12 ඉදිරිපත් කර ඇත්තේ රාමන් වියතා ය.

ප්‍රකට ජ්‍යොතිෂඥයකු වූ ශාස්ත්‍රාචාර්ය පියල් වීරසිංහ මහතා, අප රටේ සිටි කීර්තිමත් ගණිතඥයකු විය. එතුමා විසින් 1972 දී පළ කරන ලද ‘දෛවය‘ නමැති පඤ්චාංග ලිතේ අත්‍යවශ්‍ය පොරොන්දම් 10 පිළිබඳ දක්වා තිබේ. එතුමා හඳුන්වා දෙන ලද පෙරොන්දම් මෙසේය.

01. නක්ෂත්‍ර 02. ගණ 03. යෝනි 04. නාඩි 05. රාශි 06. රාශ්‍යාධිපති 07. රජ්ජු 08. වේධ 09. වශ්‍ය (වශී) හා 10. පක්ෂි පොරොන්දම වේ.

පොරොන්දම් පිළිබඳ විවිධ මති මතාන්තර එක් එක් වියතුන් ප්‍රකාශකර ඇති අතරේ භාරතීය තවත් ජ්‍යොතිෂඥයකු වූ කේ.කේ. ජෝෂි විසින් කූඨ හෙවත් පොරොන්දම් 08 ක් හඳුන්වා දුන්නේ ය. ඒවා නම් 01. වර්ණ 02. වශ්‍ය හෙවත් නැකත් 04. යෝනි 05. ග්‍රහ මෛත්‍රි 06. ගණ 07. කූඨ (චන්ද්‍ර ලග්නයෙන්) 08. නාඩි ආදී වශයෙනි.

ශාස්ත්‍රාචාර්ය පියල් වීරසිංහ ජ්‍යොතිෂවේදියාණන් විසින් ඉදිරිපත් කරන ලද දස පොරොන්දම ශාස්ත්‍රීය ලෙස පිළිගත හැකි බව බොහෝ වියතුන්ගේ මතය විය. එනමුත් අප රටේ බොහෝ දෙනෙකු වැඩි කැමැත්තක් දක්වනුයේ විසි පොරොන්දම් පරීක්ෂණයට අනුව ප්‍රතිඵල දැන කියා ගැන්මට ය. පොරොන්දම් 20 න් වැඩි ගණනක් ගැළපේ නම්, ග්‍රහ යෝග මොනවා වුවත්, ඔවුනට කමක් නැත. නමුත් එය එසේ පිළිගැනීම වැරැදි ය. දොස් සහිතය.

පොරොන්දම් විනිශ්චයේදී විශේෂයෙන් විමසා බැලිය යුත්තක් වනුයේ මධ්‍යමායුෂ ද, නැතිනම් දීර්ඝායුෂද යන්න සොයා බැලීමයි. විවාහ ජීවිතයේදී අනාගතය තුළ ඇතිවිය හැකි අභාග්‍ය සම්පන්න දෙයින් වැළැකීමට යුවතිපතිනට හැකි වන්නේ ආයුෂ පිළිබඳව කියැවෙන යෝග සම්බන්ධයෙන් දැනුවත්වීමෙන් පමණකි.

විවාහ දිවියේ ආයුෂ කෙටි කරන යෝග අතරට ‘ශනි මංගල යෝගය‘ පෙන්වා දිය හැක. මෙය ඉතාම නුසුදුසු යෝගයකි. විවාහ අපේක්ෂිත දෙදෙනාගෙන් එක් අයෙකුගේ කේන්දරයේ ශනි - කුජ (මංගල) යන ග්‍රහයින් යෝගව හෝ අන්‍යොන්‍ය දෘෂ්ටියෙන් හෝ සම්බන්ධව සිටී ද, කලත්‍රයාගේ කේන්දරයේ එවැනි යෝගයක් නොවේ නම් පොරොන්දම් 100% ක් ශුභ වුවත්, එම විවාහය සාර්ථක වන්නේ නැත. දික්කසාද වීම්, වෙන්වීම්, දරුණු රෝගාබාධයන්ට ලක්වීම් නැතිනම් මරණයට පත්වීම වැනි අවාසනාවන්ත සිදුවීමකින් විවාහය නිමවන බවට මතයක් පවතී.

එමෙන් ම දෙදෙනාගේම කේන්දරවල ශනි - කුජ යෝගය තිබේ නම් එය විවාහයට බාධාවක් නොවන බව එක හෙළා පැවසීමට පුළුවන. මන්ද එයින් සිදුවන්නේ විෂෙන් විෂ නැසීමේ ක්‍රියාවලියයි. මෙම ලිපිය ලිවීමට පටන් ගෙන පැයක් පමණ ගතවන විට මා හමුවීමට පැමිණි විවාහක යුවලකි. ඔවුන්ට තරුණ වියට පත් දුවරුන් දෙදෙනකු ද සිටියහ. එම පවුලේ සිවුදෙනාම සතුටින් කල්ගත කරන බව දරුවන්ගෙන් අසා දැනගත් අතර අම්මාත්, තාත්තාත් සහයෝගයෙන් හා විනෝදයෙන් කටයුතු කරන බව දරුවන් වැඩිදුරටත් පැවසූහ. විෂෙන් විෂ නැසීමේ න්‍යාය එහිදී සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ ද යෝජනාවකින් වීම විශේෂත්වයකි. මා ඒ බව කියන තුරු ඔවුන් ඒ බවක් දන්නේ ද නැත.

“නාශාංශක දෝෂය“ හේතු කොට ගෙන දරුවන් නොමැති වීම මෙන් ම බහු විවාහ සඳහා යොමු වීම ද සිදුවේ. ගුරු, ශනි, සිකුරු සහ රවි යන ග්‍රහයින්ට අයත් නැකත්වල පිළිවෙළින් 1, 2, 3, 4 යන නාද නාශාංශක තත්ත්වයට පත්වේ.

1. ගුරු 1. නාදය පුනාවස 1. නාදය

2. ශනි 2. නාදය පුෂ 2. නාදය

3. සිකුරු 3. නාදය පුවපල් 3. නාදය

4. රවි 4. නාදය කැති 4. නාදය

පහ අධිපති නාශාංශකව සිටීමෙන් දරුවන් නොමැති වීමෙන් ද හත අධිපති නාශාංශකව සිටීමෙන් බහු විවාහවලට ද හේතුවන බව කියා තිබේ.

කුජ භෞම දෝෂ පිළිබඳව සොයා බැලීමේදී කුජ ග්‍රහයා, ලග්නය (01), 02,04, 07, 08 සහ 12 ස් වැන්නේ උපතින් පිහිටීම හේතුවෙන් ‘කුජ භෞම දෝෂය‘ නිර්මාණය වේ. එපමණක් ද නොව, ලග්නයෙන් චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් ඉහත කී රාශියක කුජ තැන්පත්ව සිටීම ද කුජ භෞම දෝෂය වේ. ලග්නයෙන් යෙදෙන භෞම දෝෂයට වඩා, චන්ද්‍රයාගෙන් යෙදෙන භෞම දෝෂය ප්‍රබල වන අතර චන්ද්‍රයාගෙන් යෙදෙන භෞම දෝෂයට වඩා සිකුරු (ශුක්‍ර) ගෙන් යෙදෙන භෞම දෝෂය ප්‍රබල වේ යැයි තුන් කල් දක්නා ඍෂීන් පෙන්වා දී ඇත. (01) ‘ලග්නය‘ යනු ජන්මියාගේ සිරස නියෝජනය කරන්නකි. එම නිසා අඟහරු හෙවත් කුජ ලග්නයේ පිහිටීමෙන් ජන්මියාගේ මනස අවුල් කිරීමේ හැකියාවක් ඇත. දෙවැන්නෙන් පිළිබිඹු වන්නේ යුග දිවියයි. එනිසා එම රාශියේ කුජ පිහිටීමෙන් යුග දිවියේ අර්බුද ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්වන අතර සතර වැන්නේ කුජ පිහිටීමෙන් විවාහයේ සැපත හා සතුට නොලැබී යාමට ඉඩ ඇති බව කියා තිබේ. සත්වන රාශිය හෙවත් කලත්‍ර ස්ථානයේ කුජ පිහිටීම යනු එක එල්ලේ ම විවාහයට අභියෝග ඇති කරවන්නකි. බිරිය සහ සැමියා අතර නිතර නිතර අඩ දබර සිදුවීමෙන් එකිනෙකා නුරුස්නා පරිසරයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. බිරියගෙන් සැමියා වෙන්වීම හෝ කලත්‍රයා මිය යෑමට වුව ද ඉඩ ඇත. පුරුෂ කේන්දරයේ සත්වැන්නේ කුජ පිහිටීම නිසා සිය භාර්යාවට මාරක උදා කරවනු ඇතැයි මහාචාර්ය රාජමනී පෙන්වා දී ඇත.

කුජ අටවැන්නේ පිහිටීමෙන්, විවාහයෙන් බලාපොරොත්තු වන සතුට අහිමිවී යන අතර ලිංගික ජීවිතය අස්වාභාවික ක්‍රියාවන්ට සීමාකර ගනිමින් ඒවාට නැඹුරුවක් දක්වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. අඟහරු දොළොස්වැන්නේ පිහිටීමෙන් සිය කලත්‍රයාගේ ආයුෂයට තර්ජන එල්ල කරවන අතර මෙය වැන්දඹු බවට පත් කරවන අවාසනාවන්ත යෝගයක් ලෙස පෙන්වා දිය හැක.

ඉහත කී යෝග, විවාහ අපේක්ෂිත දෙපළගේම කේන්දරවල පිහිටා ඇත්නම්, දෝෂ බොහෝ සෙයින් අඩු වනු ඇත. එහි මා කලින් කී ශනි, කුජ යෝගයේ විපාක මෙන් විසෙන් විස නැසීමේ ක්‍රියාවලිය ලෙස පෙන්වා දිය හැක. “කුජ දෝෂය“ හෙවත් “භෞම දෝෂය“ භංග වන කරුණු කිහිපයක් මෙලෙස දක්වා ලිය හැක. 1. සිකුරු ග්‍රහයා තාපීන්ගෙන් පීඩාවට පත් නොවී සිටීම. 2. හත අධිපතියා බලවත්ව සිටීම. කාන්තා කේන්දරවල ශුභ ග්‍රහයෙක් සත්වැන්නේ සිටීම. 3. විවාහ ජීවිතය දිගු කලක් පවත්වාගෙන යා හැක්කේ, බ්‍රහස්පතී හෙවත් ගුරු හත්වැන්නේ පිහිටන ලද කේන්දර හිමියන්ට ය. වෘෂභ සහ තුලා රාශිවල අඟහරු සිටීම. මෙහිදී භාව ගැන සැලකීමක් දක්වනු නොලැබේ.

භාරතයේ ප්‍රකට ජ්‍යොතිෂඥයකු වන ආචාර්ය පී.එස්. ශාස්ත්‍රී වියතා කියා ඇත්තේ මිථුන, කන්‍යා, මකර, කුම්භ යන රාශිවල කුජ පිහිටීමෙන් භෞම දෝෂය බලවත් වන බවයි. මේ අතර ඉන්දියාවේ කීර්තිමත් ජ්‍යොතිෂඥයකු වන ආචාර්ය එල්.ආර්. චෞද්රි මහතා සිය ‘අඟහරු සහ ජ්‍යොතිෂය‘ නම් කෘතියේ කුජ දෝෂය හෙවත් කුජ භෞම දෝෂය භංග වන කරුණු 25 ක් පෙන්වා දී තිබේ.

ඩග්ලස් ගුණවර්ධන

Comments